ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 දෙසැම්බර් 8-12 පි.
  • දෙවිගේ මහත් කරුණාව අගයන අය පාපයේ වහලුන් නෙමෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ මහත් කරුණාව අගයන අය පාපයේ වහලුන් නෙමෙයි
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමාව ලැබෙන්නේ මහත් කරුණාව නිසයි
  • දෙවිගේ මහත් කරුණාව අගය කරන්න
  • ජය ගන්න පුළුවන් සටනක්
  • දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචිය හැමෝටම කියන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කරුණාව පෙන්නලා හිත් ස්පර්ශ කරන්න!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ ජනයා කරුණාවට ඇලුම් කළ යුතුයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 දෙසැම්බර් 8-12 පි.
පාවුල් රෝමයේදී සාක්ෂි දරමින්

දෙවිගේ මහත් කරුණාව අගයන අය පාපයේ වහලුන් නෙමෙයි

‘ඔබේ පව්කාර ස්වභාවයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. මන්ද ඔබ අද්දකිමින් සිටින්නේ දෙවිගේ මහත් කරුණාවයි.’—රෝම 6:14.

ගීතිකා: 2, 61

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගේ මහත් කරුණාව නිසා ලැබුණ දෙයක් කියන්නේ ඇයි?

  • අපි “පව්කාර ස්වභාවය සම්බන්ධයෙන් මිය ගොස් ඇත” කියලා කියන්නේ කොහොමද?

  • දෙවිගේ මහත් කරුණාව ගැන තියෙන අගය දෙවි අකමැති හැම දේකින්ම වළකින්න අපිව පොලඹවන්නේ ඇයි?

1, 2. රෝම 5:12 අපිට උදව් වෙන්නේ මොන දේවල් තේරුම්ගන්නද?

හිතන්න, සාක්ෂිකරුවන් හොඳින් දන්න, නිතරම පාවිච්චි කරන බයිබල් පදවල ලැයිස්තුවක් ඔයා හදනවා කියලා. ඒකට රෝම 5:12 ඔයා අනිවාර්යයෙන්ම ඇතුළත් කරයි. එතන කියන්නේ “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය” කියලා.

2 ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ හුඟක් තැන්වල ඒ බයිබල් පදේ සඳහන් වෙනවා. ඔයා දරුවන් එක්ක නැත්නම් වෙනත් කෙනෙක් එක්ක ඒ පොත පාඩම් කරනවා නම් දෙවිගේ මුල් අරමුණ තවමත් ඉටු වෙලා නැත්තේ ඇයි, යේසුස් ජීවිතේ පූජා කළේ ඇයි, අපි මැරෙන්නේ ඇයි වගේ ප්‍රශ්න 3වෙනි, 5වෙනි සහ 6වෙනි පරිච්ඡේදවලින් සාකච්ඡා කරද්දී රෝම 5:12 කියවනවා ඇති. ඒ වගේම යෙහෝවා දෙවි එක්ක අපි එක් එක් කෙනාට තියෙන බැඳීම තව තවත් අගය කරන්න ඒ බයිබල් පදේ අපිට උදව් වෙනවා. යෙහෝවා දෙවිගේ හිත සතුටු කරන්න අපිට තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නත් දෙවිගේ පොරොන්දු දිහා ආසාවෙන් බලාගෙන ඉන්නත් ඒ බයිබල් පදේ අපිට උදව්වක්.

3. අපි ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

3 අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ නිසා හැම දවසකම අපි අතින් වැරදි වෙනවා. ඒත් යෙහෝවා දෙවි දයාවන්තයි. අපි දුර්වලයි කියලා ඔහු තේරුම්ගන්නවා. ඒ නිසා අපිට සමාව දෙන්න ඔහු සූදානමින් ඉන්නවා. (ගීතා. 103:13, 14) අපේ වැරදිවලට දෙවිගෙන් සමාව ඉල්ලන්න කියලා යේසුත් අපිට මතක් කළා. (ලූක් 11:2-4) අපේ වැරදිවලට දෙවි සමාව දුන්නට පස්සේ ඒවා ගැන දුක් වෙවී ඉන්න ඕනෙ නැහැ. ඒත් අපේ පව්වලට සමාව දෙන්න දෙවිට පුළුවන් වුණේ කොහොමද?

