ඉවසිලිවන්තව දේවසේවයේ යෙදෙමු
1. දෙවි මිනිසුන් සමඟ ඉවසිලිවන්තව ක්‍රියා කර තිබෙන්නේ කොහොමද?
1 යෙහෝවා දෙවි මිනිසුන් සමඟ ක්‍රියා කරන ආකාරයෙන් ඔහුගේ ඉවසිලිවන්තකම කැපී පෙනෙනවා. (නික්. 34:6; ගීතා. 106:41-45; 2 පේතෘ. 3:9) ලොව පුරා සිදු කෙරෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයෙන් එය පැහැදිලිව දැකගත හැකියි. පසුගිය අවුරුදු 2,000 පුරාම තමන් සමඟ බැඳීමක් ඇති කරගැනීමට ජනයාට උපකාර කර තිබෙන දෙවි තවමත් එසේ කරනවා. (යොහ. 6:44) ඔහු මෙන් දේවසේවයේදී ඉවසිලිවන්තකම පෙන්වන්න අපට පුළුවන් කොහොමද?
2. දේවසේවයේදී ඉවසිලිවන්තකම පෙන්විය හැක්කේ කොහොමද?
2 ගෙයින් ගෙට සේවයේදී: අපේ පණිවිඩයට උනන්දුවක් නොදක්වන ජනයා සිටින පැතිවලත් ‘නතර නොකර’ සේවය කිරීමෙන් දෙවි මෙන් ඉවසිලිවන්ත බව පෙන්වමු. (ක්‍රියා 5:42) ජනයා උනන්දුවක් නොදැක්වුවත් සමච්චල් කළත් විරුද්ධවාදිකම් පෑවත් ඉවසිලිවන්තව විඳදරාගනිමු. (මාක් 13:12, 13) උනන්දුව දැක්වූ අයව නැවත හමු වීමට යන විට ඔවුන් නිවසේ නොසිටියත් ඔවුන්ව හමු වන තුරුම එහි යෑමෙන් ඉවසිලිවන්තකම පෙන්වමු.
3. නැවත බැලීම් හා බයිබල් පාඩම් කරද්දී ඉවසිලිවන්තකම අවශ්‍ය ඇයි?
3 බයිබල් පාඩම්වලදී: පැළයක් වැඩෙන්න කාලයක් ගත වෙනවා. ඊට පෝෂණය ලබා දිය හැකි වුණත් එහි වැඩීම වේගවත් කරන්න අපට බැහැ. ඒ සඳහා ඉවසීමෙන් බලා සිටිය යුතුයි. (යාකො. 5:7) ඒ හා සමානව බයිබල් ශිෂ්‍යයෙක් දියුණු වන්නෙත් ක්‍රමානුකූලවයි. (මාක් 4:28) තමන් විශ්වාස කරමින් සිටි අසත්‍ය ඉගැන්වීම් හා බයිබලයට පටහැනි චාරිත්‍ර වාරිත්‍ර අත්හැරීම ඔහුට දුෂ්කර දෙයක් විය හැකියි. වෙනස්කම් කරගන්න කියා බල කිරීමෙන් හෝ පීඩනයක් එල්ල කිරීමෙන් ශිෂ්‍යයාගේ දියුණුව වේගවත් කිරීමට උත්සාහ නොකළ යුතුයි. දෙවිගේ බලයේ උපකාරයෙන් ජීවිතයේ වෙනස්කම් කරගැනීමට ඔහුට යම් කාලයක් ගත වෙයි. එතෙක් අපි ඉවසිල්ලෙන් බලා සිටිමු.—1 කොරි. 3:6, 7.
4. නෑදෑයන්ට සාර්ථක ලෙස සාක්ෂි දැරීමට ඉවසිලිවන්තකම උපකාරවත් වන්නේ කොහොමද?
4 නෑදෑයන්ට සාක්ෂි දරද්දී: යෙහෝවා දෙවිට නමස්කාර නොකරන නෑදෑයන් සත්‍යය ඉගෙනගන්නවාට අපි කොතරම් ආශා කළත් ඒ සඳහා සුදුසු අවස්ථාව එන තුරු ඉවසීමෙන් බලා සිටිය යුතුයි. අවස්ථාව උදා වූ විට ප්‍රමාණය ඉක්මවා තොරතුරු පැවසීමෙන් වළකිමු. (දේශ. 3:1, 7) එතෙක් අප මොන වගේ අයද කියා අපේ ආදර්ශයෙන් පෙන්වමින් මෘදුකමින් හා ගැඹුරු ගෞරවයකින් යුතුව සාක්ෂි දරන්න සූදානමින් සිටිමු. (1 පේතෘ. 3:1, 15) ඒ ආකාරයට ඉවසිලිවන්තව දේවසේවයේ යෙදෙන විට අපේ සේවය සාර්ථක වෙනවා පමණක් නොව අපේ ස්වර්ගික පියාණන්ද සතුටු වන බව ස්ථිරයි.