යේසුස් මෙන් පිළිතුරු දෙන්න
1. ප්‍රශ්නයකට පිළිතුරු දෙද්දී යේසුස්ව ආදර්ශයට ගත යුත්තේ ඇයි?
1 ප්‍රශ්න ඇසූ විට යේසුස් සාර්ථක ලෙස පිළිතුරු දුන් ආකාරය ගැන අදටත් බොහෝදෙනා පුදුම වෙනවා. දේවසේවයේ යෙදෙද්දී අන් අය අපෙන් ප්‍රශ්න අසන විට යේසුස් මෙන් පිළිතුරු දිය යුතුයි.—1 පේතෘ. 2:21.
2. ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරක් දෙන්න නම් කුමක් කළ යුතුද?
2 මුලින් සවන් දෙන්න: යේසුස් ප්‍රශ්න අසන අයට හොඳින් සවන් දුන්නා. එවිට යම් ප්‍රශ්නයක් ඇසීමට මුල් වූ හේතුව ඔහුට වටහාගන්න හැකි වුණා. සමහරවිට අපෙන් ප්‍රශ්න අසන අයගේ සිතේ තිබෙන දේ දැනගැනීමට අපටද ඔවුන්ගෙන් ප්‍රශ්න අහන්න සිදු වෙනවා. උදාහරණයකට කෙනෙක් “ඔබ යේසුස්ව විශ්වාස කරනවාද” කියා අසනවායයි සිතන්න. නමුත් ඇත්තටම ඔහුට දැනගන්න අවශ්‍ය වන්නේ ‘ඔබ නත්තල පවත්වන්නේ නැත්තේ ඇයි’ කියායි. ඒ නිසා ප්‍රශ්න අසන තැනැත්තාට දැනගන්න අවශ්‍ය වී ඇත්තේ මොකක්ද කියා ඔබ මුලින්ම තේරුම්ගන්නවා නම් ඔහුට සාර්ථක පිළිතුරක් දෙන්න ඔබට පුළුවන්.—ලූක් 10:25-37.
3. බයිබලයෙන් පිළිතුරක් දීමට ලැබී ඇති උපකාරකය මොකක්ද?
3 බයිබලයෙන් පිළිතුරු දෙන්න: හොඳම දේ වන්නේ බයිබලයෙන්ම පිළිතුරු දීමයි. (2 තිමෝ. 3:16, 17; හෙබ්‍රෙ. 4:12) බයිබලයේ ඇති “සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන්” යන කොටස නිවැරදි පිළිතුරු දෙන්න උපකාරවත් වී තිබෙනවා. ප්‍රශ්න අසන්නා තුළ බයිබලය ගැන එතරම් විශ්වාසයක් නැතත් උපායශීලීව බයිබල් පද යොදාගන්න ඔබට පුළුවන්. බයිබලයේ අඩංගු දේවල් කොයි තරම් ප්‍රයෝජනවත්ද කියා සොයා බලන්න ඔහුව දිරිගන්වන්න. ඔබත් යේසුස් මෙන් පිළිතුරු දෙනවා නම් ඔබේ පිළිතුරු ගෞරවනීය හා වටිනාකමින් යුතු ඒවා වෙයි.—හිතෝ. 25:11.
4. අපි ප්‍රශ්නවලට පිළිතුරු නොදිය යුත්තේ කොයි අවස්ථාවලදීද?
4 හැම ප්‍රශ්නයකටම පිළිතුරු දිය යුතුද? ප්‍රශ්නයකට පිළිතුර දන්නේ නැත්නම් ඒ ගැන ලැජ්ජා නොවී මෙසේ පවසන්න. “ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැ. ඒ ගැන හොයලා බලලා ආපහු ඇවිත් උත්තරේ දෙන්නම්.” ඔබේ අවංකකම හා සැලකිල්ල ගැන පැහැදෙන නිවැසියා ඔබට නැවත එන්න කියා පවසන්න ඉඩ තිබෙනවා. නමුත් විරුද්ධවාදියෙක් යම් ප්‍රශ්නයක් අසන්නේ වාද කිරීමේ අරමුණින් බව ඔබට වැටහුණොත් යේසුස් පිළිතුරු දුන් ආකාරය ආදර්ශයට ගන්න. (ලූක් 20:1-8) එසේම සත්‍යය දැනගැනීමට උනන්දුවක් නැති කෙනෙක් ඔබව වාදයකට පටලවාගන්න වෑයම් කරනවා නම් කාරුණිකව සංවාදය නවත්වන්න. එම කාලය අවංක උනන්දුවක් දක්වන අයව සෙවීමට යොදන්න.—මතෙ. 7:6.
5. ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී යේසුස් තැබූ ආදර්ශය මොකක්ද?
5 “සත්‍යය ගැන සාක්ෂි දැරීමට” තමන්ට ලැබී තිබෙන වගකීම ඉටු කරන්න හා අවංක චේතනාවෙන් ප්‍රශ්න අසන අයට පිළිතුරු දෙන්න යෙහෝවා දෙවි මත රඳා සිටිය යුතු බව යේසුස් දැනගෙන හිටියා. (යොහ. 18:37) “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” තිබෙන අය අසන ප්‍රශ්නවලට යේසුස් මෙන් පිළිතුරු දෙන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! —ක්‍රියා 13:48.