සමාව ලැබෙන්නේ මහත් කරුණාව නිසයි

4, 5. (අ) රෝම 5:12 කියන දේ තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවද? (ආ) රෝම 3:24 “මහත් කරුණාව” ගැන කතා කරද්දී අදහස් කරන්නේ මොකක්ද?

4 රෝම 5:12 කියන දේ හොඳින් තේරුම්ගන්න ඒ අවට තියෙන පරිච්ඡේද උදව් වෙනවා. විශේෂයෙන්ම 6වෙනි පරිච්ඡේදය. අපේ පව්වලට සමාව දෙන්න යෙහෝවා දෙවිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඒකේ පැහැදිලි කරනවා. ඒ පොතේ 3වෙනි පරිච්ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා. ‘සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. නමුත් දෙවිගේ මහත් කරුණාවෙන් ඔවුන්ව ධර්මිෂ්ඨ අය ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එය දෙවි නොමිලේ ලබා දෙන දීමනාවකි. එය ලබාගත හැකි වන්නේ ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙනි. අපගේ පව්කාර ස්වභාවයෙන් අපව නිදහස් කිරීමට ඔහුගේ ජීවිතය වන්දියක් ලෙස ගෙවන ලදි.’ (රෝම 3:23, 24) එතන මහත් කරුණාව කියද්දී අදහස් වුණේ මොකක්ද? මුල් ග්‍රීක වචනයෙන් අදහස් වුණේ කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න බැඳිලා නැති දෙයක් කැමැත්තෙන්ම කරනවා කියන එකයි. ඒත් ඒක කරන්නේ යමක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.

5 විශාරදයෙක් කියපු විදිහට දෙවි, යේසුස් පෙන්නන මහත් කරුණාව ගැන බයිබලේ කතා කරද්දී හුඟක් වෙලාවට ඒක යොමු දක්වන්නේ මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න ඔවුන් කරපු දේට. යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරපු දේ ගැන දැන් බලමු. ඔහුගේ මහත් කරුණාව නිසා දැන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද කියලත් ඒ කරුණාව නිසා අනාගතය ගැන බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියලත් එතකොට අපිට පැහැදිලි වෙයි.

6. දෙවිගේ මහත් කරුණාව නිසා මිනිසුන්ට කොච්චර දුරට ප්‍රයෝජන ලබන්න පුළුවන්ද?

6 ආදම් පව් කරපු නිසා එයාගෙන් පැවතෙන හැම කෙනෙක්ටම පාපය උරුම වෙනවා. ඒකේ ප්‍රතිඵලය මරණයයි. “එක මිනිසෙකු කළ වරදින් මරණය රජකම් කරන්න පටන්ගත්තේය” කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි. ඒත් යෙහෝවා දෙවිගේ මහත් කරුණාව නිසා හැම කෙනෙක්වම පාපයෙන් සහ මරණයෙන් බේරගන්න ඔහු පියවර ගත්තා. ඔහු ඒක කළේ “එක මිනිසෙකු එනම්, යේසුස් ක්‍රිස්තුස්” මාර්ගයෙන්. (රෝම 5:12, 15, 17) ‘එක් කෙනෙකුගේ කීකරුකම නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගන්න’ දෙවිට පුළුවන්. ඒ අයට ‘යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සදාකාල ජීවනය’ ලැබෙනවා.—රෝම 5:19, 21.

7. ජීවිත පූජාව අපි වෙනුවෙන් දුන්නේ මහත් කරුණාව නිසයි කියලා කියන්නේ ඇයි?

