ප්‍රශ්න පෙට්ටිය
◼ සභා රැස්වීම්වලදී යාච්ඤා කරන්න සුදුසුකම් ලබන්නේ කවුද?
සභා රැස්වීම්වලදී යාච්ඤා කිරීම අපේ නමස්කාරයේ අතිවැදගත් අංගයක් වෙනවා. යෙහෝවා ඉදිරියෙහි අනිත් අයව නියෝජනය කරන්න ලැබීම මහඟු වරප්‍රසාදයක් මෙන්ම බැරෑරුම් වගකීමක්ද වෙනවා. මෙහි වැදගත්කම සලකා බැලීමේදී පෙනී යන්නේ, රැස්වීමකදී යාච්ඤාවක් ඉදිරිපත් කරන්න සුදුසුකම් තිබෙන සහෝදරයන් කවුද කියා තීරණය කිරීමේදී වැඩිමහල්ලන් හොඳ විනිශ්චයක් පාවිච්චි කිරීම අවශ්‍ය බවයි. යාච්ඤාවෙන් සභාව නියෝජනය කරන බව්තීස්ම ලත් සහෝදරයන්, යහපත් හැසිරීම ගැන හොඳ නමක් ඇති කරගෙන සිටින හා සභාවේ සිටින අයගේ ගෞරවය දිනාගෙන සිටින මේරූ ක්‍රිස්තියානීන් විය යුතුයි. ඔවුන් භක්තියෙන් හා ගෞරවයෙන් කරන යාච්ඤාවලින් යෙහෝවා දෙවි සමඟ කිට්ටු සබඳතාවක් තිබෙන බව පැහැදිලි විය යුතුයි. සභාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන අය සඳහා විශේෂයෙන් වැදගත් වන ප්‍රතිපත්ති කිහිපයක්, 1986 මැයි 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ “යටහත් පහත් හෘදයකින් අනිත් අය ඉදිරියෙහි යාච්ඤා කිරීම” නමැති ලිපියේ සඳහන් වෙනවා.
හැසිරීම ගැන බොහෝදෙනෙක් අතර සැකයට භාජන වී සිටින, දේවල් බැරෑරුම් ලෙස නොසලකන සහෝදරයෙකුව වැඩිමහල්ලන් යාච්ඤා කිරීම සඳහා යොදාගන්නේ නැහැ. අනිත් අය සමඟ අමනාපයෙන් සිටින හෝ පෞද්ගලික මතභේද යාච්ඤාවෙන් හෙළි කිරීමට නැඹුරු විය හැකි සහෝදරයෙකුවද යාච්ඤාව සඳහා යොදා නොගනියි. (1 තිමෝ. 2:8) බව්තීස්ම වී සිටියත් නහඹර වියේ පසු වන සහෝදරයෙකු සභාව නියෝජනය කරමින් යාච්ඤා කිරීමට තරම් ආත්මික ප්‍රගතියක් ලබා තිබෙනවාද කියා වැඩිමහල්ලන් නිශ්චය කළ යුතුයි.—ක්‍රියා 16:1, 2.
ඇතැම් අවස්ථාවල ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම්වලදී කණ්ඩායම නියෝජනය කරමින් යාච්ඤා කිරීමට සුදුසුකම් ලත් සහෝදරයෙක් නැත්නම්, බව්තීස්ම ලත් සහෝදරියකට යාච්ඤා කළ හැකියි. ඇය යාච්ඤා කළ යුත්තේ සුදුසු හිස් වැස්මක් පැළඳගෙනයි. ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම්වලට සුදුසුකම් ලත් සහෝදරයෙක් නොපැමිණියහොත්, වැඩිමහල්ලන් එය මෙහෙයවීමට සුදුසුකම් ලත් සහෝදරියකට පැවරිය යුතුයි.
ප්‍රසිද්ධ රැස්වීමේ ආරම්භක යාච්ඤාව සභාපති විසින් කිරීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්. කෙසේවෙතත්, වෙනත් රැස්වීම්වලදී, සුදුසුකම් ලත් සහෝදරයන් වැඩිදෙනෙක් සිටිනවා නම්, රැස්වීම ආරම්භ කරන සහෝදරයා හැර වෙනත් කෙනෙකුට ආරම්භක යාච්ඤාව ඉදිරිපත් කළ හැකියි. අවසන් කොටස ඉදිරිපත් කරන සහෝදරයාටද ආරම්භක හෝ අවසාන යාච්ඤාව කිරීමට ආරාධනා කළ හැකියි. සභා රැස්වීමකදී යාච්ඤාවක් ඉදිරිපත් කිරීමට කැඳවන සහෝදරයාට කලින් දැනුම් දිය යුතුයි. මෙසේ කිරීමෙන් තමා යාච්ඤා කරන්න යන දේවල් ගැන කලින් සිතා බලන්න ඔහුට පුළුවන්. එවිට ඔහුට පුළුවන් යාච්ඤා කරන දේවල් පිළිවෙළට ගළපාගෙන රැස්වීමට සුදුසු වෙන විදිහට හෘදයාංගම යාච්ඤාවක් කරන්න.
රැස්වීම්වලදී කරන යාච්ඤා දීර්ඝ විය යුතු නැහැ. සහෝදරයෙක් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විට, සිටගෙන ප්‍රමාණවත් ශබ්දයකින් පැහැදිලිව තමාගේ අදහස් ප්‍රකාශ කරනවා නම්, එයට හවුල් වෙන අයට එය හොඳින් තේරුම්ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට යාච්ඤා කරනවා නම්, එයට සවන් දෙමින් සිටින සියලුදෙනාටම යාච්ඤාව අවසානයේදී “ආමෙන්” කියා හෘදයෙන්ම පැවසිය හැකියි.—1 ලේක. 16:36; 1 කොරි. 14:16.