ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 12/15 22-26 පි.
  • ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රොටි සහ වයින්
  • රොටිවලින් සහ වයින්වලින් නියෝජනය කරන දේ
  • යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාව
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි සමරන්නේ ඇයි?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් විදිහකට යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 12/15 22-26 පි.

‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’

“යාච්ඤාවක් ඉදිරිපත් කර [රොටියක් ගෙන] එය කඩා, ‘මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන මාගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න’ කියා කීවේය.”—1 කොරි. 11:24.

ඔබේ පිළිතුර මොකක්ද?

  • හැම අවුරුද්දකම සිහි කිරීම පවත්වන දවස තීරණය කරන්නේ කොහොමද?

  • රොටිවලින් සහ වයින්වලින් නියෝජනය කරන්නේ මොනවද?

  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වීම වැදගත් ඇයි?

1, 2. යේසුස්ගේ ගෝලයන් සිතුවේ ඔහු යෙරුසලමට යන්නේ කුමන හේතුව නිසා කියාද?

එදා තිබුණේ වලාකුළුවලින් තොර පැහැදිලි අහසක්. ඒ රාත්‍රියේ යෙරුසලමේ සිටි මුරකරුවන් අහස දෙස විමසිල්ලෙන් බලා සිටියේ නව සඳ දැකගැනීමේ බලාපොරොත්තුවෙනුයි. සඳ පායා එනවා දකිනවත් එක්කම ඔවුන් ඒ ගැන යෙරුසලමේ මන්ත්‍රණ සභාවට දන්වන්න පියවර ගන්නවා. ඒ ගැන දැනගත් මන්ත්‍රණ සභාව, නීසාන් මාසයේ ආරම්භය ගැන වූ ආරංචිය දසත පතුරුවා හරිනවා. යුදෙව්වන් ඒ ගැන එතරම් උනන්දු වුණේ තවත් දින 13කින් උදා වෙන නීසාන් 14වෙනි දින පාස්කු උත්සවය සමරන්න ඔවුන් ආශාවෙන් බලා සිටි නිසයි.

2 අවසන් වතාවට යෙරුසලම බලා යමින් සිටි යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ටත් ඒ ආරංචිය ලැබෙනවා. ඒ වෙනකොට ඔවුන් සිටියේ පෙරයාවේ. (මතෙ. 19:1; 20:17, 29; මාක් 10:1, 32, 46) යේසුස් යෙරුසලම බලා යන්නේ නීසාන් 14වෙනිදාට කලින් එහි ගොස් පාස්කුව සමරන්න කියායි ඔහුගේ ගෝලයෝ සිතුවේ.

3. අපි ආශාවෙන් බලාගෙන ඉන්නේ මොන දවස උදා වෙනකම්ද? ඒ ඇයි?

3 අපිත් 2014වෙනි අවුරුද්දේ වැදගත් දිනයක් උදා වෙන තුරු ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඒ අප්‍රියෙල් 14වෙනිදායි. පාස්කු උත්සවය පවත්වන නීසාන් 14වෙනි දිනය මේ අවුරුද්දේ යෙදිලා තියෙන්නේ එදාටයි. එදින හිරු බැස යෑමත් සමඟම අපි ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරනවා. ඒ දවස අපිට ඒ තරම් වැදගත් වෙන්නේ එය සමරන්න කියලා යේසුස් කිව්ව නිසයි. ඒ ගැන 1 කොරින්ති 11:23-25හි සඳහන් වෙන්නේ මෙහෙමයි. “යේසුස් අත්අඩංගුවට ගැනීමට පෙර රාත්‍රියේදී රොටියක් ගෙන, යාච්ඤාවක් ඉදිරිපත් කර එය කඩා, ‘මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන මාගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න’ කියා කීවේය.”

