අපේ කැපවීමට අනුව ජීවත් වීම
1 ඔබ බව්තීස්ම වූයේ මෑතකදී හෝ වේවා, දශක ගණනාවකට පෙර හෝ වේවා, ඔබේ ජීවිතයේ එම වැදගත් සන්ධිස්ථානය ඔබට මතක ඇති. අපේ බව්තීස්මය අවසානයක් නොව, ජීවිත කාලය පුරාම පවතින හා සදාකාලය පුරාම දිව යා හැකි කැප වූ සේවයක ආරම්භයකි. (1 යොහ. 2:17) අපගේ කැපවීමට අනුව ජීවත් වීමට ඇතුළත් වන්නේ කුමක්ද?
2 ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම: බව්තීස්ම වූ පසු, යේසුස් ‘තම සේවය පටන්ගෙන’ “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා” කළේය. (ලූක් 3:23; 4:43; NW) ඒ හා සමානව, බව්තීස්මය මගින් යෙහෝවාට වූ අපගේ කැපවීම සංකේතවත් කිරීමේදී, අපි ශුභාරංචිය ප්‍රකාශ කිරීමට කැප වූ දේවසේවකයන් බවට පත් වීමු. ජීවිතයේ ද්‍රව්‍යමය අවශ්‍යතාවන් පිරිමසාගැනීමට ඇතැම්විට බොහෝ කාලයක් හා වෑයමක් අවශ්‍ය වුවද, අපේ ප්‍රධාන කාර්යය නැත්නම් ප්‍රධාන වැඩය වන්නේ ක්‍රිස්තියානි දේවසේවයයි. (මතෙ. 6:33) ධනය හා නම්බුව ලබාගැනීමට වෑයම් කරනවා වෙනුවට දෙවිට කැප වූ අය උත්සාහ කරන්නේ ප්‍රේරිත පාවුල් කළාක් මෙන් ‘තමන්ගේ සේවය මහිමයට පත් කිරීමටයි.’ (රෝම 11:13, NW) ඔබ යෙහෝවාට සේවය කිරීමේ වරප්‍රසාදය බොහෝ සෙයින් අනර්ඝ කොට සලකමින් එය උපරිම ලෙසින් මහිමයට පත් කරන්නෙහිද?
3 යේසුස් මෙන්, අපත් ‘යක්ෂයාට විරුද්ධව සිටිය’ යුතුයි. (යාකො. 4:7) යේසුස්ගේ බව්තීස්මයෙන් අනතුරුව සාතන් ඔහුව පරීක්ෂා කළේය. එලෙසින්ම ඔහු අදදිනත් යෙහෝවාගේ කැප වූ සේවකයන්ව ඉලක්ක කරගනියි. (ලූක් 4:1-13) සාතන්ගේ ලෝකයෙන් වට වී සිටින අප අපවම හික්මවාගත යුතු අතර, අපගේ මනස් අපවිත්‍ර කරන හෝ අපගේ හදවත් දූෂණය කරන ඕනෑම දෙයකින් වැළකී සිටිය යුතුයි. (හිතෝ. 4:23; මතෙ. 5:29, 30) ‘යෙහෝවාගේ මේසයටද භූතයන්ගේ මේසයටද සහභාගි විය නොහැකි’ බවට ක්‍රිස්තියානින්ට අවවාද කර තිබේ. (1 කොරි. 10:21, NW) මේ සඳහා, අහිතකර විනෝදාස්වාදයෙන්, නරක ආශ්රයෙන් හා අන්තර් ජාලයේ අන්තරායන්ගෙන් අපවම ආරක්ෂා කරගැනීම අවශ්‍ය කරයි. තවද ඇදහිල්ලට එරෙහිව කැරලිගසන අයගේ පොත් පත් වැනි දෑ අප විසින් ප්‍රතික්ෂේප කිරීමත් මීට ඇතුළත් වේ. මේවා සහ සාතන්ගේ වෙනත් සියුම් උපක්‍රම සම්බන්ධයෙන් සාවධානව සිටීමෙන් අපගේ කැපවීමට අනුව ජීවත් වීමට අපට හැකි වේ.
4 දෙවිගේ සැපයුම් භාවිත කරන්න: අපගේ කැපවීමට අනුව ජීවත් වීමට උපකාර කරනු වස්, යෙහෝවා සිය වචනයෙන් හා ක්‍රිස්තියානි සංවිධානය මගින් අපට උපකාර සපයා තිබේ. දිනපතාම බයිබලය කියවීම සහ යෙහෝවාට යාච්ඤා කිරීම ඔබේ දෛනික ජීවිතයේ පුරුද්දක් කරගන්න. (යෝෂු. 1:8; 1 තෙස. 5:17) ක්‍රිස්තියානි රැස්වීම්වලට ප්‍රීතියෙන් සහභාගි වන්න. (ගීතා. 122:1) යෙහෝවාට භය වන හා ඔහුගේ නියෝග පවත්වන අය සමඟ ඇසුරු කරන්න.—ගීතා. 119:63.
5 දිව්‍ය උපකාර ඇතුව යෙහෝවාට කළ ඔබගේ කැපවීමට අනුව ඔබට ජීවත් විය හැකි අතර, ඔහුට සදාකාලයටම සේවය කිරීමේ ප්‍රීතියද ඔබට ලැබෙනු ඇත.—ගීතා. 22:26, 27; පිලි. 4:13.