ගෙවැසියාගෙන් ප්රශ්න අසා ඔහු කියන දේට සවන් දෙන්න
1 බොහෝදෙනෙක් දේශනාවක් අහන්නට හෝ තමන්ගෙන් හරස් ප්රශ්න අසනවාට කැමති නැහැ. නමුත් තමාට සවන් දෙනවාට බොහෝ අය කැමතියි. ඒ නිසා, දේවසේවකයන් හැටියට, අප සමඟ කතා කරන අයගේ සිත්වල තිබෙන දේවල් වටහාගැනීමට අප ඉගෙනගත යුතුයි.—හිතෝ. 20:5.
2 අප අසන ප්රශ්නවලින් පුද්ගලයෙකුව අපහසුතාවට පත් නොකර යමක් ගැන කල්පනා කිරීමට පෙලඹිය යුතුයි. ගෙයින් ගෙට සේවයේදී එක් සහෝදරයෙක් මෙසේ අසනවා. “මේ ලෝකයේ හැමෝම එකිනෙකාට ගෞරවයෙන් සලකනවා නම් කොච්චර හොඳද? කවදා හරි එහෙම වෙයිද?” දෙන උත්තරයට අනුව, ඔහු ඊළඟට මෙසේ කියනවා. “මේ තත්වය ඇති වෙන්න නම් වෙන්න ඕන මොනවාද?” නැත්නම් “ඇයි ඔබ එහෙම හිතන්නේ?” කියා අසනවා. මහජනයා ගැවසෙන තැන්වල සේවය කරද්දී තවත් සහෝදරයෙක්, දෙමාපියන්ගෙන් මෙහෙම අහනවා. “ඔයා දෙමාපියෙක් හැටියට දරුවන් ගැන හුඟාක් හිතනවා නේද? ඉතින් අපේ දරුවන්ට හොඳ මඟ පෙන්වීමක් දෙන්න නම් අපිත් කාරණා ගැන දැනුවත් වෙන්න ඕනෑ නේද?” මේ ප්රශ්නවලින් කෙනෙකුව අන්දමන්ද නොකර හිතන්න සලස්වනවා කියා ඔබට පෙනෙන්නේ නැද්ද? තත්වයන් වෙනස්. ඒ නිසා අප මොනවා ගැනද අසන්නේ සහ අප අසන ස්වරය ගැළපෙන ලෙස සකසාගැනීම ඔබට භාරයි.
3 කතා කරවන්න: අසන කෙනා මොනවා හරි කියයි නම්, හොඳට අහගෙන ඉන්න. ඉවසන්න. බාධා කරන්න එපා. (යාකො. 1:19) “ඒක තමයි නේද?” “අන්න හරි” කියා කියන දේ සුදුසු ලෙස කාරුණිකව පිළිගන්න. (කොලො. 4:6) සුදුසු නම් ඔවුන් කියන දේට අවංකව ප්රශංසා කරන්න. ඔවුන් හිතන විදිහ සහ එසේ සිතන්නේ ඇයි කියා කාරුණිකව අසන්න. ඔබ දෙදෙනාට එකඟ විය හැකි දේ ගැන කතා කරන්න. ඔබට බයිබල් පදයක් පෙන්වන්නට වුවමනා වන විට, “ඇත්තටම මෙහෙම දෙයක් වෙයිද? මේ බලන්න” කියා කිව හැකියි. තදින් කියන්නටවත් වාද කරන්නටවත් යන්න එපා.—2 තිමෝ. 2:24, 25.
4 තව කෙනෙක් අපට උත්තර දෙන්නේ අප කොච්චර දුරට අහගෙන ඉන්නවාද යන්න මතයි. අපි වුවමනාවෙන් අහගෙන ඉන්නවාද නැද්ද කියා කතා කරන කෙනාට තේරෙනවා. එක් සංචාරක අවේක්ෂකයෙක් මෙහෙම කිව්වා. “මිනිසුන් කියන දේට ඔබ ඉවසීමෙන් කැමැත්තෙන් අහගෙන ඉන්නවා නම්, ඒ තැනැත්තා ඔබ කියන දේට ඇදී එනවා. ඇත්තටම ඒක තමයි අපි කෙනෙකුට දක්වන අවංක සැලකිල්ල.” කෙනෙක් යමක් කියන විට අපි අහගෙන ඉන්නේ ඔහුට තිබෙන ගෞරවය නිසයි. ඒ නිසාම අපි ප්රකාශ කරන ශුභාරංචියටත් ඔවුන් කන් දෙනවා නිසැකයි.—රෝම 12:10.