තුරුණු වියේදී නැණවත් තීරණ ගන්න
‘තරුණ තරුණියෙනි, යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න.’—ගීතා. 148:12, 13.
1. හුඟක් යෞවනයන් සතුටක් ලබන්නේ මොන වගේ දේවල් කරලද?
අපි ජීවත් වෙන්නේ වෙන කවරදාකටත් වඩා මිලියන ගාණක් අය සත්‍ය නමස්කාරය වෙත ඇදී එන කාලයකයි. (එළි. 7:9, 10) දෙවි ගැන ඉගෙනගන්න මිනිසුන්ට උදව් කිරීමෙන් හුඟක් යෞවනයන් ලොකු සතුටක් ලබනවා. (එළි. 22:17) සමහරු බයිබල් පාඩම් පවත්වනවා. තවත් අය වෙනත් භාෂා කතා කරන අය ඉන්න ප්‍රදේශවල දේශනා කරනවා. (ගීතා. 110:3; යෙසා. 52:7) ඔයාත් තරුණ වයසේ ඉන්න කෙනෙක්ද? ඒ අය වගේ ප්‍රීතියෙන් දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න ඔයාටත් පුළුවන්ද?
2. යෞවනයන්ට වගකීම් දෙන්න දෙවි කැමැත්තෙන් ඉන්නවා කියලා තිමෝතිගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
2 ඔයා දැන් හරි තීරණ ගත්තොත් අනාගතයේදී දෙවිගේ සේවයේ හුඟක් දේවල් කරන්න ඔයාට අවස්ථාව ලැබෙයි. තිමෝති නිවැරදි තීරණ ගත්ත නිසා යෞවන වයසේදීම වෙනත් රටවලට ගිහින් සේවය කරන්න එයාට අවස්ථාව ලැබුණා. (ක්‍රියා 16:1-3) විරුද්ධවාදිකම් නිසා තෙසලෝනික සභාව අත්හැරලා වෙනත් තැනකට යන්න පාවුල්ට සිද්ධ වුණත් ඒ සභාවේ අයව ශක්තිමත් කරන්න පාවුල් යැව්වේ තිමෝතිව. ඒ වෙනකොට මිෂනාරි ගමන්වලට හවුල් වෙන්න තිමෝතිව තෝරගෙන වැඩි කාලයක් ගිහින් තිබුණේ නැහැ. (ක්‍රියා 17:5-15; 1 තෙස. 3:1, 2, 6) තිමෝතිට ඒ පැවරුම ගැන කොහොම හැඟෙන්න ඇද්ද?
ජීවිතේ හොඳම තීරණය
3. ජීවිතේ ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණය මොකක්ද? ඒක ගන්න හොඳම කාලය මොකක්ද?
3 තුරුණු විය කියන්නේ ජීවිත කාලයටම බලපාන තීරණ ගන්න කාලයයි. ඒත් හැම තීරණයකටම වඩා වැදගත්ම තීරණය යෙහෝවා දෙවිට සේවය කරන්න ගන්න තීරණයයි. බයිබලයේ කියන්නේ “යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න” කියලයි. (දේශ. 12:1) දෙවිව සිහි කරන්න පුළුවන් හොඳම විදිහ උපරිමයෙන් ඔහුට සේවය කිරීමයි. (ද්වි. 10:12) ඒක තමයි ඔයාගේ ජීවිතේ තියන තුරාවට ගන්න පුළුවන් හොඳම තීරණය. ඔයාගේ ඉදිරි අනාගතයම රැඳිලා තියෙන්නේ ඒ තීරණය මතයි.—ගීතා. 71:5.
4. දෙවිට වැඩියෙන් සේවය කරන්න ඔයා ගන්න තීරණයට බලපාන අනිත් තීරණ මොනවද?
