බිඳුණු සිත් ඇති අයව සනසවන්න
1 වෙන කවරදාටත් වඩා වැඩියෙන් මිනිසුන්ට සැනසිල්ල අවශ්‍ය වී තිබෙන්නේ මේ කාලයේදීයි. යේසුස් කළාක් මෙන් ‘බිඳුණු සිත් ඇත්තන්ට සුවය ගෙන දීමට’ අපිත් වෑයම් කළ යුතුයි.—යෙසා. 61:1, නව ලොව පරිවර්තනය, NW.
2 මෙය කළ හැකි අයුරු: දේවසේවයේදී ජනයාට සැනසිල්ල ගෙන දීමට නම් අපි ඔවුන් සමඟ කතා කළ යුත්තේ දිරිගන්වනසුලු හා සමබර කාරණායි. ලොව පුරා පවතින දුෂ්ටකම් හා බොරු ඉගැන්වීම් ගැන අඩුවෙන් කතා කර, බයිබලයේ සඳහන් සත්‍යය හා සැනසිලිදායක පොරොන්දු කෙරෙහි වැඩියෙන් කතා කිරීමට අපට හැකියි. දෙවි ගෙනෙන විනාශය ගැන කතා නොකළ යුතුයි කියා එයින් අදහස් කරන්නේ නැහැ. ඊට හේතුව නම් අපේ පැවරුමට “යෙහෝවා දෙවිගේ කරුණාවේ අවුරුද්ද හා අපගේ දෙවිගේ පළිගැනීමේ දවස” ප්‍රකාශ කිරීමත් ‘දුෂ්ටයාට ඔහුගේ දුෂ්ට ක්‍රියා ගැන අනතුරු ඇඟවීමත්’ අයත් වීමයි. කෙසේවෙතත් දෙවි ගෙනෙන විනාශය ගැනත් එහි භයානක ප්‍රතිඵල ගැනත් විස්තර කිරීම නිසා ‘රාජ්‍යයේ ශුභාරංචිය’ යටපත් වීමට ඉඩ නොදිය යුතුයි.—යෙසා. 61:2, NW; එස. 3:18, NW; මතෙ. 24:14.
3 ගෙයින් ගෙට සේවයේදී: අසනීප, වියෝ දුක, අයුක්තිය හා ආර්ථික ගැටලු වැනි හේතු නිසා කලකිරී සිටින අයව අපිට දේවසේවයේදී නිතර හමු වෙනවා. යේසුස්ව ආදර්ශයට ගන්නා අප ඔවුන් කෙරෙහි “අනුකම්පාවෙන් පෙලඹී” ඔවුන්ට උපකාර කිරීමට පියවර ගන්නවා. (ලූක් 7:13; රෝම 12:15) ඔවුන්ගේ ගැටලුවලට අදාළ බයිබල් පදයක් හෝ දෙකක් කියවා පැහැදිලි කිරීම හොඳ දෙයක් වුණත් ඔවුන් පවසන දේවල් ‘ඇසීමට අප ඉක්මන් විය යුතුයි.’ එවිට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ගෙවැසියාට පහසු වෙනවා. (යාකො. 1:19) මේ ආකාරයට මුලින්ම හොඳින් සවන් දීමෙන් පසු ඒ තැනැත්තාට සහනයක් ගෙන දෙන ආකාරයෙන් කතා කරන්න අපිට හැකි වෙනවා.
4 සාකච්ඡාව කෙරීගෙන යන අතරතුරේ සුදුසු අවස්ථාවක් බලා මෙහෙම කියන්න පුළුවන්. “මං ආසයි බයිබලයේ තියෙන දිරිගන්වනසුලු කරුණක් ගැන ඔබ සමඟ කතා කරන්න.” අපි කතා කරන තැනැත්තා පැවසිය හැකි වැරදි අදහස් සෑම එකක්ම හරිගස්වන්න උත්සාහ කිරීම නැණවත් දෙයක් නොවෙයි. එසේ කරනවා වෙනුවට ඒ පුද්ගලයාට දිරිගැන්වීමක් හා සහනයක් ගෙන දෙන බයිබල් පදයක් යොදාගැනීමට උනන්දු වන්න. මෙය කළ හැකි ආකාරය ගැන දැනගැනීමට 2004 මැයි 1 මුරටැඹ සඟරාවේ 18-22 දක්වා පිටුවල තිබෙන “එකිනෙකාව ශක්තිමත් කරන්න” නමැති තේමාවෙන් යුත් ලිපිය බලන්න. එසේත් නැත්නම් ඔබට පුළුවන් දුක් වේදනාවල නිමාව අත ළඟයි නමැති පත්‍රිකාව ගෙවැසියාට දී එහි තිබෙන දිරිගන්වනසුලු කරුණු සලකා බලන්න.
5 අන් අයව සැනසීමට අවස්ථා සොයන්න: සැනසීම අවශ්‍ය කරන අසල්වැසියෙකු, රැකියා ස්ථානයේ කෙනෙකු, පාසැලේ මිතුරෙකු හෝ ඥාතියෙකු ගැන ඔබ දන්නවාද? බයිබලයෙන් සැනසිල්ල ගෙන දෙන කරුණක් ඔවුන් සමඟ කතා කිරීමේ අරමුණින් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ව හමුවීමට උත්සාහ කරන්න. ඔවුන්ට සැනසිල්ල අවශ්‍ය කරන්නේ කුමක් සම්බන්ධයෙන්ද කියා දැන සිටිනවා නම් හොඳින් සූදානම් වී යා හැකියි. සමහර අය ලිපි ලිවීම හා දුරකථනය මගින් සාක්ෂි දැරීමෙන් එවැනි අයට සැනසිල්ල ගෙන දී තිබෙනවා. කලකිරී සිටින අය දෙස සානුකම්පාවෙන් බලමින් බයිබලය යොදාගෙන ඔවුන්ව සනසවන්න අපිව පොලඹවන්නේ අසල්වැසියා කෙරෙහි තිබෙන ප්‍රේමයයි.—ලූක් 10:25-37.
6 දුකෙන් සිටින අයව සැනසීමත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඔවුන් තුළ ඇති කිරීමත් අපේ පැවරුමට අයත් වෙනවා. ලොව පුරා සිටින ජනයාට අවශ්‍ය සැනසිල්ල ලැබෙන්නේ එමගින් පමණයි. දෙවි පොරොන්දු වී තිබෙන යහපත් දේවල් ගැන ප්‍රීතියෙන් කතා කරන විට අවංක අයට සහනයක් දැනෙනවා. එමෙන්ම ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තිබෙන බවත් ඔවුන්ට වැටහෙනවා. මේ නිසා බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන්න කිසිවිටකත් අමතක නොකරමු.—යෙසායා 61:1, NW.