ඔබේ වටහාගැනීමේ ශක්තිය වර්ධනය කරගන්න
1 අපි ජීවත් වෙන දුක් පීඩාවලින් පිරි මේ අන්තිම දවස්වලදී, ලෝකයේ සෑම තැනකම පාහේ සිටින දෙවිගේ සෙනඟ අද්දකින පීඩන වැඩි වී තිබෙනවා. ඔවුන්ට විවිධාකාර පරීක්ෂණවලට මුහුණ දීමටද සිදු වෙනවා. (2 තිමෝ. 3:1-5) ඒ නිසා, ඇදහිල්ලෙහි ස්ථිරව සිටීම සඳහා අපි සියලුදෙනාටම දිරිගැන්වීම අවශ්‍යයි. (1 කොරි. 16:13) යෙහෝවාගේ උපකාරය ඇතුව අපට ඇදහිල්ලෙහි ස්ථිරව සිටින්න පුළුවන්. මේ සඳහා අපි දිගටම ඔහුගේ වචනයෙන් පෝෂණය වීමත්, ඔහුගේ ආත්මය මත රඳා සිටීමත් ඔහුගේ සංවිධානයට සමීප වීමත් අවශ්‍යයි.—ගීතා. 37:28; රෝම 8:38, 39; එළි. 2:10.
2 පසුගිය සේවා වසරේ විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන “තේරුම්ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් වැඩිහිටියන් වන්න” යන තේමාව මත ගොඩනඟා තිබුණේ හොඳ හේතු ඇතුවයි. මෙය පදනම් වූයේ 1 කොරින්ති 14:20 [NW] මතයි. ප්‍රේරිත පාවුල් පැවසූ වදන් එහි මෙසේ සඳහන් වෙනවා. “සහෝදරයෙනි, තේරුම්ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් බාලයන් නොවන්න. එහෙත් නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. තේරුම්ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් වැඩිහිටියන් වන්න.” මෙම වැඩසටහන ගැන ඔබට හැඟුණේ කොහොමද?
3 “මොනතරම් දිරිගැන්වීමක් ලැබුණාද!” “ඇත්තෙන්ම, අපි ඉගෙනගත්තේ අපිට අවශ්‍යම වෙලා තිබුණේ දේවල්!” මේ ප්රතිචාරයන් දෙකක් පමණයි. වැඩසටහනේ තිබුණු දේවලට තමාගේ සිත ඇදී ගිය බවත් අසන්න ලැබුණු තොරතුරු තමාගේ පවුලේ අයට ප්‍රයෝජනවත් වූ බවත් විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනට පැමිණි සාක්ෂිකරුවෙකු නොවන පුද්ගලයෙක් පැවසුවා. ඔහු පැමිණියේ තමාගේ 12 හැවිරිදි දියණිය බව්තීස්ම වෙනවා දකින්නයි. ඔබටත් හැඟෙන්නේ ඒ ආකාරයටද? මෙම වැඩසටහනේ විශේෂාංග කිහිපයක් අපි දැන් මතක් කරගනිමු.
4 වටහාගැනීමේ ශක්තිය වර්ධනය කරගැනීමට නිවැරදි දැනුම අවශ්‍යයි. “ඔබේ තේරුම්ගැනීමේ හැකියාව දැන් සිටම වර්ධනය කරගන්න” නමැති තේමාව යටතේ ඉදිරිපත් කළ ආරම්භක කතාවේදී කථිකයා අවධාරණය කළ පරිදි අද අප හමුවෙහි තිබෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද? බුද්ධිය පමණක් මදි. බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමේ හැකියාව අපි වර්ධනය කරගත යුතුයි. එහෙම නැත්නම් අපි නිරාවරණය වන ලෝකයේ නපුරු දේවලට අපි හසු වෙන්න පුළුවන්. තේරුම්ගැනීමේ හැකියාව වර්ධන කරගැනීම සඳහා දෙවිගේ මඟ පෙන්වීම අවශ්‍යයි. අපේ මුළු හදින් යෙහෝවාට සේවය කිරීමට හැකි වන ලෙස ඔහුගේ නීති හා සිහිගැන්වීම් තේරුම්ගැනීමට අපට උපකාර කරන්න කියා ගීතිකාකරු මෙන් අප ඔහුට යාච්ඤා කළ යුතුයි.—ගීතා. 119:1, 2, 34.