4 ඔයාගේ අනාගතයට බලපාන එකම තීරණය දෙවිට සේවය කරන්න ගන්න තීරණය විතරක් නෙවෙයි. ඔයා විවාහ වෙනවද විවාහ වෙනවා නම් කා එක්කද කරන්නේ මොන වගේ රැකියාවක්ද වගේ දේවල් ගැන ගන්න තීරණත් ජීවිතේ වැදගත් තීරණ. ඒත් දෙවිට වැඩියෙන් සේවය කරන්න ගන්න තීරණය ඒ තීරණවලට කලින් ගන්න එක ඥානවන්ත දෙයක්. (ද්වි. 30:19, 20) මොකද අපේ ජීවිතේ ගන්න වැදගත් තීරණ එකකට එකක් සම්බන්ධයි. උදාහරණයකට ඔයා විවාහය ගැන, රැකියාව ගැන ගන්න තීරණය දෙවිට වැඩියෙන් සේවය කරන්න ඔයා ගන්න තීරණයට බලපානවා. (ලූක් 14:16-20 බලන්න.) ඒ වගේම දෙවිට වැඩියෙන් සේවය කරන්න ගන්න තීරණය විවාහය, රැකියාව ගැන ගන්න තීරණවලට බලපානවා. ඒ නිසා ජීවිතේ වැදගත්ම තීරණය මුලින්ම ගන්න.—ෆිලි. 1:10.
ඔයාගේ තීරණය මොකක්ද?
5, 6. හරි තීරණ ගත්තොත් දෙවිට වැඩියෙන් සේවය කරන්න පුළුවන් කියලා පැහැදිලි වෙන අද්දැකීමක් කියන්න. (මේ සඟරාවේම “පොඩි කාලේ ගත්ත තීරණයක්” කියන ලිපියත් බලන්න.)
5 දෙවිට සේවය කරන්න තීරණයක් ගත්තට පස්සේ මුලින්ම දෙවි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා තේරුම්ගන්න. ඊළඟට ඒ දේ කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න. ජපානයේ හිටපු සහෝදරයෙක් මෙහෙම කියනවා. “දවසක් මම සභාවේ වැඩිමහල්ලෙක් එක්ක සේවයේ ගියා. එතකොට මට වයස 14ක් විතර ඇති. මං සේවයේ යන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා එයාට තේරුණාම එයා මට ආදරයෙන් මෙහෙම කිව්වා. ‘යූයිචිරෝ, ඔයා දැන් ගෙදර යන්න. ගෙදර ගිහින් යෙහෝවා දෙවි ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතන්න.’ එයා කියපු විදිහටම මං කළා. දවස් ගාණක්ම මං ඒ ගැන හිතුවා. දෙවිට යාච්ඤා කළා. වැඩි දවසක් යන්න කලින් දෙවිට සේවය කරද්දී මං ලොකු සතුටක් ලබනවා කියලා මට තේරුණා. මිෂනාරි සේවය කරපු අයගේ අද්දැකීම් මං කියෙව්වේ හුඟක් ආසාවෙන්.
6 “මටත් ඕනෙ වුණේ කවදා හරි දවසක වෙන රටකට ගිහින් දෙවිට වැඩියෙන් සේවය කරන්න. මම ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්තෙත් ඒ ඉලක්කය ඔළුවේ තියාගෙනයි. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට පස්සේ මං පුරෝගාමි සේවය පටන්ගත්තා. මගේ වියදම් පිරිමහගත්තේ ඉංග්‍රීසි පන්ති පවත්වලයි. වයස 20දී විතර මං මොංගෝලියානු භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. ඒ භාෂාව කතා කරන කණ්ඩායමක් ඉන්න තැනකට යන්නත් මට එක පාරක් අවස්ථාව ලැබුණා. ඊට අවුරුදු දෙකකට පස්සේ මං මොංගෝලියාවට ගියා. ශුභාරංචිය අහන්න මිනිසුන් කොයි තරම් ආසාවකින් ඉන්නවද කියලා මට තේරුණේ එතකොටයි. මං 2008 අප්‍රියෙල් මාසේ ඉඳන් මොංගෝලියාවේ පදිංචි වෙලා පුරෝගාමි සේවය කරනවා. මෙහෙ ජීවිතේ ලේසි නැහැ. ඒත් මේ රටේ අයට දෙවිට ළං වෙන්න උදව් කරන එකෙන් මං ලබන්නේ ලොකු සතුටක්. මං හිතන්නේ ජීවිතේ ගන්න පුළුවන් හොඳම තීරණය මං ගත්තා කියලයි.”
7. ඔයාම ගන්න ඕනේ තීරණ මොනවද? මෝසෙස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?
