ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w19 සැප්තැම්බර් 8-13 පි.
  • හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න!
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හර්–මගෙදොන් කියන්නේ මොකක්ද?
  • හර්–මගෙදොන් යුද්ධයට කලින්
  • බේරෙන්න පුළුවන් කොහොමද?
  • දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න
  • අර්මගෙදොන් කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • හර්–මගෙදොන් ප්‍රීතිමත් යුගයක ආරම්භයක්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හර්–මගෙදොන් පටන්ගන්නේ ඊශ්‍රායෙලයෙන්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w19 සැප්තැම්බර් 8-13 පි.

පාඩම් ලිපිය 36

හර්–මගෙදොන් යුද්ධය එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න!

‘ඔවුහු, හර්–මගෙදොන් නමැති ස්ථානයට රැස් වූහ.’—එළි. 16:16.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

මේ ලිපියෙන්a

1-2. (අ) හර්–මගෙදොන් යුද්ධය මිනිසුන්ට සතුටුදායක දෙයක් කියන්නේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?

සමහරු විශ්වාස කරන්නේ න්‍යෂ්ටික යුද්ධයකින් හෝ ස්වාභාවික විපතකින් මුළු පොළොවම විනාශ වෙයි කියලා. ඒත් බයිබලේ එහෙම කියන්නේ නැහැ. බයිබලේ කියන්නේ ළඟදීම සිද්ධ වෙන යුද්ධයක් නිසා ලෝකෙට යහපත් කාලයක් උදා වෙනවා කියලයි. ඒක හඳුන්වලා තියෙන්නේ හර්–මගෙදොන් කියලා. ඒ යුද්ධය ගැන බයිබලේ සඳහන් තොරතුරු නිසා අපිට දැනෙන්නේ ලොකු සතුටක්. (එළි. 1:3) ඒකෙන් මිනිස් වර්ගයාව විනාශ වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලව බේරගන්නවා. ඒ කොහොමද?

2 හර්–මගෙදොන් යුද්ධයේදී සිද්ධ වෙන මේ දේවල් 3 බලන්න. බයිබලේ කියන්නේ හර්–මගෙදොන් යුද්ධයේදී මිනිස් ආණ්ඩු හැම එකක්ම ඉවත් කරනවා කියලයි. ඒ යුද්ධයේදී දුෂ්ට අයව විනාශ කරලා ධර්මිෂ්ඨ අයගේ ජීවිත ආරක්ෂා කරනවා. ඒ වගේම ඒ යුද්ධයේදී පොළොව විනාශ කරන අයව විනාශ කරන නිසා පොළොව ආරක්ෂා වෙනවා. (එළි. 11:18) ඒ කාරණා ගැන තවත් හොඳින් තේරුම්ගන්න මේ ප්‍රශ්න 4ට උත්තර බලමු. (1) හර්–මගෙදොන් කියන්නේ මොකක්ද? (2) ඒකට කලින් වෙන සිදුවීම් මොනවාද? (3) ඒ යුද්ධයෙන් බේරෙන අය අතරේ ඉන්න අපිට පුළුවන් කොහොමද? (4) හර්–මගෙදොන් යුද්ධයට දවසින් දවස ළං වෙන මේ කාලේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කොහොමද?

හර්–මගෙදොන් කියන්නේ මොකක්ද?

3. (අ) “හර්–මගෙදොන්” කියන වචනයෙන් අදහස් වෙන්නේ මොකක්ද? (ආ) හර්–මගෙදොන් කියන්නේ ඇත්ත තැනක් නෙමෙයි කියලා එළිදරව් 16:14, 16 පැහැදිලි වෙන්නේ කොහොමද?