7 තමන්ගේ ආදරණීය පුතා වන යේසුස්ව එවලා අපිව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න අවශ්‍ය කරන වන්දිය දෙන්න යෙහෝවා දෙවි බැඳිලා නැහැ. ඒත් දෙවි ඒ දේ කළේ ඔහුගේ මහත් කරුණාව නිසයි. යෙහෝවා දෙවි සහ යේසුස් අපි වෙනුවෙන් කළේ ඇත්තටම අපි කිසිම කෙනෙක් ලබන්න වටින්නේ නැති දෙයක්. අපේ පව්වලට සමාව දෙන්න, අපිට සදහටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්න දෙවි පියවර ගත්ත එක ගැන අපිට තියෙන්නේ ලොකු අගයක්. ලබන්න වටින්නේ නැති ඒ තෑග්ග අපි වෙනුවෙන් දුන්න එක අපි කොයි තරම් අගය කරනවද කියලා හැම දවසකම අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නමු.

දෙවිගේ මහත් කරුණාව අගය කරන්න

8. අපි වළකින්න ඕනෙ කොහොම හිතන එකෙන්ද?

8 අපි අතින් බරපතළ වරදක් වුණත් යෙහෝවා දෙවි අපිට සමාව දෙන්න සූදානමින් ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් ඔහු පෙන්නන කරුණාව අපි වැරදි කරන්න හේතුවක් කරගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ‘වැරදි කළාට කමක් නෑ, යෙහෝවා දෙවි සමාව දෙනවනේ’ කියලා හිතන එක වැරදියි. මුල් සියවසේ හිටපු සමහරු එහෙම හිතුවා. (යූද් 4 කියවන්න.) පරෙස්සම් වුණේ නැත්නම් එහෙම හිතන අයගේ බලපෑමට අහු වෙලා ඒ විදිහට හිතන්න අපිත් ටිකෙන් ටික පෙලඹෙන්න පුළුවන්.

9, 10. පාවුල්ට සහ මුල් සියවසේ හිටපු අනිත් අයට පාපයෙන්, මරණයෙන් නිදහස ලැබුණේ කොහොමද?

9 හිතාමතාම වැරදි කරකර දෙවි සමාව දෙයි කියලා හිතන එක වැරදියි කියලා පාවුල් ක්‍රිස්තියානීන්ට මතක් කළා. මොකද ඒ වෙද්දී එයාලා තුළ තියෙන “පව්කාර ස්වභාවය මරා දමා තිබෙනවා” කියලා පාවුල් කිව්වා. (රෝම 6:1, 2 කියවන්න.) පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

10 පාවුල්ගේ සහ මුල් සියවසේ හිටපු අනිත් අයගේ පව්වලට යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් සමාව දුන්නා. ඊටපස්සේ දෙවි තමන්ගේ බලයෙන් එයාලව අභිෂේක කරලා තමන්ගේ පුත්‍රයන් විදිහට පිළිගත්තා. එයාලා දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියොත් දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒත් ඒ වෙද්දී එයාලා හිටියේ පොළොවේ. එහෙමනම් එයාලා තුළ තියෙන “පව්කාර ස්වභාවය මරා දමා තිබෙනවා” කියලා පාවුල්ට කියන්න පුළුවන් වුණේ කොහොමද? ඒක පැහැදිලි කරන්න පාවුල් යේසුස්ව උදාහරණෙට ගත්තා. යේසුස් මිය ගියාට පස්සේ ඔහුව නැවත නැඟිටෙව්වේ ආයේ කවදාවත් මිය යන්නේ නැති අමරණීය කෙනෙක් විදිහට. “ඔහු කෙරෙහි බලපැවැත්වීමට මරණයට තවදුරටත් හැකියාවක් නැත්තේ” ඒ නිසයි. මුල් සියවසේ හිටපු අය යේසුස්ගේ අනුගාමිකයන් වෙද්දී වුණෙත් ඒ වගේ ලොකු වෙනසක්. එයාලා කලින් ගත කරපු ජීවිතේ අත්හැරලා මුළුමනින්ම වෙනස් වුණා. වැරදි ආශාවන්ට තමන්ව පාලනය කරන්න එයාලා තවදුරටත් ඉඩ දුන්නේ නැහැ. එයාලට ඕන වුණේ යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට ජීවත් වෙන්න. එහෙම බලද්දී එදා හිටපු අය ‘පව්කාර ස්වභාවය සම්බන්ධයෙන් මිය ගිහින් කියලත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවි වෙනුවෙන් ජීවත්ව සිටිනවා කියලත්’ කියන්න පුළුවන් වුණා.—රෝම 6:9, 11.

11. පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය විදිහට අපි “පව්කාර ස්වභාවය මරා දමා තිබෙන්නේ” කොහොමද?

11 දෙවිගේ සේවකයන් හැටියට අපි “පව්කාර ස්වභාවය මරා දමා තිබෙන්නේ” කොහොමද? අපි කරන කියන දේවල් ගැන යෙහෝවා දෙවිට හැඟෙන විදිහ අපි දැනගෙන හිටියේ නැති නිසා කලින් අපි අතින් හුඟක් වැරදි වෙලා ඇති. ඒ කාලේ අපි හිටියේ “අපවිත්‍ර හා අධර්මිෂ්ඨ දේවලට වහල්” වෙලා. ඒ කියන්නේ “පව්කාර ස්වභාවයට වහල්” වෙලා. (රෝම 6:19, 20) ඒත් යෙහෝවා දෙවි කැමති අපි මොන වගේ ජීවිතයක් ගත කරනවටද කියලා බයිබලෙන් ඉගෙනගත්තට පස්සේ අපි අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. අපිට ඕන වුණේ යෙහෝවා දෙවිට කීකරු වෙලා ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන්නයි. එහෙම බලද්දී ‘පව්කාර ස්වභාවයට වහල් නොවී සිටින’ අපි, දැන් ‘ධර්මිෂ්ඨකමට දාසයන්ව සිටිනවා.’—රෝම 6:17, 18.

12. අපි හැමෝටම නිදහස තියෙන්නේ මොන තීරණය ගන්නද?

12 පාවුල් කියපු මේ දේ බලන්න. “පව්කාර ස්වභාවයට රජෙකු වී, ඔබේ මැරෙනසුලු ශරීරය පාලනය කිරීමට ඉඩ නොදෙන්න. එසේ ඉඩ දුන්නොත් එයින් ඇති වන ආශාවන්ට ඔබ වහල් වනු ඇත.” (රෝම 6:12) ඒකෙන් තේරෙන්නේ වැරදි ආශාවන්ට අපිව පාලනය කරන්න ඉඩ දෙනවද නැත්නම් අපි ඒ ආශාවන් පාලනය කරගෙන දිගටම ධර්මිෂ්ඨකමට දාසයන් වෙනවද කියන තීරණය තියෙන්නේ අපේ අතේ කියලා. ඒ නිසා මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘වැරදි ආශාවන් මගේ හිතේ වැඩෙන්න ඉඩ දෙන නිසා වැරදි දෙයක් කරන්න මං පෙලඹෙයිද? නැත්නම් ඒ වගේ ආශාවක් ඇති වුණාම මං ඉක්මනින්ම ඒක හිතින් අයින් කරගන්නවද?’ දෙවිගේ මහත් කරුණාව අපි මුළු හදින්ම අගය කරනවා නම් පව්කාර ස්වභාවයට වහල් නොවී ඉන්න අපි ලොකු වෑයමක් ගන්නවා.

ජය ගන්න පුළුවන් සටනක්

13. හරි දේ කරන්න අපිට පුළුවන් කියන නිසැකකම තියෙන්නේ ඇයි?