7 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ඔයාගේ ජීවිතේ ගත කරන්න ඕනේ කොහොමද කියලා තීරණයක් ගන්න ඕනේ ඔයාමයි. (යොෂු. 24:15) විවාහ වෙන්න කියලවත් එපා කියලවත් විවාහ වෙන්න ඕනේ කා එක්කද කියලවත් තෝරගන්න ඕනේ රැකියාව මොකක්ද කියලවත් ඔයාට කියන්න අපිට බැහැ. ඔයා රැකියාවක් කරන්න හදාරන්න ඕනේ දීර්ඝ කාලීන පාඨමාලාවක්ද කෙටි කාලීන එකක්ද කියලා කියන්නත් අපිට බැහැ. මොකද එක් එක් කෙනාගේ පෞද්ගලිකත්වයන්, අද්දැකීම්, හැකියාවන්, උනන්දු වෙන දේවල් විතරක් නෙවෙයි දෙවි කෙරෙහි තියෙන විශ්වාසයත් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. සමහර තරුණ අය දුප්පත් ගම්වලත් තවත් අය ධනවත් නගරවලත් ජීවත් වෙනවා. ඔයගොල්ලොත් හරියට ඊජිප්තුවේ හිටපු හෙබ්‍රෙව් තරුණයෝ වගේ. එදා තරුණ මෝසෙස්ට රජ මැදුරේ හැම සැප සම්පතක්ම තිබුණා. අනිත් අය වහලුන් විදිහට දුක් වින්දා. (නික්. 1:13, 14; ක්‍රියා 7:21, 22) ඒත් ඒ හැමෝටම තමන් දෙවිට සේවය කරනවද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න සිද්ධ වුණා. මෝසෙස් ගත්තේ හරි තීරණය.—නික්. 19:4-6; හෙබ්‍රෙව් 11:24-27 කියවන්න.
8. හරි තීරණ ගන්න දෙවි ඔයාට උදව් කරන්නේ කොහොමද?
8 ඔයා මොන තත්වයක හිටියත් හරි තීරණ ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙවි දීලා තියෙනවා. (ගීතා. 32:8) ඒ විතරද ඒ ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්න ඔයාට උදව් කරන්න ඔයාගේ දෙමව්පියන්වත් සභාවේ වැඩිමහල්ලන්වත් දෙවි දීලා තියෙනවා. (හිතෝ. 1:8, 9) ඒ බයිබල් ප්රතිපත්තිවලින් තුනක් ගැන දැන් බලමු.
බයිබල් ප්‍රතිපත්ති තුනක්
9. (අ) තීරණ ගන්න දෙවි අපිට නිදහස දීලා තියෙන්නේ ඇයි? (ආ) දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙද්දී ලැබෙන ආශීර්වාද මොනවද?
9 දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. (මතෙව් 6:19-21, 24-26, 31-34 කියවන්න.) දේශනා සේවයට කොච්චර කාලයක් කැප කරන්න ඕනෙද කියලා දෙවි ඔයාට කියන්නේ නැහැ. ඒ තීරණය ගන්න දෙවි ඔයාට නිදහස දීලා තියෙනවා. ඒත් දේවරාජ්‍යයට මුල් තැන දෙන එක ගැන යේසුස් දුන්න ප්‍රතිපත්තිය අදාළ කරගත්තොත් ඔයා දෙවිට කොච්චර ආදරේද කියලත් අනිත් අය ගැන ඔයා කොයි තරම් සැලකිල්ලක් දක්වනවද කියලත් සදාකාල ජීවිතය ගැන තියෙන බලාපොරොත්තුව ඔයාට කොච්චර වටිනවද කියලත් පෙන්නන්න පුළුවන්. ‘විවාහය, රැකියාව ගැන මං ගන්න තීරණ නිසා මට මිල මුදල් ගැන කනස්සලු වෙවී ඉන්න වෙයිද නැත්නම් දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න මට පුළුවන් වෙයිද’ කියලා හිතන්න.
10. යේසුස් ජීවිතේ සතුටින් ගත කළේ ඇයි? සතුට අද්දකින්න ඔයා ගන්න ඕනේ මොන වගේ තීරණද?
10 අන් අයට සේවය කරලා සතුටක් ලබන්න. (ක්‍රියා 20:20, 21, 24, 35 කියවන්න.) සතුටින් ජීවිතේ ගත කරන්න යේසුස්ට පුළුවන් වුණේ තමන්ගේ කැමැත්තට වඩා ඔහු දෙවිගේ කැමැත්ත ගැන හිතපු නිසයි. සෙනඟ ශුභාරංචියට ඇහුම්කන් දෙද්දී ඔහු සතුටු වුණා. (ලූක් 10:21; යොහ. 4:34) අනිත් අයට උදව් කරද්දී මොන තරම් සතුටක් දැනෙනවද කියලා ඔයාත් අද්දැකලා ඇති. වැදගත් තීරණ ගද්දී යේසුස් කියලා දුන්න ඒ ප්‍රතිපත්තිය ගැන හිතලා තීරණ ගන්නවා නම් ඒකෙන් යෙහෝවා දෙවිටත් ඔයාටත් ලොකු සතුටක් ලැබෙනවා.—හිතෝ. 27:11.
