ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 පෙබරවාරි 29 පි.-30 පි. 6 ¶
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න ගැටලු මැදින් යෙහෝවා අපිව පරෙස්සමට ගෙනියනවා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පරීක්ෂාවන් දෙස අප බැලිය යුත්තේ කෙසේද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පරීක්ෂා හමුවේ ඔබේ ඇදහිල්ලට ඇලී සිටින්න!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පීඩා සතුටින් විඳදරාගන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 පෙබරවාරි 29 පි.-30 පි. 6 ¶

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වැරදි දේවල් කරන්න පෙලඹීමක් එද්දී ‘ඒ පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට දෙවි ඉඩ දෙන්නේ නැත’ කියලා පාවුල් කිව්වා. (1 කොරි. 10:13) ඒ කියන්නේ අපිට මුහුණ දෙන්න පුළුවන් මොන වගේ දේවලටද කියලා දෙවි කලින්ම බලලා ඒ අනුව යම් දේවලට මුහුණ දෙන්න අපිට ඉඩහරිනවා කියන එකද?

මේ අද්දැකීම බලන්න. සහෝදරයෙක්ගේ පුතෙක් සිය දිවි හානි කරගත්තා. ඒක ඒ සහෝදරයාට ලොකු වේදනාවක් වුණා. තමන්ටත් තමන්ගේ බිරිඳටත් ඒ දුක දරාගන්න පුළුවන් කියලා දෙවි අනාගතය දිහා බලලා කලින්ම තීරණය කරපු නිසාද ඒ දේ වුණේ කියලා එයා හිතුවා. එහෙම හිතපු එක එයාගේ ජීවිතේට කොහොම බලපාන්න ඇද්ද? අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයක නිසා අපෙන් හුඟදෙනෙක්ට වේදනාකාරී දේවලට මුහුණ දෙන්න වෙයි. ඒත් අපි මුහුණ දෙන හැම දෙයක්ම පාලනය කරන්නේ දෙවියි කියලා හිතන්න පුළුවන්ද?

අපිට යම් දේවලට මුහුණ දෙන්න යෙහෝවා දෙවි ඉඩහරින්නේ අනාගතය දිහා බලලා කියන අදහස බයිබලේට එකඟ නැහැ කියලා 1 කොරින්ති 10:13 තියෙන තොරතුරු අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙනවා. එහෙම කියන්න තියෙන හේතු 4ක් දැන් බලමු.

(1) යෙහෝවා දෙවි මිනිසුන්ට තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. ඒ නිසා දෙවි කැමති අපිම හිතලා බලලා තීරණ ගන්නවට. (ද්වි. 30:19, 20; යොෂු. 24:15) දෙවි සතුටු වෙන විදිහට වැඩ කරන්න අපි තීරණය කරනවා නම් ඔහුගේ මඟ පෙන්වීම් පතන්න අපිට පුළුවන්. (හිතෝ. 16:9) ඒත් වැරදි දේවල් කරන්න අපි තීරණය කරනවා නම් ඒවා නිසා ඇති වෙන ප්‍රතිඵලවලට මුහුණ දෙන්නත් අපිට සිද්ධ වෙනවා. (ගලා. 6:7) අපි යම් අමාරු තත්වයකට මුහුණ දෙන්නේ දෙවි කලින්ම ඒ දේ තීරණය කරලා තියෙන නිසා නම් තීරණ ගන්න නිදහසක් ඇත්තටම අපිට තියෙනවද?

(2) “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” වෙද්දී දෙවි අපිව ඒකෙන් ආරක්ෂා කරන්නේ නැහැ. (දේශ. 9:11) යේසුස්ගේ කාලේ සිලෝම් පොකුණ ළඟ තිබුණ ටැඹ කඩාගෙන වැටුණ වෙලාවේ එතන හිටපු 18දෙනෙක් මිය ගියා. එයාලා මිය ගියේ දෙවි ඒක කලින්ම තීරණය කරලා තිබුණ නිසා නෙමෙයි කියලා යේසුස් පැහැදිලි කළා. (ලූක් 13:1-5) ඕනෙම කෙනෙක්, ඕනෙම වෙලාවක හදිසි අනතුරකට මුහුණ දෙන්න පුළුවන්. ඒත් ඒ වගේ අනතුරක් වුණාම මිය යන්න ඕනෙ කවුද, බේරෙන්න ඕනෙ කවුද කියලා දෙවි තීරණය කරලා තියෙනවා කියලා හිතන්න කිසිම පදනමක් නැහැ.

