ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 සැප්තැම්බර් 26-31 පි.
  • ආදරය කරන කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියොත් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරය කරන කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියොත් . . .
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයාටම දොස් කියාගන්න එපා!
  • දිගටම දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න
  • සභාවේ අයට කරන්න පුළුවන් මොනවාද?
  • බලාපොරොත්තු අත්හරින්නවත් විශ්වාසය නැති කරගන්නවත් එපා
  • සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • සභාවෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අදදින දෙවියන් වහන්සේගේ දයාව අනුකරණය කරන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 සැප්තැම්බර් 26-31 පි.

පාඩම් ලිපිය 39

ආදරය කරන කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියොත් . . .

‘ඔවුන් කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වාද!’—ගීතා. 78:40.

ගීතිකාව 102 ‘උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න’

මේ ලිපියෙන්a

1. පවුලේ කෙනෙක්ව සභාවෙන් ඉවත් කළාම පවුලේ අනිත් අයට ඒ ගැන දැනෙන්නේ කොහොමද?

ඔයාගේ පවුලේ කෙනෙක්ව සභාවෙන් ඉවත් කරලා තියෙනවා නම් ඒක කොච්චර දුකක්ද කියලා ඔයා දන්නවා. “අවුරුදු 41ක් පුරා මාත් එක්ක එකට හිටපු මගේ මහත්තයා මැරුණාම මට හිතුණේ දරාගන්න අමාරුම දුක ඒකයි කියලා. හැබැයි මගේ පුතා යෙහෝවා දෙවියන්වයි එයාගේ පවුලේ අයවයි අත්හැරලා ගියාම මට දැනුණ දුක ඊට වඩා ගොඩක් වැඩියි” කියලා සහෝදරි හිල්ඩා කියනවා.b

තාත්තා කෙනෙක් එයාගේ බඩුත් අරගෙන ගෙදරින් යනවා. අම්මා දරුවන් දෙන්නාව බදාගෙන අඬනවා.

ඔයා ආදරේ කරන කෙනෙක් දෙවියන්ව අත්හැරියාම ඔයාට කොච්චර දුකක් දැනෙනවාද කියලා දෙවියන් තේරුම්ගන්නවා (2 සහ 3 ඡේද බලන්න)d

2-3. කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියාම ඒ ගැන දෙවියන්ට දැනෙන්නේ කොහොමද? (ගීතාවලිය 78:40, 41)

2 හිතන්න සමහර දේවදූතයන් යෙහෝවා දෙවියන්ට විරුද්ධව කැරලිගහලා සාතන්ගේ පැත්තට යද්දී ඔහුට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද! (යූද් 6) පස්සේ කාලෙක තමන්ගෙම සෙනඟ විදිහට හඳුන්වපු ඊශ්‍රායෙල්වරු සැරෙන් සැරේ දෙවියන්ට විරුද්ධව කැරලිගහද්දී ඔහුගේ හිත ගොඩක් රිදුණා කියලා බයිබලේ කියනවා. (ගීතාවලිය 78:40, 41 කියවන්න.) ඔයා ආදරේ කරන කෙනෙක් සභාවෙන් ඉවත් කළාම ඒක යෙහෝවාටත් ලොකු වේදනාවක්. ඉතින් ඔයාට දැනෙන විදිහ ඔහු හොඳින්ම තේරුම්ගන්නවා. ඒ නිසා ඔයාට අවශ්‍ය කරන සහනය, දිරිගැන්වීම් ඔහු අනිවාර්යයෙන්ම ලබා දෙනවා.

3 පවුලේ කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියාම අපි හිතන්න හොඳ නැත්තේ මොන විදිහටද කියලත් ඒ වගේ තත්වයකදී දෙවියන්ගේ උදව් ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේ අභියෝගයකට මුහුණ දෙන සභාවේ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

ඔයාටම දොස් කියාගන්න එපා!

4. දරුවෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියාම හුඟක් දෙමව්පියන්ට දැනෙන්නේ කොහොමද?

4 දරුවෙක් යෙහෝවාව අත්හැරලා ගියාම හුඟක් දෙමව්පියන් තමන්ටම දොස් කියාගන්නවා. පුතාව සභාවෙන් ඉවත් කළාම දැනුණ විදිහ ගැන ලූක් මෙහෙම කියනවා. “මං හිතුවේ ඒකට වග කියන්න ඕනෙ මමයි කියලා. මං ගොඩක් ඇඬුවා. මට නරක හීනත් පෙනුණා.” ඒ වගේම තත්වයකට මුහුණ දුන්න එලිසබෙත්ට දැනුණේ මෙහෙමයි. “‘අම්මා කෙනෙක් විදිහට මගේ වගකීම මං හරියට කළාද, පුතාව දෙවියන්ට ළං කරන්න තව දේවල් කරන්න තිබුණාද’ කියලා මට හිතුණා.”

5. කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හරිද්දී ඒකට වග කියන්න ඕනෙ කවුද?

5 යෙහෝවා දෙවියන් අපි හැම කෙනෙක්ටම තීරණ ගන්න නිදහස දීලා තියෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. සමහර දෙමව්පියන්ට දෙවියන් එක්ක හොඳ බැඳීමක් නැති වුණත් එයාලගේ දරුවන් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා හොඳ සේවයක් කරනවා. අනිත් අතට දෙමව්පියන් දරුවන්ව යෙහෝවාට ළං කරන්න කොච්චර උත්සාහ කළත් ලොකු වුණාට පස්සේ ඔහුව අත්හැරලා යන දරුවොත් ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ යෙහෝවා දෙවියන්ට සේවය කරනවාද කියන එක අපි එක් එක් කෙනා ගන්න ඕන තීරණයක් කියලයි. (යොෂු. 24:15) ඉතින් දෙමව්පියෙනි, දරුවන් දෙවියන්ව අත්හැරියේ ඔයා නිසයි කියලා කවදාවත් හිතන්න එපා.

6. අම්මා හරි තාත්තා හරි යෙහෝවා දෙවියන්ව අත්හැරියාම දරුවන්ට දැනෙන්නේ කොහොමද?

6 සමහර දෙමව්පියන් යෙහෝවා දෙවියන්ව විතරක් නෙවෙයි තමන්ගේ පවුලේ අයවත් අත්හැරලා යනවා. (ගීතා. 27:10) දරුවන් හැම දෙයක්ම කරන්නේ අම්මා හරි තාත්තා හරි දිහා බලලා නිසා ඒ වගේ දෙයක් වුණාම එයාලට දැනෙන්නේ මුළු ලෝකෙම කඩන් වැටුණා වගේ. තාත්තාව සභාවෙන් ඉවත් කළාම එයාට දැනුණ විදිහ ගැන එස්තර් මෙහෙම කියනවා. “මං ඉවරයක් නැතුව ඇඬුවා. මොකද තාත්තා සත්‍යයෙන් අයින් වුණේ ටිකෙන් ටික නෙවෙයි. යෙහෝවාව අත්හරින්න තීරණය කළේ එයාමයි. මං තාත්තාට හුඟක් ආදරෙයි. ඒ නිසා තාත්තාව සභාවෙන් ඉවත් කළාම එයා හොඳින් ඉන්නවාද කියලා හිතහිත මං හැම තිස්සේම වධ වුණා. සමහර වෙලාවට මගේ මනසට දරාගන්න බැරි පීඩනයක් දැනුණා.”

7. අම්මාව හරි තාත්තාව හරි සභාවෙන් ඉවත් කරපු පවුලක ඉන්න දරුවන් ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

7 ආදරණීය දුවේ පුතේ, ඔයාගේ අම්මාව හරි තාත්තාව හරි සභාවෙන් ඉවත් කරලා නම් ඒ ගැන අපිටත් හරිම දුකයි. ඔයාට දැනෙන වේදනාව යෙහෝවා දන්නවා. මොන දේ වුණත් ඔහුට විශ්වාසවන්තව ඉන්න ඔයාට යෙහෝවා දෙවියනුත් අපිත් ගොඩක් ආදරෙයි. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ගත්ත තීරණයට වග කියන්න ඕනෙ ඔයා නෙවෙයි. මේ ලිපියේ කලිනුත් කිව්වා වගේ දෙවියන් ඔහුට නමස්කාර කරනවාද නැද්ද කියන තීරණය ගන්න හැමෝටම නිදහස දීලා තියෙනවා. ඒ නිසා කැප වෙලා බව්තීස්ම වෙන “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම” ඉටු කරන්න ඕනේ.—ගලා. 6:5.

8. යෙහෝවා දෙවියන්ව අත්හැරපු කෙනා ආයෙත් එන කල් පවුලේ අනිත් අයට කරන්න පුළුවන් මොනවාද? (“ආයෙත් එන්න” කියන කොටුව බලන්න.)