3 එළිදරව් 16:14, 16 කියවන්න. “හර්–මගෙදොන්” කියන හෙබ්‍රෙව් වචනය බයිබලේ තියෙන්නේ එක තැනක විතරයි. ඒකේ තේරුම “මෙගිද්දෝ කන්ද.” මෙගිද්දෝ කියන්නේ අතීත ඊශ්‍රායෙලයේ තිබුණ නගරයක්. (යොෂු. 17:11) ඒත් හර්–මගෙදොන් කියන්නේ ඇත්ත තැනකට නෙමෙයි. ඒක යොමු දක්වන්නේ “මුළු ලොව පුරාම සිටින රජුන්” යෙහෝවා දෙවියන්ට විරුද්ධව යුද්ධ කරන්න රැස් වෙන අවස්ථාවටයි. (එළි. 16:14) ඒත් මේ ලිපියේ “හර්–මගෙදොන්” කියන වචනය ලොව පුරාම ඉන්න රජවරු රැස් වුණාට පස්සේ සිද්ධ වෙන යුද්ධය විස්තර කරන්නත් පාවිච්චි කරලා තියෙනවා. හර්–මගෙදොන් කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ සංකේතාත්මක අර්ථයක් කියලා අපි දන්නේ කොහොමද? (1) මෙගිද්දෝ කියලා කන්දක් ලෝකේ කොහේවත් නැහැ. (2) මෙගිද්දෝ අවට ප්‍රදේශය “මුළු ලොව පුරාම සිටින රජුන්ට,” එයාලගේ හමුදාවන් සහ යුධ උපකරණ එක්ක රැස් වෙන්න තරම් විශාල ප්‍රදේශයක් නෙමෙයි. (3) හර්–මගෙදොන් යුද්ධය ආරම්භ වෙන්නේ පොළොවේ රජවරු දෙවියන්ගේ සෙනඟට පහර දෙද්දියි. දෙවියන්ගේ සෙනඟ මුළු පොළොව පුරාම විසිරිලා ඉන්න නිසා එක තැනකදී එයාලා හැමෝටම පහර දෙන්න බැහැ.

4. අවසාන මහත් යුද්ධයට දෙවියන් මෙගිද්දෝ කියන ස්ථානය සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි?

4 අවසාන මහත් යුද්ධයට දෙවියන් මෙගිද්දෝ කියන ස්ථානය සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි? අතීතයේදී මෙගිද්දෝ සහ ඒ අසල තිබුණ යෙෂ්‍රෙයෙල් තැනිතලාවේ හුඟක් යුද්ධ සිද්ධ වුණා. සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවියන් මැදිහත් වෙලා ඒ යුද්ධ ජය ගන්න ඔහුගේ සෙනඟට උදව් කළා. උදාහරණෙකට බාරාක් දෙවියන්ගේ උදව්වෙන් හමුදාපති සිසෙරා යටතේ ආපු බලවත් කානානි හමුදාව පරාජය කළේ ‘මෙගිද්දෝ ජල ධාරා අසලදී.’ එයාලා ලබපු ජයග්‍රහණයට යෙහෝවා දෙවියන්ට ස්තුති කරලා බාරාක් සහ දෙබොරා මෙහෙම ගායනා කළා. ‘අහස්තලයේ තාරකාවෝ තම වාසස්ථානයේ සිට සිසෙරාට විරුද්ධව සටන් කළෝය. කීෂොන් නදියේ දිය පහරට ඔවුහු ගසාගෙන ගියෝය.’—විනි. 5:19-21.

5. බාරාක් සටන් කරපු යුද්ධයට වඩා හර්–මගෙදොන් යුද්ධය වෙනස් වෙන්නේ කොයි විදිහෙන්ද?

