“ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”
“දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”—මතෙ. 22:39.
1, 2. (අ) දෙවෙනි වැදගත් ආඥාව හැටියට යේසුස් කිව්වේ මොකක්ද? (ආ) අපි සලකලා බලන්නේ මොන ප්‍රශ්නද?
“ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව කුමක්ද” කියලා පරිසිවරයෙක් අහපු ප්‍රශ්නෙට යේසුස් දීපු පිළිතුර ගැන අපි කලින් ලිපියේ සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඊළඟට යේසුස් ඒ වගේම වැදගත් දෙවෙනි ආඥාව ගැනත් සඳහන් කළා. ඔහු කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලයි.—මතෙ. 22:34-39.
2 යේසුස් කිව්ව විදිහට අපේ අසල්වැසියා කවුද? අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැන් අපි බලමු.
අපේ අසල්වැසියා කවුද?
3, 4. (අ) “මගේ අසල්වැසියා කවුද” කියලා අහපු ප්‍රශ්නෙට යේසුස් දුන්න පිළිතුර මොකක්ද? (ආ) තුවාල වෙලා හිටපු යුදෙව්වාට සමරිතානුවරයා උදව් කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
3 අසල්වැසියෙක් කිව්ව ගමන්ම අපේ හිතට එන්නේ ගෙවල් ළඟ ඉන්න කෙනෙක්වයි. (හිතෝ. 27:10) ඒත් දවසක් පුද්ගලයෙක් “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා යේසුස්ගෙන් ඇහුවම පිළිතුර විදිහට යේසුස් කතාවක් කිව්වා. ඒ කරුණාවන්ත සමරිතානුවරයාගේ කතාවයි. (ලූක් 10:29-37 කියවන්න.) කතාවේ හැටියට හොරු කට්ටියකට අහු වුණු යුදෙව්වෙක් හොඳටම පහර කාලා සිහි නැතුව පාරේ වැටිලා හිටියා. හරි නම් ඔහුගේම ජාතියට අයත් පූජකයාත් ලෙවීවරයාත් ඔහුට උදව් කරන්න ඕනේ. ඒත් ඒ දෙන්නාම මඟහැරලා ගියා. ඔහුට උදව් කළේ යුදෙව්වන් සතුරන් විදිහට සලකපු සමරිතානු ජාතිකයෙක්.—යොහ. 4:9.
4 ඒ කාරුණික සමරිතානුවරයා යුදෙව්වාගේ තුවාලවලට තෙල්, වයින් දාලා බැන්දේ ලොකු අනුකම්පාවකින්. ඊටපස්සේ තානායමකට අරන් ගිහින් තුවාලකරුව බලාගන්න කියලා තානායම්කරුට ඩිනාරි දෙකකුත් දීලයි ඔහු පිට වුණේ. ඩිනාරි දෙකක් කියන්නේ ඒ කාලේ දවස් දෙකක වැටුප. (මතෙ. 20:2) ඒ යුදෙව්වාගේ ඇත්තම අසල්වැසියා කවුද කියලා කතාව අහගෙන හිටපු අයට තේරුණා. යේසුස් ඒකෙන් කියලා දුන්නේ ජාතිය, පසුබිම බලන්නේ නැතුව හැම කෙනෙක්වම අපි අපේ අසල්වැසියන් හැටියට සලකන්න ඕනෙ කියලයි. අනිත් අයට ආදරෙන්, අනුකම්පාවෙන් සලකනවා නම් අපිටත් පුළුවන් ඒ සමරිතානුවරයා වගේ හොඳ අසල්වැසියෙක් වෙන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා (5 ඡේදය බලන්න)
5. සැන්ඩි චණ්ඩ මාරුතයෙන් පස්සේ සාක්ෂිකරුවන් තමන්ගේ අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නුවේ කොහොමද?
