අන් අය ගැන සැලකිල්ලක් දක්වමින් දිරිගන්වමු
“එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු.”—හෙබ්‍රෙ. 10:24.
1, 2. සාක්ෂිකරුවන් 230දෙනාට තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වුණේ කොහොමද?
දෙවෙනි ලෝක මහ යුද්ධය එහි අවසානයට ළඟා වෙමින් තිබුණා. තමන් ඉක්මනින්ම පරාජය වෙනවා කියලා දැනගෙන හිටිය හිට්ලර්ගේ හමුදාව, ගාල් කඳවුරුවල හිටපු දහස් ගණනක් සිරකරුවන්ව මරලා දාන්න අණක් නිකුත් කළා. ඔවුන්ටගේ කුමන්ත්‍රණය වුණේ කිලෝමීටර් සිය ගණනක් ඈතින් තියෙන වරායකට ඔවුන්ව රැගෙන ගිහින්, නැව්වල පටවලා, ඒ නැව් මුහුදුබත් කරන්නයි. සිරකරුවන්ව පයින්ම රැගෙන ගිය ඒ දිගු ගමන ප්‍රසිද්ධ වුණේ ‘මරණයේ ගමන’ වැනි අදහසක් තියෙන “ඩෙත් මාච්” ලෙසයි.
2 සාක්සන්හවුසන් කියන ගාල් කඳවුරේ හිටපු 33,000ක් විතර සිරකරුවන්ටත් ඒ ගමන යන්න සිදු වුණා. ඔවුන්ට යන්න තිබුණේ කි.මී. 250ක් විතර දුර දුෂ්කර ගමනක්. හරිහමන් කෑමක්වත් නැතුව විවිධ ලෙඩ රෝගවලින් දුර්වල වෙලා හිටපු මේ සිරකරුවන්ට ඇත්තටම ඒ ගමන මරණයේ ගමනක්. ඔවුන් අතර සාක්ෂිකරුවන් 230දෙනෙකුත් හිටියා. දහස් ගණනක් මිය යද්දී, ගමන පුරාම එකට හිටිය සාක්ෂිකරුවන් තමන්ගේ ජීවිත බේරගත්තා. ඒ කොහොමද? ඔවුන්ගෙන් එක් කෙනෙක් මෙහෙම කිව්වා. “අපි දිගටම එකිනෙකාට උදව් කළා. දිගටම එකිනෙකාව දිරිගැන්නුවා.” එකිනෙකා ගැන ඔවුන්ට තිබුණ ආදරයත් දෙවිගෙන් ලැබුණ ‘සාමාන්‍යය ඉක්මවූ බලයත්’ නිසා ඔවුන්ට තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වුණා.—2 කොරි. 4:7.
3. අපි හැමෝම එකිනෙකාව දිරිගන්වන්න ඕනෙ ඇයි?
3 අපේ ජීවිත ගමනත් හුඟක් දුෂ්කර එකක්. යේසුස් රජ වෙලා සාතන්ව පොළොවට දැම්මට පස්සේ “තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” කියලා සාතන් දන්න නිසා ඔහු ඉන්නේ හුඟක් කේන්තියෙන්. (එළි. 12:7-9, 12) අවසානය ළං වෙද්දී යෙහෝවා දෙවි එක්ක තියෙන අපේ බැඳීම කඩන්න, සාතන් එක එක විදිහේ පීඩා පරීක්ෂා ගේනවා. ඔය අතරේ හැමදාම අපි අද්දකින පීඩනයත් තියෙනවා. (යෝබ් 14:1; දේශ. 2:23) ඒ වගේ දේවල් නිසා අපි හැමෝම සමහර වෙලාවලදී අධෛර්යය වෙනවා නේද? එක සහෝදරයෙක් අවුරුදු ගාණක් පුරාම දෙවිට විශ්වාසවන්තව ඉන්න අනිත් අයව දිරිගැන්නුවා. ඒත් වයසට යද්දී ඔහුත් ඔහුගේ බිරිඳත් හුඟක් අසනීප වුණා. මෙච්චර කාලයක් අනිත් අයව දිරිගන්වපු ඔහුත් අධෛර්යය වෙන්න පටන්ගත්තා. ඒ සහෝදරයට වගේම අපි හැමෝටම දෙවිගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” හා එකිනෙකාගේ දිරිගැන්වීම අත්‍යවශ්‍යයි.
