ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 ජූනි 18-23 පි.
  • ‘මාගේ බැටළුවන්ව මා සොයා යන්නෙමි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘මාගේ බැටළුවන්ව මා සොයා යන්නෙමි’
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමහරු සේවය කරන එක නතර කරන්නේ ඇයි?
  • යෙහෝවා දෙවියන් ඔහුගේ බැටළුවන්ට ආදරෙයි
  • යෙහෝවා දෙවියන් ඔහුගේ බැටළුවන්ව සොයා යනවා
  • නැති වුණ බැටළුවන් ගැන අපිට හැඟෙන්න ඕනේ කෙහොමද?
  • දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපිට සහනය ලැබෙන්නේ කාගෙන්ද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි”
    ආයෙත් එන්න
  • වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 ජූනි 18-23 පි.

පාඩම් ලිපිය 25

‘මාගේ බැටළුවන්ව මා සොයා යන්නෙමි’

‘මම මාගේ බැටළුවන්ව සොයා ගොස් මා වෙතට ගෙනැවිත් හොඳින් රැකබලා ගන්නෙමි.’—එස. 34:11.

ගීතිකාව 105 “දෙවි ප්‍රේමයයි”

මේ ලිපියෙන්a

1. යෙහෝවා දෙවියන් තමන්ව කිරි දෙන මවකට සමාන කළේ ඇයි?

“මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද” කියලා යෙසායාගේ කාලේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගෙන් යෙහෝවා දෙවියන් ඇහුවා. “මවක තම දරුවාව අමතක කළත් මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි” කියලා දෙවියන් ඒ අයට කිව්වා. (යෙසා. 49:15) දෙවියන් හැම තිස්සෙම තමන්ව අම්මා කෙනෙක්ට සමාන කරන්නේ නැහැ. ඒත් මේ අවස්ථාවේ ඔහු එහෙම කළා. මොකද ඔහුට ඕනෙ වුණා ඔහුගේ සෙනඟ ගැන ඔහුට තියෙන ආදරේ, බැඳීම අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා ගැන දැනෙන ආදරේට, බැඳීමට සමානයි කියලා පෙන්නන්න. සහෝදරි ජැස්මින් මෙහෙම කියනවා. “අම්මා කෙනෙක් කිරි දීලා තමන්ගේ දරුවාව බලාගද්දී ඒ දෙන්නා අතරේ කිට්ටු බැඳීමක් ඇති වෙනවා. ඒක ජීවිත කාලෙටම තියෙනවා.” හුඟක් අම්මලාගේ අද්දැකීම ඒකයි.

2. එක දරුවෙක් හරි තමන්ගෙන් ඈත් වෙද්දී යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

2 තමන්ගේ එක දරුවෙක් හරි රැස්වීම් එන එක, සේවයේ යන එක නතර කරද්දී යෙහෝවා දෙවියන් ඒක දන්නවා. ඒ ගැන ඔහුට ලොකු දුකක් දැනෙනවා. එහෙමනම් හැම අවුරුද්දකම ඔහුගේ සේවකයන් දහස් ගාණක් අක්‍රියාශීලීb වෙද්දී ඔහුට කොයි තරම් වේදනාවක් දැනෙනවා ඇද්ද?

3. යෙහෝවා දෙවියන් කැමති මොකක් දකින්නද?

3 අක්‍රියාශීලී වෙලා ඉන්න සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ආයෙත් යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න පටන්ගන්නවා. අක්‍රියාශීලී හැම කෙනෙක්ම ආයෙත් සභාවට එනවා දකින්න දෙවියන් කැමතියි. (1 පේතෘ. 2:25) එයාලව ආදරෙන් පිළිගන්න අපි ඉන්නෙත් ආසාවෙන්. ඒ වගේ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උත්තර දැනගන්න කලින් අපි බලමු සමහරු රැස්වීම් එන එක, සේවයේ යන එක නතර කරන්නේ ඇයි කියලා.

සමහරු සේවය කරන එක නතර කරන්නේ ඇයි?

4. රස්සාව නිසා සමහරුන්ට වෙන්නේ මොකක්ද?