5 යෙහෝවා ඔහුගේ වචනය හා සංවිධානය මාර්ගයෙන් අපට “බයිබලය තේරුම්ගැනීම සම්බන්ධයෙන් වැඩිහිටියන් වීමට ආධාර” කරන බව වැඩසටහනේ ඊළඟ කොටසේදී චාරිකා අවේක්ෂක පැහැදිලි කළා. තේරුම්ගැනීම විග්රහ කළේ “යම් කාරණයක සැබෑ හරය හඳුනාගෙන, එම කාරණය හා ඊට අදාළ විවිධ පැති අතර තිබෙන සම්බන්ධය වටහාගනිමින් මුළු කාරණය පිළිබඳව සම්පූර්ණ පින්තූරයක් ලබාගැනීමේ හැකියාව” ලෙසයි. මේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා අපට ආධාර කරන්න පුළුවන් කාටද? ආත්මිකව වර්ධනය වීම සඳහා අපට උපකාර කිරීමට යෙහෝවා තෑගි වශයෙන් මනුෂ්‍යයන් දී තිබෙනවා. (එපී. 4:11, 12) දිනපතා බයිබලය කියවන්න කියාත් නිතිපතා රැස්වීම්වලට පැමිණෙන්න කියාත් ඔහුගේ සංවිධානය අපෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (ගීතා. 1:2) පෞද්ගලික පාඩමේදී හා පවුලේ පාඩමේදී මෙන්ම රැස්වීම්වලට හා ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් වීමේදී බයිබලය සහ අපේ ක්‍රිස්තියානි ප්‍රකාශන භාවිත කරන ආකාරය ගැන අපට උගන්වනු ලබනවා. ඔබ මේ සැපයුම් සියල්ලෙන්ම ප්‍රයෝජන ගනිමින් සිටිනවාද? ඔබ කාලසටහනකට අනුව නිතිපතා පෞද්ගලිකව බයිබලය කියවනවාද? ලෝකයේ නැඹුරුවාවන්, විලාසිතා, දර්ශනවාදි අදහස් හා මුළා කරවනසුලු බලපෑම්වලට හසු නොවීමට නම්, නිතිපතා බයිබලය කියවීම අත්‍යවශ්‍යයි. —කොලො. 2:6-8.
6 අපේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කළ යුතුයි. “ඔබේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කිරීමෙන් ආත්මිකත්වය රැකගන්න” යන තේමාව යටතේ ආගන්තුක කථිකයා ඉදිරිපත් කළ මුල්ම කතාව මගින් ඔහු පැහැදිලි කළේ, ලෝකයේ අයට හරි වැරැද්ද අතර වෙනස හඳුනාගත නොහැකි බවයි. (යෙසා. 5:20, 21) මෙයට හේතුව ඔවුන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිගැනීම හා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. මීට වෙනස්ව යෙහෝවාගේ සංවිධානය මගින් සපයනු ලබන ආත්මික පුහුණුවෙන් ප්‍රයෝජන ලබන අපි දෙවිගේ ප්‍රමිති පිළිගන්නෙමු. අපි කරන සෑම දෙයකදීම හා අපේ හැසිරීමේදී අපට මඟ පෙන්වීම සපයන්නේ එම ප්‍රමිතියි. මේ නිසා අපි සිටින්නේ යෙහෝවාගේ ඇස් හමුවෙහි යහපත් හා ප්‍රසන්න දේවල් මොනවාද, ඔහුගේ පරිපූර්ණ කැමැත්තට එකඟ වන දේවල් මොනවාද කියා තහවුරු කරගත හැකි තත්වයකයි. —රෝම 12:2.