(3) අපි දෙවිට ළැදිද නැද්ද කියන එක පෙන්නන්න අපි එක් එක් කෙනාට අවස්ථාව තියෙනවා. දෙවිගේ සේවකයන් ඔහුට ළැදිව ඉන්නේ ඔහු එයාලට ආශීර්වාද කරන නිසා කියලත් අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න ඉඩහැරියොත් එයාලා දෙවිව අත්හරිනවා කියලත් සාතන් කිව්වා. (යෝබ් 1:9-11; 2:4; එළි. 12:10) සමහර දේවලට මුහුණ දෙන්න අපිට හැකියාවක් නැහැ කියලා දෙවි කලින්ම දැනගෙන ඒවා අපෙන් අයින් කරනවා නම් සාතන් කියපු දේ ඇත්තක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

(4) අනාගතයේදී අපි මුහුණ දෙන්නේ මොන වගේ දේවලටද කියලා දෙවි කලින්ම බලන්නේ නැහැ. ඔහුට ඕනෙ නම් අනාගතයේ වෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. (යෙසා. 46:10) ඒත් අනාගතයේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම දෙවි බලන්නේ නැහැ කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලියි. (උත්. 18:20, 21; 22:12) දෙවි ධර්මිෂ්ඨ, අපිට හුඟක් ආදරේ කරන කෙනෙක් නිසා ඔහුට තියෙන ඒ හැකියාව ඔහු පාවිච්චි කරන්නේ තීරණ ගන්න අපිට තියෙන නිදහසට ගරු කරලයි.—ද්වි. 32:4; 2 කොරි. 3:17.

එහෙමනම් වැරදි දෙයක් කරන්න එන ‘පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ’ කියද්දී පාවුල් අදහස් කළේ මොකක්ද? පාවුල් එතන කතා කරන්නේ අපි යම් අමාරු දේකට මුහුණ දෙද්දී දෙවි ඒ අවස්ථාවේ කරන දෙයක් ගැන මිසක් අපි ඒ දේට මුහුණ දෙන්න කලින් දෙවි කරන දෙයක් ගැන නෙමෙයි.a අපි යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් වැරදි පෙලඹීම් එද්දී, දුෂ්කර දේවලට මුහුණ දෙන්න වෙද්දී දෙවි අපිට උදව් කරනවා. (ගීතා. 55:22) පාවුල්ට ඒ දේ ලොකු නිසැකකමකින් කියන්න පුළුවන් වුණේ ඇයි? ඒකට හේතු 2ක් බලමු.

පළවෙනි හේතුව අපි මුහුණ දෙන්නෙත් පොදුවේ “අන් සියලු මිනිසුන්” මුහුණ දෙන දේවලටම නිසයි. ඒත් දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් ඒවායින් යටපත් නොවී ඉන්න අපිට පුළුවන්. (1 පේතෘ. 5:8, 9) පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ විශ්වාසය සෝදිසියට ලක් වුණු අවස්ථා ගැන 1 කොරින්ති 10වෙනි පරිච්ඡේදයේ මුල් පදවල පාවුල් කතා කරනවා. (1 කොරි. 10:6-11) ඒත් ඒ කිසිම දෙයක් මිනිසුන්ට දරාගන්න හැකියාව නැති, දෙවිට විශ්වාසවන්තව ඉන්න බැරි තරම් අමාරු ඒවා නෙමෙයි. මොකද දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරපු අය ඒ අමාරු අවස්ථාවලදීත් දෙවිට ළැදිව හිටියා. දෙවිට අකීකරු වුණේ දෙවි ගැන විශ්වාසය තිබ්බේ නැති අයයි.

