ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 පෙබරවාරි 2-7 පි.
  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක්
  • අපේ ආදරණීය තාත්තා අපිව බලාගන්නේ කොහොමද?
  • අපේ ආදරණීය තාත්තා අපිව කවදාවත් අත්හරින්නේ නැහැ
  • දෙවියන්ගේ පවුලට තවත් ළං වෙමු
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ යෙහෝවා දෙවිව ඔබේම පියා ලෙස සලකනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ආදරණීය පියෙක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 පෙබරවාරි 2-7 පි.

පාඩම් ලිපිය 6

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි

“ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි.’”—මතෙ. 6:9.

ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

මේ ලිපියෙන්a

1. කෙනෙක් පර්සියාවේ රජු එක්ක කතා කරන්න කලින් එයා මොනවාද කරන්න ඕනෙ වුණේ?

හිතන්න, ඔයා ඉන්නේ මීට අවුරුදු 2,500කට විතර කලින් පර්සියාවේ කියලා. ඔයාට ඕනෙ රජුව හම්බ වෙලා කාරණයක් ගැන කතා කරන්න. ඒ නිසා ඔයා රජු ජීවත් වෙන ෂූෂන් නගරයට යනවා. ඒත් රජුගෙන් අවසරයක් නැතුව එයා ඉදිරියට යන්න ඔයා හිතන්නේවත් නැහැ. මොකද අවසර නැතුව රජු ඉදිරියට ගියොත් ඔයාට මරණ දඬුවම ලැබෙනවා කියලා ඔයා දන්නවා.—එස්ත. 4:11.

2. යෙහෝවා දෙවියන්ට කතා කරන එක ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

2 ඕනෙම මිනිස් පාලකයෙක්ට වඩා යෙහෝවා දෙවියන් හුඟක් උසස්. ගොඩක් බලවත්. ඒත් අපිට ඔහුත් එක්ක ඕනෙම වෙලාවක කතා කරන්න පුළුවන්. බයක්, සැකක් නැතුව අපි ඔහු එක්ක කතා කරනවාටයි දෙවියන් කැමති. උදාහරණෙකට ශ්‍රේෂ්ඨ සැදුම්කරු, සියලු බලැති දෙවියන් සහ විශ්වයේ පාලකයාණන් වගේ තනතුරුවලින් දෙවියන්ව හඳුන්වලා තිබුණත් ඔහු අපිට ආරාධනා කරන්නේ “පියාණෙනි” නැත්නම් ‘තාත්තා’ කියලා ඔහුව අමතන්න කියලයි. (මතෙ. 6:9) යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි ඔහුට ළං වෙලා ඉන්නවා දකින්නයි. ඒ ගැන හිතද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්.

3. යෙහෝවා දෙවියන්ට “තාත්තා” කියලා අමතන්න අපිට පුළුවන් ඇයි? මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 අපිට ජීවිතේ දුන්නේ යෙහෝවා දෙවියන් නිසා “තාත්තා” කියලා ඔහුව අමතන්න අපිට පුළුවන්. (ගීතා. 36:9) ඔහු අපේ තාත්තා නිසා අපි ඔහුට කීකරු වෙන්න ඕනේ. අපි ඔහුට කීකරු වෙද්දී කියලා නිම කරන්න බැරි තරම් ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන්. (හෙබ්‍රෙ. 12:9) ඒ ආශීර්වාදවලට පොළොවේ හෝ ස්වර්ගයේ සදහටම ජීවත් වෙන්න ලැබෙන එක ඇතුළත්. දැනුත් අපි හුඟක් ආශීර්වාද අද්දකිනවා. යෙහෝවා දෙවියන් දැන් අපිට ආදරණීය තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද? ඔහු අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි? ඒ ගැන මේ ලිපියෙන් බලනවා. ඒත් මුලින්ම අපි බලමු ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපිට ආදරෙයි කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි කියලා.

යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක්

තාත්තා කෙනෙක් එයාගේ දුවගේ අතින් අල්ලගෙන මුහුදු වෙරළේ ඇවිඳගෙන යනවා.