4 සමහරු රස්සාවට එයාලගේ ජීවිතේ මුල් තැන දෙනවා. ආසියාවේ ජීවත් වෙන සහෝදර හාන්c මෙහෙම කිව්වා. “සල්ලි බාගේ හොඳට තියෙනවා නම් යෙහෝවා දෙවියන්ට හොඳට සේවය කරන්න පුළුවන් කියලා මං හිතුවා. ඒ නිසා මං ගොඩක් මහන්සි වෙලා වැඩි පැය ගාණක් ජොබ් එක කළා. මට රැස්වීම් ටිකෙන් ටික අතපසු වුණා. අන්තිමේදී රැස්වීම් යන එක එහෙම්මම නැවතුණා. සාතන් මේ සමාජය හදලා තියෙන්නේ මිනිසුන්ව දෙවියන්ගෙන් ටිකෙන් ටික ඈත් කරන විදිහට.”

5. එක පිට එක ආපු ප්‍රශ්න සහෝදරියකට බලපෑවේ කොහොමද?

5 සමහර සහෝදර සහෝදරියන් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන නිසා එයාලා අධෛර්යය වෙනවා. බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන සහෝදරි ඈන් දරුවෝ පස්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මගේ එක දරුවෙක් උපතින්ම ආබාධිතයි. මගේ එක දුවෙක්ව සභාවෙන් අයින් කළා. පුතෙක්ට මානසික රෝගයක් හැදුණා. ඒ ප්‍රශ්නත් එක්ක මං මානසිකව කොච්චර වැටුණාද කියනවා නම් රැස්වීම්, සේවේ යන එක මං නතර කළා. අන්තිමේදී මං අක්‍රියාශීලී වුණා.” සහෝදරි ඈන්, එයාගේ පවුලේ අය සහ ඒ වගේ අභියෝග අද්දකින සහෝදර සහෝදරියන් ගැන අපිට ලොකු දුකක් දැනෙනවා.

6. කොලොස්සි 3:13 සඳහන් දේ අදාළ කරගන්නේ නැති වෙද්දී කෙනෙක් යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙන්න පුළුවන් කොහොමද?

6 කොලොස්සි 3:13 කියවන්න. සභාවේ කෙනෙක් කියපු කරපු දෙයක් නිසා සමහරුන්ගේ හිත රිදිලා තියෙනවා. “අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු” අපිට තියෙන්න පුළුවන් කියලා පාවුල් කිව්වා. සමහරවිට කවුරු හරි අපිට අසාධාරණ විදිහට සලකලා ඇති. ඒ වගේ අවස්ථාවකදී අපිට ලොකු කේන්තියක් දැනෙන්න පුළුවන්. අපි පරෙස්සම් වුණේ නැත්නම් කේන්තිය, අමනාපය නිසා දෙවියන්ගේ සෙනඟගෙන් ටිකෙන් ටික අපි ඈත් වෙයි. දකුණු ඇමරිකාවේ ඉන්න සහෝදර පබ්ලෝගේ අද්දැකීම බලන්න. එයාට කරපු බොරු චෝදනාවක් නිසා සභාවේ එයා කරකර හිටපු වගකීම් එයාට නැති වුණා. එයා මෙහෙම කියනවා. “මට ගොඩක් කේන්ති ගියා. ඒ නිසා මං සභාවෙන් ටිකෙන් ටික ඈත් වුණා.”

7. හිත වධ දෙද්දී ඒක කෙනෙක්ට බලපාන්න පුළුවන් කොහොමද?

7 කෙනෙක් අතින් බරපතළ පාපයක් වෙලා තියෙනවා නම් කාලයක් යන කල් එයාගේ හිත එයාට වධ දෙන්න පුළුවන්. දෙවියන්ගේ ආදරේ ලබන්න එයා වටින්නේ නැහැ කියලා එයාට හැඟෙන්න පුළුවන්. ඒ වරද ගැන එයා පසුතැවිලා එයාට සමාව ලැබිලා තිබුණත් දෙවියන්ගේ සෙනඟ අතරේ ඉන්න තමන් වටින්නේ නැහැ කියලා එයාට හිතෙයි. සහෝදර ෆ්‍රැන්සිස්කෝට හැඟුණෙත් එහෙමයි. එයා මෙහෙම කියනවා. “අනාචාරයේ යෙදුණ වරදට මට හික්මවීමක් ලැබුණා. මුලදී නම් මං රැස්වීම් ගියා. ඒත් මං වගේ කෙනෙක් කොහොමද දෙවියන්ගේ සෙනඟ අතරේ ඉන්නේ කියලා මට හිතුණා. මගේ හිත වධ දුන්නා. මගේ හිත කිව්වේම දෙවියන් මට සමාව දීලා නැහැ කියලා. කාලයක් යද්දී සේවේ, රැස්වීම් යන එක මං නතර කළා.” මේ ඡේදවල කතා කරපු සහෝදර සහෝදරියන් මුහුණ දුන්නා වගේ අභියෝගවලට මුහුණ දෙන අය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? එයාලගේ දුක ඔයාට දැනෙනවාද? එයාලා ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් ඔහුගේ බැටළුවන්ට ආදරෙයි

