ජීවිත වෙනස් කළ පොතක්
දුක්බර ළමා වියක් ගෙවූ කෙනෙක් පසුව සතුටින් ජීවිතය ගත කළේ කෙසේද? රජයට විරුද්ධව කැරලිගැසූ කෙනෙක් සාමකාමී ජීවිතයක් ගත කිරීමට පෙලඹුණේ ඇයි? අපි දැන් ඒ ගැන බලමු.
“මට සහනයක් ඕනේ වුණා.”—ඊනා ලෙස්නිනා
උපත ලැබූ වසර: 1981
රට: රුසියාව
අතීතයේදී: දුක්බර ළමා වියක් ගෙවූ කෙනෙක්
මගේ අතීතය: මම උපතින්ම බිහිරි කෙනෙක්. මගේ දෙමාපියනුත් බිහිරියි. මට අවුරුදු හයක් වෙනකම් මම සතුටින් හිටියා. හැබැයි මගේ අම්මයි තාත්තයි දික්කසාද වුණාට පස්සේ මම ගොඩක් දුක් වින්දා. තාත්තා මගේ අයියත් එක්ක ට්‍රොයිට්ස්ක්වලම නැවතුණා. අම්මා මාව අරගෙන චෙල්යර්බින්ස්ක්වලට ගියා. ඊටපස්සේ අම්මා තවත් කසාදයක් කරගත්තා. එයා හොඳටම බොනවා. හුඟක් වෙලාවට අම්මයි මායි එයාගෙන් ගුටි කෑවා.
මගේ අයියා 1993දී ගිලිලා මැරුණා. අපේ පවුලේ හැමෝටම ඒක දරාගන්න බැරි වුණා. ඒ නිසා අම්මත් බොන්න පටන්ගත්තා. ඊටපස්සේ අම්මත් මට ගහන්න බනින්න පටන්ගත්තා. මම මුහුණ දුන්නේ ඒ වගේ තත්වයකට නිසා මට සහනයක් ඕනේ වුණා. ඒක බලාපොරොත්තුවෙන් මම එක එක පල්ලිවලට ගියත් ඒ කිසිම දෙයකින් මම බලාපොරොත්තු වුණ දේ ලැබුණේ නැහැ.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මට වයස අවුරුදු 13දී මගේ යාළුවෙක් බයිබලයේ තියෙන කතන්දර මට කියලා දුන්නා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නත් දිගටම දෙවිට සේවය කළ නෝවා, යෝබ් වගේ අය ගැන කියලා දෙද්දී මම ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා. වැඩි කල් යන්න කලින් මාත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. ඒ අය පවත්වන රැස්වීම්වලටත් ගියා.
බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ මම ගොඩක් දේවල් දැනගත්තා. දෙවිගේ නම දැනගත්ත දවසේ මම හුඟක් සතුටු වුණා. (ගීතාවලිය 83:18) “අවසාන කාලයේ” සිද්ධ වෙන දේවල් ගැන බයිබලයේ මොන තරම් පැහැදිලිව විස්තර කරලා තියෙනවාද කියලා ඉගෙනගත්තාම මම පුදුම වුණා. (2 තිමෝති 3:1-5) ඒ වගේම නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මගේ හිතට තදින්ම කාවැදුණා. මගේ අයියව මට ආයෙත් දැකගන්න පුළුවන්! මට ඒක හිතාගන්නවත් බැහැ.—යොහන් 5:28, 29.
හැබැයි මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්නවාට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ. ඒ දෙන්නා සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා බයිබලය ගැන ඉගෙනගන්න එක නතර කරන්න කියලා ඒ දෙන්නා මට බල කළා. ඒත් මම දිගටම බයිබලය ගැන ඉගෙනගත්තා.
