විශ්වාසය තැබිය හැකි සහ සමාව දෙන යෙහෝවා දෙවි
“යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය. ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය අතිමහත්ය.”—ගීතා. 86:5.
1, 2. (අ) විශ්වාසය තියන්න පුළුවන් සමාව දෙන යාළුවන්ට අපි කැමති ඇයි? (ආ) අපි මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවද?
හොඳ යාළුවෙක් මොන වගේද? ‘මට නං හොඳ යාළුවෙක් කියන්නේ ඕනෙම වෙලාවක ළඟ ඉන්න, උදව් කරන්න බලාගෙන ඉන්න කෙනෙකුටයි. ඒ වගේම මගේ අතින් වරදක් වුණාම සමාව දෙන කෙනෙකුටයි’ කියලා සහෝදරියක් කියනවා. ඇත්ත නේද? අපි හැමෝම ඒ වගේ යාළුවන්ට කැමතියි. ඒ වගේ යාළුවෝ එක්ක ඉද්දී අපිට ලොකු ආරක්ෂාවක් වගේම ලොකු සතුටකුත් දැනෙනවා.—හිතෝ. 17:17.
2 අපිට විශ්වාසය තියන්න පුළුවන්, අපිට සමාව දෙන, අපිට ඉන්න පුළුවන් හොඳම යාළුවා තමයි යෙහෝවා දෙවි. බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය. ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය අතිමහත්ය.” (ගීතා. 86:5) විශ්වාසය තියන්න පුළුවන් හා සමාව දෙන කෙනෙක් මොන වගේද? ඒ ගතිලක්ෂණ දෙක යෙහෝවා දෙවි පෙන්වලා තියෙන්නේ කොහොමද? අපිට ඒ ගතිලක්ෂණ පෙන්වන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැනගද්දී අපේ හිතේ යෙහෝවා දෙවි ගැන තියෙන ආදරය තවත් වැඩි වෙයි. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන් එක්ක තියෙන බැඳීමත් තවත් ශක්තිමත් වෙයි.—1 යොහ. 4:7, 8.
විශ්වාසය තැබිය හැකි දෙවි කෙනෙක්
3. විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් මොන වගේද?
3 විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් කියන්නේ තමන්ට ආදරය කරන අයගේ විශ්වාසය කඩ කරන්නේ නැති කෙනෙකුටයි. ඒ වගේ කෙනෙක් ඕනෙම වෙලාවක උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ජීවිතයේ හිනා වෙන වෙලාවලදී විතරක් නෙවෙයි අඬන වෙලාවලදීත් ළඟින් ඉන්නවා. බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වලා තියෙන්නේ “විශ්වාසවන්තකමින් පිරිපුන් තැනැත්තා” කියලයි.—එළි. 16:5.
4, 5. (අ) යෙහෝවා දෙවි විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් කියලා පෙන්වලා තියෙන්නේ කොහොමද? (ආ) ඒක අපිට ශක්තියක් වෙන්නේ කොහොමද?
4 තමන් විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් කියලා දෙවි පෙන්වලා තියෙන්නේ කොහොමද? තමන්ට සේවය කරන අයට අවශ්‍ය ඕනෙම වෙලාවක උදව් කරලා දෙවි ඒක පෙන්වලා තියෙනවා. දාවිත් කියන්නේ ඒ විදිහට දෙවිගෙන් උදව් ලබපු කෙනෙක්. තමන්ව අත්හරින්නේ නැතුව තමන්ට උදව් කරපු එක ගැන දාවිත් නිතරම දෙවිට ස්තුති කළා. (2 සාමුවෙල් 22:26 කියවන්න.) දාවිත්ට ප්‍රශ්න ගැටලු ඇති වුණ හැම වෙලාවකම දෙවි ඔහුට මඟ පෙන්වීම් දුන්නා. ඔහුව ආරක්ෂා කළා. (2 සාමු. 22:1) දාවිත්ව අත්හරින්නේ නැහැ කියලා දෙවි කිව්වා විතරක් නෙවෙයි ඒක කරලත් පෙන්නුවා. දෙවි එහෙම කළේ දාවිත් විශ්වාසවන්තව හිටපු නිසයි. තමන්ට විශ්වාසවන්තව ඉන්න අයට යෙහෝවා දෙවි හුඟක් ආදරෙයි. දෙවි ඔවුන්ව කවදාවත් අත්හරින්නේ නැහැ.—හිතෝ. 2:6-8.
