නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන
1 තමාගේ ගෝලයන් පීඩා අද්දකින බව අපේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් පුරෝකථනය කළේය. (මතෙ. 24:9) අප පීඩා සැලකිය යුත්තේ කෙසේද? පීඩා විඳදරාගැනීමට අපට උපකාරවත් වනු ඇත්තේ මොනවාද? මෙම ප්රශ්නවලට පිළිතුරු 2004 සේවා වසරේදී පවත්වනු ලබන චාරිකා එක්රැස්වීම් වැඩසටහනින් දැනගත හැකියි. එහි තේමාව වන්නේ මෙයයි. “බලාපොරොත්තුවෙහි ප්රීති වන්න. පීඩා හමුවෙහි විඳදරාගන්න.”—රෝම 12:12, NW.
2 කතා මාලා දෙකක්: “විඳදරාගැනීමෙන් යුක්තව පල දරන්න” නමැති මාතෘකාවෙන් යුත් මුල් කතා මාලාවේදී, අපට පල දැරිය හැකි ආකාරයන් ගැන සලකා බලනු ඇත. හදිසිතාවේ හැඟීමෙන් යුතුව දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ නියැලී සිටින ආකාරය ගැන දැනගැනීම සඳහා ප්රචාරකයන් කිහිපදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ඇත. “යෙහෝවා විසින් හික්මවනු ලබන විට” නමැති කතාවට දෙමාපියන් විශේෂ අවධානයක් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙමාපියන්ට දරුවන් සමඟ යම් කාරණා සම්බන්ධයෙන් හේතු සාධක සාකච්ඡා කළ හැකි ආකාරය එහිදී සලකා බලනු ලැබේ. ක්රමානුකූලව අප කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කිරීමටත් අපව පල නොදරන තත්වයට පත් කිරීමටත් මේ ලෝකයට ඉඩ නොදීම සඳහා අප කළ යුතු දේවල් ගැන මෙම කතා මාලාවේ අවසාන කථිකයා විශේෂ කොට දක්වනු ඇත.—මාක් 4:19.
3 “ධාවන තරඟයෙහි විඳදරාගැනීමෙන් යුතුව දුවන්න.” දෙවන කතා මාලාවේ තේමාව එයයි. අපගේ ජීවිත ගමන ධාවන තරඟයකට සමාන වන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ. තරඟයෙහි නීති රීතිවලට අනුකූලව අප දිවිය යුත්තේ මන්ද? ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී සියලු බර අහක දමමින් හෙම්බත් නොවී සාර්ථකව දිවීමට අපට හැක්කේ කෙසේද? මෙහිදී සපයනු ලබන ශුද්ධ ලියවිලි මත පදනම් කාලෝචිත උපදෙස්, විඳදරාගැනීමෙන් යුක්තව දිගටම දිවීමට අපට උපකාරවත් වනු ඇත.
4 විඳදරාගැනීමෙන් දෙවිගේ අනුමැතිය ලැබේ: සංචාරක අවේක්ෂකයන් ඉදිරිපත් කරන කතාවලදී දෙනු ලබන උපදෙස්වලට සවන් දී ඒවා අදාළ කරගන්න අයගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වනු ඇති බවට නිසැකයි. දිස්ත්රික් අවේක්ෂක ඉදිරිපත් කරන එක් කතාවක මාතෘකාව වන්නේ මෙයයි. “විඳදරාගැනීම අනුමැතිය ලත් තත්වයකට මඟ පාදයි.” ජාතීන් බලාපොරොත්තු තැබිය යුත්තේ කාගේ නාමය කෙරෙහිද? එසේ කිරීමට අයත් වන්නේ මොනවාද? මෙම ප්රශ්නවලට ප්රසිද්ධ කතාවෙන් පිළිතුරු ලැබෙනු ඇත. “විඳදරාගැනීමෙන් ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේය.” මෙම මාතෘකාවෙන් යුත් අවසාන කතාවේදී සලකා බලනු ඇත්තේ, අමනාපය සිතේ තබා නොගෙන අයුක්තිය විඳදරාගැනීමට යේසුස්ට හැකි වූ ආකාරය ගැනයි.
5 ඔබේ සේවා පාසැල් පොත හා එම සතියට නියමිත මුරටැඹ අමතක නොකර ගෙන එන්න. සිත එකතැනක තබාගැනීමට සටහන්ගැනීම උපකාරවත් වන නිසා එසේ කරන්න. එමෙන්ම ඉදිරියේදී ප්රයෝජනවත් වෙතැයි සිතන කරුණු සටහන්වලට ඇතුළත් කරගන්න. සමුළු වැඩසටහන ගැන පුනරීක්ෂණයක් සභාවේදී පසු කලෙක පවත්වනු ඇත.
6 ආත්මික ආහාර බහුල මේ මහත් භෝජන සංග්රහය පිළියෙළ කර තිබෙන්නේ යෙහෝවා විසින්මයි. එන්න. ඇවිත් භුක්ති විඳින්න! සමුළුවේ මුළු වැඩසටහනින්ම ප්රයෝජන ගැනීම සඳහා අප පැමිණෙනවා නම්, අප ඉමහත් ප්රීතිය භුක්ති විඳිනවා නිසැකයි.—යෙසා. 65:14.