5 අපි ජීවත් වෙන මේ “අවසාන කාලයේ” ඉන්න හුඟක් අයට අනිත් අය ගැන කිසි අනුකම්පාවක් නැහැ. වැඩිදෙනෙක් හරිම දරුණු, යහපත් දේවලට කිසි ඇල්මක් නැති, අසල්වැසියන්ට ප්‍රේමයක් නැති අයයි. (2 තිමෝ. 3:1-3) මේ සිද්ධිය බලන්න. 2012 ඔක්තෝබර් මාසේ ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරට කඩාවැදුණු සැන්ඩි චණ්ඩ මාරුතය නගරේ එක පැත්තකට ලොකු විනාශයක් කළා. විදුලිය සහ වෙනත් අත්‍යවශ්‍ය දේවල් නැතුව සීතලේ දුක් විඳපු අයට උදව් කරනවා වෙනුවට අවස්ථාවාදීන් කළේ ඒ අයගේ බඩු හොරකම් කරපු එකයි. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හොඳින් සංවිධානය වෙලා එකිනෙකාට උදව් කරන අතරේ ඔවුන්ගේ අසල්වැසියන්ටත් උදව් කළා. ඒ ඔවුන් අසල්වැසියන්ට ප්‍රේම කරන නිසයි.
ප්‍රේමය පෙන්නන්න පුළුවන් තවත් විදි
6. බයිබලේ යොදාගෙන අපේ අසල්වැසියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?
6 බයිබලේ තියෙන තොරතුරු යොදාගෙන මිනිසුන්ට උදව් කරන්න. දේවසේවයේදී හම්බ වෙන මිනිසුන්ට “ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ල” ලබා දෙන්න අපිට පුළුවන්. (රෝම 15:4) දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ඒ අය එක්ක බෙදාගන්න එකෙන් පෙන්නන්නේ අපි ඒ අයට ප්‍රේම කරනවා කියලයි. (මතෙ. 24:14) යෙහෝවා දෙවි දීලා තියෙන බලාපොරොත්තුව ගැන අසල්වැසියන්ට කියන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!—රෝම 15:13.
7. රන් අණ මොකක්ද? ඒක අදාළ කරගද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද?
7 රන් අණ පිළිපදින්න. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය එයයි” කියලා යේසුස් කිව්වා. (මතෙ. 7:12) ‘නීතිය’ තියෙන්නේ උත්පත්ති ඉඳන් ද්විතීය කතාව දක්වා තියෙන පොත්වලයි. ‘අනාගතවාක්‍ය’ කියලා හැඳින්නුවේ හෙබ්‍රෙව් ලියවිල්ලේ තියෙන අනාවැකි ඇතුළත් පොත්වලටයි. යෙහෝවා දෙවි ‘නීතියත්’ ‘අනාගතවාක්යත්’ දුන්නේ තම සෙනඟට තියෙන ප්‍රේමය නිසා වගේම ඒ අයත් එකිනෙකාට ආදරේ කරයි කියලා බලාපොරොත්තු වුණු නිසයි. අපිත් අසල්වැසියන්ට ප්‍රේම කරයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන දෙවි මෙහෙම කියනවා. “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින් යුක්තිගරුකව හැසිරෙන්න. . . . මන්ද එලෙස ක්‍රියා කරන මිනිසා සන්තෝෂවත්ය.” (යෙසා. 56:1, 2) ඒ විදිහට අපි අසල්වැසියන්ට ප්‍රේම කරනවා නම් දෙවිගේ ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන්.
8. අපි අපේ සතුරන්ට ප්‍රේම කරන්න ඕනෙ ඇයි? එහෙම කරනවා නම් වෙන්නේ මොනවද?
