“ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය” කරමු
1. දේවසේවයෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්න නම් අපි කුමක් කළ යුතුද?
1 යේසුස් එදා සිටි ආගමික නායකයන් ඉගෙනගත් පාසැල්වලින් අධ්‍යාපනය නොලැබුවත් මෙතෙක් ජීවත් වූ සාර්ථකම දේවසේවකයා වුණා. ඔහුගේ දේවසේවය ගැන වාර්තා කර තිබෙන්නේ අපගේ ප්‍රයෝජනය සඳහායි. අපටත් සාර්ථක දේවසේවකයන් වීමට අවශ්‍ය නම් “ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය” කළ යුතුයි.—1 පේතෘ 2:21.
2. යේසුස් මෙන් මිනිසුන්ට ප්‍රේම කිරීමට අපව පොලඹවන්නේ කුමක්ද?
2 ජනයාට ප්‍රේමය පෙන්වන්න: ජනයාට සේවය කරන්න යේසුස් පෙලඹුණේ ඔවුන් කෙරෙහි තිබූ ප්‍රේමය නිසයි. (මාක් 6:30-34) අද බොහෝදෙනෙක් විවිධ හේතු නිසා ‘වේදනා විඳිනවා.’ (රෝම 8:22) එනිසා ඔවුන්ට සත්‍යය ගැන නිතර නිතර පවසමින් සැනසිල්ලක් ලබා දීම අවශ්‍යයි. ඔවුන් සිටින තත්වය ගැනත් යෙහෝවා දෙවි එවැනි අය කෙරෙහි දක්වන ප්‍රේමණීය සැලකිල්ල ගැනත් සිතන විට අත්නෑර ඔවුන්ට සාක්ෂි දරන්න අප තුළ පෙලඹීමක් ඇති වෙයි. (2 පේතෘ 3:9) අපි ජනයා කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වන බව ඔවුන්ට වැටහුණොත් ඔවුන් අපිට හොඳින් සවන් දෙයි.
3. යේසුස් සාක්ෂි දැරුවේ කුමන අවස්ථාවලදීද?
3 සාක්ෂි දැරීමට සැමවිටම සූදානමින් සිටින්න: සාක්ෂිදැරීමට උදා වූ කිසිම අවස්ථාවක් ගිලිහී යෑමට යේසුස් ඉඩ දුන්නේ නැහැ. (මතෙ. 4:23; 9:9; යොහ. 4:7-10) අපද දෛනික වැඩ කටයුතුවල නියැලෙන විට සාක්ෂි දැරීමට සූදානම්ව සිටීම වැදගත්. සමහර අය රැකියාවේදී, පාසැලේදී හා ගමන් බිමන් හා කඩ සාප්පු යන විට සාක්ෂි දැරීම සඳහා බයිබලය සහ සඟරා පොත් පත් කිහිපයක් රැගෙන යනවා.
4. අපි මූලිකව අවධානය යොමු කරන්නේ දේවරාජ්‍යයට බව පෙන්වන්නේ කෙසේද?
4 දේවරාජ්‍යයට අවධානය යොමු කරවන්න: යේසුස් මේ පොළොවට පැමිණියේ දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්නයි. (ලූක් 4:43) අපි යමෙකුට සාක්ෂි දරන්න පටන්ගත් විගසම දේවරාජ්‍යය ගැන සඳහන් නොකළත් අපේ මූලික පරමාර්ථය වන්නේ දේව පාලනයක තිබෙන අවශ්‍යතාව ගෙවැසියාට පෙන්වා දීම බව අපි මතක තබාගත යුතුයි. මේ ලෝකයේ පිරිහෙමින් පවතින තත්වය ගැන කතා කරන විට පවා අපි මූලිකව අවධානය යොමු කරන්නේ ‘ශුභ දේවල් ගැන ශුභාරංචියටයි.’—රෝම 10:15.
5. දේවසේවයේදී සාර්ථක ප්‍රතිඵල ලබන්න නම් බයිබලය යොදාගැනීම අවශ්‍ය වන්නේ ඇයි?
5 දේවවචනය මත රඳා සිටින්න: යේසුස් ජනයාට උගන්වන විට නිතරම දේවවචනය යොදාගත්තා. ඔහු ඔහුගේම අදහස් ඉගැන්වූයේ නැහැ. (යොහ. 7:16, 18) ඔහු දේවවචනය හොඳින් අධ්‍යයනය කළ අතර සාතන් ගෙනා පරීක්ෂාවලට හොඳින් මුහුණ දීමට එය යොදාගත්තා. (මතෙ. 4:1-4) අපත් අන් අයට දේවවචනය දක්ෂ ලෙස උගන්වන්න නම් එය දිනපතා කියවා අදාළ කරගත යුතුයි. (රෝම 2:21) ජනයා අසන ප්‍රශ්නවලට උත්තර දෙන විට අප පවසන කරුණු තහවුරු කිරීමට හැකි සෑමවිටම බයිබලය පෙරළා කියවිය යුතුයි. අපි වෑයම් කරන්නේ අපේ අදහස් ඉදිරිපත් කිරීමට නොව දේවවචනය සැමවිටම යොදාගැනීමටයි. අපේ ආශාව වන්නේ ගෙවැසියා එය තේරුම්ගන්නවා දැකීමයි.
