‘යමෙක් මඟ පෙන්නුවොත් මිස නැත්නම් . . . කොහොමද?’
1 තමා දේවවචනයේ කියවමින් සිටින කොටස තේරෙනවාද කියා එවැන්ජලිස්ත පිලිප් එතියෝපිය නපුංසකයාගෙන් ඇසූ විට, ඔහු මෙසේ පැවසුවා. ‘යමෙක් මඟ පෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමද?’ පිලිප් යේසුස් පිළිබඳ ශුභාරංචි තේරුම්ගැනීමට ඒ මිනිසාට සතුටින් උපකාර කළා. එහි ප්‍රතිඵලය වූයේ ඔහු විගස බව්තීස්ම වීමයි. (ක්‍රියා 8:26-38) මේ අවස්ථාවේදී පිලිප් කීකරු වෙමින් සිටියේ ‘සියලු ජාතීන් ගෝලයන් කරමින් බව්තීස්ම කරන්න, ඔවුන්ට උගන්වන්න’ කියා ක්‍රිස්තුස් දුන් බලපැවරුමටයි.—මතෙ. 28:19, 20.
2 පිලිප් මෙන් අපිත් ගෝලයන් සාදන්න කියා යේසුස් දුන් බලපැවරුමට කීකරු විය යුතුයි. එතියෝපිය නපුංසකයා ලැබූ වේගවත් ආත්මික ප්‍රගතිය, අපි සමඟ බයිබලය පාඩම් කරන අය අතර බොහෝ අවස්ථාවලදී දකින්නේ නැහැ. යුදෙව් ආගම වැලඳගෙන සිටිය ඒ මිනිසාට ශුද්ධ ලියවිලි පිළිබඳව හොඳ දැනුමක් තිබුණා. එමෙන්ම සත්‍යය දැනගැනීමට ඔහුට මහත් ආශාවක් තිබුණා. ඔහුට අවශ්‍යව තිබූ එකම දෙය වුණේ, යේසුස් පොරොන්දු වූ මෙසියස් බව පිළිගැනීම විතරයි. අපි සමඟ පාඩම් කරන අයට බයිබලය ගැන එතරම් දැනුමක් නැත්නම්, බොරු ආගමික ඉගැන්වීම් මගින් නොමඟ ගොස් ඇත්නම්, පෞද්ගලික ගැටලු නිසා පීඩනවලට ලක් වී සිටිනවා නම්, ආත්මික ප්‍රගතියක් කරා ළඟාවීමට ඔවුන්ට උපකාර කිරීම අභියෝගයක් විය හැකියි. කැපවීම හා බව්තීස්මය කරා ළඟාවීමට බයිබල් ශිෂ්‍යයන්ට සාර්ථකව මඟ පෙන්වීමට අපිට උපකාරවත් වන්නේ කුමක්ද?
3 බයිබල් ශිෂ්‍යයාගේ ආත්මික අවශ්‍යතා තේරුම්ගන්න: ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොත යොදාගනිමින් අපිට ජනයා සමඟ බයිබල් පාඩමක් පැවැත්විය හැකි කාල සීමාව ගැන අපගේ රාජ්‍ය සේවාවේ පසුගිය කලාපවල සාකච්ඡා කළා. පාඩම පැවැත්විය යුතු කාල සීමාව තීරණය කළ යුත්තේ ශිෂ්‍යයාගේ තත්වයන් හා ඉගෙනගැනීමේ හැකියාව අනුවයි. පාඩම කෙටි කලක් තුළ අවසන් කරන්න උත්සාහ කිරීම නිසා, ශිෂ්‍යයාට තොරතුරු පැහැදිලිව තේරුම්ගැනීමේ අවස්ථාව අහිමි වී යා හැකියි. එසේ වෙනවා දකින්න අපි කැමති නැහැ. දෙවිගේ වචනය කෙරෙහි ඇදහිල්ල ගොඩනැඟීම සඳහා ශක්තිමත් පදනමක් සෑම ශිෂ්‍යයෙකුටම තිබීම අවශ්‍යයි. එනිසා, දැනුම පොත මාස හයක් ඇතුළත අවසන් කරන්න උත්සාහ කරමින් එහි තොරතුරු ඉක්මනින් සාකච්ඡා කිරීම සුදුසු නැහැ. සමහර අයට කැපවීම දක්වා ප්‍රගතියක් ලබන්න මාස හයකට වඩා වැඩි කාලයක් අවශ්‍ය විය හැකියි. ඔබ සතියක් සතියක් පාසා පාඩම කරගෙන යද්දී, ශිෂ්‍යයාට දෙවිගේ වචනයෙන් ඉගෙනගන්න දේවල් තේරුම්ගන්නත්, ඒවා පිළිගන්නත් කොපමණ කාලයක් ගත වුණත්, ඒ අවශ්‍ය කරන කාලය ඒ සඳහා යොදවන්න. සමහර ශිෂ්‍යයන් සමඟ දැනුම පොතේ එක පරිච්ඡේදයක් සති දෙකක් හෝ තුනක් පාඩම් කරන්න අවශ්‍ය විය හැකියි. මෙසේ කිරීමෙන් සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ බොහොමයක් කියවා පැහැදිලි කරන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.—රෝම 12:2.
