131වන ගිලියද් පාසැල
“යෙහෝවා දෙවිගේ සිත සතුටු කරන්න”
වර්ෂ 2011 සැප්තැම්බර් 10වන දින ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ පැවරුම් ලබා දෙන අවස්ථාවට පැවරුම්ලාභීන්ගේ පවුලේ සාමාජිකයන්, මිත්‍රයන් සහ තවත් බොහෝදෙනෙක් සහභාගි වුණා. වැඩසටහන ආරම්භ කරන මොහොත පැමිණි විට කථිකයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ හද ගැස්ම වැඩි වූ බවට සැකයක් නැහැ. වැඩසටහන අවසානයේදී ඔවුන් ඇතුළු පැමිණ සිටි 9,063දෙනාම සිටියේ සතුටින්. ඊට හේතුව වැඩසටහන අතරතුර ඉදිරිපත් කළ කතා, නිරූපණ සහ සම්මුඛ සාකච්ඡාවලින් සියලුදෙනාම දිරිගැන්වීමක් ලැබීමයි.
මෙම වැඩසටහනේ සභාපති ලෙස කටයුතු කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ස්ටීවන් ලෙට්. ආරම්භක කතාව ඉදිරිපත් කළේ ඔහුයි. යෙහෝවා දෙවිව පුද්ගලයෙකුට සමාන කර ඇති බයිබල් පද ඔහු සාකච්ඡා කළා. දෙවි තම ඇස්, කන්, අත් යොදාගන්නා ආකාරය ගැන ඔහු විස්තර කළා.
ඔහු මුලින්ම 2 ලේකම් 16:9හි සඳහන් මේ දේ ගැන සාකච්ඡා කළා. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” යෙහෝවා දෙවිට පූර්ණ හදවතකින් දිගටම සේවය කිරීමට එය සියලු ශිෂ්‍යයන්ට දිරිගැන්වීමක් වුණා. යෙහෝවා දෙවි මෙන් මනුෂ්‍යන් තුළ ඇති හොඳ ගතිගුණවලට අවධානය යොමු කරන ලෙස ඔහු ශිෂ්‍යයන්ව දිරිගැන්නුවා. සහෝදර ලෙට් ඊළඟට 1 පේතෘස් 3:12හි සඳහන් අදහස ගැන කතා කළා. දෙවිගේ කන් ධර්මිෂ්ඨයන්ගේ කන්නලව් දෙසට යොමු වී තිබෙන බව එහි සඳහන් වෙනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවකදී සවන් දීමට කැමැත්තෙන් සිටින යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න කියා ඔහු ශිෂ්‍යයන්ව දිරිගැන්නුවා.
ඉන්පසුව ඔහු යෙසායා 41:13හි සඳහන් මේ පොරොන්දුව ගැන සාකච්ඡා කළා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.” එය කියවීමෙන් පසු සහෝදර ලෙට් මෙසේ පැවසුවා. “අපේ අත අල්ලන්න ඕන නිසා යෙහෝවා දෙවි ඔහුගේ අත අප දෙසට දිගු කරනවා. දෙවි අපට මොන තරම් ආදරෙයිද කියලා ඒකෙන් පැහැදිලියි.” යෙහෝවා දෙවි සෑමවිටම අපට උපකාර කිරීමට ආශාවෙන් සිටින නිසා ඔහුගේ උපකාරය කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකරන ලෙස ඔහු පැවසුවා. ශිෂ්‍යයන්ද කැමැත්තෙන්ම අන් අයට උපකාර කිරීමට ඉදිරිපත් වීමෙන් යෙහෝවා දෙවිව අනුකරණය කිරීමට ඔවුන්ට හැකි බව ඔහු පැවසුවා.
ඊළඟට සහෝදර ලෙට් යෙසායා 40:11 කියවා එහි ඇති අදහස සාකච්ඡා කළා. එඬේරෙක් තම බැටළුවන්ව තුරුලට ගෙන මහත් ආදරයෙන් රැකබලා ගන්නා ආකාරයට යෙහෝවා දෙවිද අපව රැකබලා ගන්නා බව ඔහු පැවසුවා. දෙවි ඔහුගේ සේවකයන් ගැන එතරම් සැලකිල්ලක් දක්වන නිසා ඔවුන් බැටළුවන් මෙන් ඉතා යටහත්පහත්, මෘදු අය විය යුතු බව ඔහු මතක් කළා.
