ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 2 10-12 පි.
  • පාරාදීසයේ ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාරාදීසයේ ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්ව “දැන හඳුනා ගන්න”
  • හැම දවසකම බයිබලය කියවන්න
  • උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න
  • දෙවියන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
    බයිබලයෙන් උත්තර
  • ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • නැවත නැඟිටීම විශ්වාස කළ හැකිද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 2 10-12 පි.

පාරාදීසයේ ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?

අපි කලින් ලිපිවලින් බැලුවා වගේ දෙවියන් ළඟදීම මේ ලෝකය ඒ කියන්නේ දුෂ්ට සමාජය විනාශ කරනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද දෙවියන්ගේ වචනය වන බයිබලේ මේ විදිහට පොරොන්දු වෙලා තියෙනවා.

‘මේ ලෝකය නැති වී යන්නේය.’​—1 යොහන් 2:17.

හැබැයි ඒ විනාශයෙන් බේරෙන අයත් ඉන්නවා කියලා ඒ බයිබල් පදේම ඊළඟට කියන මේ දෙයින් පැහැදිලි වෙනවා.

“සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.”

ඒකෙන් පැහැදිලි වෙනවා පාරාදීසයේ ජීවත් වෙන්න නම් අපි දෙවියන්ගේ කැමැත්ත කරන්න ඕනෙ කියලා. දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා දැනගන්න නම් අපි මුලින්ම දෙවියන්ව දැන හඳුනා ගන්න ඕනේ.

දෙවියන්ව “දැන හඳුනා ගන්න”

පින්තූරවල අදහස: 1. හෙම්බත් වෙලා ලොකු පීඩනයකින් ඉන්න හෙදියක් ඉස්පිරිතාලේ බිම ඉඳගෙන ඉන්නවා. 2. එයාත් එක්ක වැඩ කරන කෙනෙක් විවේක වෙලාවේ සඟරාවක් සතුටින් කියවනවා එයා දකිනවා. 3. එයාත් එක්ක වැඩ කරන කෙනා එයාට බයිබල් පදයක් කියවලා එයාට jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙනවා.

“සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් ඔබව දැන හඳුනා ගැනීමයි” කියලා යේසුස් කිව්වා. (යොහන් 17:3) ඒ කියන්නේ විනාශයෙන් බේරිලා හැමදාටම ජීවත් වෙන්න නම් අපි දෙවියන්ව “දැන හඳුනා ගන්න” ඕනේ. ඒකට දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන එක විතරක් මදි. අපි දෙවියන්ව කිට්ටු යාළුවෙක් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ව හොඳ යාළුවෙක් කරගන්න නම් එයාත් එක්ක කාලේ ගත කරන එක හරිම වැදගත්. ඒ වගේ කාලේ අරන් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. දෙවියන් එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්න උදව් වෙන ගොඩක් වැදගත් බයිබල් ඉගැන්වීම් කීපයක් අපි දැන් බලමු.

බයිබලෙන් ඉගෙනගන්න පුළුවන් වටිනා දේවල් කීපයක්

හෙදිය ගෙදරදී jw.org වෙබ් අඩවියට ගිහින් බලනවා.

දෙවියන්ට ඕනෙ වුණේ අපි පාරාදීස පොළොවක හැමදාටම ජීවත් වෙනවා දකින්නයි කියලා බයිබලේ පැහැදිලි කරනවා.

දෙවියන් පළවෙනි මිනිස් යුවළ වුණ ආදම් සහ ඒවව නිර්මාණය කරලා එයාලට ඒදන් කියන ලස්සන උයනේ ජීවත් වෙන්න අවස්ථාව දුන්නා. ඒ දෙන්නාට තිබුණේ කිසිම අඩුවක් නැති පරිපූර්ණ ශරීරයක් සහ මනසක්. ඒ වගේම එයාලට සතුටින් ඉන්න ඕන කරන හැම දෙයක්ම දෙවියන් දීලා තිබුණා. ආදම් සහ ඒව දෙවියන්ගේ කිට්ටු යාළුවන් වුණා නම් කවදාවත් මැරෙන්නේ නැතුව හැමදාටම ජීවත් වෙන්න එයාලට අවස්ථාව තිබුණා. හැබැයි එයාලා හිතාමතාම දෙවියන්ට අකීකරු වුණා.

අපි දුක් විඳින්නේ ඇයි කියලා බයිබලේ පැහැදිලි කරනවා.

ආදම් දෙවියන්ට අකීකරු වුණ නිසා එයාටත් එයාගේ දරුවන්ටත් හැමදාටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාව නැති වුණා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. ‘එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. ඒ නිසා මරණය සියලුදෙනාටම උරුම විය.’ (රෝම 5:12) දෙමව්පියන්ගෙන් දරුවන්ට සමහර ආබාධ උරුම වෙනවා වගේ ආදම්ගෙන් අපිට පව්කාරකම උරුම වුණා. ඒ නිසයි අපි හැමෝම වයසට ගිහින් මැරෙන්නේ.

අපි වෙනුවෙන් දෙවියන් මොනවාද කරලා තියෙන්නේ කියලා බයිබලේ පැහැදිලි කරනවා.