11. දෙවිට සේවය කරන එකෙන් සතුටක් ලබන්න බාරුක්ට බැරි වුණේ ඇයි? දෙවි ඔහුට දුන්න උපදෙස මොකක්ද?
11 අපිට වැඩිම සතුටක් ලැබෙන්නේ යෙහෝවා දෙවිට සේවය කිරීමෙනුයි. (හිතෝ. 16:20) යෙරෙමියාගේ ලේකම් බාරුක් ගැන ඔයාට මතකද? එක අවස්ථාවකදී ඔහු දෙවිට සේවය කරන එකෙන් සතුටක් ලබනවට වඩා වෙනත් දේවල් ගැන උනන්දු වෙන්න පටන්ගත්තා. ඒ ගැන දෙවි ඔහුට කිව්වේ මෙහෙමයි. ‘ඔබ, ඔබ ගැනම සිතමින් ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින්නෙහිය. බාරුක්, තවදුරටත් එසේ නොකරන්න. මන්ද සියලුදෙනා පිටට මම මහත් විපතක් ගෙනෙන්නෙමි. නමුත් ඔබ යන සෑම තැනකදීම මම ඔබේ ජීවිතය ආරක්ෂා කරන්නෙමි.’ (යෙරෙ. 45:3, 5) ඔයා මොකක්ද හිතන්නේ? බාරුක්ට සතුටක් ලැබෙන්න ඇත්තේ තමන්ටම බොහෝ දේවල් ලබාගන්න එකෙන්ද නැත්නම් දෙවි කැමති විදිහට ජීවත් වෙලා යෙරුසලමේ විනාශයෙන් බේරෙන එකෙන්ද?—යාකො. 1:12.
12. රාමිරෝට වැඩි සතුටක් ලබන්න පුළුවන් වුණේ කොහොමද?
12 අනිත් අයට සේවය කිරීමෙන් සතුටක් ලබපු සහෝදරයෙක් වුණ රාමිරෝ මෙහෙම කියනවා. “අපේ පවුලේ අය හුඟක් දුප්පත්. මාව විශ්වවිද්‍යාලයට තේරුණාම මගේ අයියා මට වියදම් කරන්න ඉදිරිපත් වුණා. ඒක මට ලැබුණ ලොකු අවස්ථාවක්. එතකොට මං බව්තීස්ම වෙලා වැඩි දවසක් නැහැ. ඔය අතරේ මට ආරාධනාවක් ලැබුණා පුරෝගාමි සහෝදරයෙක් එක්ක පොඩි නගරයකට ගිහින් සේවය කරන්න. මං ඒකට කැමති වුණා. එහෙට ගියාට පස්සේ මං කොණ්ඩේ කපන්න ඉගෙනගෙන බාබර් සාප්පුවකුත් පටන්ගත්තා. මං වියදම් පිරිමහගත්තේ ඒකෙන්. බයිබලයේ තියෙන කාරණා දැනගන්න කැමැත්තෙන් හිටපු හුඟදෙනෙක් ඒ නගරේ හිටියා. ඔය අතරේ එක ගෝත්‍රික භාෂාවක් කතා කරන සභාවක් අලුතෙන් පටන්ගත්තා. සේවය කරන්න මං ඒ සභාවට ගියා. පහුගිය අවුරුදු 10 තිස්සේම මං පූර්ණකාලීනව දෙවිට සේවය කරනවා. ඒකෙන් මං ලබන සතුට තරම් සතුටක් මට වෙන කිසිම රස්සාවකින් ලැබෙන්නේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි.”
තරුණ කාලයේ සිටම දෙවිට සේවය කිරීමෙන් රාමිරෝ ලොකු සතුටක් ලබනවා (12 ඡේදය බලන්න)
13. පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න හොඳම කාලය තරුණ කාලය කියලා කියන්නේ ඇයි?