8 සතුරාටත් ප්‍රේම කරන්න. යේසුස්ගේ කාලයේ හිටපු සමහරු සතුරන්ට වෛර කරන්න කියලා ඉගැන්නුවා. ඒත් යේසුස් කිව්වේ ‘ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න’ කියලයි. (මතෙ. 5:43-45) ඒ වගේම දෙයක් පාවුල් කිව්වේ මෙහෙමයි. “ඔබේ සතුරා බඩගින්නෙන් සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට බොන්න යමක් දෙන්න.” (රෝම 12:20; හිතෝ. 25:21) අතීතයේදී දෙවි තම සෙනඟට දීපු නීතියේ සඳහන් වුණේ සතුරාට විතරක් නෙමෙයි සතුරාට අයිති සතුන්ටත් උදව් කරන්න කියලයි. (නික්. 23:5) අමනාපය නැති කරගෙන හොඳ යාළුවෝ වෙන්න ඒක උදව් වෙන්න ඇති. අද අපිත් අපිට සතුරුකම් කරන අයට දක්වන ප්‍රේමය නිසා ඔවුන්ගේ ගල් හිත් මොළොක් වෙලා තියෙනවා. ඒ අයගෙන් සමහරු අපි ගැන හිතන විදිහ වෙනස් කරගෙන සාක්ෂිකරුවන් වෙලත් තියෙනවා.
9. අපේ සහෝදරයා එක්ක සමාදාන වෙන එකේ වැදගත්කම ගැන යේසුස් කිව්වේ මොකක්ද?
9 ‘සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමට දැඩි උත්සාහයක් දරන්න.’ (හෙබ්‍රෙ. 12:14) සියලුදෙනා කියද්දී ඒකට අපේ සහෝදර සහෝදරියනුත් ඇතුළත්. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න.” (මතෙ. 5:23, 24) හිතමු අපිට සහෝදරයෙක් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි ඉක්මනින්ම ඒ ප්රශ්නය විසඳගන්න මුල් වෙලා වැඩ කරනවා නම් ඒකෙන් පෙන්නන්නේ අපි ඒ කෙනාට ආදරේ කරනවා කියන එකයි. යෙහෝවා දෙවිත් ඒ ගැන සතුටු වෙනවා.
10. අපි අනිත් අයව විනිශ්චය කරන්න හොඳ නැත්තේ ඇයි?
10 විනිශ්චය කරන්න එපා. “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න. එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ” කියලා යේසුස් කිව්වා. ඔහු ඒකෙන් අදහස් කළේ අනිත් අයගේ අඩුපාඩු, වැරදි දිහා බලලා ඒ අයව විනිශ්චය කරන්න එපා කියලයි. ඔහු මෙහෙමත් කිව්වා. “ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ දෙස බලන්නේ ඇයි? ඔබේ ඇසෙහි පරාලයක් තිබියදී ඔබේ සහෝදරයාට, ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබට කිව හැක්කේ කෙසේද? එය මොන තරම් කුහකකමක්ද! මුලින්ම ඔබේ ඇසේ තිබෙන පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කෙසේද කියා ඔබට පැහැදිලිව පෙනෙයි.” (මතෙ. 7:1-5) අපි ළඟ ලොකු ලොකු වැරදි තියාගෙන අනිත් අයගේ පොඩි පොඩි වැරදි හොයන එක මොන තරම් වැරදිද!
ප්‍රේමය පෙන්නන්න පුළුවන් හොඳම විදිහක්
11, 12. අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?
11 අපේ අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න හුඟක් විදි තිබුණත් ඒක කරන්න පුළුවන් හොඳම විදිහ දේවරාජ්‍යය ගැන මිනිසුන්ට දේශනා කරන එකයි කියලා යේසුස් පෙන්නුවා. (ලූක් 8:1) ඔහු තම අනුගාමිකයන්ට කිව්වේ “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර” කරන්න කියලයි. (මතෙ. 28:19, 20) අපි ඒක කරනවා නම් විනාශය කරා යන පළල් පාරේ ගමන් කරන අපේ අසල්වැසියන්ට ජීවනය කරා යන පටු පාරට එන්න උදව් කරන්න අපිට පුළුවන්. (මතෙ. 7:13, 14) ඒ වෙනුවෙන් අපි දරන වෙහෙස ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවා.