8 අපි ආදරය කරන කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරලා ගියාම එයා කවදා හරි සත්‍යයට එයි කියලා අපි බලන් ඉන්නවා. ඒ අතරේදී ඔයාට කරන්න පුළුවන් මොනවාද? යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න. ඔයා එහෙම කරද්දී පවුලේ අනිත් අයට වගේම සමහරවිට සභාවෙන් ඉවත් කරපු කෙනාටත් හොඳ ආදර්ශයක් වෙන්න ඔයාට පුළුවන් වෙයි. ඔයාගේ දුක දරාගන්නත් එහෙම කරන එක ලොකු උදව්වක්. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද?

ආයෙත් එන්න

එඬේරෙක් බැටළු පැටියෙක්ව ආදරෙන් වඩාගෙන ඉන්නවා.

එක අම්මා කෙනෙක් මෙහෙම කියනවා. “යෙසායා 55:7 කියන්නේ ‘ඔහු යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත’ කියලා. සභාවෙන් ඉවත් කරපු මගේ පුතා ගැන මට තියෙන්නෙත් ඒ බලාපොරොත්තුවමයි.” ඔයා යෙහෝවා දෙවියන්ව අත්හැරලා ගිය කෙනෙක් නම් පුළුවන් තරම් ඉක්මනට ආපහු ඔහු ළඟට එන්න. කලින් වගේ සතුටින් ඉන්න එතකොට ඔයාට පුළුවන්. මේ ලෝකේ සිද්ධ වෙන දේවලින් පැහැදිලිවම පේන්නේ අපි ජීවත් වෙන්නේ විනාශය අත ළඟමයි කියලා. ඒ වගේම හෙට දවසේ මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අඩුම තරමේ හෙට අපි ජීවත් වෙයිද නැද්ද කියන එකවත් අපි දන්නේ නැහැ.—යාකො. 4:13, 14.

‘ආයෙත් එන්න’c කියන සඟරාවේ මෙහෙම කියනවා. “ආයෙත් යෙහෝවා දෙවි ළඟට එන ගමන ලේසි නැතත් ඔයා ළඟින්ම ඉඳන් ඔයාට උදව් කරන්න දෙවි බලාගෙන ඉන්නවා. කනස්සල්ලෙන් හිටියත් හිත රිදිලා හිටියත් ඒවායින් ගොඩ එන්න ඔහු ඔයාට උදව් කරයි. නිදොස් හෘදය සාක්ෂියක් ඇති කරගන්න දෙවි ඔයාට උදව් කරයි. ඊටපස්සේ ආයෙත් සහෝදරයන් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිට සේවය කරන්න සමහරවිට ඔයාගේ හිතේ ආශාවක් ඇති වෙයි.”—1 පේතෘ. 2:25.

c යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එය www.pr418.com/si වෙබ් අඩවියෙන් භාෂා ගණනාවකින්ම තියෙනවා.

දිගටම දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න

9. ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? (“ඔයාට සහනයක් වෙන බයිබල් පද” කියන කොටුව බලන්න.)

9 දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න උදව් වෙන දේවල් දිගටම කරන්න. ඔයායි ඔයාගේ පවුලේ අයයි දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න එක හරිම වැදගත්. ඒක කරන්න පුළුවන් කොහොමද? හැම දවසකම බයිබලය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න. රැස්වීම් අතපසු කරන්නත් එපා. ජොඇනාගේ තාත්තායි අක්කායි දෙන්නාම සත්‍යය දාලා ගියා. එයා මෙහෙම කියනවා. “අබිගායිල්, එස්තර්, යෝබ්, යෝසෙප් සහ යේසුස් වගේ බයිබල් චරිත ගැන කියවද්දී මට ලොකු සහනයක් දැනුණා. ඒ බයිබල් ආදර්ශ මගේ දුක තුනී කරගෙන දේවල් දිහා හරි විදිහට බලන්න මට උදව් වුණා. මට සහනයක් වුණ තව දෙයක් තමයි අපේ වෙබ් සයිට් එකේ තියෙන සින්දු අහන එක.”

ඔයාට සහනයක් වෙන බයිබල් පද

  • ගීතාවලිය 30:10

  • ගීතාවලිය 34:4, 6, 18, 19

  • ගීතාවලිය 39:12

  • ගීතාවලිය 61:1, 2

  • ගීතාවලිය 94:17-19

  • එෆීස 3:20

  • ෆිලිප්පි 4:6, 7

10. අපේ දුක දරාගන්න ගීතාවලිය 32:6-8 අපිට උදව් වෙන්නේ කොහොමද?

