ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 අගෝස්තු 8-13 පි.
  • නිහතමානීව, සීමාව තේරුම් අරන් වැඩ කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිහතමානීව, සීමාව තේරුම් අරන් වැඩ කරමු
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
  • තවත් පාඩම්
  • නිහතමානී වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන
  • තමන්ගේ සීමාව හඳුනගන්න එක වැදගත්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයාගේ සීමාව අමතක කරන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිහතමානිකම—සමාදානයට අත්වැලක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 අගෝස්තු 8-13 පි.

පාඩම් ලිපිය 32

නිහතමානීව, සීමාව තේරුම් අරන් වැඩ කරමු

“ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න.”—මීකා 6:8.

ගීතිකාව 31 දෙවි සමඟ පා නඟන්න

මේ ලිපියෙන්a

1. යෙහෝවා දෙවියන්ගේ නිහතමානිකම ගැන දාවිත් කිව්වේ මොනවාද?

යෙහෝවා දෙවියන් නිහතමානී කෙනෙක් කියලා කියන්න පුළුවන්. දාවිත් එක අවස්ථාවක මෙහෙම කිව්වා. “ඔබේ ගැලවීම නමැති පලිහ ඔබ මට දෙන්නෙහිය. ඔබ යටහත්පහත් නිසා මාව උසස් තත්වයකට ගෙනාවෙහිය.” (2 සාමු. 22:36; ගීතා. 18:35) ඒක ලියද්දී සමහරවිට දාවිත්ගේ මනසේ තියෙන්න ඇත්තේ ඊශ්‍රායෙලයේ ඊළඟ රජුව අභිෂේක කරන්න සාමුවෙල් එයාලගේ ගෙදරට ආපු සිද්ධිය. මොකද දාවිත්ගේ පවුලේ පුත්තු අට දෙනාගෙන් දාවිත් තමයි බාලයා. හැබැයි ඊළඟ රජු විදිහට යෙහෝවා දෙවියන් තෝරගත්තේ දාවිත්ව.—1 සාමු. 16:1, 10-13.

2. මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 යෙහෝවා දෙවියන් ගැන එක ගීතිකාකරුවෙක් කියපු මේ දේට දාවිතුත් එකඟ වුණාට කිසිම සැකයක් නැහැ. “ඔහු කොතරම් උසස් වුවත් තමාට පහතින් තිබෙන අහසත් පොළොවත් දෙස දෑස් යොමු කරන්නේය. අසරණ වූ තැනැත්තාව දූවිල්ලෙන් නැඟිටුවන්නේය. දිලින්දාව ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සමඟ හිඳුවන්නේය.” (ගීතා. 113:6-8) මුලින්ම අපි බලමු යෙහෝවා දෙවියන්ගේ නිහතමානිකමෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා. ඊළඟට අපි බලමු සාවුල්ගෙන්, දානියෙල්ගෙන්, යේසුස්ගෙන් නිහතමානීව වැඩ කරන එක ගැන අපිට තව මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා.

යෙහෝවා දෙවියන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3. යෙහෝවා දෙවියන් අපිව සලකන්නේ කවුරු විදිහටද? ඒකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද?

3 පාපය උරුම වෙලා තියෙන අපිව යෙහෝවා දෙවියන් සලකන විදිහෙන් ඔහු නිහතමානී කෙනෙක් කියලා ඔප්පු වෙනවා. ඔහු අපිව සලකන්නේ නිකම්ම ඔහුට නමස්කාර කරන අය විදිහට නෙමෙයි. ඔහුගේ යාළුවන් විදිහට. (ගීතා. 25:14) යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාගේ ජීවිතය පූජාවක් විදිහට අපි වෙනුවෙන් දීලා ඔහුත් එක්ක යාළුකමක් ඇති කරගන්න අවස්ථාව අපිට දුන්නා. ඔහු මොන තරම් දයාවන්ත දෙවි කෙනෙක්ද!

4. යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන්නේ මොන හැකියාවද? ඒ ඇයි?

