‘මාගේ වියගහ ඔබ පිටට ගන්න’
1 අප ජීවත් වෙන්නේ ගැටලුවලින් පිරි ලෝකයක නිසා බොහෝදෙනෙක් සිටින්නේ කනස්සල්ලෙන්. කෙසේවෙතත් යේසුස්ගේ ඇරයුම පිළිගෙන ඔහුගේ වියගහ අප පිටට ගැනීමෙන් ජීවිතයට ප්‍රාණවත්භාවයක් අප ලබා තිබෙනවා. (මතෙ. 11:29, 30) මේ වියගහ අප පිටට ගැනීමට අයත් එක් දෙයක් නම් යේසුස්ගේ ගෝලයෙකු හැටියට රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමයි. එමෙන්ම යේසුස්ගේ වියගහ තමන්ගේ පිටට ගැනීමෙන් ප්‍රාණවත්භාවයක් ලැබීමට අන් අයට උපකාර කිරීමද ඊට ඇතුළත්. එය අසීරු වුණත් එයින් ප්‍රාණවත්භාවයක් ලබන්න පුළුවන්.—මතෙ. 24:14; 28:19, 20.
2 දේවසේවයෙන් ප්‍රාණවත්භාවයක් ලබමු: යේසුස් සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් දැනටමත් උසුලාගෙන යන බර පසෙක දමා තමන් භාර දෙන වඩා සැහැල්ලු වියගහ තමන් පිටට ගන්න කියායි. යේසුස්ගේ අනුගාමිකයෙක් වීමෙන් පසු අප කලින් මෙන් කනස්සල්ලෙන් හා කිසිම බලාපොරොත්තුවක් නැති තත්වයක සිටින්නේ නැහැ. ඒ වගේම අස්ථිර ධනය පසුපස හඹා යන්නේද නැහැ. (ලූක් 21:34; 1 තිමෝ. 6:17) එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමට අප මහන්සි වී වැඩ කළත් අපේ ජීවිතයේ මුල් තැන හිමි වන්නේ දෙවිගේ නමස්කාරයටයි. (මතෙ. 6:33) ජීවිතයේ වැදගත්ම දෙයට අප මුල් තැන දෙනවා නම් දේවසේවය අප සලකන්නේ බරක් හැටියට නොව ප්‍රාණවත්භාවයක් ලැබෙන දෙයක් හැටියටයි.—ෆිලි. 1:10.
3 අප හුඟාක් ඇලුම් කරන දේවල් ගැන කතා කිරීමෙන් අප ලොකු සතුටක් ලබනවා. (ලූක් 6:45) අප සියලුදෙනාම වැඩියෙන්ම ඇලුම් කරන්නේ යෙහෝවා දෙවිට හා ඔහුගේ රාජ්‍යය මගින් ගෙනෙන ආශීර්වාදවලටයි. මේ නිසා “ශුභ දේවල් ගැන ශුභාරංචි” අන් අය සමඟ කතා කිරීමෙන් අපට දැනෙන්නේ මොන තරම් ප්රාණවත්භාවයක්ද! (රෝම 10:15) ශුභාරංචිය ගැන කතා කරන විට අපේ දුක් කරදර අපට අමතක වෙනවා. අප යම් කාර්යක වැඩි වැඩියෙන් නිරත වන විට ඒ ගැන අපේ නිපුණත්වයද අප ලබන ප්‍රීතියද වැඩි වෙනවා. මේ නිසා අපේ තත්වයන්ට අනුව සේවයේ වැඩියෙන් හවුල් වන විට වැඩි ප්රාණවත්භාවයක්ද ලබන්න පුළුවන්. සමහරුන් හොඳ ප්‍රතිචාරයක් දක්වන විට අපට දැනෙන ප්‍රීතිය මොන තරම්ද! (ක්‍රියා 15:3) සමහරුන් අපට සවන් දෙන්නේ නැහැ. ඇතැම්විට බැණ වදිනවා. තර්ජනය කරනවා. ඒ වුණත් සේවයේ හවුල් වීමෙන් අප දෙවිව සතුටු කරනවා. එමෙන්ම ඔහුගේ ආශීර්වාද ඇතිව පසුකලෙක හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන්. අප මෙසේ සිතනවා නම් දිගටම සේවයෙන් ප්‍රාණවත්භාවයක් ලබන්න පුළුවන්.—ක්‍රියා 5:41; 1 කොරි. 3:9.
4 යේසුස්ගේ ඇරයුම පිළිගැනීමෙන් අදහස් කරන්නේ අප ඔහුත් සමඟ එක්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු ලෙස සේවය කිරීමට කැමති බවයි. මෙය මොන තරම් ප්‍රීතිමත් වරප්‍රසාදයක්ද! (යෙසා. 43:10; එළි. 1:5) යේසුස්ගේ ආරාධනාව පිළිගැනීමෙන් වෙන කිසිම දෙයකින් නොලැබෙන ප්‍රාණවත්භාවයක් ලබන්න පුළුවන්.