10 ඔයාට දැනෙන හැම දෙයක්ම ඔයාගේ ආදරණීය තාත්තාට කියන්න. ඔයා ලොකු දුකකින් ඉද්දී යෙහෝවාට ඒ ගැන කියන්නේ නැතුව ඉන්න එපා. ඔයාගේ ප්‍රශ්නේ දිහා දෙවියන් බලන විදිහට බලන්න උදව් ඉල්ලන්න. ඒ වගේම ‘යා යුතු මාර්ගය ගැන කියා දෙන්න’ කියලත් ‘වටහාගැනීමේ හැකියාව ලබා දෙන්න’ කියලත් දෙවියන්ට කියන්න. (ගීතාවලිය 32:6-8 කියවන්න.) හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන එක අමාරුයි කියලා සමහරවිට ඔයාට දැනෙයි. හැබැයි ඔයාගේ වේදනාව දෙවියන් තේරුම්ගන්නවා. යෙහෝවා ඔයාට ගොඩක් ආදරෙයි. හිතේ තියෙන හැම දෙයක්ම කියන කල් ඔයාගේ ආදරණීය තාත්තා බලාගෙන ඉන්නවා.—නික්. 34:6; ගීතා. 62:7, 8.

11. හෙබ්‍රෙව් 12:11 අනුව යෙහෝවා ආදරෙන් හික්මවීම් දෙද්දී අපි ඒකට සහයෝගය දක්වන්න ඕනෙ ඇයි? (“සභාවෙන් ඉවත් කරන එක යෙහෝවා දෙවියන් ආදරය පෙන්නන විදිහක්” කියන කොටුව බලන්න.)

11 වැඩිමහල්ලන් ගත්ත තීරණයට සහයෝගය දෙන්න. පසුතැවිලි වෙන්නේ නැතුව දිගින් දිගටම වැරදි කරන කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන එක යෙහෝවා දෙවියන් ඇති කරපු සැලැස්මක්. ඒකෙන් අනිත් අයට වගේම වරද කරපු කෙනාටත් ප්‍රයෝජන ලැබෙනවා. (හෙබ්‍රෙව් 12:11 කියවන්න.) වැඩිමහල්ලන් ඒ කාරණය හසුරුවපු විදිහ වැරදියි කියලා සභාවේ ඉන්න සමහර අය විවේචනය කරන්න ඉඩ තියෙනවා. හුඟක් වෙලාවට ඒ වගේ කටකතා පතුරුවන්න පටන්ගන්නේ වරද කරපු කෙනාගේ වැරැද්ද හංගන්න උත්සාහ කරන අය. අපි හැම තොරතුරක්ම දන්නේ නැති නිසා හොඳම දේ තමයි වැඩිමහල්ලන් ගන්න තීරණයට සහයෝගය දෙන එක. මොකද එයාලා බයිබල් ප්‍රතිපත්ති හොඳට හොයලා බලලා “යෙහෝවා දෙවි වෙනුවෙන්” විනිශ්චය කරන්න එයාලට තියෙන වගකීම හරියට ඉටු කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.—2 ලේක. 19:6.

සභාවෙන් ඉවත් කරන එක යෙහෝවා දෙවියන් ආදරේ පෙන්නන විදිහක්

සභාවෙන් ඉවත් කරන සැලැස්මෙන් යෙහෝවා දෙවියන්ගේ ආදරය පේන්නේ කොහොමද?

  1. 1. වැඩිමහල්ලන් වරද කරපු කෙනාට උදව් කරන්න පුළුවන් හැම දේම කරන්නේ එයාට තියෙන ආදරේ නිසයි. ක්‍රිස්තියානියෙක්ව සභාවෙන් ඉවත් කරන්නේ මේ දේවල් දෙකම වුණොත් විතරයි. (1) ඒ කෙනා බරපතළ වරදක් කරලා තියෙනවා. (2) එයා පසුතැවිලි වෙන්නේ නැහැ.—හෙබ්‍රෙ. 12:7, 9-11.

  2. 2. ඒ සැලැස්ම නිසා සභාව ආරක්ෂා වෙනවා. පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක් හරියට දරුණු බෝ වෙන ලෙඩක් තියෙන කෙනෙක් වගේ. අනිත් අයව එයාගෙන් ආරක්ෂා කරගන්න එයාව වෙන් කරලා තියන්න ඕනේ.—1 කොරි. 5:6, 7, 11-13.

