අනාගතවක්තෘ යෝවෙල් අපිට ආදර්ශයක්!
1. දේවසේවයේදී නිහතමානී වෙන්න යෝවෙල් අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?
1 යෝවෙල් ඔහු ගැන දීලා තියෙන එකම තොරතුර ඔහු ‘පෙතුයෙල්ගේ පුතා’ කියන එක විතරයි. (යෝවෙ. 1:1) නිහතමානී දේවසේවකයෙක් වූ ඔහු අවධානය දුන්නේ දෙවිගේ පණිවිඩයට මිසක් පණිවිඩකරු වූ තමන්ට නෙමෙයි. ඔහු වගේ අපිටත් පුළුවන් මිනිසුන්ගේ ගෞරවය අපිට ලබාගන්නවා වෙනුවට ඒ ගෞරවය යෙහෝවා දෙවිටත් බයිබලයටත් ලබා දෙන්න. (1 කොරි. 9:16; 2 කොරි. 3:5) ඒත් පණිවිඩය දේශනා කිරීමෙන් විශ්වාසය ශක්තිමත් කරගන්න අපිට පුළුවන්. යෝවෙල්ගේ අනාවැකිය අපි තුළ උද්යෝගයක් සහ බලාපොරොත්තුවක් ඇති කරන්නේ කොහොමද?
2. දෙවිගේ දවස ළඟයි කියලා තේරුම්ගන්නවා නම් අපි පෙලඹෙන්නේ මොකක් කරන්නද?
2 “යෙහෝවා දෙවිගේ දවස ළඟය!” (යෝවෙ. 1:15): යෝවෙල් අනාවැකි කිව්වේ දැනට අවුරුදු දහස් ගණනකට කලින් වුණත් අපි ඉන්නේ එහි අවසාන ඉටු වීම සිදු වන කාලයේ. ලෝකයේ තත්වය පිරිහිලා. මිනිස්සු පණිවිඩයට එච්චර උනන්දුවක් දක්වන්නෙත් නෑ. අපිට කරන පීඩා හා සමච්චලුත් එන්න එන්නම වැඩියි. මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ කියලයි. (2 තිමෝ. 3:1-5; 2 පේතෘ. 3:3, 4) අවසානය ඉතාම ළඟ බව හොඳින් තේරුම්ගන්නවා නම් අපේ ජීවිතයේ වැදගත්ම තැන අපි දෙන්නේ දේවසේවයටයි.—2 පේතෘ. 3:11, 12.
3. මහත් පීඩාව ටිකෙන් ටික ළං වෙද්දී දේවසේවයේ හවුල් වීම වැදගත් ඇයි?
3 “යෙහෝවා දෙවි තම සෙනඟට රැකවරණය දෙන්නේය.” (යෝවෙ. 3:16): එම පදයේ දෙදරුම් කෑමක් ගැනත් කතා කරනවා. එය යොමු දක්වනවා ඇත්තේ මහත් පීඩාව තුළදී දෙවි ගෙනෙන විනිශ්චයට විය යුතුයි. නමුත් එදාට දෙවි තම විශ්වාසවන්ත සේවකයන් රැකගන්නවා කියන පොරොන්දුව අපිට සහනයක්. (එළි. 7:9, 14) අදත් අපි සේවයේ යද්දී දෙවිගේ බලය සහ රැකවරණය අද්දකිනවා. එතකොට අපේ විශ්වාසය වගේම විඳදරාගැනීමත් වැඩි වෙනවා. එය මහත් පීඩාවට සාර්ථකව මුහුණ දෙන්න ලොකු උදව්වක්!
4. අපි සතුටු වෙන්න ඕනෙ ඇයි? අනාගතයට විශ්වාසයෙන් මුහුණ දෙන්න පුළුවන් ඇයි?
4 සමහරු හිතන්නේ යෝවෙල්ගේ පණිවිඩය හරිම අසුබවාදී කියලයි. ඒත් දෙවිගේ සේවකයන්ට නම් එය ගැලවීම ගැන බලාපොරොත්තුවක් ඇති කරනවා. (යෝවෙ. 2:32) “සතුටු වෙන්න. ඔබේ දෙවි වන යෙහෝවා නිසා ප්රීති වෙන්න” කියලා යෝවෙල් 2:23 කියනවා. ඒ නිසා ශුභාරංචිය උද්යෝගයෙන් ප්රකාශ කරමින් අනාගතයට විශ්වාසයෙන් මුහුණ දෙමු.