ජීවිත කතාව
පූර්ණකාලීන සේවයෙන් ලැබුණු ආශීර්වාද
පූර්ණකාලීනව දෙවිට සේවය කරපු පහුගිය අවුරුදු 65 දිහා හැරිලා බලද්දී ඒ කාලය සතුටින් පිරුණු එකක් කියලා මට සහතිකවම කියන්න පුළුවන්. ප්‍රශ්න ඇති වුණු, අධෛර්යය වුණු දවස් තිබුණේ නැතුවම නෙමෙයි. (ගීතා. 34:12; 94:19) ඒත් ඒ කාලය පුරාම මං ගත කළේ තෘප්තිමත් ජීවිතයක්.
1950 සැප්තැම්බර් 7වෙනිදා බෘක්ලින් බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වෙන්න මට අවස්ථාව ලැබුණා. විවිධ ජාතීන්වලට අයත් අවුරුදු 19ත් 80ත් අතර වයස්වල හිටපු 355දෙනෙක් එතකොට බෙතෙල් එකේ සේවය කළා. ඒ අයගෙන් හුඟදෙනෙක් අභිෂේක ලත් අය.
සේවයේ ආරම්භය
වයස අවුරුදු 10දී බව්තීස්ම වුණ දා
අපේ ‘ප්‍රීතිමත් දෙවිට’ සේවය කරන්න මං ඉගෙනගත්තේ මගේ අම්මාගෙන්. (1 තිමෝ. 1:11) එයා දෙවිට සේවය කරන්න පටන්ගන්නකොට මම හරිම පොඩියි. 1939 ජූලි පළවෙනිදා ඇමරිකාවේ කොලොම්බස්වල තිබුණ කලාපීය එක්රැස්වීමකදී (දැන් කියන්නේ දෙදින චාරිකා සමුළුව කියලයි.) මම බව්තීස්ම වුණා. එතකොට මට වයස 10යි. එදා ඒ ශාලාවේ හිටපු සියයක් විතර පිරිස සහෝදර රදෆර්ඩ්ගේ පටිගත කරපු දේශනයකට සවන් දෙමින් හිටියා. ඔය අතරේ කලහකාරී පිරිසක් එකපාරටම අපි හිටපු ශාලාවට කඩා වැදිලා අපේ රැස්වීම නවත්තන්න කියලා අපිට බල කළා. අපිව නගරෙන් එළවලත් දැම්මා. ඊටපස්සේ අපි හැමෝම ඒ නගරෙට කිට්ටුව තිබුණු අපේ සහෝදරයෙක්ගේ ගොවිපොළකට එකතු වෙලා කතාවේ ඉතුරු ටික ඇහුවා. මම බව්තීස්ම වුණ දවසේ වුණු ඒ සිද්ධිය නම් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.
මගේ අම්මා මාව සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ඇතිදැඩි කරන්න හුඟක් උත්සාහ කළා. මගේ තාත්තාත් හොඳ කෙනෙක්. ඒත් එයා ආගමට එච්චර ලැදි කෙනෙක් නෙමෙයි. අම්මායි ඔමහාවල තිබුණ සභාවේ හිටපු සහෝදර සහෝදරියනුයි තමයි සත්‍ය මාර්ගයේ ගමන් කරන්න මට හුඟක් උදව් කළේ.
අනාගතය ගැන ගත්ත තීරණය
පාසැල් ජීවිතය ඉවර වේගෙන එද්දී මගේ අනාගතය ගැන මට තීරණයක් ගන්න වුණා. ඒ වෙනකොටත් ඉස්කෝලෙ නිවාඩු මාසවලදී සභාවේ මගේ වයසේ හිටපු අයත් එක්ක මං සහායක පුරෝගාමි සේවය කරකරයි හිටියේ.