  3. 3. මේ සැලැස්ම නිසා වරද කරපු කෙනා පසුතැවිලි වෙන්න ඉඩ තියෙනවා. බරපතළ වැරදි කරපු හුඟදෙනෙක් එයාලගේ වරද තේරුම් අරන් ආපහු යෙහෝවා දෙවියන් ළඟට ඇවිත් තියෙනවා.—ලූක් 15:11-24.

  4. 4. වරද කරපු කෙනා පසුතැවිලි වෙලා ආපහු එද්දී යෙහෝවා දෙවියන්, යේසුස්, දේවදූතයන් සහ සභාවේ අය එයාව සතුටින් පිළිගන්නවා.—ලූක් 15:7.

12. දෙවියන්ගේ සැලැස්මට කීකරු වුණ එකෙන් සමහර අයට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?

12 ඔයා ආදරේ කරන කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්න වැඩිමහල්ලන් ගත්ත තීරණයට ඔයා සම්පූර්ණ සහයෝගය දුන්නොත් ඒ කෙනාට ආයෙත් යෙහෝවා දෙවියන්ට ළං වෙන්න උදව් කරන්න ඔයාට පුළුවන්. කලින් සඳහන් කරපු එලිසබෙත් මෙහෙම කියනවා. “අපේ පුතාව සභාවෙන් ඉවත් කරද්දී එයා වැඩිහිටියෙක්. ඒ නිසා අපි එයාත් එක්ක කිසිම සම්බන්ධයක් තියාගත්තේ නෑ. ඒක කරන්න අපිට ගොඩක් අමාරු වුණා. හැබැයි පුතා ආයෙත් සත්‍යයට ආවාට පස්සේ එයා කිව්වා එයාව සභාවෙන් ඉවත් කරන්න වැඩිමහල්ලන් ගත්ත තීරණය හරි කියලා. ඒකෙන් එයා ගොඩක් පාඩම් ඉගෙනගත්තා කියලත් කිව්වා. යෙහෝවා දෙන හික්මවීම් කොච්චර වටිනවාද කියලා දැන් මට තේරෙනවා.” එලිසබෙත්ගේ සැමියා වන මාක් මෙහෙම කියනවා. “කාලෙකට පස්සේ අපේ පුතා කිව්වා එයාට ආයෙත් සත්‍යයට එන්න උදව් වුණ එක දෙයක් තමයි මොනම හේතුවක් නිසාවත් මායි මගේ බිරිඳයි එයාත් එක්ක කතා නොකර හිටපු එක කියලා. දිගටම කීකරුව ඉන්න අපිට උදව් කරපු එක ගැන අපි යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා.”

13. දුක දරාගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?

13 ඔයාව හොඳින් තේරුම්ගන්න යාළුවන් එක්ක කතා කරන්න. අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන් එක්ක ඔයා කතා කරද්දී බලාපොරොත්තු අත්හරින්නේ නැතුව ඉන්න එයාලා ඔයාට උදව් කරයි. (හිතෝ. 12:25; 17:17) “මට ලොකු තනිකමක් දැනෙද්දී සභාවේ ඉන්න මගේ යාළුවන් එක්ක කතා කරපු එක ඒ දුක දරාගන්න මට උදව් වුණා” කියලා කලින් සඳහන් කරපු ජොඇනා කියනවා. හැබැයි සභාවේ සමහර අය කියන දේවල් නිසා ඔයාගේ හිත තවත් පෑරෙනවා කියලා දැනුණොත් මොකද කරන්නේ?

14. අපි දිගටම අනිත් අය ගැන ඉවසන්නත් “මුළු හදවතින්ම සමාව දෙන්නත්” ඕනෙ ඇයි?

14 සහෝදර සහෝදරියන් ගැන ඉවසන්න. හැම කෙනෙක්ම හැම වෙලාවෙම ඔයාව තේරුම් අරන් ඔයාට සහනයක් වෙන දේවල් කියයි කියලා හිතන්න බැහැ. (යාකො. 3:2) මොකද අපි හැමෝම පව්කාරකම උරුම කරගෙන ඉන්න අය. ඒ නිසා සමහර වෙලාවට ඔයාට කියන්න ඕනෙ මොනවාද කියලා කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ හිත රිදෙන දෙයක් එයාගේ අතින් කියවෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට පාවුල් කියපු මේ දේ මතක තියාගන්න. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.” (කොලො. 3:13) එක සහෝදරියකගේ නෑදෑයෙක් සභාවෙන් ඉවත් කරලා තිබුණා. ඒ කාලේ ගැන එයා මෙහෙම කියනවා. “සහෝදර සහෝදරියන් මාව සනසන්න කියලා හිතාගෙන කියපු දේවල් නිසා මගේ හිත රිදුණ අවස්ථාවනුත් තිබුණා. ඒ වගේ වෙලාවට එයාලට මුළු හදවතින්ම සමාව දෙන්න යෙහෝවා මට උදව් කළා.” කෙනෙක්ව සභාවෙන් ඉවත් කරලා නම් එයාගේ පවුලේ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