7 මේ ලෝකයේ අවුල්සහගත චින්තනයෙන් හා එහි බලපෑමට ලක්වීමෙන් ඇති වන අහිතකර ප්රතිවිපාකවලින් වැළකී සිටීම සඳහා අපි වටහාගැනීමේ ශක්තිය දිගටම පුහුණු කළ යුතුයි. මෙය කරන්න පුළුවන් කොහොමද? හෙබ්‍රෙව් 5:12-14හි සඳහන් වන පරිදි දේවවචනයේ අඩංගු ‘කිරිවලින්’ පමණක් සෑහීමට පත් නොවීමේ අවශ්‍යතාව ප්‍රේරිත පාවුල් අවධාරණය කළා. සභා පොත් පාඩමේදී අපි යෙසායාගේ අනාවැකිය පාඩම් කිරීමෙන් ඉගෙනගන්න දේවල් වැනි ආත්මික ඝන ආහාර ලබාගත යුතුයි. ඒ වගේම අපි ඉගෙනගන්න දේවල් අදිමදි නොකර අපේ ජීවිතවලට අදාළ කරගත යුතුයි. මෙසේ කටයුතු කරද්දී යෙහෝවාගේ ප්‍රතිපත්ති අපේ යහපතට හේතු වන බව අපි ඒත්තුගන්නෙමු. හරි වැරැද්ද අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීම සඳහා අපේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කරගැනීමට එය උපකාරවත් වෙයි.
8 සමහරුන් ආත්මිකව දුර්වල වීම කනගාටුදායක දෙයක්. මෙයට හේතුව කුමක්ද? යෙහෝවාගේ ඇස් හමුවෙහි යහපත් හා ධර්මිෂ්ඨ යන්නෙන් පෙන්වන දේවල් කෙරෙහි ඔවුන් අවධානය යොමු කර නැහැ. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ගුවන් විදුලිය හෝ රූපවාහිනිය මගින් විකාශනය කෙරෙන ශුද්ධ ලියවිල්ලෙහි පවසන දේවලට පටහැනි මත ඉදිරිපත් කරන ජනප්‍රිය පුද්ගලයන්ගේ මතිමතාන්තරවල බලපෑමට ඔවුන් හසුවීමයි. ඒ වගේම ඔවුන් නීච සංගීතය, පරිගණකවල තිබෙන කතා බහ කුටි යනාදිය මගින් ඇති කරන නරක බලපෑම්වල ගොදුරක් වී තිබෙනවා. ඥානවන්තව කටයුතු කිරීමෙන් දුරාචාරයට අනුබල දෙන මෝඩ හා දුෂ්ට මිනිසුන්ගේ බලපෑම්වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්.—හිතෝ. 13:20; ගලා. 5:7; 1 තිමෝ. 6:20, 21.
9 යෞවනයන් ‘නපුර සම්බන්ධයෙන් බිළිඳුන් විය යුතුයි.’ තමන්ගේ වටහාගැනීමේ ශක්තිය වර්ධනය කරගැනීම සඳහා විශේෂයෙන්ම යෞවනයන්ව දිරිමත් කළ කොටස් දෙකක් වැඩසටහනට අයත් වුණා. ‘නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වීම’ යන්නෙන් අදහස් වන්නේ අද්දැකීම් නොලබා සිටීමයි, එනම් යෙහෝවාගේ ඇස් හමුවෙහි අපවිත්‍ර ලෙස සැලකෙන දේවල් ගැන බිළිඳුන් මෙන් කිසිවක් නොදැන සිටීමයි කියා කථිකයා පැහැදිලි කළා. (1 කොරි. 14:20) කාලය පාවිච්චි කරන ආකාරය ගැන නිරතුරුවම දැඩි ලෙස සුපරීක්ෂාකාරි වීමට අප සියලුදෙනාවම දිරිමත් කරනු ලැබුවා. මෙසේ සිටීමෙන් සියලු ආකාර නපුරු දේවලට නිරාවරණය වීමෙන් හා ඒවායේ අහිතකර බලපෑම්වලට ගොදුරු වීමෙන් වැළකී සිටිය හැකියි. (එපී. 5:15-17) ආත්මික කාරණා පිළිබඳ අපේ අවබෝධය වර්ධනය වීමට ඍජු ලෙස දායක වන්නේ නැති පොත් පත් කියවීමට අප කොපමණ කාලයක් ගත කරනවාද කියා ගණන් බැලීමට අපව දිරිමත් කරනු ලැබුවා. ඔබ මෙය කළාද? මෙම ගණන් බැලීමේ ප්‍රතිඵලයක් ලෙස හෙළි වුණේ කුමක්ද? දිනපතා බයිබලය කියවීමට අමතරව සංවිධානය සපයන පොත් පත් සඟරා කියවීමටද අදිටන් කරගන්න. මෙය යෞවනයන් ඇතුළු අප සෑම කෙනෙකුටම ‘තේරුම්ගැනීමේ හැකියාව අත් කරගන්න [NW]’ උපකාරවත් වෙනවා.—හිතෝ. 4:7-9.