ඔය කාලෙදී හත්වෙනි ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු ජෝන් චිමික්ලිස් හා ටෙඩ් ජැරස් කියන තනිකඩ සහෝදරයන් දෙන්නා අපේ පැත්තේ සංචාරක සේවය කරන්න ආවා. ඒ දෙන්නාට වයස 25ක්වත් නැහැ කියලා දැනගත්තම මම පුදුම වුණා. එතකොට මගේ වයස 18යි. ඉස්කෝලෙන් අයින් වෙන්න වැඩි දවසක් තිබුණේ නැහැ. ‘ඔයා මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ’ කියලා සහෝදර චිමික්ලිස් අහපු දවස මට තවමත් මතකයි. එයා එදා මට මෙහෙම කිව්වා. “ඉස්කෝලෙ ගමන නැවැත්තුවට පස්සේ ඔයා පුරෝගාමි සේවය පටන්ගන්න. එහෙම කළොත් ඔයාට හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලැබෙයි.” ඒ අවවාදයත් ඒ සහෝදරයන්ගේ ආදර්ශයත් මට හුඟක් බලපෑවා. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ 1948දී මම පුරෝගාමි සේවය පටන්ගත්තා.
ලැබුණු ආරාධනාව
1950 ජූලි මාසෙදී මං මගේ අම්මායි තාත්තායි එක්ක නිව් යෝර්ක්වල යැංකි ක්‍රීඩාංගණයේ තිබුණු ජාත්‍යන්තර සමුළුවකට ගියා. ඒ සමුළුවේ තිබුණා බෙතෙල් එකේ සේවය කරන්න ආසාවෙන් ඉන්න අයට රැස්වීමක්. මං ඒකට සහභාගි වෙලා බෙතෙල් එකේ සේවය කරන්න කැමතියි කියලා සඳහන් කරපු අයදුම්පතක් යැව්වා.
පුරෝගාමි සේවය කරන එකට තාත්තා විරුද්ධ වුණේ නැතත් ගෙදර වියදමට යම් මුදලක් දෙන්න කියලා එයා කිව්වා. ඒ නිසා අගෝස්තු මාසේ දවසක මං පොඩි රස්සාවක් හොයන්න හිතාගෙන ගෙදරින් එළියට බැහැලා නිකමට වගේ අපේ ලියුම් පෙට්ටිය ඇරලා බැලුවා. ඒකෙ තිබුණා බෘක්ලින්වලින් ආපු ලියුමක්. සහෝදර නේදන් එච්. නෝර් එවලා තිබුණු ඒ ලියුමේ මේ වගේ දෙයක් තිබුණා. “ඔයා බෙතෙල් සේවයට කැමතියි කියලා දීලා තිබුණු අයදුම්පත අපිට ලැබුණා. ඔයා හැමදාටම බෙතෙල් එකේ සේවය කරන්න කැමතියි කියලා අපි හිතනවා. ඒ නිසා 1950 සැප්තැම්බර් 7වෙනිදාට බෘක්ලින් බෙතෙල් එකට එන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.”
එදා තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවම මම තාත්තාට කිව්වා මට රස්සාවක් හම්බ වුණා කියලා. “ඒක හොඳයි. ඒ කොහෙද” කියලා අහපුවම මම කිව්වා “බෘක්ලින් බෙතෙල් එකේ. මාසෙකට ඩොලර් 10ක් හම්බ වෙනවා” කියලා. තාත්තා මුලින් ටිකක් කලබල වුණත් පස්සේ මට මෙහෙම කිව්වා. “ඔයාට ඕනෙ ඒක නම් ඒක කළාට කමක් නැහැ. හැබැයි ඒක හොඳට කරන්න.” වැඩි කාලයක් යන්න කලින් 1953දී තාත්තා බව්තීස්ම වුණා.