4 යෙහෝවා දෙවියන්ගේ නිහතමානිකම පැහැදිලි වෙන තව පැත්තක් බලන්න. නිර්මාතෘ විදිහට යෙහෝවා දෙවියන්ට තිබුණා ඕනෙ නම් අපිව තීරණ ගැනීමේ හැකියාව නැති රොබෝලා විදිහට හදන්න. ඒ වෙනුවට ඔහු අපිව හැදුවේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුවයි. අපේ ජීවිතේ තීරණ ගන්න නිදහසත් ඔහු අපිට දුන්නා. යෙහෝවා දෙවියන් එක්ක බලද්දී අපි දූවිලි වගේ වුණත් අපි ගන්න තීරණ ඔහුට ගොඩක් වැදගත්. යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි ඔහුට ආදරේ නිසා, ඔහුට කීකරු වෙන එක තමයි හොඳම දේ කියලා තේරුම් අරන් තියෙන නිසා ඔහුට නමස්කාර කරන්න අපි තීරණය කරනවාට. (ද්වි. 10:12; යෙසා. 48:17, 18) යෙහෝවා දෙවියන්ගේ නිහතමානිකම අපි කොච්චර අගය කරන්න ඕනෙද!

ස්වර්ගයේ ඉන්න යේසුස් එක්ක ඔහුගේ හවුල් පාලකයන් කීපදෙනෙක් ඉන්නවා. එයාලා දේවදූතයන් විශාල පිරිසක් දිහා බලනවා. දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් එයාලගේ පැවරුම් ඉටු කරන්න පොළොව දිහාට යනවා.

ස්වර්ගයේ ඉන්න යේසුස් එක්ක ඔහුගේ හවුල් පාලකයන් කීපදෙනෙක් ඉන්නවා. එයාලා දේවදූතයන් විශාල පිරිසක් දිහා බලනවා. දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් එයාලගේ පැවරුම් ඉටු කරන්න පොළොව දිහාට යනවා. පින්තූරයේ ඉන්න හැමෝටම යෙහෝවා දෙවියන් වගකීම් භාර දීලා තියෙනවා (5 ඡේදය බලන්න)

5. නිහතමානී වෙන්න යෙහෝවා දෙවියන් අපිට කියලා දෙන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

5 යෙහෝවා දෙවියන් වැඩ කරන විදිහෙන් නිහතමානී වෙන්න ඔහු අපිට කියලා දෙනවා. ඔහු විශ්වයේ ප්‍රඥාවන්තම කෙනා නිසා දේවල් කරන්න ඕනෙ කොහොමද කියලා ඔහුට අනිත් අයගෙන් අහන්න ඕනෙ නැහැ. ඒ වුණත් ඔහු අනිත් අයගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. උදාහරණෙකට යෙහෝවා දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කරද්දී යේසුස්ගෙන් උදව් ගත්තා. (හිතෝ. 8:27-30; කොලො. 1:15, 16) යෙහෝවා සියලු බලැති දෙවියන් වුණත් ඔහු කැමැත්තෙන්ම වගකීම් අනිත් අයට භාර දෙනවා. උදාහරණෙකට ඔහු යේසුස්ව දේවරාජ්‍යයේ රජු විදිහට පත් කළා. ඒ වගේම මිනිසුන් 1,44,000දෙනෙක්ට යේසුස් එක්ක පාලනයේ හවුල් වෙන්න යම් බලතල ලබා දෙනවා. (ලූක් 12:32) ඇත්ත, යෙහෝවා දෙවියන් රජු සහ උත්තම පූජකයා විදිහට සේවය කරන්න යේසුස්ව පුහුණු කළා. (හෙබ්‍රෙ. 5:8, 9) ඒ වගේම යේසුස්ගේ හවුල් පාලකයන්වත් ඒ වගකීම් ඉටු කරන්න ඔහු පුහුණු කරනවා. හැබැයි ඒ අය ඒ වගකීම් ඉටු කරද්දී ඔහු හැම පුංචි දේකටම ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අය ඔහුගේ කැමැත්තට අනුව දේවල් කරයි කියලා ඔහුට විශ්වාසයි.—එළි. 5:10.

