රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩවල වර්ධනයට සහය වන්න ඔබට හැකිද?
1 ප්‍රාදේශීය ඉදි කිරීම් කමිටු නොමැති, සම්පත් සීමිත රටවලට අවශ්‍ය රාජ්‍ය ශාලා ඉදි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පාලක මණ්ඩලය දියත් කර තිබෙනවා. මෙය අධීක්ෂණය කරනු ලබන්නේ පාලක මණ්ඩලයේ සභාපතිගේ කමිටුව යටතේ තිබෙන සැලසුම් හා ඉදි කිරීම් කමිටුව විසිනුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩපිළිවෙළ සංවිධානය කරන්නේ ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය හා ශ්‍රී ලංකා ශාඛාවේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ අංශය මගිනුයි. මෙම වැඩපිළිවෙළේ අරමුණ, අඩු වියදමින් වුවත් යෙහෝවාට අප කරන නමස්කාරය ගෞරවාන්විතව කිරීම සඳහා යොදාගැනෙන රාජ්‍ය ශාලා තැනීමයි. අවුරුදු පහක් ඇතුළත රාජ්‍ය ශාලා 50ක් ඉදි කිරීම ඉලක්කය වී තිබෙන නිසා, ඉක්මනින් හා හොඳින් ගොඩනැඟීමේ කටයුතු කළ හැකි අපේ සහෝදරයන්ව පුහුණු කිරීම හා සම්බන්ධ වැඩ බොහොමයක් තිබෙනවා. මේ හැම රාජ්‍ය ශාලාවක්ම ගොඩනඟන්නේ සරල වුවත් හොඳ සැලැස්මකට අනුවයි. මේ සැලැස්ම නිසා කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ශාලා බොහොමයක් ඉදි කළ හැකියි.
2 රාජ්‍ය ශාලා ගොඩනැඟීමේදී සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමට ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය අපට උපකාර කරනවා. ගොඩනැඟිලි සැලසුම් සකස් කිරීම, ගොඩනැඟිලි ද්‍රව්‍ය ලබාගැනීම, ඉදි කිරීමේ ක්‍රම හා දේශීය ස්වේච්ඡා සේවකයන්ගේ ඉදි කිරීමේ හැකියාවන් දියුණු කිරීම එයට ඇතුළත් වෙනවා. ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කරන රාජ්‍ය ශාලා ව්‍යාපෘති අවේක්ෂක වරින් වර ශ්‍රී ලංකාවට පැමිණේවි. රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ව්‍යාපෘතිවල සංවිධාන කටයුතු හා පරිපාලන කටයුතු සම්බන්ධ වගකීම දරන්නේ ශාඛා කාර්යාලයේ පිහිටි රාජ්‍ය ශාලා ඉදි කිරීමේ අංශයයි. ඉදි කිරීමේ කණ්ඩායම් සමන්විත වන්නේ, රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කටයුතුවල හවුල් වීමට ශාඛා කමිටුව විසින් අනුමත කර ඇති දිගු කාලීන හා කෙටි කාලීන දක්ෂ ස්වේච්ඡා සේවකයන්ගෙනුයි. ඔවුන්ව අධීක්ෂණය කරන්නේ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ අංශය මගිනුයි.
3 රාජ්‍ය ශාලා අලුත්වැඩියා කිරීමේ හා අලුත් ඒවා ඉදි කිරීමේ කටයුතුවලට ස්වේච්ඡා සේවකයන් බොහෝදෙනෙක් හවුල් වී සිටිනවා. රාජ්‍ය ශාලා ඉදි කිරීමට අපේක්ෂිත ඉඩම් පරීක්ෂා කිරීම, නීතිමය ලියකියවිලි සකස් කිරීම, ගොඩනැඟීමට සැලසුම් කිරීම හා මිල දී ගත යුතු ගොඩනැඟිලි ද්‍රව්‍යවල ලැයිස්තු සකස් කිරීම යනාදි වැඩවල මේ ස්වේච්ඡා සේවකයන් හවුල් වී සිටිනවා. සාධාරණ මිලකට ගුණයෙන් ඉහළ ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල දී ගැනීම, ඉදි කිරීමේදී මුලින්ම කළ යුතු දේවල් සම්පූර්ණ කිරීම හා ගොඩනැඟීමේ කටයුතු අධීක්ෂණය කිරීම යන වැඩවලටද ඔවුන් සහය වෙනවා. රාජ්‍ය කටයුතු සඳහා ඔවුන් තුළ තිබෙන උද්යෝගය ප්‍රශංසනීයයි. මෙය යෙහෝවාගේ මහඟු ආශීර්වාදවලට මඟ පාදයි.—හිතෝ. 11:25.