4. (අ) සිහි කිරීමට සහභාගි වෙන්න කලින් අපි උත්තර දැනගන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නවලටද? (ආ) හැම අවුරුද්දකම ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන දිනය අපි දැනගන්නේ කොහොමද? (“2014 යේසුස්ගේ මරණය සිහි කිරීම” නමැති කොටුව බලන්න.)

4 හැම අවුරුද්දකම සිහි කරන්න කියලා යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට කිව්ව එකම දේත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයයි. ඔබත් ඒකට සහභාගි වෙන්න ආශාවෙන් ඉන්නවා ඇති. ඊට කලින් මේ ප්‍රශ්නවලට උත්තර හොයලා බලමු. අපි යේසුස්ගේ මරණය සිහි කිරීමට සූදානම් වෙන්නේ කොහොමද? එහිදී පාවිච්චි කරන රොටි සහ වයින් ගැන අපි දැනගන්න ඕනෙ මොනවද? ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මොන වගේ දේවල්ද? ඒ දේවල් මට වැදගත් වෙන්නේ කොහොමද?

රොටි සහ වයින්

5. පාස්කු උත්සවය සඳහා යේසුස්ගේ ගෝලයන් සූදානම් කළේ මොනවද?

5 පාස්කු භෝජනය සඳහා කාමරයක් සූදානම් කරන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වත් ඒ කාමරය අනවශ්‍ය විදිහට සරසන්න කියලා නම් ඔහු කිව්වේ නැහැ. ඔහුට ඕනෙ වුණේ පිරිසිදු, අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණ සාමාන්‍ය කාමරයක්. (මාක් 14:12-16 කියවන්න.) මුහුන් නොදැමූ රොටි, රතු වයින් ඇතුළු පාස්කු භෝජනයට අවශ්‍ය හැම දෙයක්ම ගෝලයන් සූදානම් කළා.

6. (අ) පාස්කු භෝජනයෙන් පස්සේ යේසුස් කළේ මොකක්ද? (ආ) යේසුස්ගේ මරණය සිහි කිරීමේදී පාවිච්චි කරන්නේ මොන වගේ රොටිද?

6 එදා පාස්කු භෝජනය ගත්තට පස්සේ එතන සිද්ධ වුණ දේ මතෙව් විස්තර කරන්නේ මෙහෙමයි. ‘යේසුස් රොටියක් ගෙන යාච්ඤා කර, එය කඩා ගෝලයන්ට දුන්නේය. ඔහුද, “රැගෙන කන්න” කියා කීවේය.’ (මතෙ. 26:26) යේසුස් ඒ වෙලාවේදී යොදාගත්තේ පාස්කු උත්සවය සඳහා යොදාගත්ත මුහුන් නොදැමූ රොටියක්. (නික්. 12:8; ද්වි. 16:3) ඒවා හදලා තිබුණේ පොත්ත සහිත තිරිඟු ඇට කුඩු කර ලබාගත් පිටිවලට වතුර එකතු කරලයි. ඒකට යීස්ට්, ලුණු හෝ රසකාරක කිසිවක් එකතු කරලා තිබුණේ නැහැ. ඒ රොටිය හරියට ක්‍රැකර් බිස්කට් එකක් වගේ. පහසුවෙන්ම කඩන්න පුළුවන් වුණා. අදත් යේසුස්ගේ මරණය සිහි කරද්දී පාවිච්චි කරන්නේ ඒ වගේ රොටි. පොතු සහිත තිරිඟු පිටිවලට අවශ්‍ය තරමට වතුර දමා තුනී කර තෙල් ස්වල්පයක් දැමූ තැටියක එය පුලුස්සා ගන්න පුළුවන්. ඒ සඳහා මෝල්ට්, බිත්තර, ලූනු වගේ දේවල් එකතු කරලා නැති යුදෙව් රොටි වර්ගයද (Jewish matzoth) භාවිත කරන්න පුළුවන්. පොතු සහිත තිරිඟු පිටි හොයාගන්න අමාරු ප්‍රදේශවල හාල් පිටි, බාර්ලි පිටි හෝ ඉරිඟු පිටි වගේ පිටි වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්.