වැඩිමහල්ලෙක් තරුණ සහෝදරයෙක්ට සභාවේ වැඩ භාර දෙනවා. 1. වැඩිමහල්ලෙක් සිතියමක් පාවිච්චි කරලා සභාවේ සේවය කරන්න තියෙන ප්‍රදේශවල කාඩ්ස් පිළිවෙළකට පාවිච්චි කරන විදිහ ගැන තරුණ සහෝදරයාට පුහුණුවක් දෙනවා. 2. ඒ තරුණ සහෝදරයා ඒ කාඩ්ස් පාවිච්චි කරන විදිහ ගැන සභාවේ තවත් සහෝදරයෙක්ට කියලා දෙනවා.

අනිත් අයව පුහුණු කරලා එයාලට වගකීම් භාර දෙද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්ව (6 සහ 7 ඡේද බලන්න)b

6-7. අනිත් අයට වගකීම් භාර දෙන එක ගැන අපිට යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 කාගෙන්වත් උදව් ඕනෙ නැති අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් අනිත් අයට වගකීම් භාර දෙනවා නම් අපි ඊටත් වඩා වැඩියෙන් ඒ දේ කරන්න ඕනෙ නැද්ද? ඔයා පවුල් මූලිකයෙක්ද? නැත්නම් වැඩිමහල්ලෙක්ද? එහෙමනම් යෙහෝවා දෙවියන් වගේ අනිත් අයට වගකීම් භාර දෙන්න. ඊටපස්සේ එයාලා කරන හැම පොඩි දේටම ඇඟිලි ගහන්න එපා. එහෙම කරද්දී ඒ වැඩෙත් වෙයි. අනිත් අයව පුහුණු කරන්නත් ඔයාට පුළුවන් වෙයි. එයාලට එයාලා ගැන තියෙන විශ්වාසයත් තව වැඩි වෙයි. (යෙසා. 41:10) යම් අධිකාරියක් ඇති අයට යෙහෝවා දෙවියන්ගෙන් තවත් මොනවාද ඉගෙනගන්න පුළුවන්?

7 බයිබලේ කියනවා යෙහෝවා දෙවියන් දේවදූතයන්ගේ අදහස්වලටත් සවන් දෙනවා කියලා. (1 රාජා. 22:19-22) දෙමාපියෙනි, යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න ඔයාලට පුළුවන් කොහොමද? සුදුසු අවස්ථාවලදී යම් දෙයක් කරන විදිහ ගැන දරුවන්ගෙනුත් අදහස් අහන්න. ඒ අදහස් හොඳයි නම් ඒ විදිහට කරන්න.

8. යෙහෝවා දෙවියන් ආබ්‍රහම් සහ සාරා එක්ක ඉවසීමෙන් වැඩ කළේ කොහොමද?

8 යෙහෝවා දෙවියන් ඉවසීමෙන් වැඩ කරන එකෙනුත් පේනවා ඔහු නිහතමානී කෙනෙක් කියලා. උදාහරණෙකට යෙහෝවා දෙවියන්ගේ සේවකයන් ඔහු ගත්ත තීරණ ගෞරවාන්විතව ප්‍රශ්න කරද්දී ඔහු කේන්ති ගන්නේ නැහැ. සොදොම් සහ ගොමෝරාව විනාශ කරන එක හරිද කියලා ආබ්‍රහම් ප්‍රශ්න කරද්දී යෙහෝවා දෙවියන් එයාට ඉවසීමෙන් ඇහුම්කන් දුන්නා. (උත්. 18:22-33) ඒ වගේම මහලු වයසේ හිටපු සාරාට පුතෙක් ලැබෙන්න යනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වුණ වෙලාවේ සාරා හිනා වුණාම ඔහු කේන්ති ගත්තේ නැහැ. (උත්. 18:10-14) ඔහු කතා කළේ එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට.