4. එකිනෙකාව දිරිගැන්වීම ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොකක්ද?
4 “එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙ. 10:24, 25) අපි දැන් ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන ටිකක් කතා කරමු.
‘එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන්න’
5. අනිත් අය ගැන උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන්න පුළුවන් කොහොමද?
5 සාමාන්‍යයෙන් අපි අපේ සහෝදර සහෝදරියන්ව රැස්වීම්වලදී හමු වුණාම ‘කොහොමද’ කියලා අහනවා. සාමාන්‍ය දේවල් කතා කරනවා. ඒත් ඔවුන් ගැන උනන්දුවක් හා සැලකිල්ලක් දක්වනවා කියන්නේ ඊට වඩා වැඩි දෙයක්. ඇත්ත, අනිත් අයගේ ජීවිතවලට ඕනෑවට වඩා ඇඟිලි ගහන එක සුදුසු නැහැ තමයි. (1 තෙස. 4:11; 1 තිමෝ. 5:13) ඒත් අපි අපේ සහෝදර සහෝදරියන්ව හොඳින් තේරුම්ගන්න අවශ්‍යයි. ඔවුන් මුහුණ දෙන අභියෝග, ඔවුන්ගේ හොඳ ගතිගුණ, ඔවුන්ගේ දක්ෂකම්, ඔවුන්ගේ දුර්වලකම් වගේම සත්‍යය ගැන ඔවුන්ට හැඟෙන විදිහ දැනගන්නත් අපි උත්සාහ කරන්න ඕනෙ. ඒ වගේම අපි ඔවුන්ගේ මිතුරන් කියලත් අපි ඔවුන්ට ආදරෙයි කියලත් දැනෙන්න සලස්වන්න ඕනෙ. ඔවුන්ට එහෙම දැනෙන්න නම් ඔවුන් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී, අධෛර්යය වෙලා ඉද්දී විතරක් නෙවෙයි අනිත් වෙලාවලදිත් අපි ඔවුන් එක්ක ඉන්න අවශ්‍යයි.—රෝම 12:13.
6. වැඩිමහල්ලන් මොන වගේ අය වෙන්න ඕනෙද?
6 විශේෂයෙන්ම වැඩිමහල්ලන් ඒ වගේ අය වෙන්න ඕනෙ. (1 පේතෘ. 5:1-3) එහෙම කරන්න නම් තමන්ගේ සභාවේ සහෝදර සහෝදරියන් ගැන ඔවුන් හොඳට දැනගන්න ඕනෙ. (හිතෝපදේශ 27:23 කියවන්න.) වැඩිමහල්ලන් හැම වෙලාවක උදව් කරන්න බලාගෙන ඉන්නවා කියලත් තමන් එක්ක කතාබහ කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් සභාවේ අය දකිද්දී, ඔවුන් කිසිම භයක් සැකක් නැතුව වැඩිමහල්ලන් ළඟට ඇවිත් ඔවුන්ගේ හිතේ තියෙන ඕනෙම ප්‍රශ්නයක් ගැන කතා කරනවා.
7. අධෛර්යය වෙලා ඉන්න කෙනෙක් “වියරු වැටුණු කෙනෙකු මෙන්” කතා කළොත් අපි මතක තියාගන්න ඕනෙ මොනවද?