5 බාරාක් සහ දෙබොරා එයාලගේ ගීතය අවසන් කරන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවියනි! ඔබේ සියලු සතුරෝ විනාශ වෙත්වා! දෙවිට ප්‍රේම කරන්නෝ දීප්තියෙන් බැබළෙන හිරු මෙන් වෙත්වා!” (විනි. 5:31) හර්–මගෙදොන් යුද්ධයේදීත් දෙවියන්ගේ සතුරන්ව විනාශ කරලා ඔහුට ආදරේ කරන අයව ගලවගන්නවා. ඒත් ඒ යුද්ධ දෙක අතරේ වැදගත් වෙනසක් තියෙනවා. ඒ තමයි හර්–මගෙදොන් යුද්ධයේදී දෙවියන්ගේ සෙනඟ සටන් කරන්නේ නැහැ. එයාලා ළඟ ආයුධවත් නැහැ. එයාලගේ ශක්තිය වෙන්නේ යෙහෝවා දෙවියන් සහ ස්වර්ගයේ ඉන්න ඔහුගේ සේනාව ගැන එයාලට තියෙන විශ්වාසයයි.—යෙසා. 30:15; එළි. 19:11-15.

6. හර්–මගෙදොන් යුද්ධයේදී සතුරන්ව විනාශ කරන්න දෙවියන් මොන වගේ දේවල් පාවිච්චි කරයිද?

6 හර්–මගෙදොන් යුද්ධයේදී දෙවියන් ඔහුගේ සතුරන්ව විනාශ කරන්නේ කොහොමද? ඔහු විවිධ ක්‍රම පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. සමහරවිට ඔහු භූමිකම්පා, හිම කැට සහ අකුණු යොදාගනියි. (යෝබ් 38:22, 23; එස. 38:19-22) එයාලගෙම පැත්තේ ඉන්න අය එක්ක සටන් කරන්න සතුරන්ව පොලඹවන්න ඔහුට පුළුවන්. (2 ලේක. 20:17, 22, 23) දුෂ්ටයන්ව විනාශ කරන්න ඔහු දේවදූතයන්ව පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා. (යෙසා. 37:36) ඒ මොන දේ පාවිච්චි කළත් අවසානයේදී ජය ගන්නේ යෙහෝවා දෙවියන්. ඔහුගේ හැම සතුරෙක්ම විනාශ වෙනවා. ධර්මිෂ්ඨ අය බේරෙනවා.—හිතෝ. 3:25, 26.

දැන්ම සූදානම් වෙන්න

ළඟදීම සිදු වෙන්න යන දේවල් ගැන බයිබලේ සඳහන් වෙනවා. ලෝකේ ඉන්න වැඩිදෙනෙක් ඒ සිදුවීම් දකිද්දී පුදුම වෙයි. ඒ කාලේදී ඔයා මොනවා කරයිද කියලා හිතලා තියෙනවාද?

 හර්–මගෙදොන් යුද්ධයට කලින් වෙන සිදුවීම්වලට මේ ලෝකයේ මිනිසුන් මුහුණ දෙන විදිහ සහ යෙහෝවා දෙවියන්ගේ සෙනඟ මුහුණ දෙන විදිහ පෙන්නන පින්තූර 6ක්

(7-15 ඡේද බලන්න)b

හර්–මගෙදොන් යුද්ධයට කලින්

7-8. (අ) 1 තෙසලෝනික 5:1-6 අනුව ලෝක නායකයන් කරන්න යන්නේ මොන වගේ නිවේදනයක්ද? (ආ) ඒ නිවේදනය භයානක බොරුවක් කියන්නේ ඇයි?

7 “යෙහෝවා දෙවිගේ දවස” පටන්ගන්න කලින් “මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙනවා. (1 තෙසලෝනික 5:1-6 කියවන්න.) 1 තෙසලෝනික 5:2 “යෙහෝවා දෙවිගේ දවස” කියද්දී අදහස් වෙන්නේ ‘මහත් පීඩාවයි.’ (එළි. 7:14) ඒ පීඩාව පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී හරිම අමුතුම නිවේදනයක් කරන්න යනවා කියලා බයිබලේ කියනවා. ඒ නිවේදනය මහත් පීඩාව පටන්ගන්නයි යන්නේ කියන්න ලකුණක්.

“සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය

මේ සමාජයේ මිනිසුන් මුහුණ දෙන විදිහ

ලෝක නායකයන් ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා

(8 ඡේදය බලන්න)

යෙහෝවා දෙවියන්ගේ සෙනඟ මුහුණ දෙන විදිහ

යුවළක් සඟරා, පොත් තියෙන කාට් එකක් ළඟ ඉන්නවා

(8 ඡේදය බලන්න)

8 ඒ නිවේදනයෙන් කියන්නේ “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලයි. ලෝක නායකයන් ඒ වගේ නිවේදනයක් කරන්නේ ඇයි? ආගමික නායකයනුත් ඒ නිවේදනය දෙන්න එයාලට එකතු වෙයිද? එහෙම හිතන්න පුළුවන්. ඒ කොහොමවුණත් ඒ නිවේදනය බොරුවක්. ඒ නිවේදනය කරන්න ලෝක නායකයන්ව පොලඹවන්නේ භූතයන්. ඒක හරිම භයානක බොරුවක්. මොකද ඒක විශ්වාස කරන මිනිසුන් හිතනවා එයාලා දැන් සුරක්ෂිතයි කියලා. ඒත් ඇත්තටම එයාලා ඉන්නේ ලෝක ඉතිහාසයේ සිද්ධ වෙන දරුණුම පීඩාව අද්දර. ඒ නිවේදනය දෙනවාත් එක්කම “ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වන්නා සේ නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ.” එතකොට දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට මොකද වෙන්නේ? යෙහෝවා දෙවියන්ගේ දවස නොහිතන වෙලාවක පටන්ගත්තත් එයාලා ඉන්නේ සූදානමින්.

9. මේ දුෂ්ට සමාජය යෙහෝවා දෙවියන් එකපාරින්ම විනාශ කරයිද? පැහැදිලි කරන්න.

9 නෝවාගේ දවස්වලදී කළා වගේ යෙහෝවා දෙවියන් මේ දුෂ්ට සමාජය එකපාරින්ම විනාශ කරන්නේ නැහැ. ඔහු ඒක කරන්නේ අදියර දෙකකදී. මුලින් ඔහු මහ බැබිලෝනිය විදිහට හඳුන්වන අසත්‍ය උගන්වන ආගම් විනාශ කරනවා. ඊළඟට හර්–මගෙදොන් යුද්ධයේදී දේශපාලනය, හමුදා බලයන්, ව්‍යාපාර ලෝකය ඇතුළුව සාතන්ගේ දුෂ්ට සමාජයට අයිති හැම දේම විනාශ කරනවා. ඒ ප්‍රධාන සිද්ධීන් 2 ගැන දැන් බලමු.

10. එළිදරව් 17:1, 6 සහ 18:24 අනුව යෙහෝවා දෙවියන් මහ බැබිලෝනිය විනාශ කරන්නේ ඇයි?

10 “මහා ගණිකාව පිට පැමිණෙන විනිශ්චය.” (එළිදරව් 17:1, 6; 18:24 කියවන්න.) මහ බැබිලෝනිය නිසා දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන්නේ ලොකු නින්දාවක්. එයා දෙවියන් ගැන උගන්වලා තියෙන්නේ අමූලික බොරු. මහ බැබිලෝනිය ලෝක නායකයන්ට සහය දීලා දෙවියන්ට ද්‍රෝහි වෙන නිසා එයා හරියට ගණිකාවක් වගේ. ඒ වගේම තමන් යටතේ ඉන්න අයව පීඩාවට පත් කරලා එයා ඒ අයගේ සල්ලි ගසා කනවා. ඒ ගණිකාව දෙවියන්ගේ සෙනඟ ඇතුළුව තව හුඟදෙනෙක්ව මරලා තියෙනවා. (එළි. 19:2) යෙහෝවා දෙවියන් මහ බැබිලෝනිය විනාශ කරන්නේ කොහොමද?