10 “තේරුම්ගැනීමෙන් යුතුව බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ප්‍රයෝජන ලබන්න.” විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ අවසාන කතාවේ තේමාව වුණේ එයයි. තේරුම්ගැනීම සම්බන්ධයෙන් කිසිම මිනිසෙකුට නොමැති අසීමිත හැකියාවක් තිබෙන යෙහෝවා, ජීවනයට මඟ පාදන තේරුම්ගැනීමේ හැකියාවේ උල්පතයි. යෙහෝවා සතු තේරුම්ගැනීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා අපට ලැබී තිබෙන ප්‍රස්තාව ගැන සිතා බලන්න. තේරුම්ගැනීමේ හැකියාව ලබාගැනීමට අවංක වෑයමක් දරන අයටත් ඇදහිල්ලෙන් යුක්තව එය ඉල්ලන අයටත් නොමසුරුව එය ලබා දීමට ඔහු සූදානමින් සිටිනවා. (හිතෝ. 2:3-5, 9; 28:5) ඔබ මෙයින් පූර්ණ ප්‍රයෝජන ගනිමින් සිටිනවාද?
11 බයිබලය කියවද්දී එහි සඳහන් ප්‍රතිපත්ති හඳුනාගැනීමට ඉගෙනගන්න කියා එක්රැස්වීමේදී අපව දිරිමත් කළා. (2 තිමෝ. 3:16) යෙහෝවා පවසන දේවල් නිවැරදිව තේරුම්ගැනීම සඳහා එම ප්‍රතිපත්ති පරෙස්සමින් අධ්‍යයනය කරන්න. ඒවා ගැන මෙනෙහි කිරීමට කාලය ගනිමින් ඔබේ මනසේ සහ හදවතේ ඒවා තැන්පත් කරගන්න. මෙයින් ඔබේ වටහාගැනීමේ ශක්තියට පුහුණුවක් ලැබෙන අතර, ප්‍රතිඵලයක් වශයෙන් ඔබ ගන්න තීරණ සාර්ථක කරගන්න පුළුවන්. (යෝෂු. 1:8) බොහෝදෙනෙකු මුහුණ දෙන තත්වයන් කිහිපයක් ගෙන, සාර්ථක වීමට බයිබල් ප්‍රතිපත්ති අපට උපකාරවත් වන ආකාරය බලමු.
12 ‘ඇඳුම් ඇඳීමේදී හා හිසකෙස් සකස් කිරීමේදී මම යම් විලාසිතාවක් අනුකරණය කළ යුතුද?’ අද ලෝකයේ ඇඳුම් විලාසිතා හා හිසකෙස් සකස් කිරීමේ විලාසිතාවලින් පිළිබිඹු වන්නේ නොහික්මුණු කැරලිකාර ස්වභාවයක්. අපිළිවෙළට ඇඳීමට හෝ ලිංගික හැඟීම් අවුස්සන අයුරින් ඇඳීමට එම ස්වභාවය මිනිසුන්ට බලපෑම් කරනවා. එවන් නැඹුරුවාවන්ට හසු නොවීමට අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? අපේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කරගෙන තිබෙන නිසා, ‘විනීතව හා [සිහි බුද්ධියෙන් යුක්තව, NW] දේවභක්ති නාමය දරන අයට සුදුසු’ ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් 1 තිමෝති 2:9, 10හි සඳහන් ප්‍රතිපත්තිය අපි මෙහිදී සැලකිල්ලට ගන්නෙමු. මේ සම්බන්ධයෙන් තවත් බයිබල් ප්‍රතිපත්ති දෙකක් 2 කොරින්ති 6:3හි සහ කොලොස්සි 3:18, 20හි සඳහන් වෙනවා.