ආදරණීය තාත්තා කෙනෙක් එයාගේ දරුවන් ළඟින්ම ඉන්නවා වගේ යෙහෝවා දෙවියන්ටත් ඕනෙ අපි ළඟින්ම ඉන්නයි (4 ඡේදය බලන්න)

4. යෙහෝවා දෙවියන්ව තමන්ගේ තාත්තා විදිහට සලකන්න සමහරුන්ට අමාරු ඇයි?

4 යෙහෝවා දෙවියන්ව ඔයාගේ තාත්තා විදිහට සලකන්න ඔයාට අමාරුද? සමහරු හිතනවා ඔහු හුඟක් උසස් නිසා ඔහුට අපිව ඒ තරම් වටින්නේ නැහැ කියලා. සියලු බලැති දෙවියන් අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් වෙනවා කියලා එයාලට විශ්වාස කරන්න අමාරුයි. ඒත් අපිට එහෙම හැඟෙනවාට අපේ ආදරණීය තාත්තා කැමති නැහැ. අපිට ජීවිතේ දුන්නේ ඔහුයි. ඔහුට ඕනෙ අපි ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්නවා දකින්නයි. ඒ කාරණය ඇතන්ස් නුවරේ වැසියන්ට පැහැදිලි කළාට පස්සේ පාවුල් මෙහෙම කිව්වා. දෙවියන් “අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි.” (ක්‍රියා 17:24-29) දරුවෙක් තමන්ගේ අම්මා හෝ තාත්තා එක්ක නිදහසේ කතා කරනවා වගේ අපිත් ඔහු එක්ක කතා කරනවා දකින්නයි යෙහෝවා දෙවියන් කැමති.

5. සහෝදරියකගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?

5 තාත්තාගේ ආදරේ, සෙනෙහස ලැබිලා නැති අයටත් යෙහෝවා දෙවියන්ව තමන්ගේ තාත්තා විදිහට සලකන්න අමාරුයි. එක සහෝදරියක් කියන දේ බලන්න. “මගේ තාත්තා හරිම නපුරුයි. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට ළං වෙන්න පුළුවන් කියන එක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්ත කාලේ මට හරිම නුහුරු දෙයක් වුණා. ඒත් මං යෙහෝවා දෙවියන්ව දැන හඳුන ගද්දී ඒක වෙනස් වුණා.” දෙවියන්ව ඔයාගේ තාත්තා විදිහට දකින්න ඔයාටත් අමාරුද? දුක් වෙන්න එපා. කාලයත් එක්කම ඔයාට හැඟෙයි යෙහෝවා දෙවියන් තමයි ඔයාට ඉන්න පුළුවන් හොඳම තාත්තා කියලා.

6. මතෙව් 11:27 අනුව යෙහෝවා දෙවියන්ව අපේ තාත්තා විදිහට දකින්න දෙවියන් අපිට උදව් කරලා තියෙන එක විදිහක් මොකක්ද?

6 යෙහෝවා දෙවියන්ව අපේ තාත්තා විදිහට දකින්න දෙවියන් අපිට උදව් කරලා තියෙන එක විදිහක් තමයි යේසුස් කියපු කරපු දේවල් බයිබලේට ඇතුළත් කරපු එක. (මතෙව් 11:27 කියවන්න.) යේසුස් දෙවියන්ව කොච්චර හොඳින් අනුකරණය කළාද කියනවා නම් “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලා කියන්න ඔහුට පුළුවන් වුණා. (යොහ. 14:9) යේසුස් නිතරම දෙවියන්ව විස්තර කළේ තාත්තා කෙනෙක් විදිහට. යෙහෝවා දෙවියන් ගැන කතා කරද්දී යේසුස් “පියා” කියන යෙදුම සුවිශේෂ පොත් හතරේ විතරක් 120 වතාවක් විතර පාවිච්චි කරලා තියෙනවා. මොකද යේසුස්ට ඕනෙ වුණා යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක් කියන දේ මිනිසුන්ට ඒත්තුගන්වන්න.—යොහ. 17:25, 26.

7. යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාට සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

7 යෙහෝවා දෙවියන් ඔහුගේ පුතා වන යේසුස්ට සලකපු විදිහෙන් දෙවියන් ගැන අපි ඉගෙනගන්නේ මොකක්ද? යේසුස්ගේ හැම යාච්ඤාවකටම දෙවියන් ඇහුම්කන් දුන්නා විතරක් නෙමෙයි ඔහු ඒවාට උත්තරත් දුන්නා. (යොහ. 11:41, 42) මොන අමාරු තත්වයට මුහුණ දුන්නත් තාත්තාගේ ආදරේ, සහය යේසුස්ට දැනුණා.—ලූක් 22:42, 43.

8. යෙහෝවා දෙවියන් යේසුස්ට අවශ්‍ය දේවල් ලබා දුන්නේ කොහොමද?

8 තමන්ට ජීවිතේ දුන්නෙත් ඒ ජීවිතේ පවත්වගෙන යන්න අවශ්‍ය හැම දේම දෙන්නෙත් ඔහුගේ තාත්තා වන යෙහෝවා දෙවියන් කියලා පිළිගත්ත යේසුස් මෙහෙම කිව්වා. “මා ජීවත් වන්නේ ඔහු නිසයි.” (යොහ. 6:57) තාත්තා මත සම්පූර්ණයෙන් රඳා හිටපු යේසුස්ට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් දෙවියන් ලබා දුන්නා. ඊටත් වඩා වැදගත්ම දේ වන දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න අවශ්‍ය දේවලුත් දෙවියන් යේසුස්ට දුන්නා.—මතෙ. 4:4.

9. යෙහෝවා දෙවියන් යේසුස්ට ආදරණීය තාත්තා කෙනෙක් වුණේ කොහොමද?

9 යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක් නිසා ඔහුගේ සහය යේසුස්ට තියෙනවා කියන දේ දැනෙන්න සැලැස්සුවා. (මතෙ. 26:53; යොහ. 8:16) යේසුස් මුහුණ දුන්න හැම අමාරු දේකින්ම දෙවියන් ඔහුව ආරක්ෂා කළේ නැතත් ඒවා විඳදරාගන්න ඔහුට උදව් කළා. මොන අමාරු දේට මුහුණ දුන්නත් ඒකෙන් වෙන හානිය තාවකාලිකයි කියලා යේසුස් දැනන් හිටියා. (හෙබ්‍රෙ. 12:2) යේසුස්ට සවන් දීලා, ඔහුට අවශ්‍ය දේවල් ලබා දීලා, ඔහුව පුහුණු කරලා, ඔහුත් එක්කම ඉඳලා තමන් යේසුස්ට ආදරෙයි කියලා යෙහෝවා දෙවියන් පෙන්නුවා. (යොහ. 5:20; 8:28) ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා ඒ විදිවලින්ම අපිවත් බලාගන්නේ කොහොමද?

අපේ ආදරණීය තාත්තා අපිව බලාගන්නේ කොහොමද?

තාත්තලා දරුවන් එක්ක ඉන්න පින්තූරවලට පිටුපසින් තියෙන අතින් පෙන්නන්නේ යෙහෝවා දෙවියන් අපිව බලාගන්න විදිහයි. 1. තාත්තා එයාගේ පුතා කියන දේට සවන් දෙනවා. 2. තාත්තා එයාගේ දුවත් එක්ක එකට කෑම කනවා. 3. තාත්තා එයාගේ පුතාත් එක්ක පිඟන් කෝප්ප සෝදනවා. 4. තාත්තා පුතාව ආදරෙන් වැළඳගන්නවා. 5. තාත්තා කෙනෙක් එයාගේ දුවගේ අතින් අල්ලගෙන මුහුදු වෙරළේ ඇවිඳගෙන යනවා.

ආදරණීය තාත්තා කෙනෙක් එයාගේ (1) දරුවාට සවන් දෙනවා. (2) දරුවාට අවශ්‍ය දේවල් ලබා දෙනවා. (3) දරුවාව පුහුණු කරනවා. (4) දරුවා එක්කම ඉන්නවා. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාත් ඒ විදිවලින්ම අපිව බලාගන්නවා (10-15 ඡේද බලන්න)b

තාත්තා එයාගේ පුතා කියන දේට සවන් දෙනවා.