“මහා ගණිකාව පිට පැමිණෙන විනිශ්චය”

මේ සමාජයේ මිනිසුන් මුහුණ දෙන විදිහ

හමුදාවෙන් ආගමික ගොඩනැඟිලි විනාශ කරනවා

(11 ඡේදය බලන්න)

යෙහෝවා දෙවියන්ගේ සෙනඟ මුහුණ දෙන විදිහ

පවුලක් එකට එකතු වෙලා බයිබලය කියනවා

(12 ඡේදය බලන්න)

11. “තද රතු පාට මෘගයාගෙන්” නියෝජනය වෙන්නේ මොකක්ද? මහ බැබිලෝනියට විරුද්ධව දෙවියන් ඒක පාවිච්චි කරන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවියන් ඒ “මහා ගණිකාව” විනාශ කරන්නේ “තද රතු පාට මෘගයාගේ” “අං දසය” යොදාගෙනයි. ඒ මෘගයාගෙන් නියෝජනය වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. අං දසයෙන් නියෝජනය වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය දෙන දැන් තියෙන ආණ්ඩු. දෙවියන් නියම කරලා තියෙන කාලේදී ඒ ආණ්ඩු මහ බැබිලෝනියට පහර දෙනවා. එයාලා ඒ ගණිකාවට අයිති වස්තුව කොල්ල කාලා, එයාගේ දුෂ්ටකම් හෙළි කරනවා. ඒක හරියට “ඇයව පාළු කර, නිරුවත් කරනවා” වගෙයි. (එළි. 17:3, 16) ඒ විනාශය කොච්චර ඉක්මනින් වෙනවාද කියනවා නම් ඒක හරියට දවසක් ඇතුළත වුණා වගෙයි පේන්නේ. ඒ ගණිකාව කාලයක් තිස්සේ කිව්වේ “මා පාලනය කරන්නේ රැජිනක් ලෙසය. මම වැන්දඹුවක් නොවෙමි. මට කිසිදාක වැලපෙන්න සිදු වන්නේ නැත” කියලයි. ඒ නිසා අසත්‍ය උගන්වන ආගම්වලට සහය දුන්න අය ඒක දැකලා පුදුම වෙනවා.—එළි. 18:7, 8.

12. යෙහෝවා දෙවියන් ජාතීන්ට ඉඩ නොදෙන්නේ මොකක් කරන්නද? ඒ ඇයි?

12 තමන්ගේ සෙනඟව විනාශ කරන්න යෙහෝවා දෙවියන් ජාතීන්ට ඉඩ දෙන්නේ නැහැ. මොකද එයාලා දෙවියන්ගේ නාමය දරන්නේ ලොකු සතුටකින්. ඒ වගේම මහ බැබිලෝනියෙන් ඉවත් වෙන්න කියලා දෙවියන් දීපු ආඥාවට එයාලා කීකරු වෙලා තියෙනවා. (ක්‍රියා 15:16, 17; එළි. 18:4) ඒ දේම කරන්න එයාලා අනිත් අයටත් උදව් කරලා තියෙනවා. ඒ නිසා දෙවියන්ගේ සේවකයන් මහ බැබිලෝනිය ‘මුහුණ දෙන පීඩාවලට හසු වෙන්නේ’ නැහැ. මහ බැබිලෝනියට ගේන විනාශයෙන් එයාලා බේරුණත් ඊළඟට වෙන දේවලට හොඳින් මුහුණ දෙන්න එයාලට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනේ.

යෙහෝවා දෙවියන්ගේ සෙනඟට අයත් පවුලක් ඉන්න ගෙදරකට පොලිස් කණ්ඩායමක් ඇතුල් වෙන්න හදද්දී දේවදූතයන් ඒ දිහා බලාගෙන ඉන්නවා

දෙවියන්ගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරය දියත් කරද්දී ලෝකේ හැම තැනම ඉන්න දෙවියන්ගේ සෙනඟ ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරනවා (13 ඡේදය බලන්න)c

13. (අ) ගොග් කියන්නේ කවුද? (ආ) එසකියෙල් 38:2, 8, 9 අනුව හර්–මගෙදොන් කියන සංකේතාත්මක ස්ථානයට ගොග් එන්නේ මොකක් නිසාද?