මගේ පුරෝගාමි සහායක ඇල්ෆ්‍රඩ් නස්රාල්ලා
මාත් එක්ක පුරෝගාමි සේවය කරපු ඇල්ෆ්‍රඩ් නස්රාල්ලාටත් බෙතෙල් එකට එන්න කියලා ආරාධනා කරලා තිබුණා. ඒ ගැන මම හිටියේ හුඟක් සතුටින්. අපි දෙන්නම බෙතෙල් සේවයට ගියේ එකටයි. පස්සේ කාලෙක එයා විවාහ වුණා. එයාගේ බිරිඳ ජෝඇන් එක්ක ගිලියද් පාසැලටත් ඊටපස්සේ ලෙබනොන්වල මිෂනාරි සේවයටත් යන්න එයාට අවස්ථාව ලැබුණා. පස්සේ ඒගොල්ලෝ ආයෙත් ඇමරිකාවට ඇවිත් චාරිකා සේවයේ හවුල් වුණා.
බෙතෙල් සේවය
බෙතෙල් එකේ මට ලැබුණු මුල්ම පැවරුම වුණේ පොත් බඳින අංශයේ සේවය කරන්නයි. එතන මාස 8ක් වැඩ කළාට පස්සේ මට සේවා අංශයේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. සහෝදර තෝමස් ජේ. සලිවන් යටතේ වැඩ කරන්න ලැබුණ එක ලොකු ආශීර්වාදයක්. මං එයාගෙන් දේවවචනය ගැනත් සංවිධානය ගැනත් හුඟක් දේවල් ඉගෙනගත්තා.
සේවා අංශයේ අවුරුදු තුනක් විතර වැඩ කළාට පස්සේ දවසක් මුද්‍රණාලයේ වැඩකටයුතු බලාගත්ත සහෝදර මැක්ස් ලාසන් ඇවිත් මට කිව්වා සහෝදර නෝර් මාව හම්බ වෙන්න බලාගෙන ඉන්නවා කියලා. මං අතින් මොකක් හරි වරදක්වත් වුණාද කියලා මට ටිකක් බයත් හිතුණා. ඒත් එයාට ඕනෙ වුණේ මම දිගටම බෙතෙල් එකේ ඉන්නවද නැත්නම් බෙතෙල් එකෙන් යන්න හිතාගෙන ඉන්නවද කියලා දැනගන්නයි. මං දිගටම බෙතෙල් එකේ ඉන්න කැමතියි කියලා කිව්වම සහෝදර නෝර් ඇහුවා එයාගේ කාර්යාලයේ ටික දවසකට වැඩ කරන්න කැමතිද කියලා. එදා ඉඳන් අවුරුදු 20ක් එයාත් එක්ක සේවය කරන්න මට අවස්ථාව ලැබුණා.
සහෝදර සලිවන් හා සහෝදර නෝර් එක්ක වගේම බෙතෙල් එකේ සේවය කරපු සහෝදර මිල්ටන් හෙන්ෂල්, සහෝදර ක්ලොස් ජෙන්සන්, සහෝදර හියුගෝ රයිම, සහෝදර ග්‍රාන්ට් සූටර් වගේ අය එක්ක වැඩ කරලා මට ලැබුණ අද්දැකීම් මිල කරන්න බැරි තරම් වටිනවා.a
ඒ සහෝදරයෝ හැමෝම වගේ ඒගොල්ලන්ට පැවරිලා තිබුණ වැඩකටයුතු හරිම පිළිවෙළකට කළා. සහෝදර නෝර් කියන්නේ දේවරාජ්‍යයේ වැඩකටයුතු ලෝකේ පුරාම ව්‍යාප්ත කරන්න හුඟක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. එයාත් එක්ක ඕනම දෙයක් බය නැතුව කතා කරන්නත් පුළුවන්. එයා කියන දේට වඩා වෙනස් අදහසක් අපිට තිබුණොත් ඒක කියන්න අපි බය වුණේ නැහැ. ඒ තරමට එයා අපිට ඇහුම්කන් දුන්නා.