12 යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් තමන්ගේ ජීවිතවලට අත්‍යවශ්‍යයි කියලා තේරුම්ගන්න යේසුස් හුඟක් අයට උදව් කළා. (මතෙ. 5:3) යේසුස් වගේ “දෙවිගේ ශුභාරංචිය” ගැන අනිත් අයට කියලා දෙන්න අපිටත් පුළුවන්. (රෝම 1:1) යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවිගේ අනුමැතිය දිනා ගන්නත් දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නත් දැන් මිනිසුන්ට පුළුවන් කියලා අපි ඒ අයට කියලා දෙනවා. (2 කොරි. 5:18, 19) ශුභාරංචිය දේශනා කරන එක අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න පුළුවන් හොඳම විදිහක්.
13. යෙහෝවා දෙවි ගැන මිනිසුන්ට උගන්වද්දී ඔබට හැඟෙන්නේ කොහොමද?
13 හොඳට සූදානම් වෙලා, හිතට කාවදින විදිහට නැවත බැලීම්, බයිබල් පාඩම් කරද්දී දෙවිට කීකරු වෙන්නේ කොහොමද කියලා ඒ අයට උගන්වන්න අපිට පුළුවන්. සමහරුන්ට ඔවුන්ගේ ජීවිතවල හුඟක් වෙනස්කම් කරන්න සිද්ධ වෙයි. (1 කොරි. 6:9-11) ජීවිතේ වෙනස්කම් කරගෙන දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නිහතමානී අයට දෙවි උදව් කරන විදිහ දකිද්දී අපිටත් සතුටක් දැනෙනවා. (ක්‍රියා 13:48) ජීවිතේ බලාපොරොත්තුවක් නැතුව හිටපු අය බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ සතුටින් ඉන්නවා. කනස්සල්ලෙන් ඉන්නවා වෙනුවට දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න ඉගෙනගන්නවා. ඒ විදිහට අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න පුළුවන් වීම කොයි තරම් ආශීර්වාදයක්ද!
ප්‍රේමය ඇති කෙනෙක් . . .
14. සැබෑ ප්‍රේමය ඇති කෙනෙක්ව 1 කොරින්ති 13:4-8 පාවුල් විස්තර කරන්නේ කොහොමද?
14 ප්‍රේමණීය කෙනෙක් මොන වගේද කියලා පාවුල් කිව්වා. අපිත් ඒ විදිහට වැඩ කරනවා නම් යෙහෝවා දෙවිව සතුටු කරන්නත් හුඟක් ප්‍රශ්න අඩු කරගෙන සතුටින් ඉන්නත් අපිට පුළුවන්. (1 කොරින්ති 13:4-8 කියවන්න.) ප්‍රේමය ගැන පාවුල් කිව්ව දේවල් ගැනත් ඒවා අදාළ කරගන්න පුළුවන් විදි ගැනත් දැන් බලමු.
15. (අ) අපි ඉවසිලිවන්ත, කරුණාවන්ත අය වෙන්න ඕනෙ ඇයි? (ආ) අපි ඊර්ෂ්‍යා කරන්න, උඩඟු වෙන්න හොඳ නැත්තේ ඇයි?
15 “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය.” යෙහෝවා දෙවි අසම්පූර්ණ මිනිසුන් කරන වැරදි ගැන මොන තරම් ඉවසීමක්, කරුණාවක් පෙන්නනවද! අනිත් අය අතින් වැරදි වෙද්දී, හිතන්නේ බලන්නේ නැතුව දේවල් කියද්දී, දුෂ්ටකම් කරද්දී අපිත් දෙවිව ආදර්ශයට ගන්න ඕනේ. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් තුළ ඊර්ෂ්‍යාවක් නැත’ කියලත් පාවුල් කියනවා. අපෙන් සමහර අයට සභාවේ අමතර වගකීම් ලැබෙනවා. අපිට නැති සමහර දේවල් ඒ අයට තියෙන්න පුළුවන්. අපි ඒ අයට ඇත්තටම ආදරේ නම් ඒ ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනිත් අතට අපි අපි ගැන ඕනෑවට වැඩියෙන් හිතලා ආඩම්බර වෙන්නෙත් නැහැ. බයිබලේ කියන්නේ “උඩඟු ඇස් හා අහංකාර සිතක්” තියෙන අයට දෙවි කොහොමටවත් කැමති නැහැ කියලයි.—හිතෝ. 21:4.
