“මගේ අනුගාමිකයෙක් වෙන්න”
1. සභා බයිබල් පාඩමේදී සලකා බලන්නේ කුමන තොරතුරුද?
1 යේසුස් පොළොවේ ගත කළ ජීවිතය ගැන තොරතුරු බොහොමයක් සුවිශේෂ පොත්වල වාර්තා වෙනවා. අප ඔහුගේ ‘පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන’ අය හැටියට ඔහු ජීවත් වූ ආකාරය අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. ඊට උපකාරයක් ලෙස මාර්තු 1වනදායින් පටන්ගන්නා සතියේ සිට අප සභා බයිබල් පාඩමේදී “මගේ අනුගාමිකයෙක් වෙන්න” නමැති පොත සාකච්ඡා කිරීමට නියමිතයි. (1 පේතෘ. 2:21; මාක් 10:21) එහිදී යේසුස්ගේ දේවසේවයෙන් අපට ඉගෙනගත හැකි පාඩම් ගැන විශේෂයෙන්ම සලකා බලන නිසා ඊට හොඳින් සූදානම් වීමෙන් හා විශේෂ අවධානයක් දීමෙන් ප්‍රයෝජන ගන්න අපට හැකියි.
2. අභියෝග ජය ගැනීමට යේසුස් මෙන් අපට කළ හැක්කේ කුමක්ද?
2 යේසුස්ගේ ආදර්ශය: ජනයා ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් නොදැක්වූ අවස්ථා ඔබ අද්දැක තිබෙනවාද? හොඳ ප්‍රතිචාරයක් නොදක්වන සැමදෙනාම අපට පීඩා කරන්නන් නොවුණත් එවැනි තත්වයන්ට මුහුණ දීම එතරම් පහසු දෙයක් නොවෙයි. “ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි” යන යේසුස්ගේ වදන් එවැනි අවස්ථාවලදී අපේ මතකයට නැඟෙන්න පුළුවන්. (යොහ. 15:20) ශුභාරංචිය නිසා යේසුස්ටත් විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් ඒවා ජය ගැනීමට ඔහුට උපකාරවත් වුණේ කුමක්ද? ඔහු ඉදිරියේ තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව ගැන සිතමින් කටයුතු කිරීමයි. අපත් දෙවිගේ අනුමැතිය හා ආශීර්වාද ලබාගැනීම ගැන සිතමින් කටයුතු කරනවා නම් අභියෝග ජය ගත හැකියි. ‘වෙහෙසට පත් නොවී උත්සාහය අත් නොහැර’ දිගටම විශ්වාසවන්තව සිටීමට එය අපට උපකාරයක්. (හෙබ්‍රෙ. 12:2, 3; හිතෝ. 27:11) අප අත් නෑර දේවසේවයේ හවුල් වෙනවා නම් යේසුස් අපට සහාය වන බව නිසැකයි.—මතෙ. 28:20.
3. දේවසේවය ගැන යේසුස්ට තිබූ ආකල්පය අප ආදර්ශයට ගන්නේ කොහොමද?
3 “මාව එවා තිබෙන්නේ ඒ සඳහායි”: යේසුස්ගේ ජීවිතයේ වැදගත්ම කාර්යය වුණේ ශුභාරංචිය දේශනා කිරීමයි. (ලූක් 4:43) ඔහු වෙහෙස මහන්සි නොබලා එහි හවුල් වුණා. එය මොහොතකටවත් කල් නොදමා ඒ සඳහා අවස්ථා උදා කරගත්තා. අප ඔහුගේ අනුගාමිකයන් නිසා මේ ප්රශ්නය ගැන සිතා බලමු. ‘මමත් එදිනෙදා මුණගැහෙන අයට ශුභාරංචිය ප්‍රකාශ කරනවාද?’ වැඩි වැඩියෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපව පොලඹවන්නේ යේසුස් කෙරෙහි අපට ඇති ප්‍රේමයයි.—2 කොරි. 5:14.
4. දේවසේවය සාර්ථක කරගැනීමට අපට හැක්කේ කොහොමද?
4 “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ”: යේසුස් ඉගැන්වූ ආකාරය ගැන ජනයා පුදුම වුණා. (යොහ. 7:46; මතෙ. 7:28, 29) ඔහු වෙනත් ගුරුවරුන්ට වඩා වෙනස් වීමට හේතුව කුමක්ද? ඔහු ඉගැන්වූ සත්‍යයන් ගැන ඔහුට විශාල ඇල්මක් තිබුණා. ඔහුට සවන් දුන් ජනයාට ඔහු ප්‍රේම කළා. එමෙන්ම විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගත්තා. එම පැතිවලින් අපි අපගේ උතුම් ගුරුවරයාව ආදර්ශයට ගනිමින් දේවසේවය සාර්ථකව ඉටු කරමු.—ලූක් 6:40.
5. “මගේ අනුගාමිකයෙක් වෙන්න” නමැති පොත අධ්‍යයනය කරද්දී අපේ ඉලක්කය විය යුත්තේ කුමක්ද?
5 අප දැන් සලකා බැලුවේ යේසුස්ගේ ජීවිතයෙන් ඉගෙනගත හැකි වටිනා කාරණා කිහිපයක් පමණයි. සභා බයිබල් පාඩමේදී යේසුස්ගේ ජීවිතය ගැන අධ්‍යයනය කර තවත් බොහෝ දේවල් ඉගෙනගැනීමට ඔබට හැකියි. යේසුස් කළ කී දේවල් ආදර්ශයට ගනිමින් ඔහු පෙන්වූ ප්‍රේමය ගැන ඉගෙනගැනීමට අපි ඉලක්ක කරගනිමු.—එෆී. 3:19.