ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 මැයි 20-25 පි.
  • දෙවියන් දීලා තියෙන තෑගි ඔයා අගය කරනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් දීලා තියෙන තෑගි ඔයා අගය කරනවාද?
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපි වෙනුවෙන්ම හදපු පෘථිවිය
  • අපේ පුදුමාකාර මොළය
  • බයිබලය අපිට ලැබුණ වටිනා තෑග්ගක්
  • ඔබ මොනතරම් අද්විතීයද!
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
  • ජීවමාන දෙවි ගැන හෙළි කරන නිර්මාණ
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ සොඳුරු නිවහන
    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
  • ජීවයට අත්‍යවශ්‍ය චක්‍ර
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 මැයි 20-25 පි.

පාඩම් ලිපිය 21

දෙවියන් දීලා තියෙන තෑගි ඔයා අගය කරනවාද?

“යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය. ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය.”—ගීතා. 40:5.

ගීතිකාව 5 දෙවිගේ පුදුමාකාර ක්‍රියා

මේ ලිපියෙන්a

1-2. ගීතාවලිය 40:5 අනුව යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන තෑගි මොනවාද? මේ ලිපියෙන් අපි ඒවා ගැන කතා කරන්නේ ඇයි?

යෙහෝවා දෙවියන් ත්‍යාගශීලී දෙවි කෙනෙක්. ඔහු අපිට දීලා තියෙන සමහර තෑගි ගැන ටිකක් හිතන්න. ඔහු පෘථිවිය කියන ලස්සන නිවහන නිර්මාණය කරපු නිසා අපිට ඉන්න තැනක් තියෙනවා. ඔහු පුදුමාකාර විදිහට අපේ මොළය නිර්මාණය කරලා තියෙන නිසා අපිට හිතන්න, කතා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඔහුගේ වචනය වන බයිබලය අපිට දීලා තියෙන නිසා ජීවිතේ වැදගත්ම ප්‍රශ්නවලට අපිට උත්තර හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා.—ගීතාවලිය 40:5 කියවන්න.

2 ඒ තෑගි තුන ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ තෑගි ගැන හිතන්න හිතන්න ඒවා ගැන අපිට තියෙන අගය තව වැඩි වෙයි. අගය වැඩි වෙද්දී අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න අපිට තියෙන ආසාවත් තව වැඩි වෙනවා. (එළි. 4:11) පරිණාමවාදය ඇත්තක් කියලා විශ්වාස කරන අයට නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන දේ තව හොඳින් පැහැදිලි කරලා දෙන්න මේ ලිපියේ තියෙන තොරතුරු අපිට උදව් වෙයි.

අපි වෙනුවෙන්ම හදපු පෘථිවිය

3. අනිත් හැම ග්‍රහලෝකයකටම වඩා පෘථිවිය විශේෂයි කියන්නේ ඇයි?

3 යෙහෝවා දෙවියන් අපේ පෘථිවිය නිර්මාණය කරලා තියෙන විදිහ ගැන හිතද්දී ඔහු මොන තරම් ප්‍රඥාවන්තද කියලා පේනවා. (රෝම 1:20; හෙබ්‍රෙ. 3:4) සූර්යයා වටා ගමන් කරන තවත් ග්‍රහලෝක තිබුණත් ඒ හැම එකකටම වඩා පෘථිවිය විශේෂයි. මොකද මිනිසුන්ගේ පැවැත්මට අවශ්‍ය හැම දේම තියෙන්නේ පෘථිවියේ විතරයි.

4. පෘථිවිය නිර්මාණය කරලා තියෙන විදිහෙන් දෙවියන් ප්‍රඥාවන්තයි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? උදාහරණයක් කියන්න.