රැළ එක්ක ඉන්න එඬේරෙක් නැති වුණ බැටළු පැටියෙක්ව හොයනවා. පඳුරක පැටලිලි ඉන්න බැටළු පැටියාව එඬේරාට පේන්නේ නැහැ. ඌගේ කකුලත් තුවාල වෙලා.

ඊශ්‍රායෙලයේ හිටපු එඬේරෙක් නැති වුණ බැටළුවෙක් ගැන ගොඩක් සැලකිලිමත් වුණා (8 සහ 9 ඡේද බලන්න)e

8. තමන්ට සේවය කරපු අයව යෙහෝවා දෙවියන්ට අමතක වෙනවාද? පැහැදිලි කරන්න.

8 කාලයක් දෙවියන්ට සේවය කරපු ඒත් දැන් දෙවියන්ගේ සෙනඟගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න අයව යෙහෝවා දෙවියන්ට අමතක වෙන්නේ නැහැ. එයාලා කරපු සේවයත් දෙවියන් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා පෙන්නන්න යෙසායා ලස්සන උදාහරණයක් පාවිච්චි කරනවා. එයා මෙහෙම කියනවා. “එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය. ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන තම තුරුලට ගන්නේය.” (යෙසා. 40:11) එක බැටළුවෙක් හරි රැළෙන් ඈතට යද්දී ශ්‍රේෂ්ඨ එඬේරාට කොහොමද හැඟෙන්නේ? යේසුස් ඔහුගේ ගෝලයන්ට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “ඔබ සිතන්නේ කුමක්ද? යම් මිනිසෙකුට බැටළුවන් සියදෙනෙකු සිටිද්දී උන්ගෙන් එකෙකු මංමුළා වී ගියොත් ඔහු අනික් අනූනවදෙනාට කඳුවල ඉන්න හැර මංමුළා වී ගිය බැටළුවා සොයා යන්නේ නැද්ද? ඌව සොයාගත්තොත් අනික් අනූනවදෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඔහු සොයාගත් ඒ එක බැටළුවා ගැන ප්‍රීති වන බව මම ඔබට සහතිකවම කියනවා.”—මතෙ. 18:12, 13.

නැති වුණ බැටළු පැටියාව එඬේරා වඩාගෙන එනවා.‏ තුවාල වුණ කකුලට බෙහෙත් බැඳලා.‏ රැළේ අනිත් බැටළුවනුත් එඬේරා ළඟින්ම ඉන්නවා.‏

9. අතීතයේ හිටපු හොඳ එඬේරුන් තමන්ගේ බැටළුවන්ට සැලකුවේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

9 යෙහෝවා දෙවියන්ව එඬේරෙක්ට සමාන කරන්න පුළුවන් ඇයි? අතීතයේ හිටපු හොඳ එඬේරුන් තමන්ගේ රැළේ හිටපු බැටළුවන් ගැන ගොඩක් සැලකිලිමත් වුණා. උදාහරණෙකට දාවිත් එයාගේ බැටළුවන්ව ආරක්ෂා කරගන්න සිංහයෙක් සහ වලහෙක් එක්ක සටන් කළා. (1 සාමු. 17:34, 35) එක බැටළුවෙක් හරි රැළෙන් මඟහැරිලා නම් හොඳ එඬේරෙක්ට ඒක තේරෙනවා. (යොහ. 10:3, 14) ඒ වගේ එඬේරෙක් අනිත් බැටළුවන් 99දෙනාව ගාලක තියලා එහෙම නැත්නම් වෙන එඬේරෙක්ට බලාගන්න කියලා නැති වුණ එකාව හොයාගෙන යනවා. නැති වුණ බැටළුවා ගැන කතාව යේසුස් කිව්වේ මේ වැදගත් පාඩම උගන්වන්න. “කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ.”—මතෙ. 18:14.