7. යේසුස්ගේ අතේ තිබුණ කුසලානයේ තිබුණේ මොනවද? සිහි කිරීමේදී යොදාගන්න ඕනෙ මොන වගේ වයින්ද?

7 ඉන්පසු යේසුස් ‘කුසලානයක් ගෙන ඒ සඳහා ස්තුති යාච්ඤාවක් කළ පසු ඔවුන්ට එය දෙමින් “ඔබ සියල්ලන්ම මෙයින් බොන්න” කියා කීවේය.’ (මතෙ. 26:27, 28) ඒ කුසලානයේ තිබුණේ රතු වයින් මිසක් නැවුම් මිදියුෂ නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? ඒකට හේතුව මිදි අස්වැන්න නෙළලා ඒ වෙනකොට සෑහෙන කාලයක් ගත වෙලා තිබුණ නිසයි. ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ පවත්වපු පාස්කුවේදී වයින් පාවිච්චි කළේ නැති වුණත් පාස්කු උත්සවයේදී වයින් භාවිත කිරීම වැරදියි කියලා යේසුස් කිව්වේ නැහැ. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අවස්ථාවේදී ඔහුත් රතු වයින් යොදාගත්තා. අද අපිත් යේසුස්ගේ මරණය සිහි කරද්දී වයින් යොදාගන්නවා. මොන වගේ වයින්ද පාවිච්චි කරන්න ඕනෙ? යේසුස්ගේ රුධිරයේ කිසිදු අඩුවක් තිබුණේ නැහැ. එහි වටිනාකම වැඩි කරන්න අලුතෙන් යමක් එකතු කරන්න අවශ්‍ය වුණෙත් නැහැ. ඒ නිසා සිහි කිරීමේදී භාවිත කළ යුත්තෙත් කිසිම අමතර දෙයක් මිශ්‍ර නොකරපු රතු වයින් විතරයි. මද්‍යසාර, බ්‍රැන්ඩි නැත්නම් කුළුබඩු එකතු කරලා තියෙන රතු වයින් ඒ සඳහා සුදුසු නැහැ. ඒ වෙනුවට නිවසේදී හදාගන්න රතු වයින් හෝ බර්ගන්ඩි ඇතුළු වෙළඳපොළෙන් ගත හැකි තවත් වයින් වර්ග කිහිපයක් (Beaujolais, Chianti) යොදාගන්න පුළුවන්.

රොටිවලින් සහ වයින්වලින් නියෝජනය කරන දේ

8. රොටිවලින් සහ වයින්වලින් නියෝජනය වෙන්නේ මොනවද කියලා අපි දැනගන්න ඕනෙ ඇයි?

8 යේසුස්ගේ මරණය සිහි කළේ යේසුස්ගේ නියෝජිතයන් විතරක් නෙවෙයි. ඔහුගේ හැම අනුගාමිකයෙක්ම එය සිහි කළ යුතුයි කියලා පාවුල් කියපු දේකින් පැහැදිලියි. පාවුල් කොරින්ති සභාවේ අයට මෙහෙම කිව්වා. ‘මට ස්වාමීන් ලබා දුන් මඟ පෙන්වීම් මම ඔබට ලබා දුන්නෙමි. එනම් ස්වාමීන් වන යේසුස් රොටියක් ගෙන, යාච්ඤාවක් ඉදිරිපත් කර එය කඩා, “මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන මාගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියා කීවේය.’ (1 කොරි. 11:23, 24) අපිත් හැම අවුරුද්දකම ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වනවා. ඒ නිසා රොටිවලින් සහ වයින්වලින් නියෝජනය වෙන්නේ මොනවද කියලා දැනගැනීම වැදගත්.

9. යේසුස් පාවිච්චි කරපු රොටි ගැන සමහරුන්ට තියෙන වැරදි වැටහීම මොකක්ද?

