නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන
වඩා දිගු ආයු කාලයක් සමඟින් සන්තෝෂවත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා තමන්ගේ සිරුරේ වැදගත්ම අවයවයක් වන හදවත හොඳ තත්වයකින් පවත්වාගැනීම ගැන මේ කාලයේ ඕනෑ තරම් තොරතුරු ලබාගත හැකියි. වඩාත්ම වැදගත් වන්නේ අපේ සංකේතමය හදවතේ නොහොත් සිතේ තත්වයයි. මේ නිසා 2003 සැප්තැම්බර් මාසයෙන් පටන්ගන්න විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ තේමාව මොනතරම් යෝග්‍යද! එහි තේමාව මෙයයි. “සම්පූර්ණ සිතකින් යෙහෝවාට සේවය කරන්න.” (1 ලේක. 28:9) මේ එක්රැස්වීමෙන් අපට ඉගෙනගැනීමට තිබෙන දේවල් මොනවාද?
“යෙහෝවාට ප්‍රසන්න ආත්මයකින් සේවය කිරීමට අන් අයට උපකාර කිරීම” ගැන චාරිකා අවේක්ෂක සාකච්ඡා කිරීමට නියමිතයි. යෙහෝවාට සේවය කිරීමට කැමැත්තක් දක්වන අයගේ උනන්දුව තව වැඩි කිරීමෙන් හා ඔවුන් සමඟ බයිබල් පාඩම් පැවැත්වීමෙන් ලබන ප්‍රීතිය සම්මුඛ සාකච්ඡාවලදී අවධානයට ලක් කරනු ඇත. ආගන්තුක කථිකයා ඉදිරිපත් කරන මුල් කතාවේ තේමාව “කරදරවලින් පිරි ලොවක අපේ සිත් ආරක්ෂා කරගැනීම” යන්නයි. පැමිණ සිටින සියලුදෙනාම මේ කතාවෙන් සැනසිල්ලක් හා දිරිගැන්වීමක් ලබනවාට සැකයක් නැත. උදෑසන සැසිවාරය නිමාවට පත් වන්නේ බව්තීස්ම කතාව සමඟිනි.
“අන් අයට උපකාර කිරීම” නමැති තේමාවෙන් යුතු දහවල් සැසිවාරයේදී ඉදිරිපත් කරනු ලබන කතාවේදී, අන් අයට උපකාර කිරීමට අපට හැකි ආකාර සලකා බලනු ඇත. තමන්ගේ දරුවන්ගේ සිත් නරක බලපෑම්වලින් ආරක්ෂා කිරීමට හා ඔවුන්ව යෙහෝවාට ළං කරවීමට දෙමාපියන්ට කළ හැකි දේවල් මොනවාද? “යෙහෝවා තුළ ප්‍රීතිය ලැබීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න” නමැති කතාවේදී ප්‍රායෝගික යෝජනා සපයනු ඇති අතර, මෙය කළ හැකි ආකාර නිරූපණය කරනු ඇත.
අපේ සංකේතමය සිත නිරෝගීව හා ශක්තිමත්ව තබාගැනීම සඳහා යෙහෝවා සපයන සෑම සැපයුමකින්ම අපි ප්‍රයෝජන ගනිමින් සිටිනවාද? ආගන්තුක කථිකයා ඉදිරිපත් කරන අවසන් කතාවේ තේමාව වන්නේ “යෙහෝවාට සේවය කිරීමේදී සම්පූර්ණ සිතක් අඛණ්ඩව රැකගැනීම” යන්නයි. මෙහිදී අපේ ආත්මිකත්වය හොඳ තත්වයක තබාගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය දේවල් හතරක් විශේෂයෙන් අවධානයට ලක් කරනු ඇත. මහත් ඕනෑකමින් යාච්ඤා කිරීමට, දේවවචනය අධ්‍යයනය කිරීමට, ජ්වලිතව දේශනා කිරීමට හා සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමට අප කොතරම් කාලයක් හා වෑයමක් දරනවාද? මේ පැතිවලින් අපට තවත් දියුණු විය හැකිද?
යෙහෝවා අපට මෙසේ ආරාධනා කරයි. “ඔබේ සිත ඉගැන්වීමටද ඔබේ කන් දැනගැනීමේ වචනවලටද යොමු කරන්න.” (හිතෝ. 23:12) ශුද්ධ ලියවිලි මත පදනම් ප්‍රයෝජනවත් දේවල් උගන්වනු ලබන මේ එක්රැස්වීමට යෑමට දැන්ම සැලසුම් කරන්න. මෙසේ කිරීමෙන් සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් යෙහෝවාට දිගටම සේවය කිරීම සඳහා ඔබ තවත් ශක්තිමත් වනු ඇත.