එඬේරා බැටළු පැටියාව එයාගේ ඔඩොක්කුවේ තියාගෙන ඌගේ තුවාලෙට බෙහෙත් බඳිනවා.‏

ඊශ්‍රායෙල් දේශයේ එඬේරෙක් තමන්ගේ රැළේ හිටපු නැති වුණ බැටළුවෙක්ව හොයාගෙන ඌට ආදරෙන් සලකනවා (9 ඡේදය බලන්න)

යෙහෝවා දෙවියන් ඔහුගේ බැටළුවන්ව සොයා යනවා

10. එසකියෙල් 34:11-16 අනුව නැති වුණ බැටළුවන් වෙනුවෙන් යෙහෝවා දෙවියන් මොනවා කරනවා කියලාද පොරොන්දු වුණේ?

10 දෙවියන්ගේ රැළෙන් ඈතට ගිහින් ඉන්න බැටළුවන් ඇතුළුව අපි හැම කෙනෙක්ටම යෙහෝවා දෙවියන් ආදරෙයි. අනාගතවක්තෘ එසකියෙල් මාර්ගයෙන් දෙවියන් පොරොන්දු වුණා නැති වුණ බැටළුවන්ව ඔහු සොයාගෙන ගිහින් ඔහුත් එක්ක ආයෙත් හොඳ බැඳීමක් ඇති කරගන්න එයාලට උදව් කරනවා කියලා. නැති වුණ බැටළුවන්ව ආයෙත් තමන් ළඟට ගන්න දෙවියන් මොන වගේ පියවරද ගන්නේ කියලා කිව්වා. ඔහු ගන්න පියවර එදා හිටපු එඬේරුන් ගන්න පියවරවලට සමානයි. (එසකියෙල් 34:11-16 කියවන්න.) මුලින්ම එඬේරෙක් නැති වුණ බැටළුවාව හොයාගෙන යනවා. ඒකට කාලයක් යනවා. සෑහෙන මහන්සියක් වෙන්නත් ඕනේ. බැටළුවාව හම්බ වුණාම ඌව ආයෙත් රැළට ගේනවා. බැටළුවාට තුවාල වෙලා නම් එඬේරා ඌගේ තුවාල වෙළලා ඌව ආදරෙන් වඩාගෙන එනවා. ඌ ඉන්නේ බඩගින්නේ නම් ඌට කන්න දෙනවා. “දෙවියන්ගේ රැළ රැකබලා ගන්න” වැඩිමහල්ලනුත් සභාවෙන් ඈත් වෙලා ඉන්න අයට උදව් කරන්න ඕනෙ ඒ විදිහටමයි. (1 පේතෘ. 5:2, 3) වැඩිමහල්ලන් අක්‍රියාශීලී අයව හොයන්න ඕනේ. සභාවට ආයෙත් එන්න එයාලට උදව් කරන්න ඕනේ. දෙවියන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න එයාලට ආදරෙන් උදව් කරන්න ඕනේ.d

11. හොඳ එඬේරෙක් තේරුම්ගත්තේ මොකක්ද?

11 බැටළුවන් අතරමං වෙන්න පුළුවන් කියලා හොඳ එඬේරෙක් තේරුම්ගන්නවා. බැටළුවෙක් රැළෙන් ඈත් වෙලා ගියත් එඬේරා ඌට දඬුවම් කරන්නේ නැහැ. අතීතයේ හිටපු දෙවියන්ගේ සමහර සේවකයන් ඔහුගෙන් ටිකක් ඈත් වුණ වෙලාවලදී ඔහු එයාලට උදව් කළේ කොහොමද කියලා බලන්න.

12. යෙහෝවා දෙවියන් යෝනාට උදව් කළේ කොහොමද?