“ඒ වස්තුව අප දරන්නේ මැටි භාජනවලය”
පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඩේවිඩ් ස්ප්ලේන් ඔහුගේ කතාවේ තේමාව ලෙස යොදාගත්තේ එයයි. (2 කොරින්ති 4:7) එහි සඳහන් වස්තුව කුමක්ද? දැනුමද නැත්නම් ප්‍රඥාවද? නැහැ. පාවුල් ඉන් අදහස් කළේ අප කරන දේවසේවය ගැන බව සහෝදර ස්ප්ලේන් සඳහන් කළා. (2 කොරින්ති 4:1, 2, 5) මාස පහක් පුරා මෙම පාඨමාලාවෙන් ශිෂ්‍යයන්ව සූදානම් කළේ පූර්ණකාලීන දේවසේවය සඳහා බව ඔහු පැවසුවා. එය කිසිවිටෙක අවතක්සේරුවට ලක් නොකළ යුතු බව ඔහු සඳහන් කළා.
“මැටි භාජන” කියා පාවුල් සඳහන් කළේ අපි ගැන බව සහෝදර ස්ප්ලේන් පැවසුවා. මැටි භාජනයකට වඩා රත්තරන්වලින් සෑදූ භාජනයක් මොන තරම් වෙනස්ද! රත්තරන්වලින් සෑදූ භාජන නිතර පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මැටි භාජන නිතර පාවිච්චි කරනවා. අපි යම් වස්තුවක් රන් භාජනයක දැමුවොත් එම භාජනය හා එහි ඇති වස්තුව යන දෙකටම වැඩි අවධානයක් දෙනවා. ඒ නිසා සහෝදර ස්ප්ලේන් මෙසේ පැවසුවා. “පූර්ණකාලීන සේවකයන් ලෙස ඔබේ වගකීම වන්නේ යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න ජනයාට උපකාර කිරීමයි. ඒ නිසා ඔබ ඔබටම අවධානය ඇදගන්න එපා. නිහතමානිකම ඒ සඳහා ඔබට උපකාරයක්.”
පුරාණ කාලයේ සෑදූ සමහර මැටි භාජන ගින්නට හොඳින් ඔරොත්තු දුන්නා. ඒවා බිඳී යෑමෙන් වැළැක්වීම සඳහා එහි පිට පැත්තේ ගනකම් ආලේපනයක් ගැල්වුවා. පූර්ණකාලීන සේවකයන්ට එය අදාළ වන්නේ කොහොමද? ඔවුන්ට මුලදී විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකියි. ඒවා විඳදරාගැනීම අවශ්‍යයි. කාලයක් යද්දී ඔවුන් ඒවාට හුරු වෙයි. “ඔබ හිතනවාට වඩා ඔබ ශක්තිමත් කියා ඔබටම වැටහේවි” කියා සහෝදර ස්ප්ලේන් පැවසුවා. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීම යෙහෝවා දෙවි භාර දී තිබෙන්නේ දේවදූතයන්ට නොව මැටි භාජන වැනි මිනිසුන්ටයි. “ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවිට ඔබ ගැන දැඩි විශ්වාසයක් තිබෙන බවයි” කියා ඔහු සඳහන් කළා.
“අශ්වයන් සමඟ ඔබ දුවන්නේ කෙසේද?”
පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන සැමුවෙල් හර්ඩ් ශිෂ්‍යයන්ගෙන් මෙසේ ඇසුවා. “ඔබට කොතරම් දුරක් කොතරම් වේගයෙන් දුවන්න පුළුවන්ද?” ඉන්පසු ඔහු ශිෂ්‍යයන්ගේ අද්දැකීම් සහ අනාගතවක්තෘ යෙරෙමියාගේ අද්දැකීම් අතර ඇති සමානකම් ගැන සාකච්ඡා කළා. යෙරෙමියාට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. ඔහු ඉදිරියේ තවත් අභියෝග රැසක් තිබුණා. යෙහෝවා දෙවි ඔහුගෙන් මෙසේ ඇසුවේ ඒ නිසයි. “මිනිසුන් සමඟ දිවීමට ගොස් ඔබ වෙහෙසට පත් වෙනවා නම් අශ්වයන් සමඟ ඔබ දුවන්නේ කෙසේද?”—යෙරෙමියා 12:5.
එම ප්රශ්නය ශිෂ්‍යයන්ට අදාළ කරමින් සහෝදර හර්ඩ් මෙසේ පැවසුවා. “ඔබ මෙම පාඨමාලාව තුළ බොහෝ විභාගවලට පෙනී සිටි නිසා ඔබ අශ්වයන් සමඟ දුවමින් සිටියා කියා ඔබට හැඟෙන්න ඇති. නමුත් ඔබ ඇත්තටම දුවමින් සිටියේ මිනිසුන් සමඟයි. කොහොමවුණත් ඔබේ පැවරුම භාරගත් පසු ඔබට අශ්වයන් සමඟ දුවන්න සිදු වෙනවා. ඒ කියන්නේ ඔබට මීට වඩා අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. වෙහෙසට පත් නොවී දිගටම අශ්වයන් සමඟ දුවන්න මෙම පාසැලෙන් ඔබව පුහුණු කළා.” නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීම සහ යාච්ඤා කිරීම ඒ සඳහා විශාල උපකාරයක්.