9. දෙමාපියන්ට සහ වැඩිමහල්ලන්ට යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 දෙමාපියෙනි, වැඩිමහල්ලෙනි, යෙහෝවා දෙවියන්ගෙන් ඔයාලට මොනවාද ඉගෙනගන්න පුළුවන්? දරුවන්, සභාවේ කෙනෙක් ඔයා ගත්ත තීරණයක් ගැන ප්‍රශ්න කරද්දී ඔයා මොකද කරන්නේ? ඔයා ගත්ත තීරණයට හේතු කියලා එයාලව නිහඬ කරන්න ඔයා ඉක්මන් වෙනවාද? එහෙම නැත්නම් එයා කියන්න හදන දේ ඔයා තේරුම්ගන්න උත්සාහ කරනවාද? අධිකාරියක් තියෙන අය යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගද්දී සභාවේ අයත් පවුලේ අයත් ගොඩක් ප්‍රයෝජන ලබනවා. අපි මේ වෙන කල් බැලුවේ යෙහෝවා දෙවියන්ගේ නිහතමානිකමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේවල් ගැනයි. දැන් අපි බලමු බයිබලේ සඳහන් සමහර අයගෙන් නිහතමානිකම ගැන තව මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා.

තවත් පාඩම්

10. යෙහෝවා දෙවියන් විවිධ අය ගැන බයිබලේ සඳහන් කරලා තියෙන්නේ ඇයි?

10 “උදාර උපදේශකයාණන්” වන යෙහෝවා දෙවියන් විවිධ අය ගැන බයිබලේ සඳහන් කරලා තියෙන්නේ ඒ තුළින් අපිට පාඩම් කියලා දෙන්න. (යෙසා. 30:20, 21) නිහතමානිකම ඇතුළුව යෙහෝවා දෙවියන් සතුටු වෙන ගුණාංග පෙන්නපු අය ගැන බයිබලෙන් කියවලා හොඳට හිතනවා නම් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේ ගුණාංග පෙන්නපු නැති අයට වුණ දේවලිනුත් අපිට වැදගත් පාඩම් ඉගෙනගන්න පුළුවන්.—ගීතා. 37:37; 1 කොරි. 10:11.

11. සාවුල්ගේ අවාදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 සාවුල් රජ ගැන හිතන්න. තරුණ කාලේදී එයා තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කළා. සමහර වෙලාවට එයාට දුන්න වගකීම් භාරගන්න තරම් එයා සුදුසු නැහැ කියලා එයාට හිතුණා. (1 සාමු. 9:21; 10:20-22) ඒත් එයා රජ වෙලා වැඩි කාලයක් යන්න කලින් උඩඟු විදිහට එයාට අයිති නැති දේවල් කරන්න පටන්ගත්තා. එක අවස්ථාවකදී අනාගතවක්තෘ සාමුවෙල් එන්න පරක්කු වුණ නිසා දවන පූජාව එයාම ඔප්පු කළා. ඒත් ඒක කරන්න එයාට අයිතියක් තිබුණේ නැහැ. හරි නම් ඒ වෙලාවේ එයාට තිබුණේ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා ඉවසීමෙන් බලාගෙන ඉන්න. උඩඟු විදිහට වැඩ කරපු නිසා සාවුල්ට යෙහෝවා දෙවියන්ගේ අනුමැතියත් රජකමත් නැති වුණා. (1 සාමු. 13:8-14) අපිට කරන්න අයිතියක් නැති දේවල් කරන එක කොච්චර භයානකද කියලා සාවුල්ගේ අවාදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන්.

12. දානියෙල් නිහතමානී කෙනෙක් කියලා ඔප්පු වුණේ කොහොමද?

12 සාවුල්ට වඩා වෙනස්ව නිහතමානීව වැඩ කරපු දානියෙල්ගේ ආදර්ශය බලන්න. එයා එයාගේ ජීවිත කාලේ පුරාම නිහතමානීව දෙවියන්ගේ මඟ පෙන්වීම් පැතුවා. උදාහරණෙකට නෙබුකද්නෙෂර් රජ දැකපු හීනය තේරුම් කරන්න යෙහෝවා දෙවියන් දානියෙල්ව පාවිච්චි කරපු වෙලාවේ එයා කිව්වේ නැහැ ඒක එයාගේ හැකියාවෙන් කළා කියලා. එයා කිව්වේ යෙහෝවා දෙවියන් ඒකට එයාට උදව් කළා කියලයි. එයා හැම ගෞරවයක්ම යෙහෝවා දෙවියන්ට දුන්නා. (දානි. 2:26-28) අපිට මොකක්ද ඒකෙන් ඉගෙනගන්න පුළුවන්? ඔයාගේ දේශන ලස්සනයි කියලා සහෝදරයන් කියනවා නම්, සේවයේ ඔයාට හොඳ ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ හැම දේකම ගෞරවය යෙහෝවා දෙවියන්ට දෙන්න අමතක කරන්න එපා. යෙහෝවා දෙවියන්ගේ උදව් නැතුව ඒ කිසිම දෙයක් කරන්න බැහැ කියලා අපි තේරුම්ගන්න ඕනේ. (ෆිලි. 4:13) අපි ඒ විදිහට හිතනවා නම් අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව. ඒ කොහොමද?

