ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ජූලි 8-13 පි.
  • යෙහෝවා දෙවියන් වගේ අපිත් විඳදරාගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් වගේ අපිත් විඳදරාගමු
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ඉවසීමෙන් විඳදරාගන්න දේවල්
  • යෙහෝවා දෙවියන් වගේ දිගටම විඳදරාගන්න
  • “විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විඳදරා ගැනීම—ක්‍රිස්තියානින් හට අත්‍යවශ්‍ය ය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉන්න
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • යේසුස් විඳදරාගත් ආකාරය හොඳින් සිතා බලන්න
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ජූලි 8-13 පි.

පාඩම් ලිපිය 27

යෙහෝවා දෙවියන් වගේ අපිත් විඳදරාගමු

“ඔබ විඳදරාගෙන සිටියොත් ඔබට ගැලවීම ලැබෙයි.”—ලූක් 21:19.

ගීතිකාව 114 “ඉවසිල්ලෙන් බලා සිටින්න”

මේ ලිපියෙන්a

1-2. යෙසායා 65:16, 17 සඳහන් දෙවියන්ගේ පොරොන්දුව අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

2017දී “අත්හරින්න එපා!” කියන තේමාවෙන් තිබුණ තුන්දින සමුළුව ඔයාට මතකද? මොන ප්‍රශ්න ගැටලු ආවත් සතුටින් අපිට විඳදරාගන්න පුළුවන් කොහොමද කියලා අපි ඒ සමුළුවෙන් ඉගෙනගත්තා. ඒ සමුළුව ඉවර වෙලා දැන් අවුරුදු හතරකුත් ගෙවිලා. හැබැයි තාමත් මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන අපි හැමෝටම හුඟක් දේවල් විඳදරාගන්න වෙලා තියෙනවා.

2 මෑතකදී ඔයාට මුහුණ දෙන්න වුණේ මොන වගේ තත්වයකටද? මරණය නිසා ඔයාගේ පවුලේ කෙනෙක් නැත්නම් ඔයාගේ යාළුවෙක් ඔයාට නැති වුණාද? බරපතළ අසනීපයක් එක්ක එහෙම නැත්නම් මහලු වයස නිසා ඇති වෙන ගැටලු එක්ක ඔයා පොරබදිනවාද? ස්වාභාවික විපතක් නිසා මිනිසුන්ගේ දුෂ්ටකම් නිසා එහෙම නැත්නම් විරුද්ධවාදිකම් නිසා ඔයා දුක් විඳිනවාද? කෝවිඩ්-19 වගේ වසංගත තත්වයන්වලින් බැට කන්න ඔයාටත් සිද්ධ වුණාද? අපිට මුහුණ දෙන්න වෙලා තියෙන මේ නරක දේවල් ආපහු කවදාවත් මතකෙට එන්නේ නැති පාරාදීස පොළොව එන කල් අපි බලන් ඉන්නේ කොච්චර ආසාවෙන්ද!—යෙසායා 65:16, 17 කියවන්න.

3. අපි දැන් කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

3 ප්‍රශ්න ගැටලු ගොඩකට මුහුණ දෙන්න අද අපිට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අනාගතේ මීට වඩා ප්‍රශ්න ගැටලුවලට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. (මතෙ. 24:21) ඒ නිසා අත්හරින්නේ නැතුව දිගටම විඳදරාගන්න ඉගෙනගන්න එක හරිම වැදගත්. මොකද යේසුස් කිව්වේ, “ඔබ විඳදරාගෙන සිටියොත් ඔබට ගැලවීම ලැබෙයි” කියලයි. (ලූක් 21:19) අපිට විඳදරාගන්න උදව් වෙන්නේ මොනවාද? අපි මුහුණ දෙනවා වගේ දේවල්වලට සාර්ථකව මුහුණ දෙන අය ගැන කල්පනා කරන එක තවත් හොඳින් දේවල් විඳදරාගන්න අපිට උදව් වෙනවා.

4. විඳදරාගැනීම ගැන හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන් කියලා කියන්න පුළුවන් ඇයි?

