ප්‍රශ්න පෙට්ටිය
◼ සෙලියුලර් දුරකථන හා ඉලෙක්ට්‍රෝනික පේජර් පාවිච්චි කරන විට අප මතක තබාගත යුතු දේවල් මොනවාද?
මෙම උපකරණ යොදාගනිමින් ඕනෑම තැනක සිට අනිත් අයව අමතන්න අපට පුළුවන්. මෙය ප්‍රයෝජනවත් දෙයක් විය හැකි වුවත් අපේ දේවසේවයට හෝ ක්‍රිස්තියානි රැස්වීම්වලට බාධා වන අයුරින් සුදුසු නැති වේලාවන්වලදී ඒවා භාවිත නොකිරීමට අප සැලකිලිමත් විය යුතුයි. මෙම උපකරණ අපේ දේවසේවයට හා රැස්වීම්වලට බාධාවක් විය හැක්කේ කෙසේද?
අපි ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙමින් යම් කෙනෙකුට සාක්ෂි දරද්දී අපේ සෙලියුලර් දුරකථනය හෝ පේජර් එක නාද වුණොත් එයින් ඇති වන බලපෑම ගැන සිතා බලන්න. ගෙවැසියා කුමක් සිතාවිද? අපි සාක්ෂි දැරීම නතර කර, ඇමතුමට ප්‍රතිචාරයක් දැක්වුහොත් එයින් ගෙවැසියා තුළ කුමන ආකාරයේ හැඟීමක් ඇති විය හැකිද? අනිත් අය රාජ්‍ය පණිවිඩයට සවන් දෙන විට ඊට බාධා කරන කිසිම දෙයක් කිරීමට අපට වුවමනා නැහැ. (2 කොරි. 6:3) එනිසා අප ක්ෂේත්‍ර සේවයේ යන විට සෙලියුලර් දුරකථනයක් පේජර් එකක් රැගෙන යනවා නම්, සේවයේදී අපටත් අන් අයටත් බාධා නොවන විදිහට අප එය සකස් කරගත යුතුයි.
අප සමඟ සේවයේ හවුල් වන සහෝදර සහෝදරියන් සාක්ෂි දරද්දී අප බලා සිටින කාලය අතරතුර අප සෙලියුලර් දුරකථන භාවිත කිරීම ගැන කුමක් කිව හැකිද? අප ක්ෂේත්‍ර සේවය සඳහා යම් කාලයක් වෙන් කර තිබෙනවා නම්, අපේ මනස් යොමු කර තබාගත යුත්තේ එම කාර්යය සඳහා නොවේද? අපේ පරිශුද්ධ සේවය සඳහා තිබෙන ගෞරවය නිසා අනවශ්‍ය පෞද්ගලික කටයුතු වෙනත් වේලාවකදී කරගන්න. (රෝම 12:7) කෙසේවෙතත්, යම් කෙනෙකුට සාක්ෂි දැරීම සඳහා හෝ ඒ සඳහා වේලාවක් නියම කරගැනීම සඳහා දුරකථනයක් පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය යුතු බව එයින් අදහස් කරන්නේ නැහැ.
රිය පදවන අතරතුර සෙලියුලර් දුරකථන භාවිතා කිරීමෙන් රිය අනතුරු සිදුවීමට තිබෙන ඉඩ කඩ වැඩි බව අධ්‍යයන මගින් හෙළි වී තිබෙන නිසා අප රිය පදවමින් සෙලියුලර් දුරකථනය භාවිත නොකළ යුතුයි. රිය පදවන අතරතුර සෙලියුලර් දුරකථන භාවිත කිරීම සීමා කරන නීති අපි අකුරටම පිළිපැදිය යුතුයි.
අපි ක්‍රිස්තියානි රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුවලට යන්නේ යෙහෝවාට නමස්කාර කිරීමට මෙන්ම ඔහුගෙන් ඉගෙනගැනීමටයි. අප සතු සෙලියුලර් දුරකථන ඒ අවස්ථාවලට අනුව සකස් කරගැනීම සඳහා එම අවස්ථාවල තිබෙන පරිශුද්ධභාවය අගය කිරීම අප තුළ පෙලඹීමක් ඇති කළ යුතු නැද්ද? සෙලියුලර් දුරකථන නිසා අපගේ මෙන්ම අනිත් අයගේ සිත් වෙනතකට ඇඳී නොයෑම සඳහා එසේ කිරීම සුදුසුයි. විගස අවධානය දිය යුතු හදිසි කාරණා මතු වන අවස්ථාවලදී ඒ ගැන සොයා බැලිය යුත්තේ රැස්වීම පවත්වනු ලබන ස්ථානයෙන් පිටතදීයි. එසේත් නැත්නම් අපේ පෞද්ගලික හා ආත්මික නොවන කාරණා කෙරෙහි සැලකිල්ල යොමු කළ යුත්තේ අප නමස්කාරය සඳහා වෙන් කර නොතිබෙන වේලාවන්වලදීයි.—1 කොරි. 10:24.
අපි සෙලියුලර් දුරකථන හෝ වේවා වෙනත් ඕනෑම ඉලෙක්ට්‍රෝනික උපකරණයක් හෝ වේවා පාවිච්චි කරද්දී අනිත් අය කෙරෙහි සැලකිල්ලක් හා ආත්මික දේවල් කෙරෙහි ගැඹුරු අගය කිරීමක් අපට තිබෙන බව සැමවිටම පෙන්වමු.