10. ගීතාවලිය 66:19, 20 අනුව යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි කියලා පෙන්නන්නේ කොහොමද?

10 යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට සවන් දෙනවා. (ගීතාවලිය 66:19, 20 කියවන්න.) ඔහුත් එක්ක ඕනෙම වෙලාවක, ඕනෙම දෙයක් ගැන, ඕනෙ තරම් වෙලාවක් කතා කරන්න කියලා දෙවියන් අපිට කියනවා. (1 තෙස. 5:17) අපි කොහේ හිටියත් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න අපිට පුළුවන්. අපේ යාච්ඤා අහන්න බැරි තරමට ඔහු කාර්යබහුල නැහැ. ඔහු අපේ හැම යාච්ඤාවකටම ඇහුම්කන් දෙනවා. ඒ ගැන දැනගද්දී ඔහු ගැන අපිට තියෙන ආදරේ තව වැඩි වෙනවා. ගීතිකාකරු කිව්වේ දෙවියන් “මාගේ අයැදීමට කන් දෙන්නේය. එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය” කියලා.—ගීතා. 116:1.

11. අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවියන් පිළිතුරු දෙන්නේ කොහොමද?

11 අපේ තාත්තා අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා වගේම ඒවාට පිළිතුරුත් දෙනවා. නියෝජිත යොහන් මෙහෙම කිව්වා. “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා.” (1 යොහ. 5:14, 15) අපිට හොඳම දේ මොකක්ද කියලා යෙහෝවා දෙවියන් දන්න නිසා අපි බලාපොරොත්තු වෙන විදිහටම ඔහු අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන එකක් නැහැ. සමහර වෙලාවට අපි ඉල්ලන දේ ඔහු අපිට දෙන එකක් නැහැ. එහෙම නැත්නම් අපි ඉල්ලන දේ ඒ වෙලාවෙම දෙන එකක් නැහැ.—2 කොරි. 12:7-9.

තාත්තා එයාගේ දුවත් එක්ක එකට කෑම කනවා.

12-13. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපිට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ මොන විදිවලින්ද?

12 යෙහෝවා දෙවියන් අපිට අවශ්‍ය දේ ලබා දෙනවා. තාත්තා කෙනෙකුගෙන් දෙවියන් බලාපොරොත්තු වෙන දේම ඔහුත් අපි වෙනුවෙන් කරනවා. (1 තිමෝ. 5:8) තමන්ගේ දරුවන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් යෙහෝවා දෙවියන් ලබා දෙනවා. ඒ නිසයි ඔහු අපිට කියන්නේ අපි කන්නේ මොනවාද, අඳින්නේ මොනවාද, ඉන්නේ කොහෙද කියන දේවල් ගැන ඕනෑවට වඩා කරදර වෙන්න එපා කියලා. (මතෙ. 6:32, 33; 7:11) දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක් නිසා අනාගතයේදී අපිට අවශ්‍ය දේවල් ලබා දෙන්නත් ඔහු සැලසුම් කරලා තියෙනවා.

13 අපිට අවශ්‍ය දේවල් දෙවියන් ලබා දෙන වැදගත්ම විදිහ තමයි ඔහුත් එක්ක අපිට තියෙන බැදීම රැකගන්න අවශ්‍ය හැම දේම අපිට දෙන එක. යෙහෝවා දෙවියන් ඔහු ගැන සත්‍යය, ඔහුගේ අරමුණ ගැන, මිනිසුන්ව ඔහු නිර්මාණය කළේ ඇයි සහ අනාගතයේදී වෙන්නේ මොනවාද කියන තොරතුරු දේවවචනය මාර්ගයෙන් අපිට හෙළිදරව් කරලා තියෙනවා. අපේ දෙමාපියන් හෝ වෙනත් කෙනෙක් මාර්ගයෙන් ඔහු ගැන දැනගන්න දෙවියන් අපිට උදව් කළා. වැඩිමහල්ලන්, අවබෝධයෙන් වැඩ කරන වෙනත් සහෝදර සහෝදරියන් මාර්ගයෙන් දිගටම ඔහුගේ යාළුවෙක් වෙලා ඉන්න ඔහු අපිට උදව් කරනවා. රැස්වීම් මාර්ගයෙන් අපිට අවශ්‍ය මඟ පෙන්වීම් ඔහු දිගටම ලබා දෙනවා. තව හුඟක් විදිවලින් යෙහෝවා දෙවියන් තාත්තා කෙනෙක් වගේ ඔහුගේ ආදරේ අපි හැම කෙනෙක්ටම දැනෙන්න සලස්වනවා.—ගීතා. 32:8.