4 විඳදරාගැනීම ගැන අපිට හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන් කියලා කිව්වොත් ඒ ගැන ඔයාට පුදුම හිතෙනවාද? හැබැයි ටිකකට මෙහෙම හිතන්න. සාතන් යටතේ තියෙන මේ දුෂ්ට සමාජය ප්‍රශ්න ගැටලුවලින් පිරිලා. අවුරුදු දහස් ගාණක් තිස්සේ ඒ දිහා බලන් ඉන්න එක යෙහෝවා දෙවියන්ට කොයි තරම් අමාරු දෙයක් වෙන්න ඇතිද! ඕනෙ නම් ඒ හැම දෙයක්ම එක සැණෙකින් විනාශ කරලා දාන්න ඔහුට බලය තියෙනවා. හැබැයි ඒ දේ කරන්න සුදුසුම කාලය එන කල් ඔහු ඒ දේවල් ඉවසීමෙන් විඳදරාගන්නවා. (රෝම 9:22) යෙහෝවා දෙවියන් ඉවසීමෙන් විඳදරාගන්න දේවල් මොනවාද? ඒ දේවල් නවයක් දැන් අපි බලමු.

යෙහෝවා දෙවියන් ඉවසීමෙන් විඳදරාගන්න දේවල්

ඒව දෙවියන් කන්න එපා කියපු ගහෙන් කනවා සර්පයා බලාගෙන ඉන්නවා.

5. දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල මොකක්ද? ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

5 දෙවියන්ගේ නමට සාතන් ඇති කරපු කැළැල. යෙහෝවා දෙවියන්ට ඔහුගේ නම හුඟක් වටිනවා. ඔහු කැමති ඒ නමට හැමෝම ගෞරව කරනවා දකින්නයි. (යෙසා. 42:8) හැබැයි අවුරුදු 6,000ටත් වැඩි කාලයක් තිස්සේ ඔහුගේ නමට නින්දාවක් ඇති වෙලා තියෙනවා. (ගීතා. 74:10, 18, 23) ඒක පටන්ගත්තේ ඒදන් උයනේ. ආදම් සහ ඒවට සතුටින් ඉන්න ඕන කරන දෙයක් යෙහෝවා දෙවියන් දීලා නැහැ කියලා යක්ෂයා (“අපහාස කරන්නා”) චෝදනා කළා. (උත්. 3:1-5) ඒ කාලේ ඉඳන්ම මිනිසුන්ට සතුටින් ඉන්න යෙහෝවා දෙවියන් බාධාවක් කියලා පෙන්නන්න යක්ෂයා උත්සාහ කරනවා. දෙවියන්ගේ නමට ඇති කරලා තියෙන කැළැල ඉවත් කරන්න යේසුස්ට ලොකු ඕනකමක් තිබුණා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා යාච්ඤා කරන්න ඔහු ගෝලයන්ට කිව්වේ ඒ නිසයි.—මතෙ. 6:9.

දෙවියන් කන්න එපා කියපු ගහෙන් ගෙඩියක් ඒව ආදම්ට දෙනවා.

6. පාලනය කරන්න තියෙන අයිතිය තහවුරු කරන්න දෙවියන් මෙච්චර කාලයක් බලන් ඉන්නේ ඇයි?

6 පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය ගැන සාතන් මතු කරපු ප්‍රශ්නය. ස්වර්ගයත් පොළොවත් පාලනය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියලත් හොඳම පාලනය ඔහුගේ පාලනය කියලත් අපිට කිසිම සැකයක් නැහැ. (එළි. 4:11) හැබැයි යක්ෂයා දේවදූතයන්වයි මිනිසුන්වයි පොලඹවන්නේ තමන්ව පාලනය කරන්න දෙවියන්ට අයිතියක් නැහැ කියලා හිතන්න. තමන්ගේ පාලනය ගැන එල්ල වෙලා තියෙන චෝදනාව එක රැයකින් විසඳන්න පුළුවන් ගැටලුවක් නෙවෙයි කියලා යෙහෝවා දෙවියන් දන්නවා. ඒ නිසයි දෙවියන් හරිම ඥානවන්තව මිනිසුන්ට තමන්ගේම පාලන ක්‍රම හදාගෙන ජීවත් වෙන්න ඇති තරම් කාලෙකට ඉඩහැරියේ. තමන්ව නිර්මාණය කරපු දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන එක කොයි තරම් අසාර්ථකද කියලා තේරුම්ගන්න ඒ නිසා මිනිසුන්ට පුළුවන් වෙලා තියෙනවා. (යෙරෙ. 10:23) යෙහෝවා දෙවියන්ගේ ඉවසීම නිසා මේ ගැටලුව ආයෙත් කවදාවත් ඇති නොවෙන විදිහට විසඳෙන්න යනවා. එතකොට සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය ගේන්න පුළුවන් යෙහෝවා දෙවියන්ගේ රාජ්‍යයට විතරයි කියලා හැමෝටම ඔප්පු වෙයි.

