දෙවියන්ගේ පාලනය යටතේ හැමෝම සාමයෙන්, එකමුතුව ජීවත් වුණා
දේවරාජ්‍යය අපිට ඕනෙ ඇයි?
මිනිස් ඉතිහාසයේ ආරම්භයේදී පාලකයෙක් හැටියට හිටියේ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් විතරයි. ඔහු පාලනය කළේ හරිම ආදරෙන්. මුල් මිනිස් යුවළට ජීවත් වෙන්න ඔහු ඒදන් කියන ලස්සන උයන නිවහනක් විදිහට දුන්නා. කන්න ඇති තරම් කෑමත් දුන්නා. ඒ විතරක් නෙවෙයි සතුටක් ලබන්න පුළුවන් වැඩත් එයාලට භාර දුන්නා. (උත්පත්ති 1:28, 29; 2:8, 15) එයාලා දිගටම දෙවියන්ගේ පාලනයට යටත් වුණා නම් අදටත් මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා.
මුල් මිනිස් යුවළ දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කළා
බයිබලයේ කියනවා දෙවියන්ට විරුද්ධව කැරලිගහපු දේවදූතයෙක්, පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය ගැන ප්‍රශ්න කළා කියලා. පස්සේ ඒ දේවදූතයාව සාතන් කියලත් යක්ෂයා කියලත් හැඳින්නුවා. මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න දෙවියන්ගේ පාලනයවත් මඟ පෙන්වීම්වත් ඕනෙ නැහැ කියලයි සාතන් කිව්වේ. අපේ මුල් දෙමාපියන් වුණු ආදම් සහ ඒව සාතන්ගේ කීම පිළි අරන් දෙවියන්ගේ පාලනයට විරුද්ධව කැරලිගැහුවා.—උත්පත්ති 3:1-6; එළිදරව් 12:9.
ආදම් සහ ඒව දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරපු නිසා පාරාදීස පොළොවත්, ලෙඩක් දුකක් නැතුව සතුටින් හැමදාටම ජීවත් වෙන්න තිබුණු අවස්ථාවත් එයාලට අහිමි වුණා. (උත්පත්ති 3:17-19) එයාලා ගත්ත තීරණය පස්සේ කාලෙක එයාලට ලැබුණු දරුවන්ටත් බලපෑවා. බයිබලයේ කියන්නේ ආදම් පව් කරපු නිසා “මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් වුණා” කියලයි. (රෝම 5:12) ඒ පව්කාර ස්වභාවය නිසා මිනිසුන්ට තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශනාකාරයා 8:9) ඒ කියන්නේ මිනිසුන් මිනිසුන්වම පාලනය කරද්දී අනිවාර්යයෙන්ම නරක ප්‍රතිඵල අද්දකින්න වෙනවා කියන එකයි.
මිනිසුන් පාලනය කරන්න පටන්ගනියි
නිම්රොද් යෙහෝවා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා
බයිබලයේ සඳහන් වෙන මුල්ම මිනිස් පාලකයාගේ නම නිම්රොද්. එයා යෙහෝවා දෙවියන්ගේ පාලනයට විරුද්ධව කැරලිගැහුවා. නිම්රොද් ජීවත් වුණු කාලේ ඉඳලාම පාලකයන් එයාලගේ බලය පාවිච්චි කරලා තියෙන්නේ මිනිසුන්ට හානියක් වෙන විදිහට. ඒ ගැන අවුරුදු 3,000කට විතර කලින් සලමොන් රජ මෙහෙම කියලා තියෙනවා. “පීඩාවට ලක්වූවන්ගේ කඳුළු දුටිමි. එහෙත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත. ඔවුන්ට පීඩා කළ අය ඔවුන්ට වඩා බලවත් වූහ.”—දේශනාකාරයා 4:1.
ඒක අදටත් ඇත්තක්. “මිනිසුන් මුහුණ දෙන හුඟක් ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් වෙන්නේ” දූෂිත පාලකයන් කියලා 2009 එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක සඳහන් වුණා.
පියවර ගන්න කාලය ඇවිත්
යහපත් පාලකයන්ගෙන් සමන්විත යහපත් ආණ්ඩුවක අවශ්‍යතාවය මිනිසුන්ට තදින්ම දැනෙනවා. ඒ දේ ලබා දෙන්න අපේ නිර්මාතෘ පොරොන්දු වෙලයි තියෙන්නේ.
මිනිස් ඉතිහාසයේ තිබුණු හොඳම ආණ්ඩුවලටවත් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙලා නැහැ
ඒ දේ කරන්න ඔහු දැනටමත් රාජ්‍යයක් නැත්නම් ආණ්ඩුවක් පිහිටුවලා තියෙනවා. ඉදිරියේදී ඒ රාජ්‍යයෙන් සියලුම මිනිස් ආණ්ඩු නැති කරලා දානවා. ඊටපස්සේ ඒ රාජ්‍යය “සදහටම පවතිනවා.” (දානියෙල් 2:44) මිලියන ගාණක් දෙනා යාච්ඤාවෙන් ඉල්ලන්නේ ඒ රාජ්‍යයයි. (මතෙව් 6:9, 10) ඒ රාජ්‍යයේ පාලකයා දෙවියන් නෙවෙයි. කාලයක් මේ පොළොවේ මිනිසෙක් විදිහට ජීවත් වුණු කෙනෙක්ව දෙවියන් පාලකයා විදිහට පත් කරලා තියෙනවා. ඒ කවුද?