තාත්තා එයාගේ පුතාත් එක්ක පිඟන් කෝප්ප සෝදනවා.

14. යෙහෝවා දෙවියන් අපිව පුහුණු කරන්නේ ඇයි? ඔහු ඒක කරන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවියන් අපිව පුහුණු කරනවා. අපි අතින් වැරදි, අඩුපාඩුකම් වෙනවා. අපිව පුහුණු කරන්න නිසා අපේ ආදරණීය තාත්තා අවශ්‍ය වෙලාවලදී අපිට හික්මවීම් ලබා දෙනවා. බයිබලේ කියන්නේ “යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය” කියලයි. (හෙබ්‍රෙ. 12:6, 7) දෙවියන් විවිධ විදිවලින් අපිට හික්මවීම් ලබා දෙනවා. උදාහරණෙකට බයිබලෙන් අපි කියවන දෙයක්, රැස්වීම්වලදී අපි ඇහුම්කන් දෙන දෙයක් නිසා අපි හිතන විදිහේ හෝ වැඩ කරන විදිහේ වෙනසක් කරගන්න ඕනෙ කියලා අපිට තේරෙයි. එහෙම නැත්නම් වැඩිමහල්ලන් මාර්ගයෙන් දෙවියන් අපිව නිවැරදි කරයි. දෙවියන් අපිව කොයි විදිවලින් නිවැරදි කළත් ඔහු ඒක කරන්නේ අපිට තියෙන ආදරේ නිසයි.—යෙරෙ. 30:11.

තාත්තා පුතාව ආදරෙන් වැළඳගන්නවා.

15. යෙහෝවා දෙවියන් අපිට රැකවරණය දෙන්නේ මොන විදිවලින්ද?

15 අපි දුෂ්කරතාවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන් අපිත් එක්කම ඉන්නවා. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා දුෂ්කර දේකට මුහුණ දෙද්දී එයා එක්ක ඉඳලා එයාට හයියක් වෙනවා. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාත් අපි දුෂ්කර දේකට මුහුණ දෙද්දී අපිත් එක්කම ඉඳලා අපිට උදව් කරනවා. දෙවියන් ඔහුගේ බලය අපිට දීලා ඔහුත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් දේවලින් අපිව ආරක්ෂා කරනවා. (ලූක් 11:13) අපි අධෛර්යය වෙද්දී ඔහු අපිට ශක්තියක් වෙනවා. උදාහරණෙකට ඔහු අපිට දීලා තියෙන බලාපොරොත්තුව දුෂ්කරතාවලට මුහුණ දෙන්න අපිට ශක්තියක් නෙමෙයිද? මේ ගැන හිතන්න. අපිට මොන දුෂ්ට දේට මුහුණ දෙන්න වුණත් ඒකෙන් අපිට වෙන හානිය සම්පූර්ණයෙන්ම නැති කරන්න අපේ ආදරණීය තාත්තාට පුළුවන්. ඔහු ඒක අනිවාර්යයෙන්ම කරනවා. අපි මුහුණ දෙන ප්‍රශ්න තාවකාලිකයි. ඒත් යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබෙන ආශීර්වාද සදාකාලිකයි.—2 කොරි. 4:16-18.

අපේ ආදරණීය තාත්තා අපිව කවදාවත් අත්හරින්නේ නැහැ

16. ආදම් එයාගේ තාත්තාට අකීකරු වුණාම මොකද වුණේ?