වෙනත් රටකට ගොස් සේවය කරන විට අධෛර්යයට පත් වීමට හෝ ශුභාරංචිය ඇසීමට උනන්දුවක් නොදක්වන අයව හමු වීමට ඉඩ තිබෙනවා. සමහර අය අසනීපවලට ගොදුරු විය හැකියි. තවත් අයට තමන් දක්ෂ නැහැ කියා හැඟෙන්න පුළුවන්. ඒ කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් ඔබව ශක්තිමත් කිරීමට කෙනෙක් සිටින බව ඔහු ශිෂ්‍යයන්ට මතක් කරමින් මෙසේ පැවසුවා. “ඔබ මිනිසුන් සමඟ දිව්වත් අශ්වයන් සමඟ දිව්වත් ඔබට දිනුම් කණුව පසු කිරීමට අවශ්‍ය උපකාර ලබා දීමට දෙවිට හැකි බව විශ්වාස කරන්න. එසේ කිරීමෙන් දෙවිව ගෞරවයට හා ප්‍රශංසාවට පත් කරන්න ඔබට හැකි වෙයි.”
තවත් දිරිගැන්වීම්
“හිස් භාජන පුළුවන් තරම් ප්‍රමාණයක් අරගෙන එන්න.” ඇමරිකා එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වන ජෝන් එක්රන්, අනාගතවක්තෘ එලිෂා සහ වැන්දඹුවක් සම්බන්ධ සිද්ධියක් ගැන සාකච්ඡා කළා. ණය ගෙවීමට නොහැකි නිසා එම වැන්දඹුවගේ දරුවන්ව වහල්කමට රැගෙන යෑමට ණයහිමියා සූදානම් වුණා. (2 රාජාවලිය 4:1-7) යෙහෝවා දෙවි එලිෂා මාර්ගයෙන් ආශ්චර්යයක් සිදු කරමින් ඇයට උපකාර කළා. ඇයට පුළුවන් තරම් හිස් තෙල් බඳුන් සොයාගන්නා ලෙස එලිෂා පැවසුවා. එම බඳුන් සියල්ල දෙවි ආශ්චර්යයවත් ලෙස තෙල්වලින් පිරෙව්වා. එම තෙල් විකුණා ඇගේ ණය ගෙවන්නත් ඉතුරු මුදලින් කාලයක් පුරා ඇගේ පවුල නඩත්තු කරන්නත් හැකි වුණා.
ඉන් ශිෂ්‍යයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? හිස් තෙල් බඳුන් සොයාගන්නා ලෙස එලිෂා වැන්දඹුවට පැවසූ විට ඇය තමන්ට සම්බ වූ සෑම බඳුනක්ම රැගෙන ආ බවට කිසිම සැකයක් නැහැ කියා කථිකයා පැවසුවා. ඒ හා සමානව තමන්ට ලැබෙන ඕනෑම පැවරුමක් භාරගන්න කියා සහෝදර එක්රන් ශිෂ්‍යයන්ට උනන්දු කළා. වැන්දඹුවට ආශීර්වාද ලැබුණේ ඇය එලිෂා පැවසූ දේට කීකරු වූ නිසයි. ශිෂ්‍යයන්ටද උද්යෝගයෙන් සේවය කිරීමෙන් හා සෑම කාරණයකදීම දෙවිට කීකරු වීමෙන් ආශීර්වාද ලබාගත හැකි බව කථිකයා මතක් කළා. ඒ නිසා තමන් ගැන පමණක් නොසිතා කටයුතු කරන ලෙස ඔහු පැවසුවා.
“අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.” ගණන් කතාව 14:9 මත පදනම් මෙම මාතෘකාවෙන් යුත් කතාව ඉදිරිපත් කළේ සේවා පාසැලේ උපදේශකයෙක් වන විලියම් සැමුයල්සන් විසිනුයි. යොෂුවා හා කාලෙබ්ගේ කදිම ආදර්ශය ගැන ඔහු කතා කළා. ඊශ්‍රායෙල්වරුන්ට කානාන් වැසියන්ව යටත් කරගැනීම අභියෝගයක් මෙන් පෙනෙන්න තිබුණත් දෙවිගේ උපකාරයෙන් එම අභියෝගය ජය ගත්තා. එසේ කිරීමෙන් ඔවුන්ගේ ආත්ම ශක්තිය තවත් වැඩි කරගැනීමට හැකි වුණා. ඉන් ශිෂ්‍යයන්ට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? යම් පැවරුමක් අභියෝගයක් මෙන් පෙනෙන්න තිබුණත් එය ජය ගැනීමෙන් ඔබේ ආත්ම ශක්තිය තවත් වැඩි කරගත හැකියි කියා සහෝදර විලියම් පැවසුවා.
‘නැවක් මුහුදුබත් වන්නා සේම ඔවුන් තුළ තිබෙන විශ්වාසය විනාශ වී යයිද?’ උපදේශකයෙක් වන සෑම් රාබසන් පුරාණයේ සිටි ඇතැම් අය තුළ තිබූ විශ්වාසය නැවක් මුහුදුබත් වන්නා සේ විනාශ වී ගිය බව පැවසුවා. (1 තිමෝති 1:19) යෙහෝවා දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගන්න කියා ඔහු ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා. “ඔබ කරන්නේ කම්මල්කරුවෙකුගේ රාජකාරිය හා සමාන දෙයක්” කියා ඔහු පැවසුවා. කම්මල්කරුවෙක් නැංගුරමක ඇති දම්වැල්වල පුරුක් එකිනෙක එකතු කර පාස්සනවා. ඒ හා සමානව ශිෂ්‍යයන්ද තමන් සමඟ බයිබලය පාඩම් කරන අයගේ ගැලවීම සඳහා දෙවිට ප්‍රසන්න ගුණාංග වර්ධනය කරගන්න ඔවුන්ට උපකාර කළ යුතුයි.
දෙවන පේතෘස් 1:5-8හි සඳහන් ගුණාංග අට දම්වැලක් හා සමානව එකිනෙකට බැඳී ඇති ආකාරය ගැන සහෝදර රාබසන් කතා කළා. යෙහෝවා දෙවි එම ගුණාංග විදහාපෙන්වන ආකාරය තේරුම්ගැනීමට බයිබලය පාඩම් කරන අයට උපකාර කිරීමෙන් ඔවුන් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නවා නිසැකයි. එවිට ඔවුන් කුණාටු හා සමාන ඕනෑම බාධාවක් ජය ගන්න බවට සැකයක් නැහැ.
අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා
මෑතකදී දේශනා සේවයේ ලැබූ අද්දැකීම් විස්තර කරන ලෙසත් ඒවා නිරූපණය කර පෙන්වන ලෙසත් ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන සහෝදර මයිකල් බර්නෙට් ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා. ශිෂ්‍යයන් සාප්පු සංකීර්ණවල, ගුවන් තොටුපොළවල්වල, නිවෙස්වල සහ වැරදීමකින් තමන්ට දුරකථනයෙන් ඇමතූ කෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කළ ආකාරය ඇසීමෙන් රැස්ව සිටි සියලුදෙනා මහත් දිරිගැන්වීමක් ලැබුවා.
ගිලියද් පාසැලෙන් පැවරුම් ලබා පැනමාවේ, කෙන්යාවේ සහ පැරගුවේ යන රටවල බොහෝ කාලයක් පුරා ශුභාරංචිය ප්‍රකාශ කරන සහෝදරයන් තුන්දෙනෙක් සමඟ සහෝදර මයිකල් හන්සින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. එම කොටසේ තේමාව වුණේ “දෙවිගේ කැමැත්ත කිරීමෙන් සතුටක් ලබන්න” යන්නයි. (ගීතාවලිය 40:8) තමන් සහ තම භාර්යාව පැවරුම ඉටු කරද්දී මොන තරම් සතුටක් ලැබුවාද කියා කෙන්යාවේ සේවය කරන සහෝදරයා පැවසුවා. සාක්ෂිකරුවන් සමඟ ඇති කරගත් මිත්‍රත්වයෙන් ඉමහත් සතුටක් ලැබූ බව ඔහු පැවසුවා. සහෝදර සහෝදරියන් උපදෙස් පිළිපදින විට, ඔවුන්ගේ ජීවිත වෙනස් කරගන්නා විට සහ යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන ආකාරය දකින විට ඔහුට මොන තරම් සතුටක් දැනුණාද කියා ඔහු පැවසුවා. මෙම පාසැලෙන් පැවරුම් ලබන ශිෂ්‍යයන්ටද අනාගතයේදී ස්ථිරවම ආශීර්වාද ලැබෙන බව ඔහු සඳහන් කළා.