13 මුල් සියවසේ කොරින්තියේ හිටපු සමහරු ක්‍රිස්තියානීන් වෙන්න කලින් හොරකම් කළා. සමලිංගික ක්‍රියාවලට හවුල් වුණා. අනාචාරයේ යෙදුණා. රූප වන්දනාවේ යෙදුණා. සමහරු බේබද්දන්. ඒත් එයාලා දෙවි ගැන ඉගෙනගෙන දෙවිට ආදරේ කරන්න පටන්ගත්තට පස්සේ ඒ වැරදි වැඩ සම්පූර්ණයෙන්ම අත්හැරියා. කලින් කරපු දේවල් ගැන එයාලට දැනුණේ ලැජ්ජාවක්. (රෝම 6:21; 1 කොරි. 6:9-11) තමන්ගේ ජීවිතවල ඒ වගේ ලොකු වෙනස්කම් කරගන්න රෝමයේ හිටපු අයටත් සිද්ධ වුණා. පාවුල් එයාලට මෙහෙම කිව්වා. “ඔබේ වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට ඔබේ ශරීරයේ අවයවයන් භාවිත නොකරන්න. එසේ කළොත් ඒවා අධර්මිෂ්ඨ දේ කිරීමට යොදාගන්නා ආයුධ හා සමාන වනු ඇත. මිය ගිය ඔබ, දැන් ජීවත් වන නිසා මෙතැන් පටන් දෙවිට භාර වෙන්න. එමෙන්ම ඔබේ ශරීරයේ අවයවයන් ධර්මිෂ්ඨ දේවල් කිරීම සඳහා යොදාගන්නා ආයුධ ලෙස දෙවිට භාර දෙන්න.” (රෝම 6:13) දෙවි පෙන්නලා තියෙන මහත් කරුණාවෙන් ප්‍රයෝජන අරන් දිගටම හරි දේ කරන්න එයාලට පුළුවන් කියලා පාවුල්ට ලොකු විශ්වාසයක් තිබුණා.

14, 15. අපි හිතලා බලන්න ඕන වැදගත් දේ මොකක්ද?

14 අපි අතරේ ඉන්න සමහරු කලින් ගත කරලා තියෙන්නේ කොරින්තියේ හිටපු අය ගත කළා වගේ ජීවිත. ඒත් එයාලා යෙහෝවා දෙවි ගැන දැනගත්තම ජීවිත වෙනස් කරගත්ත නිසා එයාලව “සෝදා පවිත්‍ර කළා.” සමහරවිට ඔයාට ඒ වගේ ලොකු වෙනස්කම් කරගන්න වුණේ නැතුව ඇති. ඒත් දෙවි බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න අපි හැමෝම අපේ ජීවිතවල යම් වෙනස්කම් කරගත්තා. මොකද යෙහෝවා දෙවි පෙන්නපු මහත් කරුණාව අපි හුඟක් අගය කළා. අපිට ඕනෙ දිගටම දෙවිගේ කරුණාව අගය කරනවා කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නන්නයි. වැරදි ආශාවන්ට විරුද්ධව හැම දවසකම සටන් කරන්නත් අපිට පුළුවන් උපරිමයෙන් දෙවිට සේවය කරන්නත් අපි අදිටන් කරගෙන ඉන්නේ ඒ නිසයි.

15 ඒ අධිෂ්ඨානයට එකඟව ජීවත් වෙන්න නම් කොරින්තියේ හිටපු සමහරු කරපු බරපතළ වැරදි හිතාමතාම කරන එකෙන් අපි වළකින්න ඕනේ. දෙවි සමාව දෙයි කියලා හිතලා ඒ වගේ වැරදි දිගින් දිගටම කරනවා නම් දෙවිගේ මහත් කරුණාව අගය කරනවා කියලා කියන්න බැහැ. ඒත් බරපතළ වැරදිවලින් වළකින එක විතරක් ඇද්ද? බැලූ බැල්මට එච්චර බරපතළ නැහැ වගේ පේන්න තියෙන වැරදි ගැන කියන්න පුළුවන් මොනවද? හැම කාරණයකදීම යෙහෝවා දෙවිට හදවතින්ම කීකරු වෙන්න ඔයා ලොකු වෑයමක් දරනවද?—රෝම 6:14, 17.

16. බරපතළයි කියලා සලකන වැරදිවලින් වැළකිලා ඉන්න එක විතරක් මදි කියලා කියන්නේ ඇයි?

