අනාගතවක්තෘ නාහුම් අපිට ආදර්ශයක්!
1. නාහුම් පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
1 කොච්චර බලවත් වුණත් කුරිරු වුණත් යෙහෝවා දෙවිගේ සතුරන්ට බැහැ ඔහුට ඉහළින් යන්න. පුරාණ ඇසිරියාවේ අගනුවර වන නිනිවයේ නටඹුන්වලින් ඒක පැහැදිලි වෙනවා. නාහුම් කිව්ව විදිහටම නගරය විනාශ වුණා. (නාහු. 1:2, 6) නාහුම් පොතෙන් දේවසේවයට අදාළ කරගන්න පුළුවන් පාඩම් තියෙනවා.
2. අපේ පණිවිඩය ප්රීතිමත් එකක් වෙන්නේ කොහොමද?
2 සැනසිල්ලක් හා බලාපොරොත්තුවක් ලබා දෙන්න: බැලූ බැල්මට පේන්නේ නාහුම් පොත නිනිවය නගරය විනාශ කරනවා කියන තීන්දුව විතරක් සඳහන් පොතක් වගෙයි. (නාහු. 1:1; 3:7) ඒත් ඒ තීන්දුව දෙවිගේ සෙනඟට ප්රීතිමත් පණිවිඩයක් වුණා. නාහුම් කියන නමේ තේරුම “සනසන්නා” කියන එකයි. තමන්ගේ සතුරන් කෙටි කලකින් විනාශ වෙනවා කියන සහතිකය යුදෙව්වන්ට සහනයක් වුණා. යෙහෝවා දෙවි ‘දුක් කරදරවලදී පිහිට වන බලකොටුවක්’ කියන සහතිකයත් නාහුම් දුන්නා. (නාහු. 1:7) අපිත් මිනිසුන්ට ශුභාරංචිය කියලා, යෙහෝවා දෙවිව බලකොටුව කරගන්න දිරිගන්වන්න ඕනේ.—නාහු. 1:15.
3. උදාහරණ පාවිච්චි කරලා නාහුම්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
3 උදාහරණ පාවිච්චි කරන්න: ඇසිරියානුවන් ඊජිප්තුවේ තේබිස් (නෝ-ආමෝන්) නගරය විනාශ කෙරුවා වගේ නිනිවයත් විනාශ කරනවා කියලා දෙවි නාහුම් මාර්ගයෙන් කිව්වා. (නාහු. 3:8-10) අපිත් දුෂ්ට සමාජයේ අවසානය ගැන මිනිසුන්ට කියද්දී බයිබල් අනාවැකි තිතටම ඉටු වෙලා තියෙන විදිහ පෙන්නලා දෙන්න ඕනේ. උදාහරණයකට, බැබිලෝනිවරුන් හා මේදියවරුන් ක්රි.පූ. 632දී නිනිවයට විරුද්ධව ආපු වෙලාවේ මහ වර්ෂාවක් ඇදහැළුණා. ටයිග්රීස් ගඟ පිටාර ගලලා නිනිවය වටා තිබුණු ශක්තිමත් පවුරේ කොටසක් කඩා වැටුණා. ඒ එක්කම අනාවැකියේ කියපු විදිහටම ඔවුන් ලේසියෙන්ම නිනිවය අල්ලගත්තා. (නාහු. 1:8; 2:6) ඒ වගේ උදාහරණ පාවිච්චි කරන්න අපිටත් පුළුවන්.
4. දේවසේවයේදී තේරෙන විදිහට කතා කරන්න පුළුවන් කොහොමද?
4 තේරෙන විදිහට කතා කරන්න: විස්තර ඇතුව, පැහැදිලිව, හිතේ පින්තූරයක් මැවෙන විදිහටයි නාහුම් පොත ලියලා තියෙන්නේ. (නාහු. 1:14; 3:1) අපිත් කතා කරන්න ඕනේ තේරෙන, සරල වචනවලින්. (1 කොරි. 14:9) ආපු හේතුව නිවැසියාට පැහැදිලිව කියන්න. බයිබල් පාඩමක් කරද්දී යෙහෝවා දෙවි ගැන හා බයිබලය ගැන විශ්වාසයක් ගොඩනඟාගන්නත් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නත් ඔවුන්ට උදව් කරන්න.—රෝම 10:14.
5. නාහුම්ගේ අනාවැකියෙන් ලැබෙන සහතිකය මොකක්ද?
5 යෙහෝවා දෙවිගේ වචනය ඉටු වෙනවා කියලා නාහුම්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. දුෂ්ට සමාජයේ අවසානය ළං වෙද්දී “විපත්තිය නැවත පැමිණෙන්නේ නැත” කියන සහතිකයෙන් අපිට ලැබෙන්නේ පුදුම සැනසීමක්!—නාහු. 1:9.