16 ආදම් යෙහෝවා දෙවියන්ට අකීකරු වුණ වෙලාවේ දෙවියන් වැඩ කරපු විදිහ ගැන හිතද්දී ඔහු අපිට කොච්චර ආදරේද කියලා ඔප්පු වෙනවා. ආදම් අකීකරු වුණ නිසා එයාට තවදුරටත් දෙවියන්ගේ පවුලේ සාමාජිකයෙක් විදිහට ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. එයාට විතරක් නෙමෙයි එයාගෙන් පැවතෙන අයටත් ඒ අවස්ථාව අහිමි වුණා. (රෝම 5:12; 7:14) ඒත් ආදම්ගෙන් පැවතෙන අයට ඒ අවස්ථාව ආයෙත් දෙන්න දෙවියන් පියවර ගත්තා.

17. ආදම් අකීකරු වුණ වෙලාවෙම යෙහෝවා දෙවියන් කළේ මොකක්ද?

17 යෙහෝවා දෙවියන් ආදම්ට දඬුවම් කළා. ඒත් ආදම් අකීකරු වුණ වෙලාවෙම දෙවියන් පොරොන්දු වුණා දෙවියන්ට කීකරු වෙන මිනිසුන්ට ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙන්න ආයෙත් අවස්ථාව ලබා දෙනවා කියලා. (උත්. 3:15; රෝම 8:20, 21) දෙවියන් ඔහුගේ පුතා වන යේසුස්ගේ ජීවිත පූජාව පදනමක් හැටියට යොදාගෙන ඒ පොරොන්දුව ඉටු කරන්න පියවර ගත්තා. ඔහුගේ පුතාව අපි වෙනුවෙන් දීලා යෙහෝවා දෙවියන් ඔප්පු කළා ඔහු අපිට කොච්චර ආදරේද කියලා.—යොහ. 3:16.

යේසුස් කියපු උපමාවේ ඉන්න පුතා ඔළුව පහත් කරගෙන හිටගෙන ඉද්දී එයාගේ තාත්තා අත් දෙක දිගු කරගෙන එයාව පිළිගන්න ආසාවෙන් එයා දිහාට දුවගෙන යනවා.

අපි දෙවියන්ගෙන් ඈත් වෙලා ගියත් අපි පසුතැවිලි වෙනවා නම් අපේ ආදරණීය තාත්තා අපිව පිළිගන්න ආසාවෙන් බලන් ඉන්නවා (18 ඡේදය බලන්න)

18. අපි දෙවියන්ගෙන් ඈත් වෙලා ගියත් ඔහුට ඕනෙ අපිව ඔහුගේ දරුවන් හැටියට පිළිගන්න කියලා අපි දන්නේ කොහොමද?

18 අපි පාපය උරුම කරගත්ත අය වුණත් යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනවා දකින්න. අපිට අත දෙන එක දෙවියන් කවදාවත් කරදරයක් විදිහට සලකන්නේ නැහැ. අපි අතින් වැරදි වෙද්දී, අපි ටිකකට ඔහුගෙන් ඈත් වෙද්දී ඒක දෙවියන්ට දුකක්. ඒත් අපි ගැන තියෙන බලාපොරොත්තු ඔහු අත්හරින්නේ නැහැ. යෙහෝවා දෙවියන් ඔහුගේ දරුවන්ට කොච්චර ආදරේද කියන දේ පවුලෙන් ඈත් වෙලා ගිය පුතෙක් ගැන යේසුස් කියපු උපමාවෙන් ඔහු පෙන්නලා දුන්නා. (ලූක් 15:11-32) ඒ කතාවේ ඉන්න තාත්තා පුතා ආයෙත් ගෙදර එයි කියන බලාපොරොත්තුව නැති කරගත්තේ නැහැ. පුතා ආපහු ගෙදර ආවාම තාත්තා හරිම ආසාවෙන් එයාව පිළිගත්තා. අපි දෙවියන්ගෙන් ඈත් වෙලා ගියත් අපි පසුතැවෙනවා නම් ඔහුගේ පවුලට අපිව ආයෙත් පිළිගන්න යෙහෝවා දෙවියන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා.