4 ඉමක් කොනක් පේන්නේ නැති මහා සාගරේ තනි වෙලා තියෙන නැවක් ගැන හිතන්න. ඒ නැවේ ඉන්න අයට ඕනෙ කරන ඔක්සිජන්, කෑම, වතුර එයාලටම නිපදවන්න වෙනවා. අපද්‍රව්‍ය මුහුදට බැහැර කරන්නත් බැහැ. එහෙම වුණොත් එයාලට ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ඒ නැවේ ඉන්න මිනිසුන් ඉක්මනින්ම මිය යයි. දැන් හිතන්න, ජීවීන් බිලියන ගාණක් ඉන්න මේ පෘථිවිය ගැන. ඒ හැමෝටම ඕනෙ කරන ඔක්සිජන්, කෑම, වතුර පෘථිවියම නිපදවනවා. ඒවා කවදාවත් ඉවර වෙන්නේ නැහැ. පෘථිවියේ තියෙන අපද්‍රව්‍ය අභ්‍යවකාශයට ගිහින් අතහරින්න ඕනෙත් නැහැ. ඒක එහෙමයි කියලා පෘථිවියේ තියෙන අලංකාරය නැති වෙන්නේවත් ඒක ජීවත් වෙන්න බැරි තත්වයට පත් වෙන්නේවත් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? ඒකට හේතුව යෙහෝවා දෙවියන් පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ පෘථිවියේ තියෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව ඇතුව නිසයි. දැන් අපි යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන ඒ වගේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලි දෙකක් ගැන බලමු. ඒ ඔක්සිජන් චක්‍රය සහ ජල චක්‍රය.

5. ඔක්සිජන් චක්‍රයෙන් වෙන්නේ මොකක්ද? ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද?

5 ඔක්සිජන් කියන්නේ මිනිසුන්ට සහ සතුන්ට ජීවිතේ පවත්වගෙන යන්න අත්‍යවශ්‍යම වායුවක්. ගණන් බලලා තියෙන විදිහට එක අවුරුද්දකදී විතරක් ජීවීන් ඔක්සිජන් ටොන් බිලියන 100ක් ආශ්වාස කරනවා. ඒ ජීවීන්ම කාබන් ඩයොක්සයිඩ් කියන වායුව අපද්‍රව්‍යයක් විදිහට පිට කරනවා. ඒ දේ නිතරම වුණත් ඔක්සිජන් කවදාවත් ඉවර වෙන්නේවත් කාබන් ඩයොක්සයිඩ් කියන අපද්‍රව්‍යයෙන් වාතය පිරෙන්නේවත් නැහැ. එහෙම වෙන්නේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරන්න හැකියාව තියෙන පුංචිම ඇල්ගී වර්ග වගේම විවිධ ප්‍රමාණයෙන් යුත් ශාක යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන නිසයි. ඔක්සිජන් චක්‍රයෙන් අපිට හුස්ම ගන්න අවශ්‍ය වාතය නිපදවන නිසා ක්‍රියා 17:24, 25 සඳහන් මේ දේට අපිට එකඟ වෙන්න පුළුවන්. එතන කියන්නේ ‘සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් දෙන්නේ දෙවියන්’ කියලා.

6. ජල චක්‍රයෙන් වෙන්නේ මොකක්ද? ඒකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද? (“ජල චක්‍රය යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්” කියන කොටුවත් බලන්න.)