එක අවස්ථාවක සහෝදර නෝර් ඒ තරම් වැදගත් නැහැ කියලා හිතෙන වැඩක් වුණත් අපි උනන්දුවෙන් කරන එක කොච්චර වටිනවද කියන එක ගැන මාත් එක්ක කතා කළා. උදාහරණයකට එයා මුද්‍රණාලයේ වැඩකටයුතු බලාගන්න කාලේ දවසක් සහෝදර රදෆර්ඩ් එයාට කෝල් එකක් දීලා කියලා තියෙනවා “සහෝදර නෝර්, ඔයා මුද්‍රණාලයේ ඉඳලා රෑ කෑමට එනකොට මට මකන කෑලි ටිකක් ගෙන්න. මගේ ඔෆිස් එකේ ඒවා නැහැ” කියලා. සහෝදර නෝර් ඒ වෙලාවෙම අවශ්‍ය කරන දේවල් සපයන කාර්යාලයට ගිහින් මකන කෑලි ටිකක් අරගෙන දවල් කෑමට යද්දී සහෝදර රදෆර්ඩ්ගේ කාර්යාලයෙන් ඒවා තියලා. ඒක පුංචි දෙයක් වුණත් සහෝදර රදෆර්ඩ්ට ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙලා. ඊටපස්සේ සහෝදර නෝර් මට කිව්වා “හැමදාම උදේට මගේ මේසේ තියෙන පැන්සල් ටික උල් කරලා තියන්න” කියලා. අවුරුදු ගාණක් යනකම්ම මම ඒක කළා.
ලොකු වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ ගැන විස්තර කරලා දෙද්දී ඒකට හොඳට ඇහුම්කන් දෙන්න කියලා සහොදර නෝර් නිතරම වගේ අපිට කිව්වා. දවසක් එයා මට වැඩක් භාර දීලා ඒක කරන විදිය ගැන හොඳට විස්තර කරලා දුන්නත් මං එයා කියපු දේවල් හොඳට අහගෙන හිටියේ නැති නිසා මට ඒ වැඩේ හරියට කරගන්න බැරි වුණා. ඒකෙන් සහොදර නෝර්ටත් ටිකක් කරදර වෙන්න වුණා. වෙච්ච දේ ගැන මටත් ලොකු දුකක් දැනුණා. මම සහොදර නෝර්ට පොඩි ලියුමක් ලියලා වෙච්ච දේ ගැන හුඟක් කනගාටු වෙනවා කියලත් එයාගේ කාර්යාලයෙන් මාව වෙන තැනකට මාරු කරන එක තමයි හොඳම දේ කියලත් එයාට දැන්නුවා. ටික වෙලාවකට පස්සේ සහෝදර නෝර් මම හිටපු තැනට ඇවිත් මෙහෙම කිව්වා. “රොබට්, මට ඔයාගේ ලියුම හම්බ වුණා. ඔයා අතින් වරදක් වුණා, මම ඒ ගැන ඔයාට කිව්වා. එච්චරයි. ආයේ එහෙම දෙයක් නොවෙන විදිහට ඔයා වැඩ කරයි කියලා මම දන්නවා. ඒවා අමතක කරලා අපි දෙන්නා දැන් වැඩ පටන්ගමු.” එයාගේ ඒ කාරුණික වචන මම හුඟක් අගය කරනවා.