12 යෝනා දෙවියන් එයාට දීපු පැවරුම දාලා පලා ගියා. ඒත් යෙහෝවා දෙවියන් යෝනාගෙන් වැඩක් නැහැ කියලා හිතලා එයාව අත්හැරලා දැම්මේ නැහැ. හොඳ එඬේරෙක් වගේ යෙහෝවා දෙවියන් යෝනාව බේරගෙන එයාගේ පැවරුම ඉටු කරන්න ඕනෙ කරන ධෛර්යය වර්ධනය කරගන්න එයාට උදව් කළා. (යෝනා 2:7; 3:1, 2) පස්සේ ලබු වැලක් යොදාගෙන හැම මිනිස් ජීවිතයක්ම කොච්චර වටිනවාද කියන දේ තේරුම්ගන්න දෙවියන් යෝනාට උදව් කළා. (යෝනා 4:10, 11) මොකක්ද පාඩම? අක්‍රියාශීලී වෙලා ඉන්න අයට උදව් කරලා වැඩක් නැහැ කියලා හිතන්න වැඩිමහල්ලන් ඉක්මන් වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට කෙනෙක් සභාවෙන් ඈත් වුණේ මොන හේතු නිසාද කියලා තේරුම්ගන්න වැඩිමහල්ලන් උත්සාහ කරන්න ඕනේ. එහෙම කෙනෙක් ආයෙත් ආවාම වැඩිමහල්ලන් එයා ගැන දිගටම සැලකිලිමත් වෙලා එයාට ආදරෙන් උදව් කරන්න ඕනේ.

13. 73වෙනි ගීතිකාවේ ලේඛකයා එක්ක යෙහෝවා දෙවියන් වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 දුෂ්ට මිනිසුන් සාර්ථක වෙන විදිහ දැකලා 73වෙනි ගීතිකාවේ ලේඛකයා අධෛර්යය වුණා. දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන එකෙන් වැඩක් තියෙනවාද කියලා එයා ප්‍රශ්න කළා. (ගීතා. 73:12, 13, 16) ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් මොකද කළේ? දෙවියන් එයාව විනිශ්චය කරලා එයා වැඩක් නැති කෙනෙක් කියලා හිතුවේ නැහැ. මොකද එයා කියපු දේවල් දෙවියන් බයිබලේට ඇතුළත් කළා. අන්තිමේදී ගීතිකාකරු තේරුම්ගත්තා යෙහෝවා දෙවියන් එක්ක එයාට තියෙන බැඳීමට වඩා වටින දෙයක් තවත් නැහැ කියලා. (ගීතා. 73:23, 24, 26, 28) මොකක්ද පාඩම? යෙහෝවා දෙවියන්ට සේවය කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද කියලා ප්‍රශ්න කරන අය ගැන නිගමනවලට එන්න වැඩිමහල්ලන් ඉක්මන් වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට එයාලා එහෙම කියන්නේ ඇයි කියලා තේරුම්ගන්න වැඩිමහල්ලන් උත්සාහ කරන්න ඕනේ. බයිබලේ පාවිච්චි කරලා එයාලව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට පුළුවන් වෙන්නේ එතකොටයි.

14. එලියාට උදව් ඕන වුණේ ඇයි? යෙහෝවා දෙවියන් එයාට උදව් කළේ කොහොමද?

14 එලියා යෙසබෙල් රැජිනට බය වෙලා පලා ගියා. (1 රාජා. 19:1-3) යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරුන් කිසි කෙනෙක් ඉතුරු වෙලා නැහැ කියලත් දෙවියන් වෙනුවෙන් එයා කරපු සේවයෙන් කිසිම වැඩක් නැහැ කියලත් එයා හිතුවා. එලියා කොච්චර අධෛර්යය වුණාද කියනවා නම් එයා හිතුවා මැරුණා නම් ඊට වඩා හොඳයි කියලා. (1 රාජා. 19:4, 10) එලියාගෙන් වැඩක් නැහැ කියලා හිතන්න ඉක්මන් වෙනවා වෙනුවට යෙහෝවා දෙවියන් එයාට උදව් කළා එයා තනි වෙලා නැහැ කියලා තේරුම්ගන්න. දෙවියන්ගේ බලය ගැන එලියාට විශ්වාසය තියන්න පුළුවන් කියලත් එයාට කරන්න තව වැඩ තියෙනවා කියලත් දෙවියන් එලියාට තේරුම් කරලා දුන්නා. තමන්ට කනස්සල්ලක් දැනුණ දේවල් ගැන එලියා කියද්දී දෙවියන් එයාට හොඳින් ඇහුම්කන් දුන්නා. එයාට කරන්න අලුත් පැවරුම් භාර දුන්නා. (1 රාජා. 19:11-16, 18) මොකක්ද පාඩම? අපි විශේෂයෙන්ම වැඩිමහල්ලන් දෙවියන්ගේ බැටළුවන්ට සලකන්න ඕනෙ ආදරෙන්. හිතන්න, කෙනෙක් එයාගේ හිතේ තියෙන තරහක් ගැන කියනවා කියලා. එහෙම නැත්නම් කෙනෙක් කියනවා යෙහෝවා දෙවියන් එයාට කවදාවත් සමාව දෙන්නේ නැහැ කියන හැඟීම එයාට තියෙනවා කියලා. එයා මොනවා කිව්වත් වැඩිමහල්ලන් එයාට ඇහුම්කන් දෙනවා. යෙහෝවා දෙවියන්ට එයාව තාමත් වටිනවා කියන දේ තේරුම්ගන්න ඊටපස්සේ එයාලා එයාට උදව් කරනවා.

