“විශාල වෙන්න”
1. අප එක් එක් කෙනාට ඇති වගකීම කුමක්ද?
1 ක්‍රිස්තියානි සහෝදරත්වය තුළ සිටින අප සෑම කෙනෙකුටම සභාවේ උණුසුම්භාවය සඳහා දායක වීමට වගකීමක් තිබේ. (1 පේතෘ. 1:22; 2:17) එකිනෙකා සඳහා අප ගැඹුරු සෙනෙහස දැක්වීමේදී අපේ සිත් ‘විශාල කරගන්නා’ විට එවන් උණුසුම්භාවයක් ජනිත වෙයි. (2 කොරි. 6:12, 13) එසේනම්, අපගේ සහෝදර සහෝදරියන්ව හොඳින් දැන හඳුනා ගැනීම වැදගත් දෙයක් වන්නේ මන්ද?
2. සෙසු ඇදහිලිවන්තයන් සමඟ මිතුදම් වර්ධනය කරගැනීම වැදගත් වන්නේ මන්ද?
2 මිතුදම් වඩාත් ශක්තිමත් වේ: අපි අපේ සෙසු ඇදහිලිවන්තයන්ව වඩාත් හොඳින් දැන හඳුනා ගන්නා විට, අප ඔවුන්ගේ ඇදහිල්ල, විඳදරාගැනීම සහ වෙනත් කදිම ගුණාංග වඩාත් පූර්ණ ලෙස අගය කරන තත්වයට පත් වන්නෙමු. ඔවුන්ගේ අඩු ලුහුඬුකම් අප නොදකින තරමට මිතුදම්වල බැම්ම තවත් ශක්තිමත් වෙයි. එකිනෙකාව හොඳින් දැන හඳුනා ගැනීමෙන් අපි එකිනෙකාව ශක්තිමත් කිරීමටත් ගොඩනැංවීමටත් මනා තත්වයක පසු වන්නෙමු. (1 තෙස. 5:11) අපට එකිනෙකා කෙරෙහි ‘ශක්තිය සපයන උපකාරයක්’ විය හැකි අතර, සාතන්ගේ ලෝකයේ අහිතකර බලපෑම්වලට එරෙහිව සිටීමට එය අපට රුකුලකි. (කොලො. 4:11, NW) පීඩනවලින් පිරි අන්තිම දවස්වල ජීවත් වන අපට යෙහෝවාගේ ජනයා අතර හොඳ මිතුරන් සිටීම ගැන අපි කොතරම් කෘතඥපූර්වක වෙමුද!—හිතෝ. 18:24.
3. අපට අන් අය සඳහා ශක්තිය සපයන උපකාරයක් විය හැක්කේ කෙසේද?
3 අප දරුණු පරීක්ෂාවන්ට මුහුණ දෙන විට කිට්ටු මිතුරන් විශේෂ ශක්තියක් හා සැනසිල්ලක් විය හැකියි. (හිතෝ. 17:17) තමා කිසි වටිනාකමක් නැති කෙනෙකු බවට වූ හැඟීම් සමඟ පොරබැදුවාවූ එක් ක්‍රිස්තියානි සහෝදරියක් මෙසේ සිහි කරන්නීය. “මා තුළ වූ අශුභවාදි සිතිවිලි යටපත් කිරීමටත් මා ගැන ධනාත්මක දේවල් පැවසීමටත් හැකි වූ මිතුරන් මට සිටියා.” එවන් මිතුරු මිතුරියන් යෙහෝවාගෙන් වූ ආශීර්වාදයකි.—හිතෝ. 27:9.
4. සභාවේ සිටින වෙනත් අයව දැන හඳුනා ගැනීමට අපට හැක්කේ කෙසේද?
4 අනුන් කෙරෙහි උනන්දුවක් දක්වන්න: සෙසු ඇදහිලිවන්තයන් සඳහා අපේ ගැඹුරු සෙනෙහස පෙන්වමින් විශාල වීමට අපට හැක්කේ කෙසේද? අන් අයට ක්‍රිස්තියානි රැස්වීම්වලදී ආචාර කරනවාට අමතරව, ඔවුන් සමඟ අර්ථාන්විත කතා බහේ යෙදීමට උත්සාහයක් ගන්න. ඔවුන්ගේ පෞද්ගලික කාරණා දෙස අනවශ්‍ය ලෙස එබී බලනවා වෙනුවට, ඔවුන් කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වන්න. (පිලි. 2:4; 1 පේතෘ. 4:15) අනුන් කෙරෙහි උනන්දුව පෙන්විය හැකි තවත් ක්‍රමයක් නම් ඔවුන්ව කෑමකට ආරාධනා කිරීමයි. (ලූක් 14:12-14) නැතහොත් යම් කෙනෙක් සමඟ ක්ෂේත්‍ර සේවයේ යෙදීමට කටයුතු පිළියෙල කිරීමටද හැකියි. (ලූක් 10:1) අපගේ සහෝදරයන්ව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට අප මූලික පියවර ගනිත්ම, අපි සභාව තුළ එක්සත්භාවය වඩවන්නෙමු.—කොලො. 3:14.
5. අපගේ මිතුදම් පුළුල් කිරීමට හැකි එක් ක්‍රමයක් නම් කරන්න.
5 අප කිට්ටුවෙන් ඇසුරු කිරීමට තෝරාගන්නේ අපේම වයසේ හෝ අප කැමති දේවලට කැමති අයවමද? සභාව තුළ අප වගා කරන මිතුදම් එවන් දේවලට සීමා නොකළ යුතුය. දාවිත් සහ යොනාතාන්ද රූත් සහ නායොමිද ශක්තිමත් මිතුදම් ඇති කරගත්තේ තමන්ගේ වයස හා පසුබිම් නොසලකාහරිමිනි. (රූත් 4:15; 1 සාමු. 18:1 ) ඔබේ මිතුදම් පුළුල් කිරීමට ඔබට හැකිද? එසේ කිරීමෙන් බලාපොරොත්තු නොවූ විරූ ආශීර්වාද නෙළාගැනීමට ඔබට හැකි වේවි.
6. අපගේ සහෝදරයන් වැඩිදෙනෙකුට ගැඹුරු සෙනෙහසක් දැක්වීමෙන් ඇති වන ප්‍රයෝජන සමහරක් මොනවාද?
6 තවත් අයට අපේ ගැඹුරු සෙනෙහස දැක්වීමෙන්, අපි එකිනෙකාව ශක්තිමත් කර සභාවේ සාමය වැඩි දියුණු කරන්නෙමු. එපමණක්ද නොව, අප අපේ සහෝදරයන් උදෙසා දක්වන ප්‍රේමයට යෙහෝවාම ආශීර්වාද කරයි. (ගීතා. 41:1, 2; හෙබ්‍රෙ. 6:10) හැකි තරම් දෙනෙකුව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට ඉලක්කයක් තබා නොගන්නේ මන්ද?