13 ගොග්ගේ ප්‍රහාරය. (එසකියෙල් 38:2, 8, 9 කියවන්න.) අසත්‍ය උගන්වන ආගමික සංවිධාන හැම එකක්ම විනාශ කළාට පස්සේ ඉතුරු වෙන්නේ එක ආගමික සංවිධානයක් විතරයි. ඒ යෙහෝවා දෙවියන්ගේ සේවකයන්. ඒ ගැන සාතන්ට දැනෙන කේන්තිය පිට කරන්න එයා “අපවිත්‍ර, අද්භූත පණිවිඩ” යොදාගන්නවා. ඒ කියන්නේ භූතයන්ගෙන් එන වැරදි තොරතුරු නිසා ජාතීන්ගේ එකතුවක් දෙවියන්ගේ සෙනඟට පහර දෙන්න පෙලඹෙනවා. (එළි. 16:13, 14) ජාතීන්ගේ ඒ එකතුව හඳුන්වන්නේ “මාගොග් දේශයේ ගොග්” කියලයි. ජාතීන්ගේ එකතුව දෙවියන්ගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරය දියත් කරද්දී ඒක හරියට එයාලා හර්–මගෙදොන් කියන සංකේතාත්මක ස්ථානයට ආවා වගෙයි. එතකොට හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්නවා.—එළි. 16:16.

‘මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය’

මේ සමාජයේ මිනිසුන් මුහුණ දෙන විදිහ

ගොග්ගේ ප්‍රහාරයේදී සටන් කරන හමුදාවක්

(14 ඡේදය බලන්න)

යෙහෝවා දෙවියන්ගේ සෙනඟ මුහුණ දෙන විදිහ

ප්‍රහාරය සිද්ධ වෙද්දී යෙහෝවා දෙවියන්ගේ සෙනඟව දේවදූතයෙක් ආරක්ෂා කරනවා

(15 ඡේදය බලන්න)

14. ගොග් තේරුම්ගන්න යන්නේ මොකක්ද?

14 ගොග් විශ්වාසය තියන්නේ එයාගේ බලවත් හමුදාව මතයි. (2 ලේක. 32:8) ඒත් අපි විශ්වාසය තියන්නේ අපේ දෙවි යෙහෝවා මතයි. එයාලා ඒක දකින්නේ මෝඩ දෙයක් විදිහට. මොකද බලවත්ව හිටපු මහ බැබිලෝනියේ දෙවිවරුන්ට පුළුවන් වුණේ නැහැ ‘මෘගයාගෙන්වත්,’ උගේ ‘අං දසයෙන්වත්’ ඒක බේරගන්න. (එළි. 17:16) ඒ නිසා දෙවියන්ගේ සෙනඟවත් ලේසියෙන්ම විනාශ කරන්න පුළුවන් කියලා ගොග් හිතනවා. ගොග් හරියට “දේශය වසාගන්නා ගන වලාවක් මෙන්” දෙවියන්ගේ සෙනඟට ප්‍රහාරයක් දියත් කරනවා. (එස. 38:16) ඒත් තමන් අහු වෙලා ඉන්නේ බේරෙන්න බැරි උගුලකටයි කියලා වැඩි වෙලාවක් යන්න කලින් ගොග් තේරුම්ගන්නවා. රතු මුහුද ළඟදී පාරාවෝ තේරුම්ගත්තා වගේ තමන් සටන් කරන්නේ යෙහෝවා දෙවියන්ට විරුද්ධව කියලා ගොග් ඒ වෙලාවේ තේරුම්ගන්නවා.—නික්. 14:1-4; එස. 38:3, 4, 18, 21-23.

15. හර්–මගෙදොන් යුද්ධයේදී යේසුස් කරන්නේ මොනවාද?