7 “දුර්වල වී සිටින අයට උපකාර කරන්න” කියලා බයිබලයේ කියනවා. (1 තෙසලෝනික 5:14 කියවන්න.) “දුර්වල වී සිටින අය” කියන්නේ එක එක හේතු නිසා කලකිරිලා, අධෛර්යය වෙලා ඉන්න අයටයි. හිතෝපදේශ 24:10හි කියන්නේ “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය” කියලයි. ඒ වගේ අයට උදව් කරන්න නම් අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි සමහර වෙලාවට ඔවුන් “වියරු වැටුණු කෙනෙකු මෙන්” කතා කරන්න ඉඩ තියෙනවා කියන එක. (යෝබ් 6:2, 3) ඒත් හුඟක් වෙලාවට ඔවුන් එහෙම කතා කරන්නේ අපිත් එක්ක තියෙන තරහටවත් අපිව රිද්දන්නවත් නෙවෙයි. රෙෂල් කියන දේ බලන්න. “මානසික පීඩනයෙන් ඉන්න අය, හිතන්නේ බලන්නේ නැතුව දේවල් කියනවා. ඒත් ඒ අයව තේරුම්ගන්නේ නැතුව අපිත් එකට එක කියන්න ගියොත් ඒක එයාලට හුඟක් බලපානවා. උදාහරණයකට මගේ අම්මා දැඩි මානසික පීඩනයකින් දුක් විඳින කෙනෙක්. ඒ නිසා සමහර වෙලාවට එයා මගේ හිත හුඟක් රිදෙන දේවල් කියනවා. ඒත් ඒ වගේ වෙලාවලදී, අම්මා මට කොච්චර ආදරෙයිද, මං වෙනුවෙන් කොයි තරම් දේවල් කරලා තියෙනවද කියලා මම මතක් කරගන්නවා. මොකද, සාමාන්‍යයෙන් මගේ අම්මා හරිම හොඳ කෙනෙක්.” හිතෝපදේශ 19:11හි කියන්නේ “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි” කියලයි.
8. අපේ හිතේ තියෙන ආදරය, සැලකිල්ල විශේෂයෙන් දැනෙන්න සලස්වන්න ඕනෙ මොන වගේ අයටද? ඒ ඇයි?
8 අතීතයේදී තමන් අතින් වුණ වරදක් නිසා කලකිරිලා ඉන්න අය ගැන ‘උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන්න’ අපිට පුළුවන් කොහොමද? ඔහු කරපු වරද දැන් හදාගෙන හිටියත් තාමත් ඒ ගැන ලැජ්ජාවෙන් ඉන්නවා ඇති. ඒ වගේ කෙනෙක් කොරින්ති සභාවෙත් හිටියා. ඔහු ගැන පාවුල් ඒ සභාවේ අයට මෙහෙම ලිව්වා. “ඔබ දැන් ඔහුට කාරුණිකව සමාව දී ඔහුව සැනසිය යුතුයි. එසේ කළේ නැත්නම් එවැනි කෙනෙකුට දැනෙන අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් විය හැක. එමනිසා මා ඔබට දැන් උනන්දු කරන්නේ ඔහු සඳහා ඔබට තිබෙන ප්‍රේමය ඔහුට දැනෙන්න සලස්වන්න කියාය.” (2 කොරි. 2:7, 8) ඒ වගේ කෙනෙක් අපේ සභාවෙත් ඉන්නවා කියලා හිතමු. ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරය, සැලකිල්ල අපි ඔහුට “දැනෙන්න සලස්වන්න” ඕනෙ. ඒත් අපේ ආදරය, සැලකිල්ල අපේ වචනවලින් හා ක්‍රියාවලින් පෙන්නුවේ නැත්නම් කොහොමද ඔහුට ඒක දැනෙන්නේ?
‘ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට පොලඹවන්න’
9. ‘ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවන්න’ පුළුවන් කොහොමද?
9 පාවුල් කිව්වේ ‘ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවන්න’ කියලයි. අපි ඒක මේ වගේ උදාහරණයකින් තේරුම්ගමු. හිතන්න, ඔබේ ගෙදර දර ලිපක් තියෙනවා කියලා. ලිපේ ගින්දර දිගටම ඇවිළෙන්න නම් ලිපට දර දාන්න ඕනෙ. සමහර වෙලාවට ලිපට පිඹින්නත් වෙනවා. (2 තිමෝ. 1:6) ඒ වගේ, අපේ සහෝදර සහෝදරියන්ගේ උද්යෝගය තවත් වැඩි කරන්න නම් අපි යම් දේවල් කරන්න ඕනෙ. ඒක කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි කෙනෙක් කරපු හොඳ දෙයක් ගැන ඔහුට ප්‍රශංසා කරන එක.