4 ඉදි කිරීමේ කටයුතුවල හවුල් වන ස්වේච්ඡා සේවකයන් තුළ, කැමැත්තෙන්ම ඉදිරිපත් වීමේ ස්වභාවය හා ජ්වලිතය පැහැදිලිව දැකගන්න පුළුවන්. සහෝදරයෙක් මෙසේ අදහස් පළ කළා: “සිංහල, දෙමළ හා ඉංග්‍රීසි කතා කරන සහෝදරයෝ යෙහෝවාගේ නමස්කාරයේ එක්සත්ව වැඩ කරනවා දැකීමෙන් ඇති වන සතුට මොනතරම්ද!” ඇත්තෙන්ම ගීතාවලිය 133:1, 3 සඳහන් වචන මොනතරම් සත්‍යයද! “බලව සහෝදරයන් එකඟව [එකට එකමුතුව, NW] වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද!”
5 රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීම සැලකිය යුත්තේ එම ශාලාව පාවිච්චි කරන්න යන සභාවේ ව්‍යාපෘතියක් ලෙසයි. ගොඩනැඟීමේ කටයුතුවලට හවුල් වීම හා ඉන්පසුව සිදු වන වැඩ කටයුතුවලට සහය වීම හා සම්බන්ධ සෑම දෙයක්ම කිරීම එම සභාවේ වගකීමයි. රාජ්‍ය ශාලාවල අවශ්‍යතාව සපුරාලීම සඳහා කාලය හා සම්පත් විශාල ප්‍රමාණයක් වැය කරන්න සිදු වෙනවා. අලුත් රාජ්‍ය ශාලා පාවිච්චි කරන සභා(ව) තමන්ට විශ්වාසයෙන් යුතුව බාර දී තිබෙන වැදගත් වගකීම නිසි ලෙස ඉටු කළ යුතුයි. රාජ්‍ය ශාලාවක් සම්පූර්ණයෙන්ම නිම කිරීමෙන් පසු කාලසටහනකට අනුව එහි නඩත්තු කටයුතු කිරීම සඳහා එම ශාලාව පාවිච්චි කරන සභා(ව) විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. රාජ්‍ය ශාලාවේ නඩත්තු කටයුතු සංවිධානය කිරීමට යුතුකම් නොපිරිහෙළා ඉටු කරන වැඩිමහල්ලන්ව තෝරාගත යුතුයි.
6 පසුගිය පෙබරවාරි හා මාර්තු මාසවලදී ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් පැමිණි ජාත්‍යන්තර ස්වේච්ඡා සේවකයන් 33දෙනෙක් ශ්‍රී ලංකාවේ බෙතෙල් පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතුවල හවුල් වුණා. තමන්ගේම වියදමින් විදේශ රටවලින් පැමිණ උපකාර කරන්න කැමැත්තෙන් සිටින සහෝදරයන්ගේ එම ඉදිරිපත් වීම සැබෑ ප්‍රේමයේ ප්‍රකාශයක්. මේ සහෝදරයන්ට තමන්ගේ රටවල ඉහළ වැටුපක් ගෙන දෙන රැකියා කරන්න තිබුණා. ඒ වුණත්, ශ්‍රී ලංකාවට ඇවිත් සේවය කරන්න මේ සහෝදරයන් තුළ පෙලඹවීමක් ඇති කළේ කුමක්ද? වඩු කාර්මික වැඩ බාරව සිටි සහෝදරයා මෙසේ අදහස් පළ කළා: “ඇත්තෙන්ම සහෝදරත්වය අගය කරන්න මට පුළුවන් වුණා. තමන් විවිධ ප්‍රදේශවලට ගිහින් සහෝදරත්වය අද්දැකල තියෙනවා කියල සමහරුන් කියනවා. ඒත්, අපේ සහෝදර සහෝදරියන් එක්ක එකට එකමුතුව වැඩ කිරීමෙන් ඔවුන්ව අගය කරන්න අපිට හැකි වෙලා තියෙනවා.” පරිගණකයක් මගින් පාලනය වන වායු සමීකරණ පද්ධති ගැන විශේෂඥ දැනුමක් තිබෙන සහෝදරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සහෝදරයන් අතර සිටියා. ඔහුගේ රට වන ඕස්ට්‍රේලියාවේ මෙවැනි ව්‍යාපෘති 70කට වැඩි ගණනක වැඩ කර හොඳ පළපුරුද්දක් මේ සහෝදරයාට තිබෙනවා. ශ්‍රී ලංකාවට ගෙන්වූ මේ විශේෂිත වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ කටයුතු බාරව සිටි මේ සහෝදරයා මෙසේ පැවසුවා: “මගේ වෘත්තිය ගැන මට හොඳ දක්ෂතාවක් තියෙනවා. ඒ වුණත්, මගේ දක්ෂතාව සත්‍යය වෙනුවෙන් යොදවන්න ලැබීම නිසා මගේ ආත්මික ගුණාංග දියුණු වෙලා තියෙනවා.”