ස්වර්ගයේ ඉන්න සාතන් සහ භූතයන්.

7. යෙහෝවා දෙවියන්ට විරුද්ධව කැරලිගහලා තියෙන්නේ කවුද? ඒ අයට යෙහෝවා දෙවියන් කරන්න යන්නේ මොනවාද?

7 ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න ඔහුගේ සමහර දරුවන් ඔහුට විරුද්ධව කැරලිගහපු එක. යෙහෝවා දෙවියන් ස්වර්ගයෙත් පොළොවෙත් ඔහුගේ දරුවන්ව නිර්මාණය කළේ පරිපූර්ණ අය විදිහටයි. හැබැයි ස්වර්ගයේ හිටපු එක දරුවෙක් ඔහුට විරුද්ධව කැරලිගැහුවා. ඒ තමයි සාතන් (“විරුද්ධකාරයා”). ඒ විතරක් නෙවෙයි එයා ආදම් සහ ඒවවත් දෙවියන්ට විරුද්ධව කැරලිගහන්න පෙලඹෙව්වා. පස්සේ කාලෙක තවත් දේවදූතයනුත් මිනිස්සුත් ඒ කැරැල්ලට එකතු වුණා. (යූද් 6) ඊශ්‍රායෙල් ජාතිය යෙහෝවා දෙවියන් තෝරගත්තේ තමන්ට අයිති සෙනඟක් විදිහට. හැබැයි එයාලගෙන් වැඩිදෙනෙකුත් ඔහුව ප්‍රතික්ෂේප කරලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. (යෙසා. 63:8, 10) තමන්ගේ දරුවන් මේ විදිහට කැරලිගහද්දී යෙහෝවා දෙවියන්ට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද! හැබැයි කැරලිගහපු හැමෝවම සම්පූර්ණයෙන් විනාශ කරන්න සුදුසුම දවස එන කල් යෙහෝවා දෙවියන් ඉවසීමෙන් විඳදරාගන්නවා. ඒ දවසේදී යෙහෝවා දෙවියන් වගේම මේ දුෂ්ට සමාජයේ සිද්ධ වෙන දේවල් විඳදරාගත්ත හැමෝම ලොකු සතුටක් අද්දකියි.

සාතන් යෝබ් ගැන යෙහෝවා දෙවියන්ට චෝදනා කරනවා. ඇඟ පුරාම තුවාල තියෙන යෝබ් බිම ඉඳගෙන ඉන්නවා.

8-9. යෙහෝවා දෙවියන් ගැන පතුරවලා තියෙන බොරු මොනවාද? ඒවා බොරුයි කියලා ඔප්පු කරන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

8 සාතන්ගේ නින්දා අපහාස. යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ යෝබ් ඇතුළු දෙවියන්ගේ හැම සේවකයෙක්ම ඔහුට නමස්කාර කරන්නේ එයාලට දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාද නිසයි කියලා සාතන් චෝදනා කළා. (යෝබ් 1:8-11; 2:3-5) අද ඉන්න සේවකයන්ටත් සාතන් කරන්නේ ඒ චෝදනාවමයි. (එළි. 12:10) ඒ චෝදනාව බොරුයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් කොහොමද? මොන පීඩාවකට මුහුණ දෙන්න වුණත් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එකෙන් අපි ඇත්තටම යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලත් සාතන්ගේ චෝදනා බොරුයි කියලත් ඔප්පු කරන්න අපිට පුළුවන්. යෝබ් වගේ අපිත් දිගටම විශ්වාසවන්තව විඳදරාගන්නවා නම් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපිටත් ආශීර්වාද කරයි.—යාකො. 5:11.