6 උෂ්ණත්වයට අනුව ජලයට පුළුවන් ඝන, ද්‍රව සහ වායුවක් බවට පත් වෙන්න. පෘථිවිය සූර්යයාට තව ටිකක් ළඟින් පිහිටලා තිබුණා නම් පෘථිවියේ තියෙන ජලය ඔක්කොම වාෂ්ප වෙයි. එතකොට කිසිම ජීවියෙක්ට ඉන්න බැරි තරම් රස්නයක් පෘථිවියේ තියෙයි. අනිත් අතට පෘථිවිය සූර්යයාගෙන් ටිකක් හරි ඈතට වෙන්න පිහිටලා තිබුණා නම් පෘථිවියේ තියෙන ජලය මිදෙයි. එතකොට පෘථිවිය හරියට අයිස් කුට්ටියක් වගේ වෙයි. යෙහෝවා දෙවියන් පෘථිවිය හරිම තැන තිබ්බ නිසා ජීවීන්ට අවශ්‍ය ජලය ජල චක්‍රයක් මාර්ගයෙන් සපයන්න පෘථිවියට පුළුවන්කම තියෙනවා. සූර්ය තාපය මගින් පොළොවේ තියෙන ජලය වායුගෝලයට ඇදගෙන ඒවා ඝනීභවනය වෙලා වලාකුළු හැදෙනවා. මුළු පොළොවෙම තියෙන ගංගා, ඇළදොළවල වතුර ප්‍රමාණය එකතු කළොත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වතුර හැම අවුරුද්දකම වාෂ්ප වෙනවා. ඉහළට ඇදගත්ත ඒ වතුර දවස් දහයකට විතර පස්සේ වැස්ස නැත්නම් හිම විදිහට ආයෙත් පොළොවට වැටෙනවා. වැටෙන ඒ වතුර මුහුදට, ගංගා, ඇළදොළවට එකතු වෙනවා. ජල චක්‍රය ඔය විදිහට දිගටම ක්‍රියාත්මක වෙනවා. පොළොවට අවශ්‍ය ජලය හැමදාටම ලබා දෙන්නයි යෙහෝවා දෙවියන් ජල චක්‍රය නිර්මාණය කළේ. ඒකෙන් ඔහුට මොන තරම් ප්‍රඥාවක්, බලයක් තියෙනවාද කියලා ඔප්පු වෙනවා.—යෝබ් 36:27, 28; දේශ. 1:7.

ජල චක්‍රය යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්

ජල චක්‍රය. 1. සූර්ය තාපය මගින් පොළොවේ තියෙන ජලය වායුගෝලයට ඇදගෙන ඒවා ඝනීභවනය වෙලා වලාකුළු හැදෙනවා. 2. ඉහළට ඇදගත්ත ඒ වතුර වැස්ස විදිහට ආයෙත් පොළොවට වැටෙනවා. 3. ඒ වතුර ආයෙත් මුහුදට එකතු වෙනවා.
  • වහිද්දී ගොවියෙක් අහස දිහා බලාගෙන ඉන්නවා.

    එළවළු, පලතුරු සහ මල්

    වැස්ස නිසා ගස් වැල් සරුවට වැඩිලා කෑමට පලදාවත් නෙත් පිනවන මලුත් හටගන්නවා

  • ඡායාරූප ශිල්පියෙක් දිය ඇලිවල, කඳුවල පින්තූර ගන්නවා.

    සුන්දරත්වය සහ සතුට

    ඇළදොළ, ගංගා, දිය ඇලි නිසා පරිසරයේ සුන්දරත්වය වැඩි වෙනවා. ඒ වගේම ඒවා දකිද්දී අපිට සතුටක් දැනෙනවා

  • කෙනෙක් මුහුදු වතුරෙන් ලුණු රැස් කරනවා.

    වෙනත් ප්‍රයෝජන

    ජල චක්‍රයෙන් තවත් ප්‍රයෝජන තියෙනවා. උදාහරණෙකට මුහුදු වතුර වාෂ්ප වුණාම ඒකෙන් ලුණු හැදෙනවා

  • කාන්තාවක් වතුරු වීදුරුවක් බොමින්.

    එදිනෙදා වැඩවලට

    අපි වතුර බොනවා වගේම තේ, කෝපි සහ වෙනත් බීම ජාති හදන්නත් වතුර පාවිච්චි කරනවා. උයන්න, පිරිසිදු කරන්න සහ නාන්නත් වතුර ඕනෙමයි

7. ගීතාවලිය 115:16 කතා කරලා තියෙන තෑග්ග ගැන අපිට තියෙන අගය තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

7 පෘථිවිය ගැනත් ඒකේ තියෙන හැම යහපත් දෙයක් ගැනත් අපිට තියෙන අගය තව වැඩි කරගන්න පුළුවන් කොහොමද? (ගීතාවලිය 115:16 කියවන්න.) යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන හැම දෙයක් ගැනම හොඳට හිතන එක ඒක කරන්න පුළුවන් එක විදිහක්. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් අපිට දෙන යහපත් දේවලට හැම දවසකම ඔහුට ස්තුති කරන්න අපි පෙලඹෙයි. අපි ජීවත් වෙන ප්‍රදේශය පිරිසිදුව, ලස්සනට තියාගන්න එකෙනුත් පෘථිවිය කියන තෑග්ග අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන්.