5 යෙහෝවා දෙවි විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් කියලා තේරුම්ගද්දී අපිට ලොකු ශක්තියක් ලැබෙනවා. රීඩ් කියන සහෝදරයා මෙහෙම කියනවා. “දාවිත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී දෙවි ඔහුට උදව් කරපු විදිහ ගැන කියවන්න මම හුඟක් කැමතියි. දාවිත් සාවුල්ගෙන් බේරිලා පලා යද්දී, ගුහාවල ජීවත් වෙද්දී දෙවි ඔහුව රැකබලා ගත්තා. ඒ සිද්ධීන් කියවද්දී මට දෙවි ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මට මොන තරම් ප්‍රශ්න ගැටලු ආවත් මම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න තාක් කල් දෙවි මාව අත්හරින්නේ නැහැ කියලා මට විශ්වාසයි.” ඔබටත් එහෙම හිතෙනවද?—රෝම 8:38, 39.
6. දෙවි විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් කියලා පෙන්වන තවත් විදි මොනවද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද?
6 යෙහෝවා දෙවි විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් කියලා පෙන්වන තවත් විදි දෙකක් ගැන බලමු. එකක් තමයි දෙවි තමන්ගේ ප්‍රමිති කවදාවත් වෙනස් කරන්නේ නැති එක. (යෙසා. 46:4; මලා. 3:6) ඔහු හැම තීරණයක්ම ගන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුවයි. දෙවෙනි එක තමයි ඔහු දෙන පොරොන්දු ඒ විදිහටම ඉටු කරන එක. (යෙසා. 55:11) ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන්න අපි අපේ උපරිමය කරනවා නම් දෙවි අපිට ආශීර්වාද කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. දෙවි ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු කරනවා.—යෙසා. 48:17, 18.
අපිත් විශ්වාසය තැබිය හැකි අය වෙමු
7. විශ්වාසය තැබිය හැකි කෙනෙක් වෙන්න පුළුවන් එක විදිහක් කියන්න.
7 ඔබටත් පුළුවන්ද දෙවි වගේ විශ්වාසය තැබිය හැකි කෙනෙක් වෙන්න? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීලා ඉන්න අයට උදව් කරන එක. (හිතෝ. 3:27) උදාහරණයකට අසනීප නිසා, පවුලේ අයගේ විරුද්ධවාදීකම් නිසා, යම් දුර්වලකම් නිසා, අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ට “සැනසිල්ලක් ගෙන දෙන” ආකාරයෙන් “කාරුණිකව” කතා කරලා දිරිගන්වන්න ඔබට පුළුවන්. (සෙක. 1:13)a එහෙම කරනවා නම් ඔබත් “සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්” කියලා ඔබ ඔප්පු කරලා පෙන්වනවා.—හිතෝ. 18:24.
8. අපි විශ්වාසය තැබිය හැකි අය කියලා පෙන්වන්න පුළුවන් තවත් විදි මොනවද?
8 විශ්වාසය තැබිය හැකි කෙනෙක් වෙන්න පුළුවන් තවත් විදි තියෙනවා. උදාහරණයකට අපි අපේ සැමියට බිරිඳට විශ්වාසවන්තව ඉන්න ඕනෙ. (හිතෝ. 5:15-18) ඒ නිසා අපි අනාචාරයේ යෙදෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අනාචාරයට මඟ පාදන පුංචි දෙයක්වත් අපි අතින් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. (මතෙ. 5:28) ඒ වගේම අපි අපේ සහෝදර සහෝදරියන් ගැන බොරු කියන්නෙවත් ඕපාදූප කතා කරන්නෙවත් ඒවාට ඇහුම්කන් දෙන්නෙවත් නැහැ.—හිතෝ. 12:18.
9, 10. (අ) වෙන කාටවත් වඩා අපි විශ්වාසවන්ත වෙන්න ඕනෙ කාටද? (ආ) හැම වෙලාවෙම දෙවිට කීකරු වෙන එක ලේසි දෙයක්ද? උදාහරණයක් දෙන්න.
9 වෙන කාටත් වඩා අපි යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න ඕනෙ. එහෙම කරන්න නම් දෙවි ‘ද්වේෂ කරන’ දේවලට ද්වේෂ කරන එකත් දෙවි ඇලුම් කරන දේවලට ඇලුම් කරන එකත් අත්‍යවශ්‍යයි. (ගීතාවලිය 97:10 කියවන්න.) දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වෙන තරමට ඔහුට කීකරු වෙන්න අපිට පහසු වෙනවා.—ගීතා. 119:104.