9 සමහර බයිබල් පරිවර්තනවල 1 කොරින්ති 11:24හි යේසුස් කියපු දේ සඳහන් වෙන්නේ ‘මේ මගේ ශරීරය’ කියලයි. ඒ නිසා ඒ අවස්ථාවේදී ආශ්චර්යයකින් ඒ රොටි යේසුස්ගේ ශරීරය බවට පත් වුණා කියලා සමහරු හිතනවා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ.a යේසුස්ගේ ශරීරය වගේම මුහුන් නොදැමූ රොටිත් ඒ වෙලාවේ ගෝලයෝ ඉදිරියේ තිබුණා. ඇත්තටම යේසුස් කිව්වේ ඒ රොටිවලින් යේසුස්ගේ ශරීරය නියෝජනය වෙනවා කියලයි. මීට කලිනුත් ඔහු උගන්වද්දී යම් දේවල් නියෝජනය කරන්න සංකේත පාවිච්චි කළා. ඔහු මේ අවස්ථාවේ කළෙත් ඒ වගේ දෙයක්.—යොහ. 2:19-21; 4:13, 14; 10:7; 15:1.

10. සිහි කිරීමේදී පාවිච්චි කරන රොටිවලින් නියෝජනය කරන්නේ මොකක්ද?

10 එක්තරා කාලෙකදී සැබෑ ක්‍රිස්තියානීන් හිතුවේ රොටිවලින් නියෝජනය වුණේ “ක්‍රිස්තුස්ගේ ශරීරය” ලෙස හඳුන්වපු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාව කියලයි. ඒකට හේතුව යේසුස්ගේ ශරීරයේ කිසිම ඇටයක් බිඳුණේ නැති නිසා කැඩුණු රොටිවලින් යේසුස්ගේ ශරීරය නියෝජනය වෙන්න බැහැ කියලා ඔවුන් හිතුව නිසයි. (එෆී. 4:12; රෝම 12:4, 5; 1 කොරි. 10:16, 17; 12:27) යේසුස් ‘මිනිසෙකු ලෙස දුක් වින්දා’ කියලත් වධකණුවේ මිය ගියා කියලත් බයිබලයේ සඳහන් වෙන කාරණා තවත් අධ්‍යයනය කරද්දී ඔවුන් තේරුම්ගත්තා ඒ රොටිවලින් නියෝජන කළේ යේසුස්ගේ මිනිස් ශරීරය කියලා. සිහි කිරීමේදී පාවිච්චි කරන රොටිවලින් ඇත්තටම නියෝජනය කළේ මිනිසුන්ගේ පව් වෙනුවෙන් යේසුස් පූජා කළ ශරීරයයි.—1 පේතෘ. 2:21-24; 4:1; යොහ. 19:33-36; හෙබ්‍රෙ. 10:5-7.

11, 12. (අ) වයින් ගැන යේසුස් කිව්වේ මොනවද? (ආ) වයින්වලින් නියෝජනය කරන්නේ මොකක්ද?

11 එහෙමනම් වයින්වලින් නියෝජනය කරන්නේ මොකක්ද? වාර්තාවේ සඳහන් වෙන විදිහට යේසුස් කුසලානයක් අරගෙන මෙහෙම කිව්වා. “මේ කුසලානයේ තිබෙන දෙයින් නියෝජනය වන්නේ මගේ රුධිරයයි. ‘අලුත් ගිවිසුම’ වලංගු වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.” (1 කොරි. 11:25) සමහර බයිබල් පරිවර්තනවල ඒ දේ සඳහන් වෙන්නේ “මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම” කියලයි. (නව අනුවාදය) ඒ නිසා සමහරු හිතනවා යේසුස් නව ගිවිසුම සමාන කළේ ඔහු අතේ තිබුණ කුසලානයට කියලා. ඒක වැරදියි. යේසුස් එතනදී කතා කළේ ඒ කුසලානයේ තිබුණ වයින් ගැනයි. එහෙම කියන්නේ ඇයි?