දෙවෙනි හේතුව “දෙවි විශ්වාසවන්ත” කෙනෙක් නිසයි. යෙහෝවා දෙවි “තමාට ප්‍රේම කරන හා තමා අණ කරන දේට කීකරු වන අයට” කොයි තරම් ආදරයක් පෙන්නලා තියෙනවද කියලා බයිබල් වාර්තාවලින් පැහැදිලියි. (ද්වි. 7:9) ඒ වගේම ඔහු දෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලත් ඒ වාර්තාවලින් පැහැදිලියි. (යොෂු. 23:14) ඒ නිසා අපිට මේ කාරණා ගැන ස්ථිර වෙන්න පුළුවන්. පීඩාවලට මුහුණ දෙද්දී, වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී ඒකෙන් යටපත් වෙන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ. “එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙනවා” කියලත් නිසැකයි.

සහෝදරියක් බයිබලය කියවමින්, යාච්ඤා කරමින්, වැඩිමහල්ලන් එක්ක කතා කරමින්

යෙහෝවා දෙවි “සියලු පීඩාවලදී අපව සනසනවා”

දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන අයට පීඩා නැත්නම් වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී ඒකෙන් ගොඩ එන්න දෙවි මඟක් සලසා දෙන්නේ කොහොමද? අපි මුහුණ දෙන ඒ අමාරු දේ අපෙන් අයින් කරන්න දෙවිට පුළුවන්. ඒත් පාවුල් කිව්ව දේ මතකද? එයා කියන්නේ ‘එයින් ගොඩ ඒමට මඟක් දෙවි සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ’ කියලා. ඒ කියන්නේ හුඟක් වෙලාවලදී දෙවි ඒ අමාරු දේ අපෙන් අයින් කරනවා වෙනුවට ඒකට හොඳින් මුහුණ දෙන්න ඔහු අපිව ශක්තිමත් කරනවා කියන එකයි. එතකොට දිගටම දෙවිට ළැදිව ඉන්න අපිට පුළුවන්. දෙවි අපිව ශක්තිමත් කරන විදි කීපයක් බලන්න.

  • යෙහෝවා දෙවි “සියලු පීඩාවලදී අපව සනසනවා.” (2 කොරි. 1:3, 4) බයිබලය, ඔහුගේ බලය, දාසයා මාර්ගයෙන් අපේ හිත සන්සුන් කරගන්න, හැඟීම් පාලනය කරගන්න අපිට උදව් කරන්න දෙවිට පුළුවන්.—මතෙ. 24:45; යොහ. 14:16; රෝම 15:4.

  • දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපිට මඟ පෙන්නනවා. (යොහ. 14:26) අමාරු තත්වයකට මුහුණ දීලා ඉද්දී ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති, බයිබලේ සඳහන් සිද්ධීන් දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපිට මතක් කරනවා.

  • දේවදූතයන් මාර්ගයෙන් දෙවි අපිට උදව් කරනවා.—හෙබ්‍රෙ. 1:14.

  • අපේ සහෝදර සහෝදරියන් මාර්ගයෙනුත් දෙවි අපිට උදව් කරනවා. එයාලා කරන කියන දේවල් නිසා අපිට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” ලැබෙනවා.—කොලො. 4:11.

එහෙමනම් 1 කොරින්ති 10:13න් අපි තේරුම්ගන්නේ මොනවද? අපි මුහුණ දෙන්න ඕනෙ මොන වගේ දේවලටද කියලා දෙවි කලින්ම තීරණය කරන්නේ නැහැ. ඒත් අමාරු අවස්ථාවලට මුහුණ දෙද්දී අපි දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් ඒ දෙයින් සම්පූර්ණයෙන්ම යටපත් වෙන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ. ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඔහු අපිට උදව් කරනවා. ‘එයින් ගොඩ ඒමට දෙවි මඟක් සලසා’ දෙන නිසා දිගටම දෙවිට ළැදිව ඉන්න අපිට පුළුවන්.

a ‘වැරදි දෙයක් කරන්න එන පෙලඹීම්’ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට “පීඩා” කියන අදහසත් ඇතුළත්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න