9 දෙවියන් කුරිරු කෙනෙක් කියලත් මිනිස්සු මුහුණ දෙන දුක් වේදනාවලට වග කියන්න ඕනෙ ඔහුයි කියලත් මිනිසුන්ට උගන්වන්න සාතන් ආගමික නායකයන්ව පාවිච්චි කරනවා. උදාහරණෙකට පොඩි දරුවෙක් මැරුණාම සමහර ආගමික නායකයන් කියන්නේ දෙවියන්ට දේවදූතයෙක්ව ඕනෙ නිසා ඒ දරුවාව ඔහු ස්වර්ගයට ගත්තා කියලා. ඒක මොන තරම් අමූලික බොරුවක්ද! අපි දන්නවා යෙහෝවා දෙවියන් මොන තරම් ආදරණීය තාත්තා කෙනෙක්ද කියලා. ඒ නිසා අපිට බරපතළ අසනීපයක් හැදුණාම එහෙම නැත්නම් අපේ ආදරණීය කෙනෙක් මැරුණාම අපි කවදාවත් දෙවියන්ට චෝදනා කරන්නේ නැහැ. ළඟදීම අසනීප නැති කාලයක් අපිට දෙනවා කියලත් අපි ආදරේ කරන අයව නැවත නැඟිටුවනවා කියලත් අපිට විශ්වාසයි. යෙහෝවා දෙවියන් මොන තරම් ආදරණීය කෙනෙක්ද කියලා අනිත් හැමෝටම කියලා දෙන්න අපි අපේ උපරිමය කරමු. එහෙම කරද්දී නින්දා කරන්නා වන සාතන්ට හොඳ උත්තරයක් දෙන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් වෙයි.—හිතෝ. 27:11.

හොඳටම අසනීප වෙලා ඉන්න ගැහැණු කෙනෙක් ඉස්පිරිතාලේ ඇඳක ඉන්නවා.

10. ගීතාවලිය 22:23, 24 යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 තමන්ගේ සේවකයන් විඳින දුක් කරදර දිහා බලන් ඉන්න වෙලා තියෙන එක. යෙහෝවා දෙවියන් හරිම දයානුකම්පිත කෙනෙක්. ඉතින් අසනීපයක් නිසා, අපිට උරුම වෙලා තියෙන පව්කාරකම නිසා එහෙමත් නැත්නම් වෙන හේතුවක් නිසා අපි පීඩා විඳිනවා දකිද්දී ඔහුට ලොකු දුකක් දැනෙනවා. (ගීතාවලිය 22:23, 24 කියවන්න.) ඔහුට ඕනෙ අපේ දුකට හේතු වෙන හැම දෙයක්ම නැති කරන්න. ළඟදීම ඔහු කරන්න යන්නෙත් ඒ දේම තමයි. (නික්. 3:7, 8; යෙසා. 63:9) ඒ කාලේදී අපිට ලැබෙන ආශීර්වාද ගැන බයිබලේ මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළි. 21:4.

මිනියක් වළලද්දී යුවළක් අඬනවා.

11. මිය ගිය තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

11 තමන්ගේ යාළුවන් මිය යන එක. තමන්ගේ විශ්වාසවන්ත යාළුවන් මැරෙනවා දකිද්දී ඒ ගැන යෙහෝවා දෙවියන්ට කොහොම හැඟෙනවා ඇද්ද! එයාලව ආයෙත් දැකගන්න ඔහු ඉන්නේ ලොකු ආසාවකින්. (යෝබ් 14:15) ටිකකට හිතන්න තමන්ගේ යාළුවා විදිහට හඳුන්වපු ආබ්‍රහම්ව දකින්න යෙහෝවා දෙවියන් කොච්චර ආසාවකින් ඉන්නවා ඇද්ද කියලා. (යාකො. 2:23) “මුහුණට මුහුණ ලා” කතා කරපු මෝසෙස් එක්ක ආයෙත් කතා කරන්න ඔහු කොච්චර ආසාවකින් ඉන්නවා ඇද්ද! (නික්. 33:11) දාවිත් සහ අනිත් ගීතිකාකරුවන් ආයෙත් ඔහුට ප්‍රශංසා ගීතිකා කියනවා අහන්න ඔහු කොච්චර ආසාවකින් ඉන්නවා ඇද්ද! (ගීතා. 104:33) මරණ නින්දේ සැතපිලා ඉන්න තමන්ගේ විශ්වාසවන්ත යාළුවන්ව යෙහෝවා දෙවියන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ. (යෙසා. 49:15) එයාලා ගැන හැම තොරතුරක්ම යෙහෝවා දෙවියන්ට මතකයි. ඒ නිසා එයාලා ‘මිය ගිහින් හිටියත් දෙවියන් එයාලව සලකන්නේ ජීවතුන් අතර ඉන්න අය විදිහටයි.’ (ලූක් 20:38) ළඟදීම දවසක යෙහෝවා දෙවියන් ඒ හැමෝටම ආයෙත් ජීවිතය දෙනවා. එතකොට එයාලගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නත් එයාලගේ නමස්කාරය පිළිගන්නත් දෙවියන්ට පුළුවන්. ඔයා ආදරය කරන අයත් මරණය නිසා වෙන් වෙලා තියෙනවාද? එහෙනම් යෙහෝවා දෙවියන්ට එයාලා ගැන හැඟෙන විදිහ මතක් කරගන්න එක ඔයාට සහනයක් වෙයි.