12 මාක් පොතේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “මෙයින් නියෝජනය වන්නේ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.” (මාක් 14:24) ඒක මතෙව් පොතේ තවත් පැහැදිලි කරලා තියෙන්නේ “පව් සමාව සඳහා බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරය” කියලයි. (මතෙ. 26:28) ‘අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට අපට හැකි වෙන්නේ’ යේසුස් තම රුධිරය මාර්ගයෙන් අප වෙනුවෙන් වන්දියක් ගෙවලා තියෙන නිසයි. (එෆීස 1:7 කියවන්න.) එහෙමනම් රතු වයින්වලින් නියෝජනය කළේ යේසුස් වැගිරෙවූ රුධිරය කියලා කිසිම සැකයක් නැහැ.

[24වන පිටුවේ පින්තූරය]

වයින්වලින් නියෝජනය කළේ අලුත් ගිවිසුම වලංගු කළ යේසුස්ගේ රුධිරයයි (11 සහ 12 ඡේද බලන්න)

යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාව

13. යේසුස්ගේ මරණය සිහි කිරීමේදී සිදු වන්නේ මොන වගේ දේවල්ද?

13 ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවට මුල් වරට සහභාගි වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඒ අවස්ථාවේ සිද්ධ වෙන දේවල් ගැන දැනගන්න කැමති ඇති. එය පවත්වන්නේ ඇති තරම් ඉඩකඩ තියෙන, පිරිසිදු ශාලාවකයි. ඒ ශාලාවේ සමහරවිට චාම් මල් සැරසිල්ලක්, දෙකක් තියෙනවා ඇරෙන්න උත්සවයකදී දකින්න තියෙන තරම් සැරසිලි නැහැ. එදාට යේසුස්ගේ මරණය සිහි කිරීම ගැන බයිබලයේ සඳහන් තොරතුරු ඇතුළත් පැහැදිලි, සරල කතාවක් වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරනවා. යේසුස් ජීවිතය පූජා කළේ ඇයි කියලත් ඔහුගේ මරණය නිසා මිනිස් වර්ගයාට ලැබෙන ආශීර්වාද ගැනත් ඒ වැඩිමහල්ලා පැහැදිලි කරනවා. (රෝම 5:8-10 කියවන්න.) ඊටපස්සේ ජීවිත පූජාව නිසා ප්‍රයෝජන ලබන කණ්ඩායම් දෙකක් ගැනත් විස්තර කරනවා.

14. සිහි කිරීමේ අවස්ථාවේදී ඉදිරිපත් කරන කතාවේ පැහැදිලි කරලා දෙන්නේ මොන කණ්ඩායම් දෙක ගැනද?

14 ඒ එක කණ්ඩායමකට අයත් වෙන්නේ යේසුස්ගේ නියෝජිතයන් ඇතුළු කුඩා පිරිසක්. ඒ අයට තියෙන්නේ යේසුස් එක්ක ස්වර්ගයේ රජවරුන් විදිහට සේවය කිරීමේ බලාපොරොත්තුවයි. (ලූක් 12:32; 22:19, 20; එළි. 14:1) අනිත් කණ්ඩායමට විශාල සෙනඟක් ඇතුළත් වෙනවා. ඔවුන්ට තියෙන්නේ පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවයි. මිනිස් වර්ගයා සඳහා දෙවිට මුලින්ම තිබුණ අරමුණ ළඟදීම ඉටු වෙනවා. එදාට දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ වගේම පොළොවේද ඉටු වෙනවා. (මතෙ. 6:10) ඒ කාලයේදී මිනිසුන් ලබන ආශීර්වාද ගැනත් කතාවේ විස්තර කරනවා.—යෙසා. 11:6-9; 35:5, 6; 65:21-23.

15, 16. සිහි කිරීමේදී රොටි යොදාගන්නේ කොහොමද?