බයිබලේ මෙහෙම කියනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) දෙවියන් අපිට ගොඩක් ආදරේ නිසා අපි වෙනුවෙන් ජීවිතේ දෙන්න යේසුස්ව පොළොවට එව්වා. ඉන්දියාවේ ඉන්න අවුරුදු 86ක් වයස ප්‍රභාක මෙහෙම කියනවා. “යෙහෝවාa දෙවියන් කරපු ඒ දෙයින් ඔහු මට කොච්චර ආදරේද කියලා මට දැනෙනවා. මට හැමදාටම ජීවත් වෙන්න බලාපොරොත්තුව ලැබිලා තියෙන්නෙත් ඒ නිසයි.”

දෙවියන් අපි වෙනුවෙන් කරපු දේ අපිට අගය කරන්න පුළුවන් කොහොමද කියලා බයිබලේ පැහැදිලි කරනවා.

“අපි දෙවිගේ ආඥා දිගටම පිළිපදිනවා නම්” ඔහු අපි වෙනුවෙන් කරපු දේ අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන්. (1 යොහන් 2:3) අපි දුක් විඳිනවාට යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා ප්‍රශ්න මැද වුණත් සතුටින් ඉන්න අපිට පුළුවන් කොහොමද කියලා ඔහු අපිට ආදරෙන් කියලා දෙනවා. (යෙසායා 48:17, 18) ඉතින් අපි දෙවියන්ට කීකරු වෙනවා නම් මේ කාලෙදි විතරක් නෙවෙයි හැමදාටම සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන් කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා.

හැම දවසකම බයිබලය කියවන්න

විවෙක වෙලාවෙදි එළිමහනේ බංකුවක ඉඳගෙන ඉන්න හෙදිය බයිබලේ කියවලා අහස දිහා බලනවා.

ඔයා දෙවියන්ගේ උදව් ඉල්ලලා යාච්ඤා කරනවා නම්, ඔහු කැමති විදිහට ජීවත් වෙනවා නම් විනාශයෙන් බේරෙන්න ඔයාටත් පුළුවන්

කෑම කියන්නේ අපේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතයි” කියලා යේසුස් කිව්වා.​—මතෙව් 4:4.

දෙවියන් අපිට කියන්නේ මොනවාද කියලා බයිබලෙන් දැනගන්න පුළුවන්. ඒ ශුද්ධ පොත අධ්‍යයනය කරද්දී දෙවියන් අතීතයේ කරලා තියෙන්නේ මොනවාද, දැන් කරන්නේ මොනවාද, ඉස්සරහට කරන්න යන්නේ මොනවාද කියලා ඔයාට දැනගන්න පුළුවන්.

උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න

දෙවියන්ට කීකරු වෙන්න ඔයාට ඕනෙ වුණත් දෙවියන් අකමැති සමහර දේවල් අත්හරින්න අමාරුයි කියලා ඔයාට හිතෙනවා නම් මොනවාද කරන්න පුළුවන්? දෙවියන්ට තවත් ළං වෙන එක ඒ දේවල් අත්හරින්න ඔයාට ගොඩක් උදව් වෙයි.

අනාචාර ජීවිතයක් ගත කරපු කාන්තාවකගේ අද්දැකීම බලන්න. බයිබලය ගැන ඉගෙනගද්දී “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලා දෙවියන් දීලා තියෙන නීතිය එයා දැනගත්තා. (1 කොරින්ති 6:18) ඒ නිසා ජීවිතේ වෙනස් කරගන්න උදව් ඉල්ලලා එයා දෙවියන්ට යාච්ඤා කළා. දෙවියන්ගේ උදව්වෙන් ඒක කරන්න එයාට පුළුවන් වුණා. හැබැයි තාමත් එයා වැරදි පෙලඹීම් එක්ක සටන් කරනවා. එයා ඒ ගැන කියන්නේ මෙහෙමයි. “මගේ හිතට නරක සිතුවිලි එද්දි මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා හැම දෙයක්ම කියනවා. මොකද මං දන්නවා මට තනියෙන් මේ සටන කරන්න බෑ කියලා. යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න යාච්ඤාව මට හුඟක් උදව් වෙලා තියෙනවා.” එයා වගේ තවත් මිලියන ගාණකට ජීවිතේ වෙනස් කරගෙන ඔහුට ළං වෙන්න දෙවියන් උදව් කරලා තියෙනවා.​—ෆිලිප්පි 4:13.

ඔයා දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුට ළං වෙද්දි දෙවියන් ඔයාව ඔහුගේ යාළුවෙක් හැටියට ‘පිළිගන්නවා.’ (ගලාති 4:9; ගීතාවලිය 25:14) එතකොට දෙවියන් පොරොන්දු වෙලා තියෙන ලස්සන පාරාදීසේ හැමදාටම ජීවත් වෙන්න ඔයාට පුළුවන් වෙයි. ඇත්තටම ඒ කාලේ මොන වගේ වෙයිද? ඊළඟ ලිපියෙන් අපි ඒ ගැන බලමු.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න