මෘදු ගුණැති අයට දෙවිගේ මාර්ගයේ ගමන් කිරීමට උගන්වන්න
1. ගෝලයන් වීමට උදව් කිරීමේදී ඊට ඇතුළත් වෙන්නේ කුමක්ද?
1 මුල් සියවසේ ක්‍රිස්තුස්ගේ ගෝලයන්ව හැඳින්වූයේ “ස්වාමීන්ගේ මාර්ගයට” අයත් අය හැටියටයි. (ක්‍රියා 9:2) සැබෑ ක්‍රිස්තියානි මාර්ගය යනු පුද්ගලයෙකුගේ මුළු ජීවිත රටාවටම බලපාන දෙයක්. (හිතෝ. 3:5, 6) එමනිසා, බයිබල් පාඩමක් පවත්වද්දී, බයිබල් මූලධර්ම ගැන නිවැරදි දැනුමක් දෙනවාට වඩා දෙයක් කිරීම අවශ්‍යයි. යෙහෝවා දෙවිගේ මාර්ගවල ගමන් කිරීමටත් අපි ඔවුන්ට උපකාර කළ යුතුයි.—ගීතා. 25:8, 9.
2. දෙවිගේ ආඥා පිළිපැදීමට බයිබල් ශිෂ්‍යයෙකුව පොලඹවන්නේ කුමකින්ද?
2 යෙහෝවා දෙවිට සහ යේසුස්ට ප්‍රේම කිරීම: අසම්පූර්ණ මිනිසුන්ට තම සිතිවිලි, ආකල්ප, කතාව සහ හැසිරීම දෙවිගේ කැමැත්තට අනුව ගෙන ඒම කොච්චර අමාරු දෙයක්ද! (රෝම 7:21-23; එෆී. 4:22-24) එහෙත්, මෘදු ගුණැති කෙනෙක් දෙවිට සහ ඔහුගේ පුත්‍රයාට ප්‍රේම කරනවා නම් ඒ අභියෝගය ජයගන්න ඔහුට පුළුවන්. (යොහ. 14:15; 1 යොහ. 5:3) මේ ප්‍රේමය වර්ධනය කරගැනීමට අපි අපේ බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කරන්නේ කොහොමද?
3. යෙහෝවා දෙවි සහ යේසුස් සඳහා ප්‍රේමයක් වර්ධනය කරගැනීමට ශිෂ්‍යයන්ට උපකාර කරන්නේ කෙසේද?
3 යෙහෝවා දෙවි කෙබඳු පුද්ගලයෙක්ද කියා ඔබේ ශිෂ්‍යයාට පහදා දෙන්න. එක් සහෝදරයෙක් මෙසේ කීවා. “මනුෂ්‍යයන්ට නොදන්නා කෙනෙකුට ප්‍රේම කරන්න බැහැ. එමනිසා පාඩමේ මුල සිටම මම ඔවුන්ට බයිබලයෙන් දෙවිගේ නම උගන්වලා නිතරම උත්සාහ කරනවා, යෙහෝවා දෙවිගේ ගුණාංග ගැන වැඩියෙන් අවධාරණය කරන්න.” යේසුස්ගේ ආදර්ශය කාවැද්දවීම මගින් යෙහෝවා කෙබඳු කෙනෙක්ද කියා පෙන්වා දෙන්න අපට පුළුවන්. (යොහ. 1:14; 14:9) මීට අමතරව, බයිබලයේ ඉගැන්වීම් නමැති පොතේ සෑම පරිච්ඡේදයකම අවසානයේ දී ඇති පුනරීක්ෂණ කොටුව හොඳින් යොදාගෙන දෙවිගේ සහ ඔහුගේ පුත්‍රයාගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග ගැන මෙනෙහි කිරීමට දිරිගන්වන්න.
4. (අ) ශිෂ්‍යයන් බොහෝදෙනෙක් දේශනා කිරීම අභියෝගයක් ලෙස සලකන්නේ ඇයි? (ආ) පළමු දවසේ සේවයේ හවුල් වීමට අපේ ශිෂ්‍යයන්ට අප උදව් කරන්නේ කෙසේද?
4 ආදර්ශයෙන් ඉගැන්වීම: ගුරුවරුන් සහ මඟ පෙන්වන්නන් වශයෙන් අපට අපේ ආදර්ශයෙන්ද දෙවිගේ මාර්ගවල ගමන් කරන සැටි පෙන්වා දිය හැකියි. (1 කොරි. 11:1) නිදසුනක් වශයෙන්, ශිෂ්‍යයන් වැඩිදෙනෙකුට නාඳුනන අය ළඟට ගොස් තමන් විශ්වාස කරන දේ ගැන කතා කිරීම එතරම් හුරු පුරුදු දෙයක් නොවෙයි. දේශනා කිරීමට හා ගෝලයන් සෑදීමට හවුල් වීම සඳහා ඔවුන්ට ප්‍රේමය, ඇදහිල්ල සහ ධෛර්යය අවශ්‍යයි. ඒවා ඔවුන් තුළ ඇති කිරීමට අප ඉවසීමෙන් හා දක්ෂ ලෙස ඉගැන්විය යුතුයි. (2 කොරි. 4:13; 1 තෙස. 2:2) එලෙසම ඔවුන් පළමු දවසේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට ඔවුන් සමඟ සේවයේ යෙදීමටත් අපි අමතක නොකරමු.
5. ඔබේ යහපත් ආදර්ශය දැකීමෙන් දෙවිගේ ආඥා පැවැත්වීමට ශිෂ්‍යයන්ට පෙලඹීමක් ලැබෙන්නේ කෙසේද?
5 වෙනත් පැතිවලින්ද ඔබ ආදර්ශයක් තැබීම වැදගත්. ඔබ අසනීප අයව බලන්නට යද්දී හෝ සභා රැස්වීම්වලදී වෙනත් අයව උණුසුම් හැඟීමෙන් පිළිගනිද්දී අන් අයට ප්‍රේමය පෙන්වන සැටි ඔවුන් දකිනවා. (යොහ. 15:12) ඔබ රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමට හවුල් වෙද්දී හෝ වෙනත් අයට උදව් උපකාර කරද්දී, අන්‍යයන්ට සේවය කරන සැටි ඔවුන් දකිනවා. (යොහ. 13:12-15) ඔබ සරල ජීවිතයක් ගත කරද්දී, ‘පළමුව රාජ්‍යය සොයනවා’ කීමේ නියම අර්ථය ඔවුන්ට වැටහෙනවා.—මතෙ. 6:33.
6. යෙහෝවා දෙවිට සේවය කිරීමට මෘදු ගුණැති අයට උපකාර කිරීමෙන් ලැබෙන්නේ කිනම් ප්‍රතිඵලද?
6 වෙනත් අයට දේවවචනය උගන්වා ගෝලයෙකු කිරීමට බොහෝ දේ කරන්න සිදු වන බව ඇත්තයි. නමුත් එසේ උපකාර ලැබූ මෘදු ගුණැති අය “සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව” දැකීම අපට මොන තරම් ප්‍රීතියක්ද!—3 යොහ. 4.