4 දැනුම පොත පාඩම් කර අවසන් වීමෙන් පසු, ශිෂ්‍යයා සත්‍යය හොඳින් අවබෝධ කරගෙන නොමැති බව හෝ සත්‍යය වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයක් ගනිමින් ඔහුගේ ජීවිතය දෙවිට කැප කිරීමට තවමත් පෙලඹී නැති බව හෝ ඔබට වැටහෙයි නම් කුමක් කිව හැකිද? (1 කොරි. 14:20) සදාකාල ජීවනයට යන මාර්ගයට පිවිසීමට ඔහුට මඟ පෙන්වීම සඳහා ඔබට තවදුරටත් කළ හැකි දේවල් තිබෙනවාද?—මතෙ. 7:14.
5 බයිබල් ශිෂ්‍යයාගේ ආත්මික අවශ්‍යතා සපුරාලන්න: බයිබල් ශිෂ්‍යයා සෙමින් හෝ ප්‍රගතියක් ලබන බවත්, ඔහු ඉගෙනගනිමින් සිටින දේවල් අගය කරන බවත් පෙනෙනවා නම්, ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොත පාඩම් කර අවසන් වීමෙන් පසු, දෙවන පොතක් යොදාගනිමින් දිගටම පාඩම කරගෙන යන්න. සෑම ශිෂ්‍යයෙකුටම මෙය කිරීම අවශ්‍ය නැහැ. ඒ වුණත්, මෙසේ කිරීම අවශ්‍යයි කියා හැඟෙනවා නම්, සැබෑ සාමය, එක්සත් නමස්කාරය හෝ දෙවිගේ වචනය (ඉංග්‍රීසියෙන්) යන පොත්වලින් එකක් යොදාගනිමින් පාඩම දිගටම කරගෙන යන්න. මෙම පොත් සභාවේ නැත්නම්, ප්‍රචාරකයන් හුඟදෙනෙක් ළඟ මේ පොත් තිබිය හැකියි. සෑම ශිෂ්‍යයෙක් සමඟම මුලින්ම පාඩම් කළ යුත්තේ, ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොතයි. දෙවන පොත සම්පූර්ණ කරන්න කලින් ශිෂ්‍යයා බව්තීස්ම වුණත්, පාඩම දිගටම කරගෙන යමින් එම බයිබල් පාඩම, නැවත බැලීම් හා කාලය වාර්තා කළ යුතුයි.
6 එක පොතක් පමණක් පාඩම් කර, මෑතකදී බව්තීස්ම වූ අය සමඟ දැන් දෙවන පොතක් පාඩම් කිරීම අවශ්‍යයි කියා මෙයින් අදහස් කරනවාද? අනිවාර්යෙන්ම එසේ කිරීම අවශ්‍ය නැහැ. කොහොමවුණත්, ඔවුන් දැන් අක්‍රියාශීලී වී සිටිනවා හෝ සත්‍යය තුළ ප්‍රගතියක් ලබමින් නොසිටිනවා වෙන්න පුළුවන්. ඒ නිසා, සත්‍යය තමන්ගේ ජීවිතවලට අදාළ කරගැනීමේදී තමන්ට වෙනත් කෙනෙකුගේ උපකාරය අවශ්‍යයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. බව්තීස්ම ලත් ප්‍රචාරකයෙකු සමඟ නැවත පාඩමක් පටන්ගන්න කලින්, සේවා අවේක්ෂක සමඟ ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. කෙසේවෙතත්, කලින් දැනුම පොත පාඩම් කළත්, කැපවීම හා බව්තීස්මය දක්වා ප්‍රගතියක් ලබා නැති සමහර අයව ඔබ දන්නවා නම්, ඔවුන් ළඟට ගොස් නැවතත් බයිබලය පාඩම් කරන්න කැමතිද කියා අසන්න ඔබට වුණත් පුළුවන්.
7 අපිත් එක්ක පාඩම් කරන උනන්දුව දක්වන සෑම කෙනෙකුටම පෞද්ගලිකව කිට්ටු අවධානයක් දීම ක්‍රිස්තියානි ප්‍රේමයේ ලක්ෂණයක්. අපේ පරමාර්ථය වන්නේ දෙවිගේ වචනයේ සඳහන් සත්‍යය ගැන පුළුල් අවබෝධයක් ලබාගන්න ශිෂ්‍යයාට උපකාර කිරීමයි. ඉන්පසු ඔහුට පුළුවන්, දැනුම් තේරුම් ඇතිව සත්‍යය වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයක් ගෙන, යෙහෝවාට තමාගේ ජීවිතය කැප කරමින්, එය වතුර බව්තීස්මයෙන් සංකේතවත් කිරීම සඳහා ස්ථිර තීරණයක් ගන්න.—ගීතා. 40:8; එපී. 3:17-19.
8 එතියෝපිය නපුංසකයා බව්තීස්ම වීමෙන් පසු සිදු වූ දෙය ඔබට මතකද? යේසුස් ක්‍රිස්තුස්ගේ අලුත් ගෝලයෙකු හැටියට “ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන [ගියා].” (ක්‍රියා 8:39, 40) අපිටත්, සත්‍යය මාර්ගයේ ගමන් කිරීමට අපි සාර්ථකව මඟ පෙන්වන අයටත්, දැනුත් සදහටමත් යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් මහත් ප්‍රීතියක් ලබන්න හැකි වේවා!