අපේ පුදුමාකාර මොළය

8. අපේ මොළය හදලා තියෙන්නේ හරිම පුදුමාකාර විදිහට කියලා කියන්නේ ඇයි?

8 මිනිසුන්ගේ මොළය නිර්මාණය කරලා තියෙන්නේ හරිම පුදුමාකාර විදිහට. දරුවෙක් එයාගේ අම්මාගේ කුසේ ඉද්දී එයාගේ මොළේ වර්ධනය වෙන්නේ සැලැස්මකට අනුව. හැම මිනිත්තුවක් ගාණේ අලුත් සෛල දහස් ගාණක් හැදෙනවා. පර්යේෂකයන් ගණන් බලලා තියෙන විදිහට කි.ග්‍රෑ. 1.5ක් විතර බර අපේ මොළේ නියුරෝන විදිහට හඳුන්වන සෛල බිලියන සීයක් විතර තියෙනවා. අපේ මොළේට තියෙන පුදුමාකාර හැකියාවන්වලින් කීපයක් ගැන දැන් බලමු.

9. කතා කරන්න පුළුවන් හැකියාව දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා ඔයාට ස්ථිර ඇයි?

9 කතා කරන්න අපිට තියෙන හැකියාව හරිම පුදුමාකාරයි. අපි හිතුවේ නැති වුණාට අපි කතා කරද්දී ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි එක වචනයක් කියද්දී අපේ තොලේ, දිවේ, හක්කේ, උගුරේ සහ පපුවේ තියෙන මාංස පේශි 100ක් විතර ක්‍රියාත්මක වෙනවා. ඒ හැම එකක්ම පාලනය කරන්නේ මොළෙන්. වචන හරියට උච්චාරණය කරන්න නම් ඒ හැම මාංස පේශියක්ම නිසි අනුපිළිවෙළකට වැඩ කරන්න ඕනේ. කතා කිරීමේ හැකියාව ගැන 2019 පළ කරපු වාර්තාවක පෙන්නලා තියෙනවා අලුත උපන් දරුවෙකුට තනි තනි වචන හඳුනගන්න පුළුවන් කියලා. පර්යේෂකයන් විශ්වාස කරනවා අපි ඉපදෙන්නේ භාෂාවන් අඳුරගෙන ඒවා ඉගෙනගැනීමේ හැකියාව ඇතුව කියලා. කලින් සඳහන් කරපු වාර්තාවෙන් ඒක ඇත්තක් කියලා ඔප්පු වෙනවා. කතා කරන්න අපිට තියෙන හැකියාව ඇත්තෙන්ම දෙවියන්ගෙන් අපිට ලැබුණ තෑග්ගක්.—නික්. 4:11.

10. දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන තෑග්ගක් වන කතා කිරීමේ හැකියාව අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

10 කතා කිරීමේ හැකියාව කියන තෑග්ග අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් එක විදිහක් තමයි නිර්මාතෘ කෙනෙක් ගැන අපිට තියෙන විශ්වාසය අනිත් අයට කියන එක. විශේෂයෙන්ම පරිණාමවාදය පිළිගන්න අයට. (ගීතා. 9:1; 1 පේතෘ. 3:15) පරිණාමවාදය පිළිගන්න අය විශ්වාස කරන්නේ පෘථිවියත් ඒකේ ඉන්න හැම ජීවියෙක්මත් ඉබේ ඇති වුණා කියලයි. බයිබලය සහ මේ ලිපියේ තියෙන සමහර කරුණු පාවිච්චි කරලා අපිට පුළුවන් අහසෙත් පොළොවෙත් තියෙන හැම දේම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් කියලා අපිට ස්ථිර ඇයි කියන දේ අපිට සවන් දෙන්න කැමති අයට පැහැදිලි කරලා දෙන්න.—ගීතා. 102:25; යෙසා. 40:25, 26.