16, 17. 1 කොරින්ති 13:5, 6 තියෙන දේ අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?
16 ප්‍රේමය තියෙන කෙනෙක් ‘අවිනීතව හැසිරෙන්නේ නැහැ.’ අපි අසල්වැසියන්ට ආදරේ නම් ඒ අයට බොරු කියන්න, ඒ අයගේ දෙයක් සොරකම් කරන්න නැත්නම් දෙවිව අසතුටු කරන කිසිම දෙයක් කරන්න අපි පෙලඹෙන්නේ නැහැ. අපි ගැන විතරක් හිතලා දේවල් කරන්නෙත් නැහැ. මොකද සැබෑ ප්‍රේමය තියෙන කෙනෙක් ‘තමාගේම වාසිය සොයන්නේ නැහැ.’ හැම වෙලේම අසල්වැසියන්ගේ යහපත ගැන හිතලා වැඩ කරනවා.—ෆිලි. 2:4.
17 ප්‍රේමණීය කෙනෙක් “ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත.” කවුරු හරි අපේ හිත රිදෙන දෙයක් කළා කියලා අපි ඒ කෙනා එක්ක කේන්ති ගන්නේ නැහැ. පොතක ලියලා තියාගන්නවා වගේ ඒ වැරදි අපි මතක තියාගන්නෙත් නැහැ. (1 තෙස. 5:15) අමනාපය හිතේ තියාගෙන ඉන්නවා නම් ඒක හරියට අළු යට තියෙන ගිනි වගේ. කොයි වෙලේ හරි ඒකෙන් අපිටත් අනිත් අයටත් හානියක් වෙන්න පුළුවන්. (ලෙවී. 19:18) ඒ නිසා අපිට වරදක් කරපු කෙනෙකුට සමාව දීලා ඒ වරද අමතක කරන එක තමයි හොඳම දේ. ඒ වගේම අපිට වෛර කරන කෙනෙකුට කරදරයක් වුණොත් අපි ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. මොකද ප්‍රේමණීය කෙනෙක් ‘අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැහැ.’—හිතෝපදේශ 24:17, 18 කියවන්න.
18. ප්‍රේමය ගැන 1 කොරින්ති 13:7 සහ 8න් අපි ඉගෙනගන්නේ මොනවද?
18 ප්‍රේමණීය කෙනෙක් ‘සියල්ල ඉවසා දරාගන්නවා.’ අපි අපේ අසල්වැසියාට ආදරේ නම් ඒ කෙනා අපේ හිත රිදෙන දෙයක් කළත් අපි සමාව දෙනවා. දේවවචනයේ තියෙන ‘සියල්ල විශ්වාස කරන්නත්’ දාසයාගෙන් ලැබෙන පෝෂණය අගය කරන්නත් අපි තුළ තියෙන ප්‍රේමය අපිව පොලඹවනවා. බයිබලේ සඳහන් පොරොන්දු ‘සියල්ල ගැන බලාපොරොත්තුවෙන් ඉන්නත්’ ඒ බලාපොරොත්තු ගැන අනිත් අයට කියලා දෙන්නත් අපිව පොලඹවන්නේ අපි තුළ තියෙන ප්‍රේමය නේද? (1 පේතෘ. 3:15) අමාරු, දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න වෙද්දී ඒ ගැන යාච්ඤා කරනවා වගේම ඒකට හොඳම විසඳුම ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. කෙනෙක් අපිට විරුද්ධව යම් පාපයක් කළත් අපිට පීඩා කළත් ප්‍රේමය තියෙනවා නම් ඒ ‘සියල්ල විඳදරාගන්න’ අපිට පුළුවන්. ඇත්තටම “ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකයි.” මොකද දෙවිට කීකරු මිනිසුන් සදාකාලයටම ජීවත් වෙද්දී ඒ අය තුළ තියෙන ප්‍රේමයත් සදහටම තියෙනවා.
