කාරණා ඒත්තුගැන්වීමේ දක්ෂකම ප්රගුණ කරන්න
1. අප සලකා බලන බයිබල් වාර්තාව කුමක්ද? ඒ ඇයි?
1 පාවුල්, අනුන්ට කාරණා ඒත්තු ගැන්වීමට අපූරු දක්ෂයෙක්. ක්රියා 13:16-41හි වාර්තාවට අනුව, පිසිදියේ පිහිටි අන්තියෝකියේ සිනගෝගයකදී ඔහු දුන් ප්රබල කතාව ඊට කදිම සාක්ෂියක්. පුද්ගලයන්ගේ පසුබිම සහ මානසිකත්වය මැනවින් වටහා ගත් පාවුල් ශුභාරංචිය ගැන කතා කළේ ඔවුන්ගේ තත්වයට එය සකස් කරගෙනයි. අපි දැන් මේ වාර්තාව ගැන සලකා බලා, අපත් සේවයේදී කාරණා හොඳින් ඒත්තු ගන්වන විදිහ බලමු.
2. පාවුල් තම කතාව පටන් ගත් අයුරින් අප ඉගෙන ගන්නේ කුමක්ද?
2 හුරුපුරුදු දෙයකින් පටන්ගන්න: පාවුල්ගේ මූලික පණිවුඩය පදනම් වූයේ දෙවිගේ කැමැත්ත ඉටු වීමේදී යේසුස් දරන කාර්ය භාරයයි. නමුත් ඔහු තම කතාව පටන් ගත්තේ එතැනින් නොවෙයි. සබයේ වැඩි දෙනෙක් යුදෙව්වන් නිසා ඔවුන්ට හුරුපුරුදු යම් දෙයක් ගැන කතා කරමිනුයි. (ක්රියා 13:16-22) අපත්, අනුන්ට හුරුපුරුදු දෙයකින් කතාව පටන්ගත්තොත් අපට බොහෝ සාර්ථක වෙන්න පුළුවන්. මෙය කළ හැක්කේ ඔවුන්ට වැදගත් වන දෙයක් ගැන කාරුණිකව ප්රශ්න අසා ඔවුන් කියන දේට හොඳින් සවන් දීමෙනුයි.
3. යේසුස් පොරොන්දු වූ මෙසියස් බව පිළිගැනීමට පාවුල්ට සවන් දුන් අයට අමාරු වුණේ ඇයි?
3 පාවුල් මුලින් කතා කළේ යුදෙව්වන්ගේ ඉතිහාසය ගැනයි. දාවිත්ගේ පෙළපතින් ගැලවුම්කරුවෙකු එවීමට දෙවි පොරොන්දු වූ බව ඔහු ඔවුන්ට සිහිගැන්වුවා. නමුත් බොහෝ යුදෙව්වන් සිතා සිටියේ හමුදා වීරයෙක් බිහි වී රෝම පාලනයෙන් මුදවාගෙන තමන්ව උසස්ම ජාතිය බවට පත් කරනු ඇත කියායි. යේසුස්ව යෙරුසලමේ යුදෙව් ආගමික නායකයන් විසින් හෙළා දුටු බවත් ඔහුව මරා දැමීම සඳහා රෝම බලධාරීන්ට භාර දුන් බවත් ඔවුන් දැන සිටි බවට නිසැකයි. මෙසේ මරා දැමූ යේසුස් පොරොන්දුවූ මෙසියස් බව ඒත්තු ගැන්වීමට පාවුල්ට හැකි වුණේ කොහොමද?
4. පාවුල් යුදෙව්වන්ට දක්ෂ ලෙස කාරණා ඒත්තු ගැන්වූයේ කොහොමද?
4 ගැළපෙන අන්දමින් කතාව පටන්ගන්න: පාවුල් තමන්ගේ සබය ගැන දැන සිටි නිසා, ඔහු කතා කළේ ඔවුන් ඒ වනවිටත් පිළිගෙන තිබූ දේවල් ගැන ලියා තිබූ ශුද්ධ ලියවිලිවලින් ඒත්තු ගන්වමිනුයි. උදාහරණයකට, යේසුස් දාවිත්ගේ පෙළපතින් පැමිණි බවත්, දෙවිගේ අනාගතවක්තෘ කෙනෙකු ලෙස ප්රසිද්ධව සිටි යොහන් බව්තීස්ත විසින් ඔහුව හඳුන්වා දුන් බවත් කියා සිටියා. (ක්රියා 13:23-25) ඒ වගේම යේසුස්ව පිළිනොගෙන ඔහුව මරණයට පත් කිරීමෙන් ආගමික නායකයන් කළේ ‘අනාගතවක්තෘවරුන් විසින් කියන ලද දේවල් ඉටු කිරීම’ බවත් පාවුල් පෙන්වා දුන්නා. (ක්රියා 13:26-28) එපමණක්ද නොවේ. යේසුස් මරණින් උත්ථාන වූ බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටින බව කී පාවුල්, යේසුස්ගේ නැවත නැගිටීම ගැන කියා තිබූ සබයට හුරුපුරුදු ශුද්ධලියවිලි පාඨද මතක් කර දුන්නා.—ක්රියා 13:29-37.
5. (අ) ග්රීක් ජාතිකයන්ට ගැළපෙන අන්දමින් පාවුල් කතා කළේ කෙසේද? (ආ) අපේ බල ප්රදේශයේ සිටින අයට කතා කරද්දී පාවුල් වගේ කතා කළ හැක්කේ කොහොමද?
5 අනික් අතට, ඒ පණිවුඩයම ඇතෑන්ස් නුවර අරියොපගසයෙහි ග්රීක ජාතිකයන්ට ඔහු කතා කළේ වෙනස් විදිහකටයි කියා ඔහු පැවසුවා. (ක්රියා 17:22-31) මේ අවස්ථා දෙකේම හොඳ ප්රතිඵල ලැබුණා. (ක්රියා 13:42, 43; 17:34) අදත්, අපට සවන් දෙන අයගේ පසුබිම සහ මානසිකත්වයට අනුකූලව ඔවුන්ට හුරුපුරුදු දෙයකින් කතා කරන්නට පටන් ගමු. එවිට, අපටත් පාවුල් වගේම සාර්ථක වෙන්නට පුළුවන්.