11. අපේ මොළේ හරිම පුදුමාකාරයි කියන්න එක හේතුවක් මොකක්ද?

11 අපිට තියෙන මතක ශක්තිය හරිම පුදුමාකාරයි. විශාල පොත් ලක්ෂ 200ක තියෙන තොරතුරු මතක තියාගැනීමේ හැකියාව මිනිස් මොළේට තියෙනවා කියලා කලින් හොයාගෙන තිබුණා. ඒත් දැන් හොයාගෙන තියෙනවා අපිට මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි කියලා. මතක ශක්තිය නිසා අපිට කරන්න පුළුවන් විශේෂ දේ මොකක්ද?

12. සතුන්ට කරන්න බැරි මොන විශේෂ දේද අපිට කරන්න පුළුවන්?

12 අතීතයේ වුණ දේවල් මතක් කරලා ඒවායින් ජීවිතේට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්කම තියෙන්නේ පොළොවේ ඉන්න ජීවීන් අතරින් මිනිසුන්ට විතරයි. ඒ හැකියාව අපිට තියෙන නිසා කලින් අපි හිතපු විදිහ, ජීවත් වුණ විදිහ වෙනස් කරගෙන අපේ ජීවිතේ තව යහපත් අතට හරවගන්න අපිට පුළුවන්. (1 කොරි. 6:9-11; කොලො. 3:9, 10) ඒ හැකියාව නිසයි හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න පුළුවන් විදිහට අපේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න අපිට පුළුවන්කම තියෙන්නේ. (හෙබ්‍රෙ. 5:14) අනිත් අයට ආදරේ, අනුකම්පාව, දයාව පෙන්නන්න වගේම යෙහෝවා දෙවියන් වගේ යුක්තිසහගතව වැඩ කරන්න අපිට පුළුවන් වෙන්නෙත් ඒ හැකියාව අපිට තියෙන නිසයි.

13. ගීතාවලිය 77:11, 12 අනුව අපිට ලැබිලා තියෙන මතක තියාගැනීමේ හැකියාව කියන තෑග්ග අපි පාවිච්චි කරන්න ඕනෙ කොහොමද?

13 මතක තියාගන්න අපිට තියෙන හැකියාව කියන තෑග්ග අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් එක විදිහක් තමයි යෙහෝවා දෙවියන් අපිට උදව් කරපු, අපිව සනසවපු අවස්ථාවන් ගැන අමතක නොකර ඉන්න එක. අනාගතේදීත් ඔහු අපිට උදව් කරයි කියන විශ්වාසයෙන් ඉන්න ඒක අපිට උදව් වෙනවා. (ගීතාවලිය 77:11, 12 කියවන්න; ගීතා. 78:4, 7) ඒ හැකියාව අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් තව විදිහක් තමයි අනිත් අය අපි වෙනුවෙන් කරන හොඳ දේවල් මතක තියාගෙන ඒ ගැන ස්තුතිවන්ත වෙන එක. පර්යේෂකයන් හොයාගෙන තියෙනවා ස්තුතිවන්ත වෙන අය ඉන්නේ සතුටින් කියලා. හැම පුංචි දෙයක්ම මතක තියාගැනීමේ හැකියාව යෙහෝවා දෙවියන්ට තිබුණත් ඔහු සමහර දේවල් අමතක කරලා දාන්න තීරණය කරනවා. උදාහරණෙකට අපි පසුතැවිලි වෙනවා නම් අපි කරපු වැරදිවලට සමාව දීලා අපේ වැරදි ඔහු අමතක කරලා දානවා. (ගීතා. 25:7; 130:3, 4) යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්. අනිත් අය අතින් අපේ හිත රිදෙන දෙයක් වුණත් අපි එයාලට සමාව දීලා ඒක අමතක කරලා දායි කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා.—මතෙ. 6:14; ලූක් 17:3, 4.