පින්තූරවල අදහස: දුෂ්ට මිනිසුන්ගේ ක්‍රියා සමහරක්. 1. යුද්ධ ටැංකියක් පිටිපස්සේ ගමන් කරන සෙබළුන්. 2. සාක්ෂිකාර යුවළක්ව මාංචු දාලා පොලීසියේ අය අරන් යනවා.

12. අන්තිම කාලේ සිද්ධ වෙන මොන දේවල් ගැනද යෙහෝවා දෙවියන් ගොඩක් දුක් වෙන්නේ?

12 අසරණ මිනිසුන්ට නපුරු මිනිස්සු සලකන විදිහ. ඒදන් උයනේ ඇති වුණ කැරැල්ලෙන් පස්සේ මේ ලෝකේ දුෂ්ටකම එන්න එන්නම වැඩි වෙනවා කියලා යෙහෝවා දෙවියන් දැනගෙන හිටියා. අද පොළොව පුරා පැතිරිලා තියෙන හැම දුෂ්ටකමක්ම, අසාධාරණයක්ම යෙහෝවා දෙවියන් පිළිකුල් කරනවා. ඒ දේවල් නිසා පීඩා විඳින අය ගැන විශේෂයෙන්ම වැන්දඹුවන්, අනාථ දරුවන් වගේ කාගෙවත් හව්හරණක් නැති අය ගැන යෙහෝවා දෙවියන්ට ලොකු දුකක් දැනෙනවා. (සෙක. 7:9, 10) ඒ වගේම තමන්ට විශ්වාසවන්තව ඉන්න නිසා පීඩා විඳින, සිරගත වෙලා ඉන්න අය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. යෙහෝවා දෙවියන් වගේ දිගටම විඳදරාගෙන ඉන්න ඔයාලා හැමෝටම යෙහෝවා දෙවියන් ගොඩක් ආදරෙයි කියලා කවදාවත් අමතක කරන්න එපා.

රාත්‍රී සමාජ ශාලාවක මිනිස්සු බීලා හොඳට විනෝද වෙනවා.

13. අද ඉන්න මිනිස්සු කරන්නේ මොන වගේ පහත් දේවල්ද? ඒ අයට ළඟදීම යෙහෝවා දෙවියන් කරන්න යන්නේ මොනවාද?

13 මිනිස්සු ගත කරන දුරාචාර ජීවිත. යෙහෝවා දෙවියන්ගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරපු මිනිසුන්ව පහත් විදිහට තමන්ගේ ලිංගික ආශාවන් ඉටු කරගන්න පොලඹවන්න සාතන් උත්සාහ කරනවා. ප්‍රතිඵලයක් විදිහට නෝවාගේ කාලය වෙද්දී ‘මිනිසුන්ගේ දුෂ්ටකම හැම තැනකම පැතිරිලා තිබුණා.’ ඒ ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණ විදිහ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනිණ. තමන් සෑදූ මිනිසුන් නිසා ඔහු කණගාටුවට පත් විය.” (උත්. 6:5, 6, 11) අද වෙද්දී පහත් ලිංගික ක්‍රියාකාරකම් ලෝකේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. ඉතින් මිනිස්සු ලිංගික ආශාවන් ඉටු කරගන්න අනාචාරය, සමලිංගික ක්‍රියාවන් ඇතුළු පහත් ලිංගික ක්‍රියාවන්වල යෙදෙනවා දකිද්දී සාතන් කොච්චර සතුටු වෙනවා ඇද්ද! (එෆී. 4:18, 19) විශේෂයෙන්ම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන කෙනෙක් ඒ වගේ බරපතළ වරදක් කරනවා දකිද්දී සාතන්ගේ සතුට තවත් වැඩි වෙනවා. හැබැයි හැමදාටමත් යෙහෝවා දෙවියන් ඒ දේවල් ඉවසන්නේ නැහැ. දිගින් දිගටම ඒ පව්කාර ක්‍රියාවල යෙදෙන හැමෝවම යෙහෝවා දෙවියන් ළඟදීම විනාශ කරනවා.

කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය නිසා පරිසරය දූෂණය වෙනවා. ඒ නිසා පීඩා විඳින කුරුල්ලෙක්.

14. මිනිස්සු පොළොවට කරලා තියෙන්නේ මොනවාද?

14 මිනිස්සු පොළොවට කරන විනාශය. මිනිස්සු “අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක” කරලා තියෙනවා විතරක් නෙවෙයි ආදරෙන් රැකබලා ගන්න දෙවියන් භාර දීලා තියෙන පොළොව සහ සතුන්වත් විනාශ කරලා තියෙනවා. (දේශ. 8:9; උත්. 1:28) විද්‍යාඥයන් කියනවා මේ විදිහට ගියොත් තව අවුරුදු කීපයක් ඇතුළත ශාක හා සතුන් විශේෂb මිලියනයක් විතර මේ පොළොවෙන් වඳ වෙලා යයි කියලා. හැබැයි යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා ‘පොළොව විනාශ කරන අයව විනාශ කරලා’ මුළු පොළොවම පාරාදීසයක් කරනවා කියලා.—එළි. 11:18; යෙසා. 35:1.

යෙහෝවා දෙවියන් වගේ දිගටම විඳදරාගන්න

15-16. යෙහෝවා දෙවියන් වගේ විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? පැහැදිලි කරන්න.

15 අවුරුදු දහස් ගාණක් තිස්සේ යෙහෝවා දෙවියන් මොන තරම් දේවල් විඳදරාගෙන ඉන්නවාද! (“යෙහෝවා දෙවියන් විඳදරාගන්න දේවල්” කියන කොටුව බලන්න.) ඕනෙ නම් යෙහෝවා දෙවියන්ට පුළුවන් එක මොහොතකින් මේ දුෂ්ට ලෝකය විනාශ කරලා දාන්න. එහෙම කරන්නේ නැතුව යෙහෝවා දෙවියන් ඉවසීමෙන් දිගටම විඳදරාගෙන ඉන්න නිසා අපිට කොයි තරම් ප්‍රයෝජන ලැබිලා තියෙනවාද! ටිකකට මේ උදාහරණය ගැන හිතන්න. තමන්ට ඉපදෙන්න ඉන්න දරුවාට බරපතළ ආබාධයක් තියෙනවා කියලත් එයා ඉපදුණත් වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ කියලත් යුවළකට වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබෙනවා. එහෙම වුණත් ඒ දරුවාව බිහි කරන්න ඒ යුවළ තීරණය කරනවා. ඒ වගේ දරුවෙක්ව රැකබලා ගන්න එක ලොකු අභියෝගයක් වුණත් දරුවාව සතුටින් තියන්න පුළුවන් හැම දේම එයාලා කරන්නේ දරුවාට තියෙන ආදරය නිසයි.

16 අපි වෙනුවෙන් යෙහෝවා දෙවියන් කරලා තියෙන්නෙත් ඒ වගේම දෙයක්. මොකද ආදම් සහ ඒවගේ හැම දරුවෙක්ටම පව්කාරකම උරුම වෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. ඒ වුණත් ඔහු අපිට ජීවත් වෙන්න අවස්ථාව දීලා රැකබලා ගන්නේ අපිට තියෙන ආදරේ නිසයි. (1 යොහ. 4:19) හැබැයි අපි බලපු දෙමව්පියන්ට වඩා වෙනස්ව තමන්ගේ දරුවන් අද්දකින දුක් වේදනාවලට නිමාවක් ගේන්න යෙහෝවා දෙවියන්ට හැකියාව තියෙනවා. ඒක කරන්න ඔහු දැනටමත් දවසක් තීරණය කරලයි තියෙන්නේ. (මතෙ. 24:36) ඉතින් යෙහෝවා දෙවියන් අපිට පෙන්නලා තියෙන ආදරය ගැන හිතද්දී ඔහු වගේ දිගටම විඳදරාගන්න අපිත් පෙලඹෙන්න ඕනෙ නේද?

