යෙහෝවා දෙවිගේ උදාර ගුණාංග අගය කරමු!
1 කෙනෙකුට නිකම්ම මූලික බයිබල් සත්‍යතාවන් ඉගැන්වීම පමණක් මදි. යෙහෝවා දෙවිව පුද්ගලයෙකු හැටියට හඳුනාගෙන ඔහුගේ අසමසම ගුණාංග කෙරෙහි ගැඹුරු අගයක් ගොඩනැංවීමත් අවශ්‍යයි. අවංක කෙනෙක් දෙවි ගැන සත්‍යය ඉගෙනගනිද්දී එය ඔහුගේ ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා. තම ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කර, “සම්පූර්ණ ලෙස යෙහෝවාව සතුටු කිරීමේ අරමුණින්, ඔහුට ඔබින ලෙස ගමන් කිරීමට” ඔහු පෙලඹෙනවා.—කොලො. 1:9, 10; 3:9, 10.
2 අපගේ අලුත් පාඩම් පොත: බයිබලයේ ඉගැන්වීම් පොතේ මුල පිටුවේ සිටම කතා කරන්නේ යෙහෝවා දෙවිගේ උදාර ගුණාංග ගැනයි. “දෙවි ඔබ ගැන ඇත්තටම සැලකිල්ලක් දක්වනවාද?,” “දෙවි මොන වගේ කෙනෙක්ද?” සහ “දෙවිට ළං වෙන්න අපිට පුළුවන්ද?” යන ප්‍රශ්නවලට මුල් පරිච්ඡේදයේම පිළිතුරු සපයයි. ඊට අමතරව, යෙහෝවා දෙවිගේ ශුද්ධකම (10 ඡේ.), යුක්තිය (11 ඡේ.), ප්‍රේමය (13 ඡේ.), බලය (16 ඡේ.) සහ දයාව, කරුණාව, සමාව දීමට ඇති කැමැත්ත, ඉවසීම සහ අප කෙරෙහි ලැදිකම (19 ඡේ.) යන ගුණාංග අවධාරණය කරනවා. මෙහි 20වන ඡේදයේ මේ සියලු දේ කැටි කොට තිබෙන්නේ මෙසේයි. “ඔබ යෙහෝවා දෙවි ගැන වැඩි වැඩියෙන් ඉගෙනගනිද්දී ඔහු ඔබට සැබෑ පුද්ගලයෙක් වෙනවාට සැකයක් නැහැ. ඒ වගේම ඔහුට ප්‍රේම කිරීමටත් ඔහුට ළංවීමටත් ඔබට බොහෝ හේතු තිබෙන බව ඔබ දකීවි.”
3 යෙහෝවා දෙවිට ළංවීමට බයිබලයේ ඉගැන්වීම් පොත මගින් කෙනෙකුට උදව් කරන්නේ කොහොමද? දෙවිගේ ගුණාංගයක් ගැන කතා කරන ඡේදයක් සාකච්ඡා කළායින් පසුව මෙසේ අසන්න. “යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වය ගැන ඔබට මොනවාද හිතෙන්නේ?” නැත්නම් “දෙවි ඔබ ගැනත් පෞද්ගලිකව සැලකිල්ල දක්වනවා කියා හිතෙනවාද?” විටින් විට මේ වගේ ප්‍රශ්න ඇසීමෙන්, ඉගෙනගන්නා දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බැලීමටත් දෙවිගේ උදාර ගුණාංග අගය කිරීමටත් ඒ ශිෂ්‍යයා තුළ පෙලඹීමක් ඇති වෙනවා.
4 පුනරීක්ෂණ කොටුව යොදාගන්න: සෑම පරිච්ඡේදයකම අවසානයේදී, “බයිබලය උගන්වා තිබෙන ආකාරයට” යන කොටුවේ එක් එක් කරුණු ගැන තමන්ගේම වචනවලින් පවසන්න කියන්න. උපුටා දක්වා නැති මුත් සඳහන් කර ඇති බයිබල් පද බලන්න කියන්න. ශිෂ්‍යයාගේ සිතේ තිබෙන දේ දැනගැනීමට මේ වගේ දෙයක් අහන්න පුළුවන්. “මේ ගැන බයිබලයේ කියන දේ ගැන ඔයාට මොනවාද හිතෙන්නේ?” එසේ කිරීමෙන් පරිච්ඡේදයේ තිබෙන මූලික කරුණු ඔහුට හොඳින් කාවදින අතර, ඔහුගේ සිතේ තිබෙන විශ්වාසයන් අපට දැනගන්නත් පුළුවන්. මේ මගින් යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නටත් ශිෂ්‍යයාට හැකි වේවි.