ගෙදරදී මම මුහුණ දුන්න ප්‍රශ්න දරාගන්න මට ලේසි වුණේ නැහැ. මාත් එක්ක රැස්වීම් යන්න ආව මගේ මල්ලිත් ගිලිලා මැරුණා. හැබැයි ඒ හැම තත්වයක්ම දරාගන්න සාක්ෂිකරුවන් මට උදව් කළා. ඒ අය මට හරිම ආදරයෙන් සැලකුවා. සත්‍ය ආගම මේකයි කියලා මම තේරුම්ගත්තා. ඒ නිසා 1996දී සාක්ෂිකරුවෙක් විදිහට මම බව්තීස්ම වුණා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු: මීට අවුරුදු හයකට කලින් මම දිමිත්ත්‍රි එක්ක විවාහ වුණා. එයා හරිම හොඳ කෙනෙක්. දැන් අපි දෙන්නම ශාන්ත පීටර්ස්බර්ග්වල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. කාලයක් යද්දී මගේ දෙමාපියනුත් මගේ ආගමික විශ්වාසයන්වලට ගරු කරන්න පටන්ගත්තා.
මේ හැම දේකටම මම යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුතියි කියනවා. දෙවිට සේවය කරන්න ලැබීම නිසා මම අද සන්තෝෂයෙන් ජීවත් වෙනවා.
“මම ගොඩක් දේවල් ගැන කල්පනා කළා.”—රවුචෙල් රොද්‍රිගේත්
උපත ලැබූ වසර: 1959
රට: කියුබාව
අතීතයේදී: රජයට විරුද්ධව කැරලිගැසූ කෙනෙක්
මගේ අතීතය: මම ඉපදුණේ කියුබාවේ හවානාවලයි. මම හැදී වැඩුණු ප්‍රදේශයේ හිටිය මිනිස්සු හැමතිස්සේම වගේ රණ්ඩුසරුවල් කළා. මම ටිකක් ලොකු වෙද්දී ජූඩෝ වගේ සටන් කලාවන් ඉගෙනගත්තා.
මම ඉගෙනගන්න හුඟක් දක්ෂ නිසා විශ්වවිද්‍යාලයට යන්න කියලා මගේ දෙමාපියන් මාව උනන්දු කළා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මට හිතුණා රජය මිනිසුන්ට හරියට සැලකුවේ නැහැ කියලා. ඒ නිසා රජයට විරුද්ධව කැරලිගහන්න මම තීරණය කළා. තුවක්කුවක් ඕන වුණ නිසා මම මගේ යාළුවෙක් එක්ක එකතු වෙලා පොලිස් නිලධාරියෙක්ට ගැහුවා. එයාගේ ඔළුව හොඳටම තුවාල වුණා. ඒ නිසා අපිව අත්අඩංගුවට ගත්තා. අන්තිමේදී අපි දෙන්නව වෙඩි තියලා මරලා දාන්න කියලා තීන්දුවක් දුන්නා. ඒ වෙද්දී මට වයස අවුරුදු 20යි.
මම හිරේ ඉද්දී මාව වෙඩි තියලා මරලා දාන විදිහ තනියම රඟපෑවා. මැරෙන්න භයයි කියලා පෙන්නන්න මම කැමති වුණේ නැහැ. මම ගොඩක් දේවල් ගැන කල්පනා කළා. ‘ලෝකයේ මේ තරම් අසාධාරණ දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියලත් ජීවිතයට මීට වඩා දෙයක් නැද්ද’ කියලත් මම කල්පනා කළා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: නොහිතපු විදිහට අපිට නියම වෙලා තිබුණු මරණ දඬුවම අහෝසි කරලා අවුරුදු 30ක හිරදඬුවමක් නියම කළා. ආගමික විශ්වාසයන් නිසා හිරේට ඇවිල්ලා හිටිය සාක්ෂිකරුවන්ව මට මුණගැහුණේ ඒ කාලේදීයි. ඒ අයට සිරදඬුවම් ලැබිලා තිබුණේ අසාධාරණ හේතුවක් මත වුණත් ඒ අය හරිම සන්සුන් විදිහට හැසිරුණා. මට ඒක හිතාගන්නවත් බැහැ.
දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ සතුටින් හැමදාම ජීවත් වෙන්නයි කියලා සාක්ෂිකරුවන් මට පැහැදිලි කළා. ළඟදීම දෙවි මුළු පොළොවම පාරාදීසයක් කරනවා කියලත් ඒ කාලයේදී දුෂ්ටකම් සිදු වෙන්නේ නැහැ කියලත් ඒ අය මට බයිබලයෙන් පැහැදිලි කළා. ඒ වගේම ඒ කාලයේදී සියලුම මිනිසුන්ට සතුටින් සමාදානයෙන් හැමදාම ජීවත් වෙන්න පුළුවන් කියලත් ඒ අය මට කිව්වා.—ගීතාවලිය 37:29.
බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කොට මට ලොකු සතුටක් දැනුණා. හැබැයි මගේ ජීවිතයේ හුඟක් වෙනස්කම් කරන්න ඕනේ කියලා මට තේරුණා. ඒත් දේශපාලනයට සම්බන්ධ නොවී ඉන්නත් මිනිස්සු නපුරු දේවල් කරද්දී නිහඬව ඉන්නත් මට පුළුවන් වෙයිද කියලා මම කල්පනා කළා. පස්සේ මම තනිවම බයිබලය කියවන්න පටන්ගත්තා. මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන එකම කණ්ඩායම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියලා එතකොට මට තේරුණා.
මගේ කතා විලාසය වෙනස් කරන්නත් සිගරට් බොන එක නතර කරන්නත් දේශපාලනයට හවුල් නොවී ඉන්නත් මම ලොකු වෑයමක් දැරුවා. හැබැයි ඒක ලේසි වුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවිගේ උදව්වෙන් මට ඒ දේවල් නතර කරන්න පුළුවන් වුණා.
කේන්ති යන එක නතර කරන්න නම් මට ගොඩක් අමාරු වුණා. මාව පාලනය කරගන්න මට උදව් කරන්න කියලා මම තවමත් යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. මට උදව් වුණ බයිබල් පද අතරින් එකක් තමයි හිතෝපදේශ 16:32. එතන මෙහෙම කියනවා. “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය. තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය.”
මම 1991දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. ඒ වෙද්දී මම හිටියේ හිරේ නිසා වතුර බැරල් එකක තමයි මාව බව්තීස්ම කළේ. ඊළඟ අවුරුද්දේදී අපිව හිරෙන් නිදහස් කළා. මගේ නෑදෑයන් ස්පාඤ්ඤයේ හිටිය නිසා මම එහෙට ගියා. මම එහේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට ගියාම ඒ අය මාව හරිම ආදරයෙන් පිළිගත්තා. මට හැඟුණේ ඒ අය මාව අවුරුදු ගාණක් තිස්සේ හඳුනගෙන හිටියා වගෙයි. මට අලුත් ජීවිතයක් පටන්ගන්න ඒ අය උදව් කළා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු: දැන් මම විවාහකයි. මගේ බිරිඳයි දුවලා දෙන්නයි එක්ක මම හරිම සතුටින් ඉන්නේ. අනික් අයට බයිබලය ගැන උගන්වන්න ලැබුණු අවස්ථාව මම සලකන්නේ ලොකු වරප්‍රසාදයක් විදිහටයි. මාව මරණ දණ්ඩනයට නියම වෙලා තිබුණු කාලය ගැන හිතන කොට මට පුදුමත් හිතෙනවා. ඇත්තටම මම අද ජීවතුන් අතර ඉන්නෙත් සතුටින් කල් ගෙවන්නෙත් යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණු නිසයි. ළඟදීම යෙහෝවා දෙවි මුළු පොළොවම පාරාදීසයක් කරලා මරණය නැති කරන කාලය එනකම් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.—එළිදරව් 21:3, 4.
[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“දෙවිගේ නම දැනගත්ත දවසේ මම හුඟක් සතුටු වුණා”
[20වන පිටුවේ පින්තූරය]
මමයි මගේ මහත්තයයි සංඥා භාෂාවෙන් ශුභාරංචිය ප්‍රකාශ කරමින්