යෙහෝවා දෙවියන් විඳදරාගන්න දේවල්

  1. ඒව දෙවියන් කන්න එපා කියපු ගහෙන් කනවා සර්පයා බලාගෙන ඉන්නවා.

    1. දෙවියන්ගේ නමට සාතන් ඇති කරපු කැළැල

  2. දෙවියන් කන්න එපා කියපු ගහෙන් ගෙඩියක් ඒව ආදම්ට දෙනවා.

    2. පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය ගැන සාතන් මතු කරපු ප්‍රශ්නය

  3. ස්වර්ගයේ ඉන්න සාතන් සහ භූතයන්.

    3. ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න ඔහුගේ සමහර දරුවන් ඔහුට විරුද්ධව කැරලිගහපු එක

  4. සාතන් යෝබ් ගැන යෙහෝවා දෙවියන්ට චෝදනා කරනවා. ඇඟ පුරාම තුවාල තියෙන යෝබ් බිම ඉඳගෙන ඉන්නවා.

    4. සාතන්ගේ නින්දා අපහාස

  5. හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්න ගැහැණු කෙනෙක්ට ඔක්සිජන් බටයක් දාලා තියෙනවා.

    5. තමන්ගේ සේවකයන් විඳින දුක් කරදර දිහා බලන් ඉන්න වෙලා තියෙන එක

  6. මිනියක් වළලද්දී යුවළක් අඬනවා.

    6. තමන්ගේ යාළුවන් මිය යන එක

  7. පින්තූරවල අදහස: දුෂ්ට මිනිසුන්ගේ ක්‍රියා සමහරක්. 1. යුද්ධ ටැංකියක් පිටිපස්සේ ගමන් කරන සෙබළුන්. 2. සාක්ෂිකාර යුවළක්ව මාංචු දාලා පොලීසියේ අය අරන් යනවා.

    7. අසරණ මිනිසුන්ට නපුරු මිනිස්සු සලකන විදිහ

  8. රාත්‍රී සමාජ ශාලාවක මිනිස්සු බීලා හොඳට විනෝද වෙනවා.

    8. මිනිස්සු ගත කරන දුරාචාර ජීවිත

  9. කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය නිසා පරිසරය දූෂණය වෙනවා. ඒ නිසා පීඩා විඳින කුරුල්ලෙක්.

    9. මිනිස්සු පොළොවට කරන විනාශය

17. හෙබ්‍රෙව් 12:2, 3 සඳහන් කරලා තියෙන දේ දිගටම විඳදරාගන්න අපිට උදව්වක් වෙන්නේ කොහොමද?

17 විඳදරාගැනීම ගැන හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. යේසුත් ඔහුගේ තාත්තාව ආදර්ශයට ගත්තා. උදාහරණෙකට මේ පොළොවේදී නින්දා අපහාස විඳින්න, වධකණුවක කුරිරු මරණයක් අද්දකින්න යේසුස්ට සිද්ධ වුණා. (හෙබ්‍රෙව් 12:2, 3 කියවන්න.) ඒ දේවල් විඳදරාගන්න යේසුස්ට උදව් වුණේ යෙහෝවා දෙවියන්ගේ ආදර්ශයයි. අද අපිටත් විඳදරාගන්න යෙහෝවා දෙවියන්ගේ ආදර්ශය උදව් වෙනවා.