අසල්වැසියාට දිගටම ප්‍රේම කරන්න
19, 20. අසල්වැසියන්ට දිගටම ප්‍රේම කරන එක වැදගත් කියලා බයිබලේ කාවද්දලා තියෙන්නේ කොහොමද?
19 බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් දිගටම අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න අපිට පුළුවන්. (මතෙ. 22:39) යෙහෝවා දෙවිත් යේසුත් ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා. අනිත් අයගේ ජාතිය, සංස්කෘතිය මොකක් වුණත් හැම කෙනාටම එක වගේ ආදරේ කරන්න ඕනේ. අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න අමාරුයි කියලා හිතෙන අවස්ථාවලදී දෙවිට යාච්ඤා කරලා ඔහුගේ උදව් ඉල්ලමු. ඒ ගැන දෙවි සතුටු වෙනවා වගේම ප්‍රේමණීයව වැඩ කරන්න ඔහු අපිට උදව් කරනවා.—රෝම 8:26, 27.
20 අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියන ආඥාව කොච්චර වැදගත්ද කියනවා නම් ඒක හඳුන්වන්නේ “රාජකීය නීතිය” හැටියටයි. (යාකො. 2:8) අනිත් අයට ප්‍රේමය පෙන්නන්න උදව් වෙන ආඥා රැසක් අතීතයේදී දෙවි නීතියට ඇතුළත් කරලා තිබුණා. ඒ ආඥා කීපයක් ගැන සඳහන් කළාට පස්සේ පාවුල් මෙහෙම කිව්වා. එම “ආඥා සහ වෙනත් ආඥා ඇතුළත් ඒ නීති මාලාවේ සඳහන් සියල්ල, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ යන වචන ස්වල්පය තුළ ගැබ් වී තිබේ.”—රෝම 13:8-10.
21, 22. අපි යෙහෝවා දෙවිටත් අපේ අසල්වැසියන්ටත් ප්‍රේම කරන්න ඕනෙ ඇයි?
21 අසල්වැසියන්ට ප්‍රේම කරන එක ගැන කතා කරද්දී යේසුස් තම පියා ගැන කියපු මේ වචන බලන්න. “ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.” (මතෙ. 5:43-45) ධර්මිෂ්ඨ, අධර්මිෂ්ඨ හැම කෙනෙක්ටම අපිත් ප්‍රේමය පෙන්නන්න ඕනේ. කලින් කියපු විදිහට ඒක පෙන්නන්න පුළුවන් හොඳම විදිහ තමයි යෙහෝවා දෙවි ගැනත් දේවරාජ්‍යය ගැනත් ඒ අයට කියලා දෙන එක. කෙනෙක් බයිබලෙන් ඉගෙනගන්න දේවල් තම ජීවිතේට අදාළ කරගන්නවා නම් දෙවිගේ මිතුරෙක් වීමෙන් ලැබෙන සතුට අද්දකින්න ඒ කෙනාට පුළුවන්.
22 යෙහෝවා දෙවිට ආදරේ කරන්න තියෙන හේතුවල නිමක් නැහැ. ඒ වගේම අසල්වැසියන්ට ප්‍රේමය පෙන්නන්න පුළුවන් විදිත් හුඟක් තියෙනවා. දෙවිටත් අපේ අසල්වැසියන්ටත් ප්‍රේම කරද්දී ඒකෙන් පේන්නේ යේසුස් කියපු උතුම් ආඥා දෙකට අපි කීකරු වෙනවා කියන එකයි. ඒ හැම දේටම වඩා අපේ ආදරණීය දෙවි පියාණන්ව අපි සතුටු කරනවා කියන එකයි.