13 තරුණ වියේදී දෙවිට සේවය කරලා සතුටක් ලබන්න. (දේශනාකාරයා 12:1 කියවන්න.) මුලින් හොඳ රස්සාවක් කළොත් මට පස්සේ කාලයක දෙවිට සේවය කරන්න පුළුවන් කියලා හිතන්න එපා. පූර්ණකාලීන සේවය පටන්ගන්න හොඳම කාලය යෞවන කාලයයි. පවුල් වගකීම් අඩු නිසාත් හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉන්න නිසාත් අනිත් අයට කරන්න අමාරු වගකීම් වුණත් කරන්න සමහර තරුණයන්ට පුළුවන්. පුරෝගාමියෙක් වෙන්න, ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න නැත්නම් ඔයා ඉන්න සභාවේම වැඩි සේවයක් කරන්න ඔයාට පුළුවන්ද? ඒ මොන දේ කළත් ඔයාගේ වියදම් පියවගන්න ඔයාට ආදායම් මාර්ගයක් තියෙන්න ඕනේ.
බයිබල් ප්‍රතිපත්තිවලට අනුව තීරණ ගන්න
14. යෞවනයන් පරෙස්සම් වෙන්න ඕනේ මොනවා ගැනද?
14 ආදායම් මාර්ගයක් ගැන හිතද්දීත් අපි බලපු ඒ බයිබල් ප්‍රතිපත්ති තුන අදාළ කරගන්න පුළුවන්. ඔයාගේ ගුරුවරුන්ට අද තියෙන රැකියාවන් ගැන හොඳ දැනුමක් ඇති. ඒ වගේම රැකියා අවස්ථා ගැන ඔයාව දැනුවත් කරන ආයතනත් ඕනේ තරම් තියෙනවා. ඒවා ප්‍රයෝජනවත් වුණත් ඔයා පරෙස්සම් වෙන්න ඕනේ. ඒ අයට දෙවි ගැන ආදරයක් නැහැ. ඒ අය සල්ලි හොයන්න, හොඳ රස්සාවක් කරන්න ඔයාගේ හිතේ ආසාවක් ඇති කරන්න ඉඩ තියෙනවා. (1 යොහ. 2:15-17) ඔයා පරෙස්සම් වුණේ නැත්නම් මේ ලෝකය මවලා පෙන්නන දේවලට ඔයා ලේසියෙන්ම රැවටෙයි.—හිතෝපදේශ 14:15 කියවන්න; යෙරෙ. 17:9.
15, 16. රැකියාවක් ගැන තීරණයක් ගද්දී ඔයාට හොඳම උපදෙස් දෙන්න පුළුවන් කාටද?
15 රැකියා අවස්ථා කිහිපයක් ගැන තොරතුරු හොයාගත්තට පස්සේ දන්න කියන අයගෙන් ඒ ගැන උපදෙස් ගන්න අමතක කරන්න එපා. (හිතෝ. 1:5) බයිබල් ප්‍රතිපත්තිවලට අනුව තීරණයක් ගන්න හොඳ උපදෙස් ගන්න පුළුවන් කාගෙන්ද? ඔයාටත් යෙහෝවා දෙවිටත් ආදරේ කරන, ඔයා ගැන හොඳට දන්න අය දෙන මඟ පෙන්වීම් පිළිගන්න. ඔයාට තියෙන හැකියාවන් ගැන, ඒවා පාවිච්චි කරන්න පුළුවන් විදි ගැන, ඔයා ඇත්තටම ඒ තීරණය ගන්නේ ඇයි කියලා හරියටම දන්නේ ඒ අයයි. ඔයාට තියෙන ඉලක්ක ගැන ආයෙත් හොඳට හිතලා බලන්න ඒගොල්ලෝ කියන දේවල් සමහරවිට උදව් වෙයි. යෙහෝවා දෙවිට ආදරේ කරන දෙමව්පියන් ඔයාට ඉන්නවා නම් ඒක කොච්චර වටින දෙයක්ද! සභාවේ වැඩිමහල්ලන්ගෙනුත් මඟ පෙන්වීම් ගන්න ඔයාට පුළුවන්. පුරෝගාමීන්, සංචාරක සේවකයන් එක්ක කතා කරන්න. ඒ අය පූර්ණකාලීන සේවය තෝරගත්තේ ඇයි කියලා අහන්න. ඒ අය සේවය පටන්ගත්තේ කොහොමද කියලත් වියදම් පිරිමහගන්න කළේ මොනවද කියලත් අහන්න. ඒ අය ලබන සතුට, තෘප්තිය ගැන අහන්නත් අමතක කරන්න එපා.—හිතෝ. 15:22.