10 හැම වෙලාවෙම දෙවිට කීකරු වෙන එක ලේසි නැහැ. ඒක කරන්න ලොකු වෑයමක් දරන්න ඕනෙ. තනිකඩ සහෝදරියක් ගැන හිතන්න. ඇය විවාහ වෙන්න ආසයි. ඒත් ඇයට තවමත් ගැළපෙන සහෝදරයෙක් හමු වෙලා නැහැ. (1 කොරි. 7:39) ඇයට ලොකු තනිකමක් දැනෙනවා. ඔය අතරේ ඇය රැකියාව කරන තැන ඉන්න සාක්ෂිකරුවන් නොවන අය, ඇයට කෙනෙක්ව හොයලා දෙන්න මහන්සි වෙනවා. ඒත් ඇය කෙළින් තීරණයක් අරන් ඉන්නවා දෙවිට සේවය කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන්නේ නැහැ කියලා. ඒ ඇයි? දෙවිට විශ්වාසවන්තව ඉන්න ඇයට ඕනෙ නිසා. ඒ වගේ අය අපිට මොන තරම් හොඳ ආදර්ශයක්ද! අමාරු අවස්ථාවලදීත් දෙවිට විශ්වාසවන්තව ඉන්න අයට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—හෙබ්‍රෙ. 11:6.
‘සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක් සිටියි.’—හිතෝ. 18:24 (7වෙනි ඡේදය බලන්න)
“එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.”—එෆී. 4:32 (16වෙනි ඡේදය බලන්න)
සමාව දෙන දෙවි කෙනෙක්
11. සමාව දෙන කෙනෙක් මොන වගේද?
11 සමාව දෙන කෙනෙක් මොන වගේද? ඒ වගේ කෙනෙක් තමන්ට කවුරු හරි හිත රිදෙන දෙයක් කිව්වත් කළත් ඒ කෙනා ගැන හිතේ තරහක් තියාගන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ කරපු වරද හරි කියන එකවත් කිසිම දෙයක් වුණේ නැහැ වගේ ඉන්නවා කියන එකවත් නෙවෙයි. ඒ වෙනුවට ඔහු ඒ කෙනා ගැන හිතේ තරහක් තියාගන්නේ නැතුව ඉන්න ලොකු වෑයමක් දරනවා කියන එකයි. යෙහෝවා දෙවිත් අවංකව පසුතැවිලි වෙන අයට ‘සමාව දෙන්න කැමැත්තෙන්’ ඉන්නවා.—ගීතා. 86:5.
12. (අ) දෙවි සමාව දෙන්නේ කොහොමද? (ආ) දෙවි සමාව දෙනවා කියද්දී පේතෘස් ඒකෙන් අදහස් කළේ මොකක්ද?
12 යෙහෝවා දෙවි “මුළු හදින්ම” සමාව දෙනවා. (යෙසා. 55:7) දෙවි සමාව දෙද්දී කෙනෙක් කරපු වරදට සම්පූර්ණයෙන්ම සහ සදහටම සමාව දෙනවා. සම්පූර්ණයෙන්ම සමාව දෙනවා කියන්නේ මොකක්ද? බලන්න ක්‍රියා 3:19 කියන දේ. (කියවන්න.) එතන පේතෘස් කියන්නේ වැරදි කරපු කෙනා තමන් කරපු වැරදි ගැන ‘පසුතැවිලි වෙලා ජීවිතය වෙනස් කරගන්න’ ඕනෙ කියලයි. ඇත්තටම පසුතැවිලි වෙන කෙනෙක් ආපහු ඒ වරද කරන්නේ නැහැ. (2 කොරි. 7:10, 11) ඒ වගේම ඔහු තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන දෙවිව සතුටු කරන්න ඔහුට කරන්න පුළුවන් හැම දේම කරනවා. එහෙම කළොත් දෙවි ඔහු කරපු වරද ‘මකලා දානවා.’ (ක්‍රියා 3:19 පාදසටහන) ඒ විදිහට දෙවි ඒ පුද්ගලයාට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා.—හෙබ්‍රෙ. 10:22; 1 යොහ. 1:7.
13. දෙවි සදහටම සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
13 යෙහෝවා දෙවි සදහටම සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? යේසුස්ගේ ජීවිත පූජාව පිළිගත්ත අභිෂේක ලත් අය ගැන යෙරෙමියා කියපු අනාවැකියකින් අපිට ඒ ගැන දැනගන්න පුළුවන්. (යෙරෙමියා 31:34 කියවන්න.) දෙවි කිව්වේ “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි” කියලයි. දෙවි සමාව දුන්නට පස්සේ ඒ ගැන හිතහිතා ඉන්නේ නැහැ. ඒ වගේම නැවත නැවත ඒ වරද ගැන මතක් කරලා දොස් කියන්නෙවත් දඬුවම් කරන්නෙවත් නැහැ. ඒ වරද සදහටම අමතක කරනවා.—රෝම 4:7, 8.