16 පාවුල් ගැන හිතන්න. 1 කොරින්ති 6:9-11 සඳහන් වෙලා තියෙන වැරදි එයා කළේ නැහැ කියලා අපි දන්නවා. ඒත් එයා මෙහෙම කිව්වා. “වැරදි දේවලට වහල් වී සිටින මා දුර්වලය. ඇත්තෙන්ම මා කරන්නේ කුමක්ද කියා මම දන්නේ නැත. මන්ද මා කරන්නේ මා කරන්න කැමති දේ නොව මා පිළිකුල් කරන දේමය.” (රෝම 7:14, 15) බරපතළයි කියලා සලකන වැරදි කළේ නැති වුණත් තමන් අතින් වැරදි වෙනවා කියලා පාවුල් පිළිගත්තා කියලා ඒකෙන් තේරෙනවා. දෙවිව සතුටු කරන්න එයාට තිබුණ ආසාව නිසා දෙවි පිළිකුල් කරපු කිසිම දෙයක් නොකර ඉන්න එයා ලොකු සටනක් කළා. (රෝම 7:21-23 කියවන්න.) දෙවිට කීකරු වෙන්න පාවුල් වගේ අපිත් අපිට පුළුවන් උපරිමය කරමු.

17. අවංකව වැඩ කරන්න ඔයා අදිටන් කරගෙන ඉන්නේ ඇයි?

17 දෙවිට අපේ කීකරුකම පෙන්නන්න පුළුවන් එක පැත්තක් අවංකකම. (හිතෝපදේශ 14:5; එෆීස 4:25 කියවන්න.) “බොරුවේ පියා” සාතන්. එයා වගේ වෙන්න අපි කවුරුත් කැමති නැහැ. අනනියස් සහ සෆීරා මිය ගියේ බොරු කිව්ව නිසයි. බොරු කියන එක දෙවි කොච්චර පිළිකුල් කරනවද කියලා ඒකෙන් පැහැදිලියි. (යොහ. 8:44; ක්‍රියා 5:1-11) ඒත් අවංක වෙනවා කියන්නේ බොරු නොකියා ඉන්න එක විතරක් නෙමෙයි. දෙවිගේ මහත් කරුණාව අපි ඇත්තටම අගය කරනවා නම් ජීවිතේ හැම පුංචි කාරණයකදීම අපි අවංකව වැඩ කරනවා.

18, 19. අවංක කෙනෙක් කොයි වගේද?

18 කෙනෙක් බොරු කියන්නේ නැති වුණාට ඒ කෙනා 100%ක් අවංක නැති වෙන්න පුළුවන්. අවංක කෙනෙක් කොයි වගේ වෙන්න ඕනෙද කියලා යෙහෝවා දෙවි කියපු මේ දෙයින් තේරෙනවා. “ඔබ සොරකම් නොකළ යුතුයි. එකිනෙකාව රැවටීමෙන්ද එකිනෙකාට වංචා කිරීමෙන්ද වැළකී සිටිය යුතුයි.” ඒකට හේතුව දෙවිම පැහැදිලි කළේ මෙහෙමයි. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.” (ලෙවී. 19:11, 2) බොරුවක් කිව්වේ නැති වුණත් ඇත්ත වසං කරනවා නම්, කෙනෙක්ව රවට්ටනවා නම් අපි අවංක නැහැ.

සහෝදරයෙක් වැඩපොළේ ප්‍රධානියා එක්ක කතා කරමින් ඉන්නවා. අනිත් අය ඒක අහගෙන ඉන්නවා

බොරු කියන්නේ නැතුව ඉන්න, අනිත් අයව රවට්ටන්නේ නැතුව ඉන්න ඔයා අදිටන් කරගෙන ඉන්නවද? (19 ඡේදය බලන්න)