15 ඒ දේවල් ගැන කතා කළාට පස්සේ වේදිකාවේ මේසයක් මත තියෙන රොටි සහ වයින් අතිනත යවන්න පියවර ගන්නවා. ඊට කලින් ඒ ගැන බයිබලයේ සඳහන් කොටසක් ඒ වැඩිමහල්ලා කියවනවා. සමහරවිට ඔහු මතෙව් පොතේ සඳහන් මේ කොටස කියවයි. “යේසුස් රොටියක් ගෙන යාච්ඤා කර, එය කඩා ගෝලයන්ට දුන්නේය. ඔහුද, ‘රැගෙන කන්න. මෙයින් නියෝජනය වන්නේ මගේ ශරීරයයි’ කියා කීවේය.”—මතෙ. 26:26.

16 සහෝදරයෙක් කෙටි යාච්ඤාවක් කළාට පස්සේ රොටි තියෙන පිඟන් අතිනත යවනවා. ඒ රොටි සංකේතයක් විතරක් නිසා ඒවාට අනවශ්‍ය ගෞරවයක් දැක්වීම අවශ්‍ය නැහැ. කෙටි කාලයක් ඇතුළත පිළිවෙළකට රොටි අතිනත යවනවා.

17. සිහි කිරීමේදී වයින් යොදාගන්නේ කොහොමද?

17 ඊළඟට කථිකයා යේසුස් වයින් ගැන කියපු දේ බයිබලයෙන් කියවනවා. එහි මේ වගේ දෙයක් සඳහන් වෙනවා. ‘යේසුස් කුසලානයක් ගෙන ඒ සඳහා ස්තුති යාච්ඤාවක් කළ පසු ඔවුන්ට එය දෙමින් මෙසේ කීවේය. “ඔබ සියල්ලන්ම මෙයින් බොන්න. මන්ද මෙයින් නියෝජනය වන්නේ පව් සමාව සඳහා බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.”’ (මතෙ. 26:27, 28) සහෝදරයෙක් නැවතත් කෙටි යාච්ඤාවක් කළාට පස්සේ වයින් අතිනත යවනවා.

18. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වීම වැදගත් ඇයි?

18 රොටි කන්නෙත් වයින් බොන්නෙත් යේසුස් සමඟ ස්වර්ගයේ රජවරු ලෙස සේවය කරන්න බලාපොරොත්තුවක් තියෙන අය විතරයි. අනිත් හැමෝම ඒවා අතිනත යවනවා මිසක් ඒවා කන්නේවත් බොන්නේවත් නැහැ. (ලූක් 22:28-30 කියවන්න; 2 තිමෝ. 4:18) හුඟක් අය රොටි කන්නේවත් වයින් බොන්නේවත් නැති වුණත් යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට සහභාගි වීම වැදගත් දෙයක් කියලා ඔවුන් සලකනවා. ඒ ඇයි? ඒ අවස්ථාවට සහභාගි වීමෙන් ඔවුන් පෙන්වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව මොන තරම් අගය කරනවද කියන එකයි. සිහි කිරීමේ අවස්ථාවේදී ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව නිසා ලැබෙන ආශිර්වාද ගැන හිතනවා. උදාහරණයකට ඉදිරියේදී එන “මහත් පීඩාවෙන්” බේරෙන ‘මහත් සමූහයේ’ සාමාජිකයන් වෙන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන ඔවුන් හිතනවා. ඔවුන් ‘බැටළු පැටවාගේ රුධිරයෙන් තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන නිසා’ දෙවි එදාට ඔවුන්ව සලකන්නේ ධර්මිෂ්ඨයන් විදිහටයි.—එළි. 7:9, 14-17.

19. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරන්න ඔබ සූදානම් වෙන්නේ කොහොමද?

