යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරන්න
1 ගීතිකාකරු මෙසේ ප්‍රකාශ කළා. “පොළොවේ සියල්ලෙනි, යෙහෝවාට ගී කියන්න. ඔහුගේ මහිමය ජාතීන් අතරේද දෙවි කළ ආශ්චර්යයන් සියලු වර්ගයන් අතරේද ප්‍රකාශ කරන්න.” යෙහෝවා කර තිබෙන, කරමින් සිටින සහ මතුවට කරන දේවල් ගැන ගැඹුරින් සිතද්දී දෙවිගේ මහිමය ප්‍රකාශ කිරීමට අප පෙලඹෙන්නේ නැද්ද!—ගීතා. 96:1, 3.
2 දේවසේවයේදී: දෙවිගේ නාමය දැරීමත් එය පොළොව පුරා දැනුම් දීමත් සාක්ෂිකරුවන් සලකන්නේ මහත් වරප්‍රසාදයක් ලෙසයි. (මලා. 1:11) දෙවිගේ නම තම බයිබල්වලින් ඉවත් කර තිබෙන ක්‍රිස්තියානි ලෝකයේ අහංකාර පූජකයන්ට වඩා ඔවුන් මොන තරම් වෙනස්ද! දෙවිගේ නාමය ප්‍රසිද්ධ කිරීම ඉතා හදිසියි. පැමිණෙන මහත් පීඩාවෙන් බේරීම පිණිස, ජනයා ඇදහිල්ලෙන් යුතුව දෙවිගේ නම කියා යාච්ඤා කළ යුතුයි. (රෝම 10:13-15) ඊටත් වඩා, ලෝ වැසියන් අතර සාමය ඇතුළු මුළු මහත් විශ්වයේ සාමය රැඳී ඇත්තේ දේවනාමයට එල්ල වූ කැළල පහවීම මතයි. දෙවිගේ සියලු ක්‍රියා ඔහුගේ නාමය සමඟ බැඳී තිබෙනවා.
3 “යෙහෝවා උතුම්ය. බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය.” නමුත් ජනයා “යෙහෝවාගේ නාමයට දිය යුතු මහිමය දෙන්න” නම් ඔවුන් දෙවි පිළිබඳව සත්‍යය දැනගත යුතුයි. (ගීතා. 96:4, 8) එහෙත්, ඇතමුන් දෙවිගේ පැවැත්ම පිළිගන්නේ නැහැ. (ගීතා. 14:1) තවත් අය කියන්නේ දෙවිට බලය නැත කියායි. නැත්නම්, ඔහු මිනිස් සංහතිය කෙරෙහි කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියායි. ඉතින් අපගේ මැවුම්කරුවාණන්, ඔහුගේ අරමුණ, ඔහුගේ උදාර ගුණාංග ගැන අවංක සිත් ඇති අයට කියද්දී අප කරන්නේ යෙහෝවාව මහිමවත් කිරීමයි.
4 අපගේ හැසිරීමෙන්: යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීම ඔහුට ගෞරවයක්. අපගේ යහපත් හැසිරීම අනුන්ට පැහැදිලිව පේනවා. (1 පේතෘ. 2:12) නිදසුනක් වශයෙන්, අපි පිරිසිදුව පිළිවෙළකට ඇඳ පැළඳ සිටිනවා නම් එය අනුන්ට හොඳ සාක්ෂියක් වේවි. ඒ මගින්, බයිබලයේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කතා කිරීමට අපට අවස්ථාවක් ලැබෙනවා. (1 තිමෝ. 2:9, 10) අනුන් ‘අපේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින අපේ පියාණන්ව මහිමයට පත් කරනවා’ දකින විට අප කොතරම් සතුටු වෙනවාද!—මතෙ. 5:16.
5 එසේනම්, අපි වචනයෙන්, ක්‍රියාවෙන් අපේ උතුම් දෙවිට සැමදා ගෞරවය දෙමු. එමගින් මෙම ප්‍රීතිමත් නාදයට අපිත් අපේ හඬවල් මුසු කරමු. ‘යෙහෝවාට ගී කියමින් ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න. ඔහු දෙන ගැලවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.’—ගීතා. 96:2.