14. දෙවි සමාව දෙන විදිහ ගැන හිතද්දී අපිට සහනයක් දැනෙන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.
14 යෙහෝවා දෙවි සමාව දෙන විදිහ ගැන හොඳට හිතද්දී අපිට ලොකු සහනයක් ලැබෙනවා. ඉලේන් කියන සහෝදරියව මීට අවුරුදු කිහිපයකට කලින් සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා. අවුරුදු කිහිපයකට පස්සේ ඇයව ආයෙත් සභාවට පිළිගත්තත් දෙවි ඇත්තටම තමාට සමාව දුන්නා කියලා ඇය හිතුවේ නැහැ. ඇය හිතුවේ තමන්ට වඩා අනිත් අයට දෙවි ආදරය කරනවා කියලයි. ඒත් දෙවි සමාව දෙන විදිහ ගැන බයිබලයේ සඳහන් වෙන සමහර යෙදුම් ගැන හොඳට කල්පනා කරලා බලද්දී ඇයට ලොකු සහනයක් දැනුණා. උදාහරණයකට දෙවි සමාව දෙද්දී ඒක හරියට කරපු වැරදි සෝදලා පිරිසිදු කරනවා වගේ කියලා ඇය දැනගත්තා. ඉලේන් මෙහෙම කියනවා. “දෙවි මට ඇත්තටම සමාව දුන්නා කියලා මම විශ්වාස කළේ නැහැ. ඒක මගේ හිතට ලොකු බරක් වුණා. මගේ ජීවිත කාලේ පුරාම ඒ බර දරාගෙන ඉන්න වෙයි කියලයි මම හිතුවේ. ඒත් කාලයක් ගියත්, දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මට පුළුවන් කියලා මං දැන් දන්නවා. ඒ නිසා මට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්.” අපි කරපු වැරදිවලට දෙවි සමාව දුන්නට පස්සේ ඒ ගැන ආයෙත් හිතලා දුක් වෙන්න අවශ්‍ය නැහැ.b යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය, සමාව දෙන දෙවි කෙනෙක්ද!—ගීතා. 103:9.
අපිත් සමාව දෙමු
15. යෙහෝවා දෙවි වගේ සමාව දෙන්න අපිට පුළුවන් කොහොමද?
15 යෙහෝවා දෙවි වගේ සමාව දෙන්න අපිටත් පුළුවන්. (ලූක් 17:3, 4 කියවන්න.) මතකද, දෙවි අපිට සමාව දුන්නට පස්සේ ඔහු ඒ ගැන හිතහිතා ඉන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අමතක කරනවා කියලා අපි ඉගෙනගත්තා? ඒ නිසා අපිත් කෙනෙකුට සමාව දුන්නට පස්සේ ඒ ගැන හිතහිතා ඉන්නවත් නැවත නැවත ඒ වරද ගැන කතා කරන්නවත් හොඳ නැහැ.
16. (අ) කෙනෙකුට සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සහ නොකරන්නේ මොකක්ද? (ආ) දෙවිගෙන් සමාව ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?
16 කෙනෙකුට සමාව දෙනවා කියන්නේ ඔහු කරපු වරද අනුමත කරනවා කියන එකවත් ඒ වගේ වරදක් අපිට කළාට කමක් නැහැ කියලා කියන එකවත් නෙවෙයි. ඒ වෙනුවට අපි තරහා හිතේ තියාගන්නේ නැහැ කියන එකයි. අපි අනිත් අයට සමාව දුන්නොත් විතරයි යෙහෝවා දෙවි අපිට සමාව දෙන්නේ. (මතෙ. 6:14, 15) “අපව දූවිල්ලෙන් සෑදූ බව” දෙවි දන්නවා. අපි අතින් වැරදි වෙනවා කියලත් දෙවි දන්නවා. (ගීතා. 103:14) ඒ නිසා ඔහු අපිට සමාව දෙනවා. ඒ වගේ, කවුරු හරි අපේ හිත රිදෙන දෙයක් කිව්වොත් හරි, කළොත් හරි ඔහු අතිනුත් අපි වගේම වැරදි වෙනවා කියලා හිතලා ඔහුට හද පත්ලෙන්ම සමාව දෙමු.—එෆී. 4:32; කොලො. 3:13.
