යෙහෝවාගේ වචනය සෑම දවසකම සලක බලන්න!
1 සෑම දවසකම ඔබේ ඇදහිල්ලට අලුත් අභියෝග එල්ල වෙනවා. සමහරවිට ලෝකයේ දන්නා හඳුනන විරුද්ධ ලිංගයේ කෙනෙක්, ඔහු සමඟ හුදකලාවේ ඇසුරු කිරීම සඳහා ඔබට දැඩි පීඩනයක් එල්ල කරන්න ඉඩ තිබෙනවා. ලෝකයේ උසස් තනතුරක් දරන රැකියාවක් ලුහුබැඳීම සඳහා ඔබේ ගුරුවරුන් ඔබව උනන්දු කරනවා විය හැකියි. එහෙම නැත්නම්, වැඩි කාලයක් වැඩ කරන්න කියා ඔබේ ස්වාමියා ඉල්ලා සිටින්න පුළුවන්. ඔබේ ශාරීරික සෞඛ්‍යය දුර්වල වෙමින් තිබෙනවා වෙන්න පුළුවන්. ඕනෑම වේලාවක ඔබට එවැනි පරීක්ෂාවලට මුහුණ දීමට සිදු විය හැකියි. එහෙත්, ඔබ කොහෙත්ම තනි වී නැහැ. මෙවන් තත්වයන්වලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාව ලබා දීමට යෙහෝවා සූදානමින් සිටිනවා. ඔබට දිනපතාම යෙහෝවාගේ වචනයට කිට්ටු අවධානයක් දිය හැකි එක් මාර්ගයක් නම්, දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත් පිංචයේ සඳහන් බයිබල් පාඨය හා අදාළ විස්තරය සලකා බැලීමයි. ඔබ මෙම සැපයුමෙන් ප්‍රයෝජන ගන්නවාද?
2 උපකාරය ලබාගත හැකියි: යෙසායා 30:20හි යෙහෝවාව විස්තර කරන්නේ “උදාර උපදේශකයා [NW]” ලෙසයි. දෙවිගේ සේවකයන්ට මේ උදාර උපදේශකයාගෙන් උපකාර ලබාගත හැකියි. ඔබේ ඇදහිල්ලට එල්ල වන අභියෝගවලට මුහුණ දීමට ඔබට අවශ්‍ය කරන දෙය ඔහු ඔබට ලබා දෙනවා. ඒ කොහොමද? ඊළඟ වගන්තියේ මෙසේ පැහැදිලි කරනවා: “මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.” අද යෙහෝවා ශුද්ධ ලියවිල්ල හා ‘විශ්වාස වූ දාසයා’ සපයන ප්‍රකාශනවලින් ඔහුගේ “හඬ” ඇසෙන්න සලස්වනවා. (මතෙ. 24:45) පසුගිය මුරටැඹ සඟරාවල පමණක්ම මහත් ප්‍රඥාවක් ඇතුළත් ලිපි තිබෙනවා. මේවා ක්‍රිස්තියානි ජීවිතයේ හැම පැත්තක්ම සැලකිල්ලට යොමු කරනවා. ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත් පිංචයේ උපුටා දක්වා තිබෙන ලිපි නැවත සලකා බැලීම, ඕනෑම ආකාරයේ පරීක්ෂණයක් සමඟ කටයුතු කිරීමේදී ප්‍රයෝජනයට ගත හැකි මිල කළ නොහැකි දැනුම් සම්භාරයක් ඔබේ මනසේ තැන්පත් කරගන්න ඔබට උපකාර කරනවා.—යෙසා. 48:17.
3 කාලය වෙන් කරගන්න: උදේට වැඩ බහුල වුණත්, එක් මවක් තමාගේ පුතා උදෑසන ආහාර ගන්න වේලාවේදී ඔහු සමඟ දවසට නියමිත ශුද්ධ ලියවිලි පාඨය හා විස්තරය කියවා සාකච්ඡා කරන්න විශේෂ උත්සාහයක් දැරුවා. සෑම උදෑසනකම ගෙදරින් පිට වී පාසැල් යන්න කලින් මේ දරුවාට අසන්න ලැබුණු අවසාන වචන වුණේ, මේ සාකච්ඡාවේදී හා ඉන්පසු කළ යාච්ඤාවේදී ඇසුණු වචනයි. ලිංගික ක්‍රියාවල යෙදීමට ඔහුට ඇති කළ බලපෑම්වලට එරෙහිව සිටීමටත්, දේශානුරාගි හැඟීම් අවුස්සන තත්වයන්වලදී ප්‍රතිපත්ති කඩ නොකර සිටීමටත්, ශිෂ්‍යයන්ට මෙන්ම ගුරුවරුන්ටද නිර්භීතව සාක්ෂිදැරීමටත්, ඔහුට ඇසුණු ඒ වචන ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. පාසැලේ සිටිය එකම සාක්ෂිකරුවා ඔහු වුණත්, තමා තනි වී සිටින බවක් ඔහුට කවදාවත්ම හැඟුණේ නැහැ.
4 මඟ පෙන්වීම සඳහා යෙහෝවාගේ හා ඔහුගේ වචනයේ උපකාරය පතන්න. ඔබ මෙය කරනවා නම්, හරියට විශ්වාසවන්ත මිතුරෙක් වගේ යෙහෝවා ඔබට සැබෑ කෙනෙක් වෙන්න යනවා. දිනපතාම ඔහු වෙත හැරෙන්න! දිනපතා දෙවිගේ වචනය සලකා බලන ලොව පුරා සිටින දශලක්ෂ ගණනක් සමඟ ඔබත් ඔබේ ඇස්වලින් ‘ඔබේ උදාර උපදේශකයාව දකින’ බව ඔබට දැනේවි.