13. යොහන් 5:19, 30 අනුව තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරන එක ගැන යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 යේසුස් දෙවියන්ගේ පුතා වුණත් හැම දෙයක්ම හරියටම කරපු කෙනෙක් වුණත් ඔහු හැම වෙලේම වැඩ කළේ යෙහෝවා දෙවියන් මත රඳා ඉඳලා. (යොහන් 5:19, 30 කියවන්න.) ඔහු කවදාවත් තමන්ගේ තාත්තාගේ තැන ගන්න උත්සාහ කළේ නැහැ. ෆිලිප්පි 2:6 කියන්නේ යේසුස් “දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත” කියලයි. තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරපු යේසුස් හැම වෙලේම ඔහුගේ තාත්තාගේ අධිකාරියට ගෞරව කළා.

යේසුස් යාකොබ් සහ යොහන්ගේ අම්මා එක්ක කතා කරනවා. යාකොබ් සහ යොහන් ගහක් ළඟට වෙලා බලන් ඉන්නවා පසුබිමේ පේන්න තියෙනවා.

යේසුස් තමන්ගේ සීමාව දැනගෙන හිටියා වගේම ඒකෙන් එහාට ගිහින් වැඩ කරන්න උත්සාහ කළෙත් නැහැ (14 ඡේදය බලන්න)

14. තමන්ට කරන්න අයිතියක් නැති දෙයක් කරන්න කියලා යේසුස්ගෙන් ඉල්ලුවාම ඔහු මොකද කළේ?

14 යාකොබ් සහ යොහන් එයාලගේ අම්මාත් එක්ක යේසුස් ළඟට ඇවිත් යේසුස්ට අයිති නැති දෙයක් කරන්න කියලා යේසුස්ගෙන් ඉල්ලුවාම ඔහු කරපු දේ බලන්න. යේසුස් හිතහිත ඉන්නේ නැතුව කිව්වා දේවරාජ්‍යයේ ඔහුගේ දකුණු පැත්තෙත් වම් පැත්තෙත් ඉඳගන්නේ කවුද කියලා තීරණය කරන්නේ ඔහු නෙමෙයි කියලා. ඒක කරන්න අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි කියලා යේසුස් කිව්වා. (මතෙ. 20:20-23) ඔහු වැඩ කරන්නේ තමන්ගේ සීමාව තේරුම් අරන් කියලා යේසුස් පෙන්නුවා. දෙවියන් යේසුස්ට කරන්න අධිකාරියක් දීලා තිබුණේ නැති කිසිම දෙයක් යේසුස් කවදාවත් කළේ නැහැ. (යොහ. 12:49) යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

සහෝදරියක් විවාහ උත්සවයකට ලැබුණ ආරාධනා පත්‍රයක් අතේ තියාගෙන නමස්කාර මධ්‍යස්ථානයේදී වැඩිමහල්ලෙක්ට කතා කරනවා. වැඩිමහල්ලා බයිබලේ පාවිච්චි කරලා ප්‍රතිපත්ති කීපයක් පෙන්නලා දෙනවා.

තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරපු යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (15 සහ 16 ඡේද බලන්න)c

15-16. 1 කොරින්ති 4:6 සඳහන් දේ අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

15 1 කොරින්ති 4:6 සඳහන් උපදෙස අපි අදාළ කරගන්නවා නම් යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන්. එතන කියනවා “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා යමින් ක්‍රියා නොකරන්න” කියලා. කවුරු හරි කෙනෙක් ඇවිත් කරන්න ඕනෙ මොනවාද කියලා අපෙන් ඇහුවොත් අපි කවදාවත් අපේ අදහස එහෙම නැත්නම් ඒ වෙලාවේ එකපාරටම අපේ ඔළුවට එන අදහස අපි කියන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපි බයිබලේ සහ අපේ ප්‍රකාශනවල ඒ ගැන මොනවාද තියෙන්නේ කියලා පෙන්නලා දෙන්න ඕනේ. එහෙම කරනවා නම් අපි පෙන්නනවා අපි හැම දෙයක්ම දන්නේ නැහැ කියලා අපි පිළිගන්නවා කියලා. ඒ වගේම සියලු බලැති දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් අපේ අදහස්වලට වඩා හොඳයි කියලා නිහතමානීව අපි පිළිගන්නවා කියලත් අපි ඒකෙන් පෙන්නනවා.—එළි. 15:3, 4.

16 අපි අපේ සීමාව තේරුම් අරන් වැඩ කරද්දී ඒකෙන් යෙහෝවා දෙවියන්ට ගෞරවය ලැබෙනවා වගේම අපිට සතුටින් ඉන්නත් අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නත් පුළුවන් වෙනවා. ඒ කොහොමද කියලා දැන් අපි බලමු.

නිහතමානී වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන

17. නිහතමානී, තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරන අය සතුටින් ඉන්නේ ඇයි?

17 නිහතමානීව, සීමාව තේරුම් අරන් වැඩ කරද්දී අපිට සතුටින් ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද හැම දෙයක්ම කරන්න අපිට බැහැ කියලා අපි පිළිගද්දී අනිත් අයගෙන් අපිට ලැබෙන ඕනෙම උදව්වක් අපි අගය කරනවා වගේම ඒවා සතුටින් භාරගන්නවා. යේසුස් ලාදුරු රෝගීන් දහදෙනෙක්ව සුව කරපු සිද්ධිය බලන්න. ඒ දරුණු රෝගයෙන් සුවය ලබපු දහදෙනාගෙන් එක් කෙනයි යේසුස්ට ස්තුති කරන්න ආවේ. යේසුස්ගේ උදව් නැතුව එයාට එයාගේ හැකියාවෙන් ඒ රෝගය සුව කරගන්න බැහැ කියලා එයා දැනන් හිටියා. ඒ නිසයි එයාට ලැබුණු උදව් එයා අගය කරලා යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න පෙලඹුණේ.—ලූක් 17:11-19.

18. අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න නිහතමානිකම සහ සීමාව තේරුම් අරන් වැඩ කරන එක උදව් වෙන්නේ කොහොමද? (රෝම 12:10)

18 නිහතමානී, සීමාව තේරුම් අරන් වැඩ කරන අයට අනිත් අය එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ලේසියි. ඒ වගේම එයාලට කිට්ටු යාළුවන් ඇති කරගන්නත් පුළුවන්. මොකද අනිත් අයගේ හොඳ පැති එයාලා දකිනවා වගේම අනිත් අය දේවල් හොඳින් කරයි කියන විශ්වාසය ඇතුව එයාලා වැඩ කරනවා. අනිත් අයට ලැබෙන ඕනෙම පැවරුමක් එයාලා හොඳින් කරද්දී නිහතමානී අය ඒ ගැන සතුටු වෙනවා. ඉක්මනින්ම එයාලව අගය කරලා එයාලට ගෞරවය පෙන්නනවා.—රෝම 12:10 කියවන්න.

19. අපි උඩඟු නොවී ඉන්න ඕනෙ ඇයි?