ඔබව රිද්දපු අය වෙනුවෙන් මුළු හදවතින්ම යාච්ඤා කරන්න (17වෙනි ඡේදය බලන්න)
17. ඔබව රිද්දපු කෙනෙකුට සමාව දෙන්න ඔබට උදව් වෙන්නේ මොනවද?
17 සමහර වෙලාවලදී සමාව දෙන එක ලේසි දෙයක් නෙවෙයි. පාවුල්ගේ කාලයේ හිටපු අභිෂේක ලත් අය අතරත් යම් යම් එකඟ නොවීම් තිබුණා. (ෆිලි. 4:2) සහෝදරයෙක් ඔබේ හිත රිදෙන දෙයක් කිව්වා හරි කළා හරි කියලා හිතමු. ඔහුට සමාව දෙන්න ඔබට උදව් වෙන්නේ මොනවද? බලන්න යෝබ් මොනවද කළේ කියලා. එලීෆස්, බිල්දද්, ෂෝපර් කියන්නේ යෝබ්ගේ යාළුවෝ තුන්දෙනෙක්. ඒත් ඔවුන් යෝබ්ට නින්දා කරලා දොස් කියලා ඔහුගේ හිත රිද්දුවා. (යෝබ් 10:1; 19:2) අන්තිමේදී මොකද වුණේ? යෙහෝවා දෙවි ඔවුන් තුන්දෙනාට කිව්වා, ඔවුන් කරපු වරදට යෝබ් ළඟට ගිහින් සමාව අරන් ඒ වරද වෙනුවෙන් පූජාවක් ඔප්පු කරන්න කියලා. (යෝබ් 42:7-9) ඒ වගේම යෝබ්ටත් කරන්න දෙයක් තිබුණා. ඔහුට රිද්දපු අය වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා දෙවි ඔහුට කිව්වා. යෝබ් එහෙම කළා. ඒ නිසා ඔහුට හුඟක් ආශීර්වාද ලැබුණා. (යෝබ් 42:10, 12, 16, 17 කියවන්න.) මොකක්ද පාඩම? ඔබත් ඔබව රිද්දපු කෙනෙක් වෙනුවෙන් යාච්ඤා කරනවා නම් ඔහුට සමාව දෙන්න ඔබට පහසු වෙනවා කියන එකයි.
දෙවිගේ ගතිලක්ෂණ ගැන දිගටම ඉගෙනගන්න
18, 19. අපි දිගටම කරන්න ඕනෙ මොනවද?
18 අපි මේ ලිපි තුනෙන්ම යෙහෝවා දෙවි කියන්නේ කිට්ටු වෙන්න පුළුවන්, හැමෝටම එක වගේ සලකන, ත්‍යාගශීලී, සාධාරණ, විශ්වාසය තැබිය හැකි, සමාව දෙන දෙවි කෙනෙක් කියලා ඉගෙනගත්තා. අපි ඒ බැලුවේ දෙවිගේ ගතිලක්ෂණ හයක් ගැන විතරයි. අපි ඒවායින් මොන තරම් සතුටක් ලැබුවද! ඒත් දෙවි ගැන දැනගන්න අපිට තව කොයි තරම් නම් දේවල් තියෙනවද! සදාකාලයටම ඉගෙනගන්න දේවල් තියෙනවා. (දේශ. 3:11) “දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද” කියලා පාවුල් කිව්වා. දෙවිගේ ප්‍රේමය ගැනත් අපි ඉගෙනගත්ත ඔහුගේ ගතිලක්ෂණ හය ගැනත් පාවුල් කියපු ඒ වචනම කියන්න ඔබත් පෙලඹෙන්නේ නැද්ද?—රෝම 11:33.
19 ඒ නිසා අපි දිගටම යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ ගැන ඉගෙනගමු. ඒවා ගැන හොඳට හිතමු. ඒවා අපේ ජීවිතවලිනුත් පෙන්වමු. (එෆී. 5:1) එහෙම කරනවා නම් යෙහෝවා දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරය තව තවත් වැඩි වේවි! ඔහුට තව තවත් කිට්ටු වෙන්න අපිට පුළුවන් වේවි! ඒ විතරක් නෙවෙයි “දෙවිට ළං වී සිටීම මට යහපතකි” කියලා ගීතිකාකරු කියපු වචන අපේ ජීවිතයෙනුත් අද්දකින්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි!—ගීතා. 73:28.
a තවත් විස්තර දැනගැනීමට 1995 ජනවාරි 15 මුරටැඹ කලාපයේ “ඔබ මෑතකදී යම් කෙනෙකුව දිරිගන්වා තිබේද?” සහ 1995 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන්න—කෙසේද?” යන ලිපි බලන්න.