19 හිතන්න, කෙනෙක් තමන්ට බෙහෙත් ගන්න යන්න තියෙන නිසා වැඩ ඇරෙන්න කලින් පිටත් වෙන්න ඕනෙ කියලා වැඩපොළේ ප්‍රධානියාට නැත්නම් එයාත් එක්ක වැඩ කරන අයට කියනවා කියලා. ඒත් ඇත්තටම එයාට ඕනෙ ගෙදර අයත් එක්ක පොඩි විනෝද ගමනක් යන්න. එයාට බෙහෙත් ගන්නත් තියෙනවා. ඒත් ඒ ෆාමසියෙන්. ඒකට යන්නේ පුංචි වෙලාවක්. බෙහෙතක් ගන්න තිබුණ නිසා එයා බොරුවක් කිව්වේ නැහැ කියලා හිතෙයි. ඒත් එයා කළේ ඇත්ත වසං කරන එකයි. ඒ වගේ කෙනෙක් අවංකයිද? නැහැ. එයා අනිත් අයව රැවැට්ටුවා. සමහර වෙලාවට මිනිසුන් තමන්ට වාසි ලබාගන්න, දඬුවම්වලින් බේරෙන්න ඇත්ත වසං කරලා අනිත් අයව රවට්ටනවා. ඒත් අපි යෙහෝවා දෙවිට කීකරුයි. ඔහු කිව්වේ ‘එකිනෙකාව රැවටීමෙන් වැළකී සිටිය යුතුයි’ කියලා. අපිට ඕනෙ ශුද්ධයි, ධර්මිෂ්ඨයි කියලා දෙවි සලකන දේවල් කරන්නයි.—රෝම 6:19.

20, 21. දෙවිගේ මහත් කරුණාව අගය කරනවා නම් අපි වළකින්නේ තව මොන වගේ දේවලින්ද?

20 යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අපි ඇත්තටම අගය කරනවා නම් අනාචාරය, බේබදුකම වගේ බරපතළ වැරදිවලින් විතරක් නෙමෙයි දෙවි පිළිකුල් කරන හැම පුංචි දේකින්ම අපි වළකිනවා. උදාහරණෙකට අනාචාරයෙන් වළකිනවා වගේම පහත්, අසභ්‍ය දේවල් බලන, අහන, කියවන එකෙනුත් අපි වළකිනවා. වෙරි වෙලා වැටෙන තරමට අපි බොන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඒ සීමාවට ළං වෙන තරමට බොන එකෙනුත් වළකිනවා. ඒ වගේ වැරදි පෙලඹීම්වලට විරුද්ධව සටන් කරන එක ලේසි නැතුව ඇති. ඒත් වෑයම් කරනවා නම් ඒ සටන ජය ගන්න පුළුවන්.

21 අපි උත්සාහ කරන්නේ පාවුල් කිව්ව මේ දේ අදාළ කරගන්නයි. “පව්කාර ස්වභාවයට රජෙකු වී, ඔබේ මැරෙනසුලු ශරීරය පාලනය කිරීමට ඉඩ නොදෙන්න. එසේ ඉඩ දුන්නොත් එයින් ඇති වන ආශාවන්ට ඔබ වහල් වනු ඇත.” (රෝම 6:12; 7:18-20) ඇත්ත, කිසිම වරදක් නොකර හැම දෙයක්ම හරියටම කරන්න අපිට බැරි වෙයි. ඒ වුණත් දෙවි වරදක් හැටියට සලකන හැම දේකින්ම වළකින්න අපි ලොකු වෑයමක් දරනවා නම් යෙහෝවා දෙවි සහ යේසුස් අපිට පෙන්නපු මහත් කරුණාව අපි හදවතින්ම අගය කරනවා කියලා කියන්න පුළුවන්.

22. දෙවිගේ මහත් කරුණාව අගය කරන අයට ලැබෙන ආශීර්වාදය මොකක්ද?

22 දෙවිගේ මහත් කරුණාව නිසා අපේ පව්වලට සමාව දෙන්න දෙවිට පුළුවන් වුණා. ඉදිරියේදීත් ඔහුට ඒ දේ කරන්න පුළුවන්. ඒ ගැන අපි දෙවිට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! අද සමාජය වැරදියි කියලා සලකන්නේ නැති ඒත් දෙවි පිළිකුල් කරන දේවල් කරන එකෙන් අපි සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. එහෙම අය අද්දකින පුදුමාකාර ආශීර්වාද ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “දැන් ඔබ තවදුරටත් ඔබේ පව්කාර ස්වභාවයට වහල් නොවී දෙවිගේ දාසයන් බවට පත් වී සිටින නිසා ඔබ ශුද්ධය. ඔබ අද්දකින ප්‍රතිඵලය එයයි. එය සදාකාල ජීවනයට මඟ පාදන්නේය.”—රෝම 6:22.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න