1. සහෝදරියක් හින්දි භාෂාව ඉගෙනගන්නවා. 2. ඒ සහෝදරිය “ප්‍රීතිමත් පණිවිඩයක්” සඟරාව පාවිච්චි කරලා පොළේදී ඉන්දියානු ජාතික කාන්තාවකට සාක්ෂි දරනවා.

මොළය කියන තෑග්ග යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙන විදිහට පාවිච්චි කරලා අපි ඒක අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් (14 ඡේදය බලන්න)b

14. මොළය කියන පුදුමාකාර තෑග්ග අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

14 මොළය කියන පුදුමාකාර තෑග්ග අපිට අගය කරන්න පුළුවන් විදිහක් තමයි ඒක දුන්න කෙනාව ගෞරවයට පත් වෙන විදිහට ඒක පාවිච්චි කරන එක. සමහරු ඒක පාවිච්චි කරන්නේ ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගන්න. ඒ කියන්නේ එයාලට ඕනෙ ඕනෙ විදිහට හරි දේ වැරදි දේ ගැන ප්‍රමිති පිහිටුවන්න. ඒත් අපිව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් නිසා අපි හදාගන්න ඕනෙම ප්‍රමිතියකට වඩා ඔහු දීලා තියෙන ප්‍රමිති අනිවාර්යයෙන්ම උසස්. (රෝම 12:1, 2) අපි දෙවියන්ගේ ප්‍රමිතිවලට කීකරු වෙද්දී සමාදානය අද්දකින්න පුළුවන්. (යෙසා. 48:17, 18) අපේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා දැනගන්නත් අපිට පුළුවන්. ඒ තමයි අපේ නිර්මාතෘ සහ තාත්තා වන යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන එක. ඔහුගේ හිත සතුටු වෙන විදිහට ජීවත් වෙන එක.—හිතෝ. 27:11.

බයිබලය අපිට ලැබුණ වටිනා තෑග්ගක්

15. යෙහෝවා දෙවියන් බයිබලය කියන තෑග්ග දුන්නේ මිනිසුන්ට තියෙන ආදරේ නිසයි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

15 බයිබලය දෙවියන්ගෙන් අපිට ලැබුණ වටිනා තෑග්ගක්. ස්වර්ගයේ ඉන්න තාත්තා අපිට ආදරේ නිසයි මිනිසුන්ට මඟ පෙන්නුවේ බයිබලය ලියන්න. අපේ ආරම්භය මොකක්ද? ජීවිතේ අරමුණ මොකක්ද? අනාගතයේදී මොනවාද වෙන්නේ වගේ ජීවිතේ වැදගත්ම ප්‍රශ්නවලට උත්තර අපිට බයිබලයෙන් හොයාගන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ට ඕනෙ හැමෝම ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්නවා දකින්නයි. ඒ නිසයි ඔහු බයිබලය හුඟක් භාෂාවලට පරිවර්තනය කරන්න මිනිසුන්ව පොලඹවලා තියෙන්නේ. අද වෙද්දී සම්පූර්ණ බයිබලය නැත්නම් ඒකෙන් කොටසක් භාෂා 3,000කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්. වැඩිම භාෂා ගාණකට පරිවර්තනය කරලා තියෙන, බෙදාහැරලා තියෙන පොත බයිබලයයි. අද ලෝකේ ඉන්න වැඩිදෙනෙක්ට තමන්ගෙම භාෂාවෙන් බයිබලය කියවන්න පුළුවන්කම තියෙනවා.—“බයිබලය අප්‍රිකානු භාෂාවලටත්” කියන කොටුව බලන්න.

