සැබෑ ක්‍රිස්තියානි එක්සත්කම ඇති වන්නේ කෙසේද?
1 රටවල් 234ක වෙසෙන භාෂා 380ක් පමණ කතා කරන කණ්ඩායම්වලින් සමන්විත මිලියන හයකට වඩා වැඩි ජනකායක් එක්සත් කළ හැක්කේ කුමකින්ද? යෙහෝවා දෙවිට කරන නමස්කාරයෙන් පමණි. (මීකා 2:12; 4:1-3) සැබෑ ක්‍රිස්තියානි එක්සත්කම අද දින යථාර්ථයක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම අද්දැකීමෙන් දනිති. ‘එක එඬේරෙකු’ යටතේ සිටින “එක රැළක්” ලෙස, අපි මේ ලෝකයේ භේදකාරී ස්වභාවයට එරෙහිව සිටීමට අදිටන් කරගෙන සිටිමු.—යොහ. 10:16; එපී. 2:2.
2 දෙවිගේ ඒකාන්ත අරමුණ නම්, සියලු බුද්ධිමත් මැවිලි සැබෑ නමස්කාරය තුළ එක්සත් කිරීමයි. (එළි. 5:13) මෙහි වැදගත්කම හොඳින් දැන සිටි යේසුස් තම ගෝලයන් අතර තිබෙන එක්සත්කම පිළිබඳව ඉතා උනන්දුවෙන් යාච්ඤා කළේය. (යොහ. 7:20, 21) ක්‍රිස්තියානි සභාවේ එක්සත්කමට දායක වීමට අප එක් එක් කෙනාට හැක්කේ කෙසේද?
3 එක්සත්කම අත් කරගත හැකි ආකාරය: දෙවිගේ වචනය සහ ආත්මය නැතිව ක්‍රිස්තියානි එක්සත්කම අත් කරගත නොහැක. අප බයිබලයෙන් කියවන දෙය අදාළ කරගැනීමේදී දෙවිගේ ආත්මයට අපගේ ජීවිතවල නිදහසේ ගලා යෑමට ඉඩ සැලසේ. ‘සමාදානය නමැති එක්සත් කරවන බැඳීම තුළ ආත්මයේ එකමුතුකම පවත්වාගැනීමට’ අපට මෙමගින් හැකි කරවයි. (එෆී. 4:3, NW) එකිනෙකා සමඟ ප්‍රේමයෙන් ඉවසා කටයුතු කිරීමට මෙය අපව පොලඹවයි. (කොලො. 3:13, 14; 1 පේතෘ. 4:8) දෙවිගේ වචනය සෑම දවසකම මෙනෙහි කිරීමෙන් ඔබ එක්සත්කමේ උන්නතිය තකා ක්‍රියා කරනවාද?
4 අපගේ බලපැවරුම වන දේශනා කිරීම සහ ගෝලයන් සෑදීමද අපව එක්සත් කරවයි. අප අන්‍යයන් සමඟ ක්‍රිස්තියානි දේවසේවයේ යෙදෙන විට, “ඇදහිල්ල සඳහා එක්ව වීර්යය කරමින් සිටින” විට, අපි “සත්‍යය තුළ හවුල් සේවකයන්” වන්නෙමු. (ෆිලි. 1:27; 3 යොහ. 8; NW) අප එසේ කරන විට සභාව තුළ ඇති ප්‍රේමයේ එක්සත් බැම්ම ශක්තිමත් වේ. මෑතකදී ඔබ සමඟ දේවසේවයේ යෙදී නැති යම් කෙනෙකුට මේ සතියේ ක්ෂේත්රයේ එකට වැඩ කිරීමට ආරාධනා නොකරන්නේ මන්ද?
5 අද දින මේ පොළොව මත තිබෙන එකම සැබෑ ජාත්‍යන්තර සහෝදරත්වයේ කොටසක් වීමට ලැබීම අපට මොන තරම් වරප්‍රසාදයක්ද! (1 පේතෘ. 5:9) මෑතකදී, “දෙවිව මහිමවත් කරන්න” යන මැයෙන් පැවති ජාත්‍යන්තර සමුළුවලදී මෙම සමස්ත ලෝක එක්සත්කම විශාල පිරිසක් විසින් අද්දකින ලදි. දේවවචනය සෑම දවසකම කියවීමෙන්, ප්‍රේමයෙන් යුතුව ප්‍රශ්න ගැටලු විසඳාගැනීමෙන්, සහ “එක්සිත්ව එක හඬින්” ශුභාරංචිය දේශනා කිරීමෙන් අපි එක් එක් කෙනා මෙම වටිනා එක්සත්කමට දායක වෙමු.—රෝම 15:6, NW.