6. සවන්දෙන්නන්ගේ සිතට කාවදින ලෙස ඉගැන්වීමට යේසුස්ට හැකි වූයේ කෙසේද?
6 සිතට කාවදින අයුරින් උගන්වන්න: ආගමික නායකයන් යේසුස්ව අත් අඩංගුවට ගැනීමට යැවූ නිලධාරීන් ආපසු පැමිණ ඔවුන්ට පැවසුවේ මෙසේයි. “කිසි කලක කිසිම මිනිසෙකු මේ වගේ නම් කතා කළේ නැත.” (යොහ. 7:46) යේසුස් උගන්වන විට නිකම්ම තොරතුරු ඉදිරිපත් නොකර සවන් දෙන්නන්ගේ සිතට කාවදින ලෙස කතා කළා. (ලූක් 24:32) ඔහු කාරණා පැහැදිලි කළේ මිනිසුන්ගේ ජීවිතවලට සමීප දේවල් උදාහරණ හැටියට යොදාගෙනයි. (මතෙ. 13:34) දරාගත නොහැකි තරම් තොරතුරු රාශියක් ඉදිරිපත් කළේ නැහැ. (යොහ. 16:12) ඔහු සවන්දෙන්නන්ගේ අවධානය යොමු කළේ තමා වෙතට නොව දෙවි වෙතටයි. ‘අපේ ඉගැන්වීම ගැන නිතරම අවධානයක්’ දෙනවා නම් යේසුස් වගේ දක්ෂ ගුරුවරුන් වීමට අපටත් පුළුවන්.—1 තිමෝ. 4:16.
7. අත්නෑර දිගටම දේශනා කිරීමට යේසුස්ට හැකි වුණේ කෙසේද?
7 අත්නෑර සාක්ෂි දරන්න: ජනයාගේ උදාසීනකම හා විරුද්ධවාදීකම් මැද පවා අධෛර්ය නොවී දිගටම දේශනා සේවයේ හවුල් වෙමු. යේසුස් කළ බලවත් ක්‍රියා දුටුවත් බොහෝදෙනෙක් ඔහුට සවන් දුන්නේ නැහැ. (ලූක් 10:13) යේසුස්ගේ පවුලේම අය පවා සිතුවේ ‘ඔහු සිහිවිකල් වී සිටියා’ කියායි. (මාක් 3:21) ඒ වුණත් යේසුස් අධෛර්ය නොවී දිගටම දේශනා කළා. ජනයාට නිදහස ගෙන දෙන සත්‍යය තමන් දැන සිටින බව දැඩි සේ විශ්වාස කළ නිසා නිවැරදි ආකල්පයක් තබාගැනීමට යේසුස්ට හැකි වුණා. (යොහ. 8:32) යෙහෝවා දෙවිගේ උපකාරය ඇතිව අත්නෑර දිගටම දේශනා කිරීමට අදිටන් කරගනිමු.—2 කොරි. 4:1
8, 9. ශුභාරංචිය වෙනුවෙන් කැප කිරීම් කිරීමේදී යේසුස්ව අපිට අනුකරණය කළ හැක්කේ කෙසේද?
8 අවශ්‍ය කැප කිරීම් කළා: දේශනා සේවයේ පූර්ණ ලෙස හවුල් වීම සඳහා යේසුස් සැප පහසුකම් සෙව්වේ නැහැ. (මතෙ. 8:20) ඔහු වෙහෙස නොබලා දේශනා කළා. ඇතැම් විට බොහෝ සවස් වන තෙක් එසේ කළා. (මාක් 6:35, 36) තමාගේ සේවය සම්පූර්ණ කිරීමට තිබෙන්නේ සීමිත කාලයක් බව යේසුස් දැන සිටියා. ‘ඇත්තේ තව කෙටි කාලයක්’ නිසා අපිත් යේසුස්ව අනුකරණය කරමින් අපේ කාලය, ශ්‍රමය හා අප සතු සම්පත් සේවය වෙනුවෙන් කැප කිරීම අවශ්‍යයි.—1 කොරි. 7:29-31.
9 මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට දක්ෂ ගුරුවරුන් වීමට හැකි වුණේ ඔවුන් යේසුස්ගෙන් ඉගෙනගත් නිසයි. (ක්‍රියා 4:13) අපිත් යේසුස්ව අනුකරණය කරනවා නම් අපේ දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කරමින් සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්.—2 තිමෝ. 4:5.