බයිබලය අප්‍රිකානු භාෂාවලටත්

1800 ගණන් වෙද්දී සම්පූර්ණ බයිබලය හෝ ඒකේ කොටසක් මුද්‍රණය කරලා තිබුණේ භාෂා 70කින් විතරයි. ඒත් අප්‍රිකාවේ ඒ භාෂා කතා කළේ සුළු පිරිසක් විතරයි. ඒ කාලේ අප්‍රිකාවේ බන්ටු කියන භාෂා ලියන්න හෝඩියක් තිබුණේ නැහැ. එංගලන්ත ජාතිකයෙක් වුණ විලියම් බොයිස් අප්‍රිකාවට ඇවිත් ලියන්න හෝඩියක් තිබුණේ නැති භාෂා කතා කරපු අයත් එක්ක ජීවත් වුණේ ඔය කාලේදී. බොයිස් ක්සෝසා භාෂාවට හෝඩියක් හදලා තවත් අයත් එක්ක එකතු වෙලා ලූක්ගේ සුවිශේෂය පරිවර්තනය කළා. ඒ පොත 1833දී ප්‍රකාශයට පත් කළා. ‘නව ලොව පරිවර්තනයේ’ දෙවියන්ගේ නම තියෙන හැම තැනකම ඒ පොතෙත් දෙවියන්ගේ නම සඳහන් වෙලා තියෙනවා. බොයිස් ක්සෝසා භාෂාව ඇතුළුව අනිත් බන්ටු භාෂාවල තිබුණ සංකීර්ණ ව්‍යාකරණ රීති තේරුම් අරන් ඒවා ලේඛනගත කළා. ඒවා උදව් වුණා වෙනත් අප්‍රිකානු භාෂා ගොඩකට බයිබලය පරිවර්තනය කරන්න. අද වෙද්දී සම්පූර්ණ බයිබලය හෝ ඒකේ කොටසක් අප්‍රිකානු භාෂා 1,000කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වෙන්නේ සියලුම ජාතීන්ට බයිබලය කියන වටිනා තෑග්ග ලබා දෙන්න දෙවියන් කැමතියි කියන එකයි.—ක්‍රියා 10:35.

සහෝදරියන් සහ සහෝදරයෙක් ක්සෝසා භාෂාවෙන් මුදාහැරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ අතේ තියාගෙන ඉන්නවා.

2019දී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ක්සෝසා භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන් හෝ ඒකේ කොටසක් දැන් භාෂා 180කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්

16. මතෙව් 28:19, 20 සහ ඡේදයේ තියෙන තොරතුරුවලට අනුව බයිබලය අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

16 හැම දවසකම බයිබලය කියවලා, ඒ ගැන හොඳට හිතලා, අපි ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගෙන බයිබලය කියන තෑග්ග අපි අගය කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්. බයිබලය අපිට දුන්න දෙවියන්ව අගය කරන්න පුළුවන් තව විදිහක් තමයි ඒකේ තියෙන පණිවිඩය ගැන පුළුවන් තරම් දෙනෙක්ට කියන එක.—ගීතා. 1:1-3; මතෙ. 24:14; මතෙව් 28:19, 20 කියවන්න.

17. අපි මේ ලිපියෙන් බැලුවේ අපිට ලැබුණ මොන තෑගි ගැනද? අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

17 යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන තෑගි තුනක් ගැන අපි මේ ලිපියෙන් බැලුවා. ඒ තමයි අපේ නිවහන වන පෘථිවිය, පුදුමාකාර විදිහට නිර්මාණය කරලා තියෙන අපේ මොළය සහ දේවවචනය වන බයිබලය. අපේ ඇස් දෙකට පෙන්නේ නැති තෑගිත් දෙවියන් අපිට දීලා තියෙනවා. ඒ වටිනා තෑගි ගැන අපි ඊළඟ ලිපියෙන් බලනවා.

මේ තෑගි අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

  • පෘථිවිය

  • අපේ මොළය

  • බයිබලය

ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

a යෙහෝවා දෙවියන් ගැනත් ඔහු අපිට දීලා තියෙන තෑගි තුනක් ගැනත් අපිට තියෙන අගය වැඩි කරගන්න මේ ලිපිය අපිට උදව් වෙනවා. දෙවි කෙනෙක් ඉන්නවාද කියලා සැක කරන අයට කාරණා පැහැදිලි කරලා දෙන්නත් මේ ලිපිය උදව් වෙයි.

b පින්තූරයේ අදහස: වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයට බයිබලයේ තියෙන සත්‍යයන් කියලා දෙන්න නිසා සහෝදරියක් අලුත් භාෂාවක් ඉගෙනගන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න