19 උඩඟු අයට අනිත් අයට ප්‍රශංසා කරන්න අමාරුයි. එයාලට ඕනෙ එයාලටම ප්‍රශංසාව ගන්න. එයාලා හැම වෙලේම තමන්ව අනිත් අයත් එක්ක සසඳලා අනිත් අයට වඩා හොඳට දේවල් කරන්න උත්සාහ කරනවා. අනිත් අයව පුහුණු කරලා එයාලට වගකීම් භාර දෙනවා වෙනුවට උඩඟු කෙනෙක් හිතන්නේ දෙයක් හරියට කරන්න ඕනෙ නම් ඒක එයාම කරන්න ඕනෙ කියලා. ඒත් එයා හරියි කියලා හිතන විදිහ හැම වෙලේම හරිම විදිහ නොවෙන්න පුළුවන්. උඩඟු කෙනෙක් හදන්නේ අනිත් අයව කපලා එයා ඉහළට යන්නයි. එයා අනිත් අය දේවල් හොඳට කරද්දී එයාලට ඊර්ෂ්‍යා කරනවා. (ගලා. 5:26) උඩඟු අයට හොඳ යාළුවෝ නැහැ. අපේ හිතෙත් උඩඟු ආකල්ප තියෙනවා කියලා අපිට තේරුණොත් “අලුත් ආකාරයකින් සිතන්න” අපිට උදව් කරන්න කියලා යෙහෝවා දෙවියන්ට කන්නලව් කරන්න ඕනේ. එතකොට උඩඟු සිතුවිලි අපේ හිතේ ගැඹුරට මුල් අදින්න කලින් ඒවා අයින් කරගන්න අපිට පුළුවන්.—රෝම 12:2.

20. අපි නිහතමානී, සීමාව තේරුම් අරන් වැඩ කරන අය වෙන්න ඕනෙ ඇයි?

20 යෙහෝවා දෙවියන්ගේ ආදර්ශය අපි කොයි තරම් අගය කරන්න ඕනෙද! යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට සලකන විදිහෙන් ඔහු නිහතමානී කෙනෙක් කියලා පැහැදිලියි. අපිටත් ඕනෙ ඔහුව ආදර්ශයට ගන්න. ඒ වගේම සීමාව තේරුම් අරන් වැඩ කරපු දෙවියන්ගේ සේවකයන්වත් අපි ආදර්ශයට ගන්න ඕනේ. යෙහෝවා දෙවියන්ට ඔහු ලබන්න වටින ගෞරවය, ප්‍රශංසාව අපි හැම වෙලේම ලබා දෙමු. (එළි. 4:11) අපි ඒ දේවල් කරනවා නම් අපිට හැමදාටම යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙලා ඉන්න පුළුවන්. මොකද ඔහු නිහතමානී අයට ගොඩක් ආදරෙයි.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • වගකීම් භාර දෙන එක ගැන අපිට යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • යේසුස් අපිට හොඳ ආදර්ශයක් කියන්නේ ඇයි?

  • නිහතමානීව වැඩ කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

a නිහතමානී කෙනෙක් දයාවන්තයි. ඒ වගේම එයා අනිත් අයට අනුකම්පාවෙන් සලකනවා. ඒ නිසා යෙහෝවා දෙවියන් නිහතමානී කෙනෙක් කියලා කියන්න පුළුවන්. නිහතමානීව වැඩ කරන්න අපිට යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඒ ගැනත් නිහතමානීව වැඩ කරන එක ගැන සාවුල්ගෙන්, දානියෙල්ගෙන්, යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලනවා.

b පින්තූරයේ අදහස: වැඩිමහල්ලෙක් සභාවේ සේවය කරන්න තියෙන ප්‍රදේශ ගැන කාලේ අරන් තරුණ සහෝදරයෙක්ව පුහුණු කරනවා. ඊටපස්සේ ඒ තරුණ සහෝදරයා ඒ වගකීම කරන්නේ කොහොමද කියලා හැම වෙලේම ඇඟිලි ගගහා බලන්නේ නැතුව ඒක එයාට කරන්න වැඩිමහල්ලා ඉඩ දෙනවා.

c පින්තූරයේ අදහස: පල්ලියක පැවැත්වෙන විවාහ උත්සවයකට සහභාගි වුණාට කමක් නැද්ද කියලා සහෝදරියක් වැඩිමහල්ලෙක්ගෙන් අහනවා. වැඩිමහල්ලා එයාගේ අදහස් දෙනවා වෙනුවට ඒ ගැන බයිබලේ තියෙන ප්‍රතිපත්ති සහෝදරියට පෙන්නනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න