අනිත් අයත් එක්ක සේවයේ ගිහින් ඔවුන්ව දිරිගන්වන්න
10, 11. (අ) අපි හැමෝටම අවශ්‍ය මොනවද? (ආ) අගය කරපු නිසා හරි දේ කරන්න පෙලඹුණ කෙනෙකුගේ අද්දැකීමක් කියන්න.
10 අපි හැමෝම කැමති, අපි කරන දේවල් අනිත් අය අගය කරනවටයි. මේ සහෝදරයා කියන දේ බලන්න. “මගේ තාත්තා කවදාවත් මං කරපු දේවල් අගය කරලා නැහැ. ඒ නිසා මං හිතුවේ මං කරන දේවල් වටින්නේ නැහැ කියලයි. දැන් මගේ වයස 50යි. මං වැඩිමහල්ලෙක් විදිහට දේවල් හොඳට කරනවා කියලා අනිත් අය කියද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ නිසා මමත් හැම තිස්සෙම අනිත් අයව අගය කරන්න උත්සාහ කරනවා.” අපි අධෛර්යය වෙලා ඉන්න කෙනෙක් වුණත් මහලු කෙනෙක් වුණත් පුරෝගාමියෙක් වුණත්, කවුරු හරි අපිව අගය කරද්දී අපිට මොන තරම් දිරිගැන්වීමක් ලැබෙනවද!—රෝම 12:10.
11 වරදක් කරපු කෙනෙක්ව, හරි මාර්ගයට ගන්න උත්සාහ කරද්දී වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි, ඔහු අතීතයේදී කරපු හොඳ දේවල් මතක් කරලා ඒවා අගය කරන එක. එතකොට ඔහු තමන් හිතන විදිහ වෙනස් කරගෙන, හරි මාර්ගයට එන්න පෙලඹෙයි. (ගලා. 6:1) මීරියම් කියන සහෝදරියට වුණෙත් ඒකයි. “ඒ කාලයේදී මගේ යාළුවෝ කීපදෙනෙක්ම සභාව අතහැරලා ගියා. මගේ තාත්තත් බරපතළ විදිහට අසනීප වුණා. ඒ දේවල් නිසා මං හිටියේ හුඟක් දුකෙන් වගේම පීඩනයකින්. ඒ නිසා මං දෙවිට සේවය කරන්නේ නැති කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා.” ඒකෙන් වුණේ දෙවිගේ ආදරය ලබන්න වටින්නේ නැහැ කියලා ඇයට හිතුණ එකයි. අන්තිමේදී ඇය සත්‍යය අත්හරින්නත් හිතුවා. ඒත් එක වැඩිමහල්ලෙක් ඇයව හමු වෙලා, අතීතයේදී ඇය දෙවිට සේවය කරපු විදිහ මතක් කරලා දුන්නා. දෙවි තාමත් ඇයට ආදරෙයි කියලා ඇයව දිරිගැන්නුවා. ප්‍රතිඵලයක් විදිහට ඇය තමන්ගේ ප්‍රේම සම්බන්ධය නතර කරලා ආයෙත් උද්යෝගයෙන් දෙවිට සේවය කරන්න පටන්ගත්තා.
ප්‍රේමයටත් යහපත් ක්රියාවලටත් පොලඹවන්න
12. අනිත් අයව දෙවිට සේවය කරන්න පොලඹවද්දී අපි පරෙස්සම් වුණේ නැත්නම් වෙන්න පුළුවන් මොනවද?
