‘යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි’
1. 2010 වසරේ තුන්දින සමුළුවේදී නිකුත් කළ පොත මොකක්ද? අපි ඒක යොදාගන්නේ කුමක් සඳහාද?
1 2010 වසරේ පැවැත්වූ “යෙහෝවා දෙවිට ළංව සිටින්න!” යන තුන්දින සමුළුවේදී ඒ පොත නිකුත් කළාම අපි කොච්චර සතුටු වුණාද? යෙරෙමියා සහ විලාප ගී යන පොත්වල තියෙන, අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වන පාඩම් රැසක් මේ පොතේ ඇතුළත් වෙනවා. (රෝම 15:4) මේ පොත 2014 ජනවාරි 13න් පටන්ගන්නා සතියේ සිට සභා බයිබල් පාඩම සඳහා යොදාගන්නවා.
2. යෙරෙමියා සහ විලාප ගී යන පොත් දෙක අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
2 අදටත් ප්‍රයෝජනවත්: යෙරෙමියා අනාවැකි කිව්වේ යූදා නගරයේ නොසන්සුන් වාතාවරණයක් මැදයි. ඒ පැවරුම ඉටු කරන්න තමන්ට සුදුසුකම් නැහැ කියලා ඔහු මුලදී හිතුවා. (යෙරෙ. 1:6) ඔහු ජීවත් වූ අනාතොත් නගරයේ හිටිය නෑදෑයන් සහ දන්න හඳුනන අයගෙන් යෙරෙමියාට විරුද්ධවාදිකම් එල්ල වුණා. (යෙරෙ. 11:21, 22) ඒ වගේ තත්වයක් යටතේ ඔහු අධෛර්යට පත් වීම පුදුමයක් නෙමෙයි. (යෙරෙ. 20:14) “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියා අපිට දීපු පැවරුම ඉටු කරද්දී යෙරෙමියාට වගේ අභියෝග සහ අධෛර්යය වීම්වලට මුහුණ දෙන්න අපිටත් සිදු වෙනවා. (මතෙ. 28:19) ඒ නිසා යෙරෙමියා ලියා තියෙන දේවල් හොඳින් අධ්‍යයනය කිරීමෙන් අපේ සේවය උනන්දුවෙන් සහ නිර්භීතව කරන්න අපිට පුළුවන් වෙයි.
3. ‘යෙරෙමියා’ පොත අධ්‍යයනය කිරීමට පොතේ ඇති විශේෂ අංග උදව් වෙන්නේ කොහොමද?
3 විශේෂ අංග: තද කලු අකුරින් දක්වා තියෙන්නේ පාඩමේදී කියවිය යුතු මූලික බයිබල් පදයි. සෑම සතියකම පාඩම් කිරීමට නියමිත කොටස අවසානයේ ප්‍රශ්නයක් හෝ දෙකක් තද කලු අකුරින් සඳහන් වී තියෙනවා. ඒ ප්‍රශ්නවලින් සලකා බලන්නේ පාඩම් කළ කොටසේ ප්‍රධාන කරුණුයි. ඒ ප්‍රශ්න සබයෙන් අසන්නේ ඉගෙනගත් කරුණු නැවත මතක් කිරීමටයි. මේ පොත පුරාම තියෙන අලංකාර පින්තූර ගැනත් අදහස් දක්වන්න අපිට පුළුවන්.
4. ‘යෙරෙමියා’ පොත ඉගෙනගද්දී උපරිම ප්‍රයෝජන ලබාගන්න නම් අපි කරන්න ඕනේ මොනවාද?
4 මේ පොතෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් කල්තියාම සූදානම් වෙන්න. ඒ වගේම ඔබේ ජීවිතයටත් දේවසේවයටත් අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද කියලා හිතලා බලන්න. පාඩමේදී හොඳින් අදහස් දක්වන්න. යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් යෙරෙමියා තමන්ගේ පැවරුම සතුටින් ඉටු කළා. (යෙරෙ. 15:16) යෙරෙමියාට වගේ අපිටත් අපේ පැවරුම හොඳින් ඉටු කරන්න මේ පොත උදව් වෙන බව නිසැකයි.