නෑදෑයන්ට සාක්ෂි දරන්නේ කෙසේද?
1. නෑදෑයන්ට සාක්ෂි දරන විට විචාර බුද්ධිය අවශ්‍ය වන්නේ ඇයි?
1 අපේ ප්‍රේමණීයයන් සමඟ එක්සත්ව යෙහෝවාගේ නමස්කාරයේ යෙදෙමින් ඔවුන් සමඟම නව ලොවට ඇතුල් වීම තරම් තවත් සතුටක් අපට තිබිය හැකිද! නෑදෑයන්ට අපි සාක්ෂි දැරීමෙන් මෙම ප්‍රීතිමත් අපේක්ෂාව අත් කරගන්න අපට පුළුවන්. කෙසේනමුත්, සිත්ගන්නාසුලු ආකාරයකින් සාක්ෂි දැරීමට නම් විචාර බුද්ධිය අවශ්‍යයි. චාරිකා අවේක්ෂකයෙක් මෙසේ පැවසුවා. “අවස්ථාවට අනුව සුදුසු ප්‍රමාණයකින් සාක්ෂි දරන අය නෑදෑයන් තුළ කුතුහලය ඇති කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබනවා.” අපට එසේ කළ හැකි වන්නේ කෙසේද?
2. අපේ නෑදෑයන් කෙරෙහි අවංක උනන්දුවක් දැක්වීමෙන් ඔවුන්ගේ කුතුහලය ඇවිස්සීමට අපට හැක්කේ කෙසේද?
2 ඔවුන්ගේ කුතුහලය ඇවිස්සීම: ඔබේ නෑදෑයන්ගේ උනන්දුව ඇවිස්සිය හැකි ආකාරය ගැන කලින්ම හොඳින් සිතා බලන්න. (හිතෝ. 15:28) ඔවුන් සැලකිලිමත් වන දේවල් මොනවාද? ඔවුන් මුහුණ දෙන්නේ මොන වගේ ගැටලුවලටද? ඔවුන් විශේෂ උනන්දුවක් දක්වන විෂයක් පිළිබඳව තිබෙන ලිපියක් ඔවුන්ට පෙන්වීමට හෝ ඔවුන්ගේ සිත් ඇදී යන ශුද්ධ ලියවිලි පදයක් සඳහන් කරන්න ඔබට හැකියි. ඔබේ නෑදෑයන් සිටින්නේ ළඟපාතක නොවෙයි නම්, ලිපියකින් හෝ දුරකථනයකින් සමහරවිට ඔබට එය කළ හැකි වෙයි. තොරතුරුවලින් නහවන්නේ නැතුව සත්‍ය බීජ පැළ කර යෙහෝවා විසින් ඒවා වර්ධනය කරන තෙක් බලා සිටින්න.—1 කොරි. 3:6.
3. අප කෙරෙහි අපේ නෑදෑයන් දක්වන උනන්දුව සාක්ෂි දැරීමට මඟක් කරගත හැක්කේ කෙසේද?
3 යේසුස් එක්තරා මිනිසෙකුට වැසී සිටි භූතයන් පලවාහැර, ඔහුට මෙසේ උපදෙස් දුන්නා: “ගෙදර ගොස්, යෙහෝවා ඔබ වෙනුවෙන් කර තිබෙන සියල්ල ගැනද ඔහු ඔබට දැක්වූ දයාව ගැනද ඔබේ නෑදෑයන්ට පවසන්න.” (මාක් 5:19) ඔහුගේ නෑදෑයන්ට එය මොනතරම් බලපෑමක් වෙන්න ඇද්ද කියා සිතා බලන්න. සමහරවිට ඒවගේම අද්දැකීමක් ඔබ ලබා නැතත්, ඔබේ හෝ ඔබේ දරුවන්ගේ ක්‍රියාකලාපයන් කෙරෙහි ඔබේ නෑදෑයන් උනන්දුවක් දැක්වීමට ඉඩ තිබෙනවා. දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී දුන් කතාවක් ගැන, ඔබ සහභාගි වූ සමුළුවක් ගැන, බෙතෙල් නිවස බැලීමට යෑම ගැන හෝ පෞද්ගලිකව ඔබ අද්දැක්ක සිද්ධියක් ගැන සඳහන් කිරීමෙන්, යෙහෝවා සහ ඔහුගේ සංවිධානය ගැන තවදුරටත් ඔවුන් සමඟ කතා කිරීමට මං සලසාගත හැකි වෙයි.
4. නෑදෑයන්ට සාක්ෂි දරන විට අප නොකළ යුත්තේ මොනවාද?
4 විචාර බුද්ධිය ඇතුව සිටින්න: නෑදෑයන්ට සාක්ෂි දරන විට එක අවස්ථාවකදී සියල්ලම පැවසීමෙන් වළකින්න. තමා බයිබලය පාඩම් කරන්න පටන්ගත්ත කාලේ ගැන සිහියට නඟමින් එක් සහෝදරයෙක් මෙසේ පැවසුවා. “මම බයිබලයෙන් ඉගෙනගත්ත හැම දෙයක්ම වගේ පැය ගානක් තිස්සේ මගේ අම්මාට විස්තර කළා. මේ නිසා නිතරම අපි අතරේ වාද ඇති වෙන්න පටන්ගත්තා. විශේෂයෙන්ම මගේ තාත්තත් එක්ක.” බයිබලයේ පණිවිඩය ගැන නෑදෑයෙක් උනන්දුවක් පෙන්වුවත්, තව තවත් දැනගැනීමට කැමැත්තක් ඇති වන ආකාරයෙන් ඔහුට පිළිතුරු දෙන්න. (හිතෝ. 25:7) දේවසේවයේදී නොදන්නා අය සමඟ ඔබ කතා කරන ආකාරයටම ඔවුන් සමඟද සැමවිටම ගෞරවනීයව, කරුණාවන්තව හා ඉවසිලිවන්තව කතා කරන්න.—කොලො. 4:6.
5. අපේ නෑදෑයන්ට සාක්ෂි දරන විට ඔවුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අප කුමක් කළ යුතුද?
5 එක අවස්ථාවකදී යේසුස්ගේ නෑදෑයන් හිතුවා ඔහුගේ සිහිවිකල් වී ඇතැයි කියා. (මාක් 3:21) කොහොමවුණත් පසුව ඔවුන්ගෙන් සමහරෙක් ඇදහිලිවන්තයන් බවට පත් වුණා. (ක්‍රියා 1:14) ඔබේ නෑදෑයන්ට සත්‍ය කියා දීමට වෑයම් කරද්දී හොඳ ප්‍රතිචාරයක් නොලැබුණත් වෑයම අත්හරින්න එපා. තත්වයන් හා ආකල්පයන් වෙනස් විය හැකියි. ඔවුන්ගේ කුතුහලය ඇවිස්සිය හැකි කරුණක් ගැන ඔවුන්ට පැවසීමට වෙනත් අවස්ථාවක් එළඹෙන තෙක් බලා සිටින්න. ඔවුන්ට සදාකාල ජීවනයට යන මඟට පිවිසීමට උපකාර කිරීමේ ප්‍රීතිය ඔබට අද්දැකිය හැකියි.—මතෙ. 7:13, 14.