විවාහ වෙන්න තිබුණු කැමැත්ත
බෙතෙල් එකේ අවුරුදු 8ක් සේවය කළාට පස්සෙත් මට ඕන වුණේ දිගටම බෙතෙල් එකේ ඉන්නයි. ඒත් 1958දී තිබුණ ජාත්‍යන්තර සමුළුවකදී මගේ ඒ අදහස වෙනස් වුණා. එතනදී මම දැක්කා ලොරේන් බෘක්ස් කියන සහෝදරියව. 1955දිත් මට එයාව හම්බ වෙලා තිබුණා. ඒ එයා කැනඩාවේ පුරෝගාමි සේවය කරන කාලේ. පූර්ණකාලීනව සේවය කරන්න එයාට තිබුණ වුවමනාවත් සංවිධානයෙන් යවන ඕනම තැනකට යන්න එයාට තිබුණ ආසාවත් දැකලා මට එයා ගැන පැහැදීමක් ඇති වෙලයි තිබුණේ. එයාට ඕන වුණේ ගිලියද් පාසැලට යන්න. 1956 තිබුණ 27වෙනි ගිලියද් පාසැලට යන්න එයාට අවස්ථාව ලැබුණා. එතකොට එයාට වයස අවුරුදු 22යි. ගිලියද් පුහුණුවෙන් පස්සේ එයා බ්‍රසීලයේ මිෂනාරි සේවයේ යෙදුණා. 1958දී අපි දෙන්නා ආයෙත් හම්බ වුණාට පස්සේ දෙන්නාට දෙන්නා තවත් හොඳින් දැන හඳුන ගත්තා. ඊටපස්සේ මං ගෙනාව විවාහ යෝජනාව එයා පිළිගත්තා. අපි දෙන්නට ඕන වුණේ ඊළඟ අවුරුද්දේ විවාහ වෙලා මිෂනාරි සේවයේ යෙදෙන්න.
මං ඒ ගැන සහොදර නෝර්ට කිව්වම එයා කිව්වා “තව අවුරුදු තුනක් ඉඳලා විවාහ වෙලා ඊටපස්සේ දෙන්නම බෙතෙල් එකේ සේවය කරන්න කියලා.” ඒ කාලේ දෙන්නෙක් විවාහ වෙලා දිගටම බෙතෙල් එකේ සේවය කරන්න නම් ඒ දෙන්නගෙන් එක් කෙනෙක් අවුරුදු 10ක්වත් බෙතෙල් එකේ සේවය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අනිත් කෙනත් අවුරුදු 3ක්වත් බෙතෙල් එකේ වැඩ කරලා තියෙන්න ඕනේ. ඒ නිසා ලොරේන් බඳින්න ඉස්සෙල්ලා අවුරුදු දෙකක් බ්‍රසීලයේ බෙතෙල් එකෙත් අවුරුද්දක් බෘක්ලින් බෙතෙල් එකෙත් සේවය කරන්න කැමති වුණා.
ඒ කාලේ දුරකථනයෙන් කතා කරන එක හුඟක් වියදම් යන වැඩක්. අද වගේ ඊ-මේල් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි අදහස් හුවමාරු කරගත්තේ ලියුම්වලින්. 1961 සැප්තැම්බර් 16වෙනිදා අපි විවාහ වුණා. අපේ විවාහ උත්සවයේ කතාව ඉදිරිපත් කළේ සහෝදර නෝර්. ඇත්ත, අපිට බලන් ඉන්න වුණු අවුරුදු තුන අපිට දැනුණේ අවුරුදු ගාණක් වගෙයි. ඒත් අපේ අවුරුදු 50ක විවාහ ජීවිතය දිහා හැරිලා බලද්දී ඒ වගේ බලන් හිටපු එක කොච්චර වටිනවද කියලා අපිට හිතෙනවා.
අපි විවාහ වුණ දවසේ. වමේ සිට නේදන් එච්. නෝර්, පැට්‍රීෂියා බෘක්ස් (ලොරේන්ගේ සහෝදරිය), ලොරේන් සහ මම, කර්ටිස් ජෙන්සන්, ෆේ සහ රෝයි වොලන් (මගේ දෙමව්පියන්)
ලැබුණු ආශීර්වාද
1964දී කලාපීය සේවක විදිහට වෙනත් රටවලට ගිහින් සේවය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලෙදී ඒ වගේ පැවරුම්වලට යන සහෝදරයන්ට තමන්ගේ බිරිඳව එක්කගෙන යන්න අවසර තිබුණේ නැහැ. ඒත් 1977 ඉඳලා ඒක වෙනස් වුණා. ඒ අවුරුද්දේ ලොරේන්ටයි මටයි ග්‍රාන්ට් සහ ඊඩිත් සූටර් කියන යුවළත් එක්ක ජර්මනිය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය, සයිප්‍රසය, තුර්කිය, ඊශ්‍රායලය කියන රටවල තිබුණු ශාඛා කාර්යාලවලට යන්න ලැබුණා. ඒ විදිහට මම රටවල් 70කට විතර ගියා.