19 ලෝකෙ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරන්න සූදානම් වෙන්නේ කොහොමද? ඒක පවත්වන්න සති කිහිපයකට කලින් ඉඳලම ඒ සඳහා සහභාගි වෙන්න කියලා අපි පුළුවන් තරම් දෙනෙකුට ආරාධනා කරනවා. ඒ වගේම යේසුස් ක්‍රි.ව. 33දී ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන්න කලින් සිදු වුණ සිදුවීම් ගැන අපි බයිබලයෙන් කියවනවා. එදාට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්නත් ශාලාවට කලින්ම ගිහින් අලුතෙන් එන අයව පිළිගන්නත් සම්පූර්ණ වැඩසටහනට හවුල් වෙන්නත් අපි උත්සහ කරමු. කථිකයා බයිබල් පද කියවද්දී අපේ බයිබලයෙන් ඒ පද පෙරළලා කියවමු. අලුත් අයටත් ඒ සඳහා උදව් කරමු. යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වීමෙන් යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලත් “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලා යේසුස් දුන්න ආඥාවට කීකරු වෙනවා කියලත් පෙන්වන්න අපිට පුළුවන්.—1 කොරි. 11:24.

a “යේසුස් ඔවුන් ඉදිරියේ ඇත්තටම හිටපු නිසා තමන් යේසුස්ගේ ශරීරය ආහාරයට ගන්නවා කියලවත් ඔහුගේ රුධිරය පානය කරනවා කියලවත් ගෝලයන් හිතුවේ නැහැ. ඒ වගේම යේසුස් ඒ වචන පාවිච්චි කළේ රොටිවලින් සහ වයින්වලින් නියෝජනය කරපු දේ ඔවුන්ට සරලව තේරුම් කරලා දෙන්නයි” කියලා ජර්මන් ජාතික විශාරදයෙක් වුණ හයින්රික් මයර් කිව්වා.

2014 යේසුස්ගේ මරණය සිහි කිරීම

හැම මාසයකටම වතාවක් සඳ පොළොව වටා ගමන් කරනවා. ඒ අතර එක්තරා නිශ්චිත අවස්ථාවකදී සඳ පොළොවත් හිරුත් අතරමැද පිහිටනවා. ඒ අවස්ථාව හඳුන්වන්නේ “අමාවක” කියලයි. නැවත සඳ පොළොවට පේන්නේ ඒ අවස්ථාවේ ඉඳලා පැය 18ත් 30ත් අතර කාලයක් ගියාට පස්සෙයි. එය හඳුන්වන්නේ “නව සඳ” කියලයි.

හැම අවුරුද්දකම වසන්ත සමයේ එක්තරා දවසක දහවල් කාලයයි රාත්‍රි කාලයයි හරියට එක සමාන කාලයක් පවතිනවා. ඒ දවසට කිට්ටුම අමාවක 2014දී යෙරුසලමට හරියටම යෙදිලා තියෙන්නේ මාර්තු 30වෙනිදා පස්වරු 8:45ටයි. ඊටපස්සේ මුල්ම හිරු බැස යෑම සිද්ධ වෙන්නේ පැය 21කට පසුවයි. මාර්තු 31වෙනි ඒ දවසේ හිරු බැස යෑමත් සමඟම සඳ දකින්න ලැබෙයි කියලා හිතන්න බැහැ. සිහින් රිදී රේඛාවක් වගේ නව සඳ පේන්න පටන්ගන්නේ අප්‍රියෙල් 1වෙනිදා හිරු බැස යෑමත් එක්කයි. ඒ නිසා නීසාන් 1වෙනිදා හැටියට ගණන් ගන්නේ අප්‍රියෙල් 1වෙනිදා හිරු බැස ගියාට පස්සෙයි.

ඒ විදිහට බලද්දී 2014 නීසාන් 14වෙනිදා පටන්ගන්නේ අප්‍රියෙල් 14වෙනිදා හිරු බැස යෑමත් එක්කයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්නේ එදාටයි.—ඒ දිනය ගණන් කරන විදිහ ගැන වැඩි විස්තර දැනගන්න 1977 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ 383-384 පිටු බලන්න. (සිංහලෙන් නැත.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න