19. ආදම් නිසා සිද්ධ වුණ හානිය යෙහෝවා දෙවියන් හරිගස්සන්නේ කොහොමද?

19 ආදම් නිසා සිද්ධ වුණ හානිය අපේ තාත්තා හරිගස්සනවා. ආදම් අකීකරු වුණාට පස්සේ දෙවියන් තීරණය කළා යේසුස් එක්ක ස්වර්ගයේ රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන්න මිනිසුන් අතරින් 1,44,000දෙනෙක්ව තෝරගන්න. යේසුස් ඔහුගේ හවුල් පාලකයන් එක්ක එකතු වෙලා කීකරු මිනිසුන්ට ආයෙත් පරිපූර්ණ අය වෙන්න උදව් කරනවා. අවසාන පරීක්ෂණයට සාර්ථකව මුහුණ දුන්නාට පස්සේ දෙවියන් ඒ අයට සදාකාල ජීවිතය ලබා දෙනවා. එදාට පොළොවේ ඉන්න තමන්ගේ පරිපූර්ණ දරුවන්ව දැකලා අපේ ආදරණීය තාත්තා ගොඩක් සතුටු වෙයි. ඒක කොයි තරම් ලස්සන කාලයක් වෙයිද!

20. යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද? ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

20 යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආදරෙයි කියලා ඔහු පෙන්නලා තියෙනවා. අපිට ඉන්න පුළුවන් හොඳම තාත්තා ඔහුයි. ඔහු අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. අපිට අවශ්‍ය දේවල් ලබා දෙනවා. අපිව පුහුණු කරනවා. දුෂ්කර කාලවලදී අපිත් එක්කම ඉන්නවා. අනාගතයේදී අපිට හිතාගන්න බැරි විදිවලින් ඔහු අපිට ආශීර්වාද කරනවා. අපේ තාත්තා අපිට ආදරෙයි කියලා දැනන් ඉන්න එක අපිට ලොකු සතුටක්. ඔහු පෙන්නන ආදරේ ඔහුගේ දරුවන් වන අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවා දෙවියන් හොඳම තාත්තා කියලා ඔයාට හැඟෙන්නේ ඇයි?

  • යෙහෝවා දෙවියන් ඔහුගේ ආදරේ, සැලකිල්ල අපිට පෙන්නලා තියෙන්නේ කොහොමද?

  • අපේ ආදරණීය තාත්තා අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා අපිට නිසැක ඇයි?

ගීතිකාව 108 දෙවිගේ සදාතනික ප්‍රේමය

a යෙහෝවා දෙවියන් ගැන හිතද්දී අපේ මනසට එන්නේ ඔහු අපේ නිර්මාතෘ, මුළු විශ්වයේම පාලකයා කියන දේයි. ඒත් අපිට හුඟක් ආදරේ කරන තාත්තා කෙනෙක් විදිහටත් ඔහුව දකින්න ඕනෙ තරම් හේතු තියෙනවා. ඒ හේතු ගැන මේ ලිපියේ කතා කරනවා. යෙහෝවා දෙවියන් අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා නිසැක වෙන්න අපිට පුළුවන් ඇයි කියලත් මේ ලිපියෙන් බලනවා.

b පින්තූරවල අදහස: පින්තූර හතරෙන්ම පෙන්නන්නේ තාත්තා කෙනෙක් එයාගේ දරුවාත් එක්ක ඉන්න අවස්ථාවන්. තාත්තා එයාගේ පුතා කියන දේට සවන් දෙනවා, තාත්තා එයාගේ දුවට අවශ්‍ය දේ ලබා දෙනවා, තාත්තා එයාගේ පුතාව පුහුණු කරනවා, තාත්තා පුතාව සනසනවා. පින්තූර හතරට පිටුපසින් තියෙන අතින් පෙන්නන්නේ යෙහෝවා දෙවියනුත් ඒ විදිවලින් අපිව බලාගන්නවා කියලයි.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න