නැති වුණ බැටළුවන් ගැන අපිට හැඟෙන්න ඕනේ කෙහොමද?

15. යොහන් 6:39 අනුව තමන්ගේ තාත්තාගේ බැටළුවන් ගැන යේසුස්ට හැඟුණේ කෙහොමද?

15 දෙවියන්ගේ රැළෙන් ඈත් වුණ බැටළුවන් ගැන අපිට කොහොම හැඟෙනවා දකින්නද යෙහෝවා දෙවියන් කැමති? ඒක අපිට යේසුස්ගේ ආදර්ශයෙන් තේරුම්ගන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ට ඔහුගේ හැම බැටළුවෙක්වම හුඟක් වටිනවා කියලා යේසුස් දැනන් හිටියා. ඒ නිසා ‘ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන්ට’ ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට එන්න උදව් කරන්න යේසුස් එයාට පුළුවන් හැම දේම කළා. (මතෙ. 15:24; ලූක් 19:9, 10) යහපත් එඬේරා හැටියට යේසුස් දෙවියන්ගේ බැටළුවන්ව ආරක්ෂා කරගන්න උපරිම උත්සාහයක් දැරුවා.—යොහන් 6:39 කියවන්න.

16-17. රැළෙන් ඈතට ගිය අයට උදව් කරන එක ගැන වැඩිමහල්ලන්ට හැඟෙන්න ඕනේ කොහොමද? (“නැති වුණ බැටළුවෙක්ට කොහොම හැඟෙනවා ඇද්ද?” කියන කොටුව බලන්න.)

16 යේසුස්ව ආදර්ශයට ගන්න කියලා පාවුල් එෆීසයේ හිටපු වැඩිමහල්ලන්ට උනන්දු කළා. එයා මෙහෙම කිව්වා. ‘යම් උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න. ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න. ඔහු පැවසුවේ, “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියායි.’ (ක්‍රියා 20:17, 35) දෙවියන්ගේ සෙනඟව රැකබලා ගන්න වගකීම තියෙන්නේ වැඩිමහල්ලන්ට කියලා ඒ බයිබල් පදයෙන් පැහැදිලියි. ස්පාඤ්ඤයේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන සැල්වදෝර් මෙහෙම කියනවා. “නැති වුණු බැටළුවන් ගැන යෙහෝවා දෙවියන් කොයි තරම් සැලකිලිමත්ද කියලා හිතද්දී එයාලට උදව් කරන්න මට පුළුවන් හැම දේම කරන්න මං පෙලඹෙනවා. මොකද මං එයාලට උදව් කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා කියලා මං දන්නවා.”

17 මේ ලිපියේ කතා කරපු යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වුණ හැම කෙනෙක්ටම ආයෙත් දෙවියන් ළඟට එන්න උදව් ලැබුණා. මේ වෙනකොට දෙවියන්ගෙන් ඈත් වෙලා ඉන්න හුඟදෙනෙකුගේ ආසාවත් ආයෙත් දෙවියන් ළඟට එන එකයි. ඒ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියේ කතා කරනවා.

නැති වුණ බැටළුවෙක්ට කොහොම හැඟෙනවා ඇද්ද?

අක්‍රියාශීලී වුණ සහෝදරියක් බස් එකෙන් ගමනක් යන අතරේ පොදු සේවයේ හවුල් වෙන සාක්ෂිකරුවන් දෙන්නෙක් දිහා දුකෙන් වගේ බලනවා.‏ එක සාක්ෂිකරුවෙක් කෙනෙක් එක්ක සතුටින් කතා කරනවා.‏

(16 සහ 17 ඡේද බලන්න)f

යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වුණ හුඟදෙනෙක්ට හැඟෙන්නේ මේ අයට හැඟුණ විදිහටමයි.