7 යෙහෝවාගේ සංවිධානයේ ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ස්වේච්ඡා සේවකයන්ව තෝරාගැනීමේදී මුල් තැන හිමි වන්නේ වෘත්තිමය දක්ෂතාවලට නොව ආත්මිකත්වයටයි. ජාත්‍යන්තර ඉදි කිරීම් අවේක්ෂක මෙසේ අදහස් දක්වනවා: “සහෝදර සහෝදරියන් එකට එකමුතුව වැඩ කිරීම අවශ්‍යයි. ඒක යෙහෝවාගේ සංවිධානයේ දකින්න තියෙන කැපීපෙනෙන ලක්ෂණයක්. එකිනෙකා සමඟ සහයෝගයෙන් හා සාමකාමීව වැඩ කරන්න අපි ඉගෙනගන්නවා. ඇත්තෙන්ම වැදගත්ම දෙය ඒකයි. අපි යෙහෝවාගේ සේවකයෝ. අපි දේවල් කරන්න ඕනෙ යෙහෝවාගේ ක්‍රමයටයි. එනිසා, ඉදි කිරීමේ ව්‍යාපෘතියක වැඩ කරන ඕනෑම කෙනෙක් තුළ තිබිය යුතු මූලිකම සුදුසුකම තමයි ඒ පුද්ගලයාගේ ආත්මිකත්වය. මොකද වෙනත් අය සමඟත් යම් විධිවිධාන සමඟත් සහයෝගයෙන් වැඩ කරන්න උපකාරවත් වන ගුණාංග තිබෙන්නේ හොඳ ආත්මිකත්වයක් තියෙන පුද්ගලයන් තුළයි. ඒ වගේ අයට වෙනත් දක්ෂතා වර්ධනය කරගන්න එක එච්චර අමාරු නැහැ!”
8 දක්ෂතාවලින් පිරි ජාත්‍යන්තර සේවකයන් 30දෙනෙකුට වඩා වැඩිදෙනෙකු සමඟ වැඩ කිරීමෙන් රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ස්වේච්ඡා සේවකයන් කිහිපදෙනෙකුට විවිධ වැඩ ගැන හොඳ පුහුණුවක් ලබාගන්න පුළුවන් වුණා. ඉදි කිරීම් අවේක්ෂක අපිට මෙසේ පැවසුවා: “අපි සහෝදරයන්ට ටයිල් වැඩ, විදුලි කාර්මික වැඩ උගන්වල තියෙනවා. සමහර අයට කොන්ක්‍රීට් වැඩ ගැන ඉගැන්වුවා. ප්ලාස්ටර් බෝඩ් යොදාගනිමින් ඇතුල් බිත්ති සාදන්නත් අපි ඔවුන්ට ඉගැන්වුවා. මේ ක්‍රමය ශ්‍රී ලංකාවට අලුත් දෙයක්. සහෝදරියන් කිහිපදෙනෙකුට තීන්ත ගාන්නත් පුහුණුවක් දුන්නා. මේ හැම පුහුණුවක්ම රාජ්‍ය ශාලා ගොඩනැඟීමේදී ප්‍රයෝජනවත් වේවි.” අලුත් දේවල් ඉගෙනගන්න දේශීය සහෝදරයන්ගේ තිබෙන ආශාව සහ දක්ෂතාව පැසසුමට ලක් කරමින් එක් ජාත්‍යන්තර අවේක්ෂකයෙක් මෙසේ පැවසුවා: “ඔවුන් බොහොම උනන්දුවෙන් දේවල් ඉගෙනගන්නවා. හොඳින් වැඩ කරනවා.”
