ඔබේ හෘදය සාක්ෂිය ආරක්ෂා කරගන්න
1. ඊළඟ එක්දින සමුළුවේ තේමාව මොකද්ද? ඒ සමුළුවේ අරමුණ මොකද්ද?
1 අපේ හෘදය සාක්ෂියට විරුද්ධව දේවල් කරන්න අපි හැමදාම පෙලඹෙනවා. ඒ නිසයි 2012 සැප්තැම්බර් පළවෙනිදායින් පටන්ගන්නා, 2013 සේවා වසරට නියමිත එක්දින සමුළුවට, “ඔබේ හෘදය සාක්ෂිය ආරක්ෂා කරගන්න” කියන තේමාව තෝරගෙන තියෙන්නේ. (1 තිමෝ. 1:19) හෘදය සාක්ෂිය දෙවි අපිට දීලා තියෙන වටිනා තෑග්ගක්. අපි ඒ තෑග්ග හරියට පාවිච්චි කරනවද? මේ සමුළුව සැලසුම් කරලා තියෙන්නේ අපිට ඒ ගැන හොඳින් හිතලා බලන්නයි.
2. මේ සමුළුවෙන් උත්තර ලැබෙන්නේ මොන ප්රශ්නවලටද?
2 මේ කරුණුවලට අවධානය දෙන්න: හෘදය සාක්ෂිය ගැන වැදගත් ප්රශ්න හතකට උත්තර මේ සමුළුවෙන් අපිට ලැබෙයි.
• හෘදය සාක්ෂියට හානි කරන්නේ මොන වගේ දේවල්ද?
• හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?
• සියලුදෙනාගේ ලෙයින් නිදහස් වෙන්න පුළුවන් කොහොමද?
• බයිබල් ප්රතිපත්ති ගැන හිතලා ඒ අනුව ක්රියා කරද්දී අපි ගැන හෙළි වෙන්නේ මොකද්ද?
• හෘදය සාක්ෂියට අනුව ගන්න තීරණවලදී අනික් අයට බලපෑම් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?
• දරුවෙනි, හෘදය සාක්ෂියට පටහැනි දෙයක් කරන්න කෙනෙක් ඔයාලට බල කෙරුවොත් මොකද කරන්නේ?
• දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ක්රියා කරන්න තම හෘදය සාක්ෂිය පුහුණු කරලා තියෙන කෙනෙක්ට ලැබෙන ආශීර්වාද මොනවද?
3. මේ සමුළුවෙන් ලැබෙන ප්රයෝජන මොනවද?
3 අපේ හෘදය සාක්ෂිය පලුදු කරන්න සාතන් උත්සාහ කළත් ඔහුට හසු නොවී ඉන්න යෙහෝවා දෙවි අපිට උදව් කරනවා. දෙවි අපිට හුඟක් ආදරේ කරන නිසා ඔහු අපිට කියන්නේ “යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න” කියලයි. බයිබලය හා ඔහුගේ සංවිධානය මගින් දෙවි අපිට ඒ මාර්ගය පෙන්නනවා. (යෙසා. 30:21) මේ සමුළුව ඒකට හොඳ උදාහරණයක්. ඒ නිසා ඒ වැඩසටහනේ පුංචි කොටසක්වත් අතපසු නොවෙන්න, දැන්ම සැලසුම් කරන්න. ඒ වගේම වැඩසටහනට හොඳ අවධානයක් දෙන්න. ඉගෙනගන්න තොරතුරු අදාළ කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඒ තොරතුරු ගැන පවුලේ අයත් එක්ක කතා කරන්න. දෙවි අපිට උගන්වන විදිහට දේවල් කරන්න අපි හැමදාම උත්සාහ කරන්න ඕනේ. එතකොට ‘නිදොස් හෘදය සාක්ෂියක් පවත්වගන්න’ අපිට පුළුවන් වෙයි. සාතන්ගේ ලෝකයෙන් ඉදිරිපත් කරන තාවකාලික සතුට නිසා දෙවිගේ මාර්ගයෙන් ඉවත් නොවී ඉන්නත් අපිට පුළුවන් වෙයි.—1 පේතෘ. 3:16.