දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න
“බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”
දුක, වේදනාව, මරණය නැති කාලයක් ගැන කවදා හරි ඔබ හිතලා තියෙනවාද? ඒ වගේ කාලයක ඔබටත් ඔබේ පවුලේ අයටත් ජීවත් වෙන්න ලැබෙනවා නම් ඔබ කොච්චර සතුටු වෙයිද? ඒක ඇත්තටම සිහිනයක් නෙමෙයි. යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා ළඟදීම ඒ වගේ කාලයක් උදා කරන්න. ඒ ගැන දෙවියන් කියලා තියෙන දේ ගැන අපි දැන් බයිබලයෙන් බලමු.—එළිදරව් 21:3-5 කියවන්න.
“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.” (එළිදරව් 21:3-5) ඒ මොන කඳුළුද? ඒ අපේ ඇස්වල ආරක්ෂාවට නැඟෙන කඳුළුවත් සතුටු කඳුළුවත් නෙමෙයි. දුක වේදනාව නිසා ඇති වෙන කඳුළුයි. දෙවියන් නිකම්ම අපේ කඳුළු පිස දමනවා වෙනුවට දුකට හේතු වෙන හැම දෙයක්ම සහමුලින්ම නැති කරන්න පොරොන්දු වෙලා තියෙනවා.
‘මරණය තවත් නොවන්නේය.’ (එළිදරව් 21:4) මරණයට වඩා දුකට හේතු වෙන තවත් දෙයක් නැහැ. යෙහෝවා දෙවියන් මරණයේ යදම්වලින් සියලුම කීකරු මිනිසුන්ව මුදවාගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ සඳහා දෙවියන් මරණයට හේතු වෙලා තියෙන ප්රධානම දෙය එනම් පළමු මිනිසා වන ආදම්ගෙන් අපිට උරුම වෙලා තියෙන පාපය අපෙන් ඉවත් කරනවා. (රෝම 5:12) ඒ කොහොමද? යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන්.a ඉන්පසු අන්තිම සතුරා වන මරණය ‘නැති කරනවා.’ (1 කොරින්ති 15:26) මරණය නැති කළාට පස්සේ විශ්වාසවන්ත මිනිසුන්ට සදහටම මේ පොළොවේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා.
‘වේදනාව තවත් නොවන්නේය.’ (එළිදරව් 21:4) උරුම වෙලා තියෙන පාපය නිසා හැමෝම මානසිකව හා ශාරීරිකව වේදනා විඳිනවා. ඒ නිසා මිනිසුන් ඉන්නේ අන්ත අසරණ තත්වයකයි. යෙහෝවා දෙවියන් ඒ සියලුම වේදනාවන් නැති කරන්න පොරොන්දු වෙනවා.
කඳුළ, මරණය, වේදනාව නැති ජීවිතයක් ළඟදීම ලැබෙනවා. නමුත් කොහෙදිද? දෙවියන් පොරොන්දු වෙන්නේ ස්වර්ගයේ ජීවිතයක් ගැනද? නැහැ. ඒකට හේතු දෙකක් අපි දැන් බලමු. දෙවියන් කඳුළ, මරණය, වේදනාව නැති කරනවා කියන පොරොන්දුව දෙන්න කලින් කිව්වේ “දෙවිගේ කූඩාරම මිනිසා සමඟය” කියලයි. (එළිදරව් 21:3) මිනිසා ජීවත් වෙන්නේ පොළොවේ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට වෙන්නේ පොළොවෙයි. ‘මරණය තවත් නොවන්නේය’ කියලත් දෙවියන් කිව්වා. මරණය අද්දකින්නේ ස්වර්ගයේ ඉන්න අය නෙමෙයි පොළොවේ ඉන්න අයයි. මේ කරුණුවලින් පැහැදිලි වෙන්නේ ප්රීතිමත් ජීවිතයක් ගැන දෙවියන් දුන් පොරොන්දුව ඉෂ්ට වෙන්නේ මේ පොළොවේ කියලයි.
දෙවියන් දුකට හේතු වෙන හැම දෙයක්ම සහමුලින්ම නැති කරනවා
අපි ඒ පොරොන්දු විශ්වාස කරනවා දකින්න දෙවියන් කැමතියි. දෙවියන් ඒ ආශීර්වාද ගැන පොරොන්දු වුණාට පස්සේ මෙහෙම සහතික කළා. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි. . . . මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය.” (එළිදරව් 21:5) දෙවියන්ගේ ඒ පොරොන්දු ඉෂ්ට වෙනවා දකින සෙනඟ අතරේ ඔබත් ඔබේ පවුලේ අයත් ඉන්න නම් මොනවද කරන්න ඕනේ කියලා හොයලා බලන එක වටිනා දෙයක් නෙමෙයිද?
දෙසැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම
1 පේතෘස් 1-5; 2 පේතෘස් 1-3; 1 යොහන් 1-5; 2 යොහන් 1-13; 3 යොහන් 1-14; යූද් 1-25 සිට එළිදරව් 1-22 දක්වා
a යේසුස්ගේ ජීවිත පූජාව ගැන තවත් තොරතුරු දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 5වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.