18. යෙහෝවා දෙවියන්ගේ ඉවසීම නිසා අපිට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද? (2 පේතෘස් 3:9)

18 2 පේතෘස් 3:9 කියවන්න. මේ දුෂ්ට ලෝකයට නිමාවක් ගේන්න ඕන හරිම දවස යෙහෝවා දෙවියන් දන්නවා. යෙහෝවා දෙවියන්ගේ ඉවසීම නිසා මිලියන ගාණකට ඔහුගේ සෙනඟ එක්ක එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හිතලා බලන්න ඒ අයට මේ ලෝකෙට ඉපදිලා, යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගෙන, කැප වෙලා බව්තීස්ම වෙන්න ඇති තරම් කාලයක් යෙහෝවා දෙවියන් දීලා තියෙන එක ගැන එයාලා කොච්චර සතුටු වෙනවා ඇතිද! මිලියන ගාණක් ඔහුගේ සෙනඟ අවසානය දක්වා විඳදරාගෙන සදාකාල ජීවනය ලබද්දී ඒ තාක් විඳදරාගන්න යෙහෝවා දෙවියන් ගත්ත තීරණය මොන තරම් ඥානවන්තද කියලා හැමෝටම තේරුම්ගන්න පුළුවන් වෙයි.

19. අපේ අධිෂ්ඨානය මොකක්ද? අපිට ලැබෙන්න යන ආශීර්වාද මොනවාද?

19 සතුටින් දිගටම විඳදරාගන්න එක ගැන අපි යෙහෝවා දෙවියන්ගෙන් කොච්චර දේවල් ඉගෙනගත්තාද! සාතන් මොන තරම් දුෂ්ට දේවල් කළත් යෙහෝවා ‘දෙවියන් දිගටම සතුටින් ඉන්නවා.’ (1 තිමෝ. 1:11) යෙහෝවා දෙවියන් තමන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරලා පාලනය කරන්න තමන්ට තියෙන අයිතිය තහවුරු කරලා සියලුම දුෂ්ටකම් ඉවත් කරලා අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම නිමාවක් ගේන කල් අපිත් දිගටම සතුටින් විඳදරාගමු. ඒක කරන්න යෙහෝවා දෙවියන් විඳදරාගන්න විදිහ ගැන හිතන එක අපිට උදව් වෙයි. ඒ නිසා දිගටම සතුටින් විඳදරාගන්න අපිත් අධිෂ්ඨාන කරගමු. එහෙම කරද්දී බයිබලේ තියෙන මේ දේ අද්දකින්න අපි හැමෝටම පුළුවන් වෙයි. “විවිධ දුෂ්කරතා දිගටම විඳදරාගෙන සිටින පුද්ගලයෙකුට ප්‍රීතියෙන් සිටිය හැකියි. එවැනි පුද්ගලයකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවනයේ ඔටුන්න උරුම වෙයි. තමාට නොකඩවා ප්‍රේම කරන අයට එය ලබා දෙන බව යෙහෝවා දෙවි පොරොන්දු වී ඇත.”—යාකො. 1:12.

හිතට ගත්තේ මොනවාද?

  • යෙහෝවා දෙවියන්ගේ විඳදරාගැනීම ගැන ඔයාගේ හිතට වැඩියෙන්ම කාවැදුණේ මොකක්ද?

  • විඳදරාගන්න එක ගැන යෙහෝවා දෙවියන් තියලා තියෙන ආදර්ශය යේසුස්ට උදව් වුණේ කොහොමද?

  • දිගටම විඳදරාගන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි?

ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න

a අපි හැම කෙනෙක්ම ප්‍රශ්න ගැටලු අද්දකිනවා. ඒවාවලින් හුඟකට විසඳුම් ලැබෙන්නේ පාරාදීසයේදී. ඒ නිසා ඒ දේවල් අපිට විඳදරාගන්නම වෙනවා. හැබැයි දේවල් විඳදරාගන්නේ අපි විතරක් නෙවෙයි. යෙහෝවා දෙවියනුත් හුඟක් දේවල් විඳදරාගන්නවා. ඔහු විඳදරාගන්න දේවල් නවයක් ගැනත් ඔහුගේ විඳදරාගැනීම නිසා මොන තරම් ප්‍රයෝජන ලැබිලා තියෙනවාද කියලත් යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

b මේ ඡේදයේ “විශේෂ” කියන වචනය යොදාගෙන තියෙන්නේ බයිබලේ සඳහන් වෙන “වර්ග” විදිහට යොමු දක්වලා තියෙන අදහස දෙන්න නෙවෙයි. මොකද වර්ග කියන අදහසට ඒ වර්ගයට අයිති ජීවී කාණ්ඩ නැත්නම් ජීවී විශේෂ විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න