එකසිය තිස්එක්වන ගිලියද් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් තම අගය ප්‍රකාශ කරමින් ලියූ ලිපිය එක් ශිෂ්‍යයෙක් සියලුදෙනාටම ඇසෙන්න කියවූ පසු සහෝදර ලෙට් වැඩසටහනේ අවසාන කොටස ඉදිරිපත් කළා. ශිෂ්‍යයන්ට ඥානවන්තව ක්‍රියා කරන ලෙසත් එසේ කිරීමෙන් යෙහෝවා දෙවිව සතුටු කළ හැකි බවත් ඔහු පැවසුවා. මෙම පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් දෙවිට විශ්වාසවන්තව ඔවුන්ගේ පැවරුම් ඉටු කරන විට යෙහෝවා දෙවි අතිශයින් ප්‍රීති වන බවට කිසිම සැකයක් නැහැ.—යෙසායා 65:19.
[31වන පිටුවේ වගුව⁄සිතියම]
සහභාගි වූවන්ගේ විස්තර
10 නියෝජනය කළ රටවල් සංඛ්‍යාව
34.7 වයසේ සාමාන්‍යය
19.0 බව්තීස්ම වූ දා සිට ගෙවී ඇති වසර ගණනේ සාමාන්‍යය
13.5 පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය
[සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
පැවරුම් ලැබූ රටවල්
බෙනින්
බ්‍රසීලය
බල්ගේරියාව
බුරුන්ඩි
කැමරූන්
කැනඩාව
මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව
ජර්මනිය
ඝානාව
හොං කොං
ඉන්දුනීසියාව
කෙන්යාව
ලයිබීරියාව
ලිතුවේනියාව
මලයාසියාව
මොසැම්බික්
නේපාලය
පැනමාව
පැරගුවේ
සියරා ලියොන්
ස්ලොවැක් ජනරජය
දකුණු අප්‍රිකාව
ඇමරිකා එක්සත් ජනපදය
වෙනිසියුලාව
[30වන පිටුවේ පින්තූරය]
තමන් ලැබූ අද්දැකීමක් නිරූපණය කරන ශිෂ්‍යයන්
[31වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 131වන පන්තිය
පහත ලැයිස්තුව අංකනය කර ඇත්තේ රූපයේ ඉදිරි පේළියේ සිට පිටුපස පේළිය දක්වායි. එක් එක් පේළියේ නම් ලැයිස්තුගත කර ඇත්තේ වමේ සිට දකුණටයි.
(1) ලෙෂ්, සී.; ලෙෂ්, එන්.; ෂාකාජියන්, පී.; ෂාකාජියන්, ටී.; බඩන්, ආර්.; බඩන්, කේ.; නෑෂ්, ටී.; නෑෂ්, එල්.
(2) ට්රාන්බ්ලේ, ඊ.; ට්රාන්බ්ලේ, සී.; ගාර්වි, ඩී.; ගාර්වි, ජී.; ගොන්ට්, ආර්.; ගොන්ට්, පී.; ලාවු, ජේ; ලාවු, ජේ.
(3) ඩේවිස්, එස්.; ඩේවිස්, එස්.; සාජන්ට්, ජේ.; සාජන්ට්, ජේ.; ෆොන්සේකා, සී.; ෆොන්සේකා, එස්.; ටේනා, ඊ.; ටේනා, ඒ.
(4) පෙට්රායොටන්, ඒ.; පෙට්රායොටන්, ආර්.; රේයිස්, එන්.; රේයිස්, එන්.; අයිසිමිංගර්, බී.; අයිසිමිංගර්, එස්.; හැකර්, ජේ.; හැකර්, සී.
(5) හාට්මන්, ඊ.; හාට්මන්, ටී.; ගූලියා, ඩබ්ලිව්.; ගූලියා, කේ.; ටොමස්, ජේ.; ටොමස්, ඊ.; ඕකාසාකි, එන්.; ඕකාසාකි, එම්.
(6) මිල්ස්, සී.; මිල්ස්, ඒ.; බෙනිං, එල්.; බෙනිං, ටී.; සෝබියෙස්කි, එස්.; සෝබියෙස්කි, ටී.; ගාන්යොං, එල්.; ගාන්යොං, ඊ.
(7) හැන්සන්, බී.; හැන්සන්, එම්.; ෆේහි, ඒ.; ෆේහි, එම්.; ඩෙල්ගෝ, ජේ.; ඩෙල්ගෝ, ජේ.; ඇන්ඩසොන්, එම්.; ඇන්ඩසොන්, ආර්.