කැමරූන්වල ජීවත් වෙන ෆ්ලෝරා මෙහෙම කියනවා. “මට මගේ ජීවිතේ ලොකු හිස්කමක් දැනුණා. මගේ සතුට, මනසේ සාමය නැති වෙලා ගියා. මගේ හිත දිගින් දිගටම මට වධ දුන්නා. මට ඕනෙ වුණේ ආයෙත් සහෝදර සහෝදරියන් එක්ක සතුටින් කාලය ගත කරන්න. ඊටත් වඩා යෙහෝවා දෙවියන් එක්ක මට තිබුණු යාළුකම ආයෙත් ඇති කරගන්න මට ඕනෙ වුණා.”

ස්පාඤ්ඤයේ ඉන්න සහෝදරයෙක් අක්‍රියාශීලී වෙලා හිටපු කාලේ කියපු දෙයක් බලන්න. “මට ඕනෙ ආයෙත් සභාවේ අය එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න. කරන්න ඕන දේ මං දන්නවා. ඒක කරන්නත් මට ඕනේ. ඒත් ඒක ලේසි නැහැ. මගේ සමහර පුරුදු මං වෙනස් කරගන්න ඕනේ. ලෝකේ යාළුවන්ව ආශ්‍රය කරන එක නවත්තන්න ඕනේ. යෙහෝවා දෙවියන් එක්ක මගේ බැඳීම දැන් දුර්වලයි. ඒ නිසා වැඩ ඇරිලා හෙම්බත් වෙලා ගෙදර ආවාම රැස්වීම් යන්න මගේ හිතේ ආසාවක් නැහැ. කොච්චර අමාරු වුණත් ආයෙත් දෙවියන් ළඟට යන්න මං ගන්න උත්සාහය මං අත්හරින්නේ නැහැ. මොකද මං යෙහෝවා දෙවියන්ට තාමත් ආදරෙයි. අනික මගේ නෝනාටයි, දුවලා දෙන්නාටයි දෙවියන්ට ළං වෙන්න උදව් කරන්න මට ඕනේ.”

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • සමහර සහෝදර සහෝදරියන් අක්‍රියාශීලී වෙන්නේ ඇයි?

  • රැළෙන් ඈතට ගිය බැටළුවන් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

  • අක්‍රියාශීලී අය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න

a අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු සමහරු සභාවෙන් ඈත් වෙන්නේ ඇයි? යෙහෝවා දෙවියන්ට එයාලා ගැන හැඟෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලනවා. අතීතයේ හිටපු දෙවියන්ගේ සමහර සේවකයනුත් යම් කාලෙකට දෙවියන්ගෙන් ඈත් වුණා. යෙහෝවා දෙවියන් එයාලට උදව් කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් මේ ලිපියේ අපි සාකච්ඡා කරනවා.

b පැහැදිලි කිරීමක්: ප්‍රචාරකයෙක් මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සේවය වාර්තා කරන්නේ නැත්නම් එයාව සලකන්නේ අක්‍රියාශීලී ප්‍රචාරකයෙක් හැටියටයි. ඒ වුණත් එයාලා තාමත් අපේ සහෝදර සහෝදරියන්. අපි එයාලට ආදරෙයි.

c සමහර නම් වෙනස් කර ඇත.

d වැඩිමහල්ලන්ට ඒ පියවර තුන අදාළ කරගන්න පුළුවන් විදි ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

e පින්තූරයේ අදහස: නැති වුණ බැටළුවා ගැන තිබුණ සැලකිල්ල නිසා ඊශ්‍රායෙල් දේශයේ හිටපු එඬේරෙක් ඌව හොයාගෙන ගිහින් ආයෙත් ඌව රැළට ගේනවා. අද දෙවියන්ගේ රැළ බලාගන්න අයත් කරන්නේ ඒ දේමයි.

f පින්තූරයේ අදහස: අක්‍රියාශීලී සහෝදරියක් බස් එකේ ගමනක් යන අතරේ දකිනවා සාක්ෂිකරුවන් දෙන්නෙක් සතුටින් පොදු සේවයේ හවුල් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න