16 ඔයාට හොඳම උපදෙස් දෙන්න පුළුවන් ඔයා ගැන දන්න අයටයි කියලා කියන්නේ ඇයි? මෙහෙම හිතන්න. ඔයා ඉස්කෝලෙ ඉහළ පන්තිවල ඉගෙනගන්න එක නවත්තලා පුරෝගාමි සේවය පටන්ගන්න හදන්නේ මහන්සි වෙලා පාඩම් වැඩ කරන්න තියෙන අකමැත්ත නිසාද? ඔයා ගැන හොඳට දන්න කෙනෙක්ට ඔයාගේ හිතේ තියෙන ඒ දේ තේරෙයි. ඒ නිසා දිගටම ඉස්කෝලෙ යන එකේ වටිනාකම එයා ඔයාට පෙන්නලා දෙයි. එහෙම කළොත් දෙයක් අමාරු වුණාම ඉක්මනින් ඒක අතහැරලා දාන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරන එක කොයි තරම් වටිනවද කියන පාඩම ඔයාට ඉගෙනගන්න පුළුවන් කියලත් එයා කියයි. දෙවිට සේවය කරන්න ඒ පාඩම ඔයාට ගොඩක් උදව් වෙයි.—ගීතා. 141:5; හිතෝ. 6:6-10.
17. අපි වළකින්න ඕනේ මොන වගේ තීරණ ගන්න එකෙන්ද?
17 අපිව දෙවිගෙන් ඈත් කරන්න හදන පෙලඹීම්වලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. (1 කොරි. 15:33; කොලො. 2:8) ඒත් සමහර රැකියාවන් නිසා දෙවිගෙන් ඈත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ රැකියාවන් තෝරගත්ත නිසා ‘නැවක් මුහුදුබත් වෙනවා වගේ තමන් තුළ තිබෙන විශ්වාසය විනාශ කරගත්ත’ අය ගැන ඔයා දන්නවද? (1 තිමෝ. 1:19) ඔයාට එහෙම වෙනවට ඔයා කැමති නැහැ නේද? එහෙමනම් දෙවිගෙන් ඔයාව ඈත් කරන ඒ වගේ තීරණ ගන්න එපා.—හිතෝ. 22:3.
දෙවිට සේවය කරමින් තුරුණු වියේ සතුට විඳින්න
18, 19. වැඩියෙන් දෙවිට සේවය කරන්න ඕනේ කියලා ඔයාට හිතෙන්නේ නැත්නම් මොනවද කරන්න පුළුවන්?
18 ඔයා හරි තීරණ ගත්තොත් ඔයාගේ තරුණ කාලයේදී දෙවිට සේවය කරලා උපරිම සතුටක් ලබන්න පුළුවන් කියන එක නම් නිසැකයි. ඒ නිසා මේ තීරණාත්මක කාලයේ ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණය අරන් දෙවිට වැඩියෙන් සේවය කරන්න.—ගීතා. 148:12, 13.
19 ඒත් වැඩියෙන් දෙවිට සේවය කරන්න ඕනේ කියලා ඔයාට තවමත් හිතෙන්නේ නැත්නම් මොනවද කරන්න පුළුවන්? දෙවි ගැන තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඔයා දරන උත්සාහය අත්හරින්න එපා. පාවුල් මෙහෙම කිව්වා. “ඔබට තිබෙන ආකල්පය යම් පැතිවලින් වෙනස් කරගත යුතු නම් තිබිය යුතු නිවැරදි ආකල්පය කුමක්ද කියා දෙවි ඔබට හෙළි කරනු ඇත. මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙමු.” (ෆිලි. 3:15, 16) යෙහෝවා දෙවි ඔයාට කොච්චර ආදරේද කියලත් ඔහුගේ ප්‍රඥාවන්ත උපදෙස්වලින් ඔයාට කොයි තරම් ප්‍රයෝජන ලැබෙනවද කියලත් හොඳට හිතන්න. ලස්සන තුරුණු වියේ ඔයාට ගන්න පුළුවන් නිවැරදිම තීරණය ගන්න ඔයාට උදව් කරන්න අපේ ආදරණීය දෙවි යෙහෝවාට පුළුවන්.