15 යේසුස් සහ ස්වර්ගයේ ඉන්න සේනාව දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වෙලා ජාතීන්ගේ එකතුව සහ එයාලගේ හමුදාවන් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (එළි. 19:11, 14, 15) ඒත් ජාතීන්ට බොරු කියලා දෙවියන්ගේ සෙනඟට පහර දෙන්න එයාලව හර්–මගෙදොන් කියන සංකේතවත් ස්ථානයට රැස් කරපු දෙවියන්ගේ ප්‍රධාන සතුරා වන සාතන්ට මොකද වෙන්නේ? යේසුස් සාතන්වත් භූතයන්වත් අගාධයට හෙළලා අවුරුදු දාහකට හිර කරනවා.—එළි. 20:1-3.

බේරෙන්න පුළුවන් කොහොමද?

16. (අ) අපි ‘දෙවිව දැන හඳුනා ගෙන’ ඉන්න අය කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (ආ) දෙවියන්ව දැන හඳුනා ගෙන ඉන්න අයට හර්–මගෙදොන් යුද්ධයේදී මොකද වෙන්නේ?

16 අපි සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න පටන්ගත්තේ ළඟදී වුණත් කාලෙකට කලින් වුණත් හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන්න නම් අපි දෙවියන්ව හොඳින් ‘දැන හඳුනා ගෙන’ ඉන්න අය කියලත් “අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු” වෙන අය කියලත් අපි පෙන්නන්න ඕනේ. (2 තෙස. 1:7-9) දෙවියන් කැමති, අකමැති දේවල් සහ ඔහුගේ ප්‍රතිපත්ති ගැන හොඳින් දැනුවත් වෙද්දී අපි දෙවියන්ව ‘දැන හඳුනනවා’ කියලා කියන්න පුළුවන්. ඔහුට ආදරේ කරද්දී, කීකරු වෙද්දී, ඔහුට විතරක් නමස්කාර කරද්දී අපි පෙන්නන්නේ අපි දෙවියන්ව හොඳින් ‘දැන හඳුනා ගෙන’ ඉන්නවා කියලයි. (1 යොහ. 2:3-5; 5:3) දෙවියන්ව ‘හඳුනගත්ත’ අය හැටියට ජීවත් වෙද්දී දෙවියන් අපිව ‘පිළිගන්නවා.’ (1 කොරි. 8:3) ඒ කියන්නේ ඔහුගේ අනුමැතිය අපිට ලැබෙනවා. ඔහුගේ අනුමැතිය තියෙන අය හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙනවා.

17. “යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු” වෙනවා කියන්නේ මොකක්ද?

17 “යේසුස් පිළිබඳ ශුභාරංචියට” ඔහු උගන්වපු හැම දේම ඇතුළත්. ඒ සත්‍යයන් අපිට බයිබලෙන් කියවන්න පුළුවන්. අපි ඒ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙද්දී අපි ඒ ශුභාරංචියට කීකරු වෙනවා. අපේ කීකරුකමට දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට ජීවිතේ මුල් තැන දෙන එක, දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එක සහ දේවරාජ්‍යය ගැන දේශනා කරන එක ඇතුළත්. (මතෙ. 6:33; 24:14) ඒ වගේම අභිෂේක ලත් අයට භාර දීලා තියෙන බැරෑරුම් වගකීම් හොඳින් කරන්න එයාලට සහය දෙන එකත් අපේ කීකරුකමට ඇතුළත්.—මතෙ. 25:31-40.

18. අභිෂේක ලත් අයට අපි පෙන්නන ආදරේ එයාලා අගය කරනවා කියලා පෙන්නන්න එයාලට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

18 “වෙනත් බැටළුවන්” පෙන්නන ආදරේ එයාලා අගය කරනවා කියලා පෙන්නන්න අභිෂේක ලත් අයට ළඟදීම අවස්ථාව ලැබෙනවා. (යොහ. 10:16) ඒ කොහොමද? හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්න කලින් 1,44,000දෙනාට අයිති පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව අමරණීය අය විදිහට ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවනවා. ගොග්ව විනාශ කරලා “මහත් සමූහයට” අයිති දෙවියන්ගේ සෙනඟව බේරගන්න ස්වර්ගයේ ඉන්න සේනාවට 1,44,000දෙනාත් ඇතුළත් වෙනවා. (එළි. 2:26, 27; 7:9, 10) අභිෂේක ලත් අය පොළොවේ ඉන්න කාලේදී එයාලට සහය දෙන්න ලැබුණ එක ගැන මහත් සමූහයේ අය මොන තරම් සතුටු වෙයිද!

දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න

19-20. මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් හර්–මගෙදොන් යුද්ධයට දවසින් දවස ළං වෙන මේ කාලේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කොහොමද?

19 මේ අවසාන කාලේ ජීවත් වෙන දෙවියන්ගේ සේවකයන් විවිධ දුෂ්කරතා අද්දකිනවා. ඒත් ඒවා සතුටින් විඳදරාගන්න අපිට පුළුවන්. (යාකො. 1:2-4) අත් නෑර දෙවියන්ට යාච්ඤා කරන එක ප්‍රශ්න දරාගන්න අපිට උදව්වක්. (ලූක් 21:36) යාච්ඤා කරනවාට අමතරව හැමදාම බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතන්න ඕනේ. ළඟදීම ඉටු වෙන්න යන අනාවැකි අපි විශේෂයෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. (ගීතා. 77:12) ඒවා කරන අතරේ අපි පුළුවන් උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙද්දී අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න පුළුවන්. අපේ බලාපොරොත්තුවත් අපිට තව ස්ථිර වෙයි.

20 මහ බැබිලෝනිය විනාශ වෙලා හර්–මගෙදොන් යුද්ධය අවසන් වුණාම ඔයාට මොන තරම් සතුටක් දැනෙයිද! දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් වෙලා පාලනය කරන්න ඔහුට තියෙන අයිතිය තහවුරු වෙද්දී ඔයාට ඊටත් වඩා සතුටක් දැනෙයි. (එස. 38:23) ඒ නිසයි දෙවියන්ව හොඳින් දැන හඳුන ගෙන ඉන්න, ඔහුගේ පුතාට කීකරු වෙන, අවසානය දක්වා විඳදරාගන්න අදිටන් කරගෙන ඉන්න අය හර්–මගෙදොන් එන කල් ආසාවෙන් බලන් ඉන්නේ.—මතෙ. 24:13.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • හර්–මගෙදොන් යුද්ධයට කලින් වෙන ප්‍රධාන සිද්ධීන් සමහරක් මොනවාද?

  • “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන ප්‍රකාශය භයානක බොරුවක් කියන්නේ ඇයි?

  • හර්–මගෙදොන් යුද්ධයට දවසින් දවස ළං වෙන මේ කාලේ යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කොහොමද?

ගීතිකාව 143 දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු

a හර්–මගෙදොන් යුද්ධය එන කල් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ කාලයක් තිස්සේ බලන් ඉන්නවා. හර්–මගෙදොන් කියන්නේ මොකක්ද? ඒකට කලින් වෙන සිදුවීම් මොනවාද? හර්–මගෙදොන් යුද්ධයට දවසින් දවස ළං වෙන මේ කාලේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලමු.

b පින්තූරයේ අදහස: අපිට දැකගන්න පුළුවන් වෙන සිදුවීම්. අපි (1) හැකි තාක් කල් දේශනා සේවයේ හවුල් වෙනවා, (2) අත් නෑර බයිබලේ අධ්‍යයනය කරනවා, (3) දෙවියන් ලබා දෙන ආරක්ෂාව ගැන විශ්වාසය තියලා වැඩ කරනවා.

c පින්තූරයේ අදහස: සාක්ෂිකරුවන්ගේ ගෙදරකට කඩා පනින්න පොලීසියේ නිලධාරීන් සූදානමින් ඉන්නවා. යේසුස් සහ දේවදූතයන් සිද්ධ වෙන දේ ගැන අවබෝධයෙන් ඉන්නවා කියලා ඒ පවුලට කිසිම සැකයක් නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න