13 ‘මගේ පවුලේ අයගේ බැඳීම ශක්තිමත්ව තබාගන්න මට කරන්න පුළුවන් මොනවාද?’ පවුලේ අය සමඟ හොඳ අදහස් හුවමාරුවක් තිබීම ඉතාමත් වැදගත්. යාකොබ් 1:19 අපට මෙසේ පවසනවා. “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා. කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා.” පවුලක අදහස් හුවමාරුවට සියලුම සාමාජිකයන් හවුල් විය යුතු නිසා, ඔවුනොවුන් එකිනෙකාට සවන් දීමත් එකිනෙකා සමඟ කතා කිරීමත් අවශ්‍යයි. අපි පවසන දෙය සත්‍යයක් වුණත්, එය පවසන්නේ අනිත් අයට වේදනාවක් ඇති වන ආකාරයෙන් හෝ ආඩම්බර ලෙස හෝ අන් අයගේ හැඟීම් ගැන කිසිම සැලකිල්ලක් නැතිව නම්, එයින් සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්. එනිසා ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක වේවා, දෙමාපියෙකු හෝ දරුවෙකු වේවා, අපේ මුවින් නික්මෙන වදන් “නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව” තිබීමට අප වගබලා ගත යුතුයි.—කොලො. 4:6.
14 ‘මම ද්‍රව්‍යවාදයේ බලපෑම්වලට හසු වෙමින් සිටිනවාද?’ ද්‍රව්‍යවාදය යමෙකුගේ ජීවිතය සංකීර්ණ කරවීමට බලපාන ලෝකයෙන් එල්ල වන පීඩනයක්. මෙය සැබෑ සන්තෝෂයට මඟ පාදන්නේ නැහැ. (දේශ. 5:10; ලූක් 12:15; 1 තිමෝ. 6:9, 10) ද්‍රව්‍යවාදය නමැති මලපතට ගොදුරු නොවී සිටීම සඳහා අපට උපකාර කිරීමේ අරමුණින් යේසුස් මෙම වැදගත් ප්‍රතිපත්තිය අපට ඉගැන්නුවා. සරල ඇසක් තබාගන්න. සමබර හා සරල ජීවිතයක් ගත කිරීමේදී අපේ මූලික අවධානය යොමු වන්නේ රාජ්‍යය හා සම්බන්ධ කාරණාවලටයි. අනෙකුත් සෑම දෙයකටම හිමි වන්නේ දෙවැනි තැනයි.—මතෙ. 6:22, 23, 33.
15 ‘අපේ ඉලක්කය විය යුත්තේ කුමක්ද?’ අප තීරණ ගන්නා විට මඟ පෙන්වීම ලබාගැනීම සඳහා ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ඇතුළත් විශ්වාසදායක මූලාශ්‍රයක් වන දේවවචනය අපට තිබෙනවා. අපි මේ ප්‍රතිපත්ති ඉගෙනගැනීමත් ඒවා ගැන මෙනෙහි කිරීමත් අවශ්‍යයි. ඒ වගේම අපේ ජීවිතවලට ඒවා අදාළ කරගන්නේ කොහොමද කියා තේරුම්ගැනීමත් අවශ්‍යයි. මෙසේ අපි ‘හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා අපේ වටහාගැනීමේ ශක්තිය පුහුණු කරගැනීමෙන්’ අපට බොහෝ ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්. ඒ වගේම යෙහෝවාව ගෞරවයට පත් කරන්නත් පුළුවන්. —හෙබ්‍රෙ. 5:14, NW.