12 උද්යෝගයෙන් දෙවිට සේවය කරන්න අනිත් අයව ‘පොලඹවද්දී’ අපි පරෙස්සම් විය යුතු පැත්තකුත් තියෙනවා. අපි ඒ අයව වෙන අය එක්ක සසඳන්න හොඳ නැහැ. අපි බලාපොරොත්තු වෙන විදිහට ඒ අය දේවල් කරන්නේ නැති වුණාම ඒ ගැන දොස් කියන්නවත්, මීට වඩා දේවල් කරන්නේ නැත්තේ ඇයි කියලා අහන්නවත් හොඳ නැහැ. අපි එහෙම කළොත් ඔවුන් සමහරවිට අපි කියන විදිහට දේවල් කරයි. ඒත් ඒක වැඩි කාලයක් පවතින එකක් නැහැ. ඔවුන්ව ‘පොලඹවන්න’ පුළුවන් හොඳම විදිහ තමයි ඔවුන් කරන දේවල් අගය කරන එක. ඒ වගේම කෙනෙක් දෙවිට සේවය කරන්න ඕනෙ, ඒ කෙනා දෙවිට ආදරය කරන නිසා කියලා තේරුම් කරලා දෙන එකත් වැදගත්.—ෆිලිප්පි 2:1-4 කියවන්න.
‘එකිනෙකාව දිරිගන්වන්න’
13. අනිත් අයව දිරිගන්වන්න ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.)
13 අන්තිමට පාවුල් කියනවා ‘එකිනෙකාව දිරිගන්වන්න’ කියලා. උදාහරණයකට, ගිනිමැලයකට භූමිතෙල් වගේ දෙයක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ ගිනිමැලය තවත් හොඳට ඇවිළෙනවා. ඒ වගේ තමයි අන් අයව දිරිගන්වන එකත්. අපි දිරිගන්වද්දී දෙවිට කරන සේවය තවත් වැඩියෙන් කරන්න ඔවුන් පෙලඹෙනවා. අධෛර්යය වෙලා ඉන්න අයව දිරිගන්වද්දී ඔවුන්ට ආදරයෙන් කතා කරන්න ඕනෙ. (හිතෝ. 12:18) ඒ වගේම අපි ‘ඇසීමට ඉක්මන් වෙන්නත් කතා කිරීමට ප්‍රමාද වෙන්නත් ඕනෙ.’ (යාකො. 1:19) අපි අපේ සහෝදර සහෝදරියන්ට හොඳින් ඇහුම්කන් දීලා, ඔවුන් අධෛර්යය වෙලා ඉන්නේ ඇයි කියලා තේරුම්ගත්තොත් ඔවුන්ව දිරිගන්වන්න අපිට පහසු වෙයි.
අන් අය එක්ක ඇසුරු කරන්න
14. අධෛර්යය වෙලා හිටපු සහෝදරයෙක්ට වැඩිමහල්ලෙක් උදව් කළේ කොහොමද?
14 අවුරුදු කිහිපයක්ම අක්‍රියාශීලීව හිටපු සහෝදරයෙක්ව කාරුණික වැඩිමහල්ලෙක් දිරිගන්වපු විදිහ බලන්න. ඒ සහෝදරයාගේ හිතේ තාමත් යෙහෝවා දෙවි ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා ඒ වැඩිමහල්ලා තේරුම්ගත්තා. ඔහු මුරටැඹ පාඩමට හොඳින් සූදානම් වෙනවා කියලත් හැම රැස්වීමකටම එන්න උත්සාහ කරනවා කියලත් වැඩිමහල්ලා දැනගත්තා. ඒත් සභාවේ හිටපු සමහර අය නිසා ඔහු අධෛර්යය වෙලයි හිටියේ. වැඩිමහල්ලා ඔහු ගැන වැරදි නිගමනයකට එන්නේ නැතුව, ඔහුට සවන් දීලා ඔහුව තේරුම්ගත්තා. ඒ වගේම ඔහුත් ඔහුගේ පවුලේ අයත් හුඟක් වටිනා අය කියලා ඔහුට දැනෙන්න සැලැස්සුවා. අතීතයේදී ඇති වුණ ප්‍රශ්නයක් නිසා, තමන් හුඟක් ආදරය කරන දෙවිට කරපු සේවය නතර කළා නේද කියලා ඒ සහෝදරයට හිතුණා. ඒ නිසා තමන් එක්ක සේවයේ යන්න එන්න කියලා වැඩිමහල්ලා ඔහුට ආරාධනා කළාම ඔහු ඒක පිළිගත්තා. ටික ටික ඔහු උද්යෝගයෙන් සේවයේ යන්න පටන්ගත්තා විතරක් නෙවෙයි පස්සේ කාලෙක ආයෙත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්නත් ඔහුට පුළුවන් වුණා.