1980 බ්‍රසීලයට ගිය අවස්ථාවකදී අපි බෙලෙම් කියන නගරයටත් ගියා. කාලෙකට කලින් ලොරේන් එහෙ මිෂනාරි සේවය කරලා තිබුණා. ඒ වගේම අපි මනවුස්වල හිටපු සහෝදරයන්ව හම්බ වෙන්නත් ගියා. එහෙ ක්‍රීඩාංගණයක තිබුණු විශේෂ රැස්වීමට සහභාගි වෙද්දී අපි දැක්කා එක කණ්ඩායමක් වෙනම ඉඳගෙන ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යය බ්‍රසීල ජාතිකයන් කරනවා වගේ එකිනෙකාව වැලඳගත්තෙවත් අතට අත දුන්නෙවත් නැහැ.
එතන හිටියේ ඇමසන් වනාන්තරයේ තිබුණ ලාදුරු කඳවුරක ඉඳන් ආපු අපේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් ටිකදෙනෙක්. අනිත් අය ගැන හිතලයි ඒගොල්ලෝ ඒ විදිහට වෙනම හිටියේ. ඒත් ඒ අයගේ මූණේ තිබුණ සතුට නම් අපිට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ‘මාගේ සේවකයන් සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟනවා’ කියලා දෙවි කියපු වචන කොයි තරම් ඇත්තද කියලා අපිට හිතුණා.—යෙසා. 65:14.
තෘප්තිමත් ජීවිතයක්
අවුරුදු 60කටත් වඩා අපි දෙන්නා දෙවිට කරන සේවය දිහා ආපහු හැරිලා බලද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ කාලය පුරා දෙවිගේ සංවිධානය මාර්ගයෙන් අපිට දුන්න මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසා යෙහෝවා දෙවි අපිට හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. ඒ ගැන හිතද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්. ඉස්සර වගේ දැන් මට වෙන වෙන රටවලට ගිහින් සේවය කරන්න අමාරුයි. ඒත් මං දැන් සම්බන්ධීකාරකයන්ගේ කමිටුවටත් සේවා කමිටුවටත් උපකාර කරන්නෙක් විදිහට සේවය කරනවා. ඒ විදිහට ලෝකෙ පුරාම ඉන්න සහෝදරයන්ට සුළු ප්‍රමාණයකින් හරි උදව් කරන්න ලැබිලා තියෙන එක ගැන මම හුඟක් සතුටු වෙනවා. “මම යන්න කැමතියි. මාව යවන්න” කියලා යෙසායා කියපු වචනම කියන විශාල තරුණ තරුණියෝ පිරිසක් දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න ඉදිරිපත් වෙන විදිහ නම් හරිම පුදුමයි. (යෙසා. 6:8) ඒ අයව දකින හැම වතාවකම “ඔයා පූර්ණකාලීන සේවය පටන්ගන්න. එහෙම කළොත් ඔයාට හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලැබෙයි” කියලා මීට අවුරුදු ගාණකට කලින් සංචාරක සේවක කියපු වචන මගේ හිතේ රැව් පිළිරැව් දෙනවා.
a සමහර සහෝදරයන්ගේ ජීවිත කතා ‘මුරටැඹ’ සඟරාවල පළ වුණා. ඒ ලිපි සිංහලෙන් නැහැ. තෝමස් ජේ. සලිවන් (1965 අගෝස්තු 15); ක්ලොස් ජෙන්සන් (1969 ඔක්තෝබර් 15); මැක්ස් ලාසන් (1989 සැප්තැම්බර් 1); හියුගෝ රයිම (1964 සැප්තැම්බර් 15); ග්‍රාන්ට් සූටර් (1983 සැප්තැම්බර් 1).