9 තමන්ට ලැබෙන පුහුණුව ගැන රාජ්‍ය ශාලා ඉදි කිරීමේ ස්වේච්ඡා සේවකයන්ට හැඟෙන්නේ කොහොමද? කඳුකර ප්‍රදේශයේ පිහිටි සභාවකින් පැමිණ විදුලි කාර්මික වැඩ ගැන පුහුණුවක් ලැබූ සහෝදරයෙක් මෙසේ පවසනවා: “මට තව තවත් වැඩියෙන් සේවය කරන්න හැකියාව ලබා දෙන්න කියල මම යෙහෝවාට යාච්ඤා කළා. ස්වේච්ඡා සේවකයන් අවශ්‍යයි කියල දැනගත්තම මමත් අයැදුම්පතක් පිරෙව්වා. සතියක් ඇතුළත මගේ යාච්ඤාවට උත්තර ලැබුණා. මට පුළුවන් වුණා විදුලි කාර්මික වැඩ ගැන පුහුණුවක් ලබාගන්න. මීට කලින් මම දැනගෙන හිටියේ අපේ රාජ්‍ය ශාලාව ඇතුලේ වෙන දේවල් ගැන විතරයි. දැන් මට මේ වැඩවල හවුල් වෙන්න අවස්ථාව ලැබිල තියෙන හින්දා හුඟාක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙලා තියෙනවා. එක එක තැන්වලින් ඇවිත් ඉන්න සහෝදරයන්ව ආශ්‍රය කරන්න, ඒ අයගෙන් ඉගෙනගන්න, මගේ ආත්මිකත්වය දියුණු කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. දේවවචනය පාඩම් කරමින් මෙනෙහි කරන්න, දේවසේවයේ හවුල් වෙන්න, බයිබල් පාඩම් පවත්වන්න, නැවත බැලීම් කරන්න මට වෙලාව තියෙනවා. හිතුවටත් වඩා ආශීර්වාද මම භුක්ති විඳිනවා. ඒ විතරක් නෙමෙයි, දක්ෂ විදුලි කාර්මිකයෙකුට අවශ්‍ය කරන දේවල් මම ඉගෙනගෙන තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වයරින් කරන්න මම දැන් දන්නවා. වැඩේට ඕනෙ කරන හරි උපකරණය හරි විදිහට පාවිච්චි කරන්න මට පුළුවන්. මේ හැම දෙයක් නිසාම යාච්ඤාපූර්වකව යෙහෝවාට තව තවත් සේවය කරන්න මා තුළ අධිෂ්ඨාන ශක්තියක් ඇති වෙලා තියෙනවා.”
10 රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩවල හවුල් වෙන්න හැම කෙනාටම නොහැකි වුණත්, මේ අතිවැදගත් වැඩයට සහය වන්න අපි හැම කෙනාටම පුළුවන්. අපිට මෙය කරන්න පුළුවන් කොහොමද? අප පෞද්ගලිකව හා සභාවේදී කරන යාච්ඤාවලදී මේ වැඩවලට යෙහෝවාගේ ආශීර්වාද ඉල්ලන්න පුළුවන්. ස්වේච්ඡා සේවකයන්ව දිරිමත් කිරීමෙන්ද, අලුත් රාජ්‍ය ශාලා සෑදීම සඳහා දරන වෑයම් අගය කිරීමෙන්ද අපිට එය කරන්න පුළුවන්. අපිට පුළුවන් විදිහට සමිතියේ රාජ්‍ය ශාලා අරමුදලට සම්මාදම් කරන්න පුළුවන්. මෙම සම්මාදම් එවන විට, මෙය සමිතියේ රාජ්‍ය ශාලා අරමුදල සඳහා පරිත්‍යාගයක් බව සභා මුදල් එවන පෝර්මයේ (Congregation Remittance Form) පැහැදිලිව සඳහන් කළ යුතුයි. පරාර්ථකාමී ලෙස දීම සම්බන්ධයෙන් ප්‍රධානතම ආදර්ශය සපයන්නේ යෙහෝවා දෙවිම නොවේද? (යාකො. 1:17) දීම සම්බන්ධයෙන් අපි එක් එක්කෙනාට තිබෙන හැකියාවන් හා ප්‍රස්තාවන් වෙනස් බව ඇත්තයි. ඒත් අපේ පෞද්ගලික වියදම් අඩු කර යමක් පරිත්‍යාග කිරීමෙන් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩවලට අපිටත් හවුල් වෙන්න පුළුවන්. මේ අන්තිම දවස්වල හුඟදෙනෙකුගේ ප්‍රේමය හීන වී ගියත්, දෙවිගේ සෙනඟ අතර ප්‍රේමය තිබෙනවා. ඔවුන් අතර තිබෙන ප්‍රේමය වාර්ගික හා දේශ සීමාවන් මගින් සීමා වී නැහැ. (මතෙ. 24:12) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩ කටයුතුවලට කැමැත්තෙන්ම සහයෝගය දීමෙන් එවන් ප්‍රේමයක් පෙන්වමු. එසේ කිරීමෙන් අපි අනුකරණය කරන්නේ අපේ ස්වර්ගික පියාවයි. මෙමගින් යෙහෝවාගේ මහඟු ආශීර්වාද හා අනුමැතිය අපිට භුක්ති විඳිය හැකියි.—මලා. 3:10; හෙබ්‍රෙ. 6:10.
[4වන පිටුවේ පින්තූර]
අපගේ ලාංකික සහෝදරයන්ට විවිධ අංශවල පුහුණුවක් ලැබුණා
[5වන පිටුවේ පින්තූර]
දැනට තිබෙන ව්‍යාපෘති
1 කොච්චිකඩේ
2 මන්නාරම
3 ජාඇළ
4 සිරිගම්පොළ
5 මාරවිල