ඉවසිලිවන්තව ඇහුම්කන් දීම අත්‍යවශ්‍යයි (14වෙනි සහ 15වෙනි ඡේද බලන්න)
15. අනිත් අයව දිරිගැන්වීම ගැන අපිට යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?
15 අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ව දිරිගන්වද්දී අපි එහෙම කරපු පළවෙනි වතාවෙම ඔහු අපේ උදව් පිළි අරන් දිරිගැන්වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා දිගටම ඔහුට උදව් කරමු. “දුර්වල වී සිටින අයට උපකාර කරන්න කියාත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න කියාත්” පාවුල් කිව්වා. (1 තෙස. 5:14) තමන්ගේ සේවකයන් අධෛර්යය වුණාම යෙහෝවා දෙවි හුඟක් ඉවසීමකින් ඔවුන් එක්ක වැඩ කළා. උදාහරණයකට එලියාගේ හැඟීම් දෙවි තේරුම්ගත්තා. දිගටම සේවය කරන්න ඔහුට අවශ්‍ය උදව් දුන්නා. (1 රාජා. 19:1-18) දාවිත් තමන් කරපු වැරදි ගැන අවංකව කනගාටු වුණ නිසා දෙවි ඔහුට සමාව දුන්නා. (ගීතා. 51:7, 17) හැත්තෑතුන්වෙනි ගීතිකාවේ ලේඛකයා අධෛර්යය වෙලා හිටපු අවස්ථාවේ දෙවි ඔහුට උදව් කළා. (ගීතා. 73:13, 16, 17) යෙහෝවා දෙවි අපිත් එක්ක කටයුතු කරන්නේ කරුණාවෙන් සහ ඉවසීමෙන්. විශේෂයෙන්ම අපි අධෛර්යය වුණාම. (නික්. 34:6) දෙවි අපිට ‘සෑම උදෑසනකම දයාව පෙන්වනවා’ කියලත් එය “කෙදිනකවත් නිම නොවන්නේය” කියලත් බයිබලයේ කියනවා. (විලා. 3:22, 23) දෙවිව ආදර්ශයට අරන්, අධෛර්යය වුණ අයව දිරිගන්වයි කියලා දෙවි අපෙනුත් බලාපොරොත්තු වෙනවා.
ජීවනයට යන මඟේ ඉන්න දිගටම දිරිගන්වන්න
16, 17. මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙද්දී අපි කරන්න ඕනෙ මොනවද? ඒ ඇයි?
16 එදා ගාල් කඳවුරෙන් පිටත් වුණ 33,000ක් සිරකරුවන්ගෙන් දහස් ගණනක් මිය ගියා. ඒත් සාක්ෂිකරුවන් 230දෙනාම තමන්ගේ ජීවිත බේරගත්තා. ඔවුන්ට ඒක කරන්න පුළුවන් වුණේ එකිනෙකාගෙන් ලැබුණ උදව්, දිරිගැන්වීම් නිසයි.
17 අද අපි ඉන්නෙත් දුෂ්කර ගමනක. ඒ ‘ජීවනය කරා යන පාරෙයි.’ (මතෙ. 7:14) යෙහෝවා දෙවිට සේවය කරන හැමෝටම ධර්මිෂ්ඨකම රජයන පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ළඟදීම අවස්ථාව ලැබෙනවා. (2 පේතෘ. 3:13) ඒ වෙනකල් ජීවනයට යන මඟේ දිගටම ඉන්න අපි එකිනෙකාව දිරිගන්වමු.