සභාවේ අයට කරන්න පුළුවන් මොනවාද?

15. ළඟදී කෙනෙක්ව සභාවෙන් ඉවත් කරලා තියෙනවා නම් එයාගේ පවුලේ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

15 විශ්වාසවන්තව ඉන්න පවුලේ අනිත් අයට ආදරෙන් සලකන්න. සහෝදරි මීරියම්ගේ මල්ලිව සභාවෙන් ඉවත් කළා. ඊටපස්සේ රැස්වීම් යද්දී එයාට හැඟුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “රැස්වීමේදී අනිත් අය මට මොනවා කියයිද කියලා මට බයක් තිබුණා. හැබැයි මගේ යාළුවෝ කවුරුත් මල්ලි ගැන කේන්තියෙන් කතා කළේ නෑ. එයාලා මාත් එක්ක එකතු වෙලා මගේ දුක බෙදාගත්තා. ඒ නිසා මං තනි වුණා කියලා මට දැනුණේ නෑ.” තවත් සහෝදරියක් කියන දේ බලන්න. “අපේ පුතාව සභාවෙන් ඉවත් කළාම අපේ යාළුවෝ ඇවිල්ලා අපිව සැනසුවා. සමහර අය කිව්වා කියන්න ඕනෙ මොනවාද කියලා එයාලා හරියටම දන්නේ නෑ කියලා. සමහර අය මාත් එක්ක ඇඬුවා. තවත් අය මාව දිරිගන්වලා ලියුම් එව්වා. ඒ හැම දෙයක්ම දුක දරාගන්න මට ගොඩක් උදව් වුණා.”

16. සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ගේ පවුලේ අයට දිගටම උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

16 පවුලේ අනිත් අයට දිගටම උදව් කරන්න. සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ගේ පවුලේ අයට අපේ ආදරය, දිරිගැන්වීම් ඕනෙමයි. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ වගේ පවුල්වල ඉන්න සමහර අයට දැනිලා තියෙනවා අනිත් අය එයාලවත් සලකන්නේ සභාවෙන් ඉවත් කරපු අය විදිහටයි කියලා. ඒ වගේ දෙයක් නම් වෙන්න දෙන්න එපා. විශේෂයෙන්ම සත්‍යය දාලා ගිය දෙමව්පියන් ඉන්න දරුවන්ට ඔයාලගේ ආදරය, සැලකිල්ල පෙන්නන එක හරිම වැදගත්. සහෝදරි මරියාගේ මහත්තයාව සභාවෙන් ඉවත් කළා. ඊටපස්සේ එයා මරියාවයි එයාලගේ දරුවන්වයි දාලා ගියා. සහෝදර සහෝදරියන් මරියාට උදව් කරපු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මගේ සමහර යාළුවෝ අපේ ගෙදර ඇවිල්ලා අපිට උයලා දුන්නා. එයාලා මටයි මගේ දරුවන්ටයි පවුලේ නමස්කාරය කරන්නත් උදව් කළා. මගේ දුක එයාලා තේරුම්ගත්තා. මාත් එක්ක ඇඬුවා. මං ගැන බොරු කටකතා පැතිරෙද්දී මං වෙනුවෙන් කතා කළා. එයාලා ඇත්තටම මට ලොකු ශක්තියක් වුණා.”—රෝම 12:13, 15.

ගෙදරට ආපු වැඩිමහල්ලන් දෙන්නෙක්ව අම්මායි දරුවනුයි සතුටින් පිළිගන්නවා.

විශ්වාසවන්තව ඉන්න පවුලේ අයට ආදරය, සැලකිල්ල පෙන්නන්න සභාවේ හැමෝටම පුළුවන් (17 ඡේදය බලන්න)e

17. වැඩිමහල්ලන්ට සහනයක්, ශක්තියක් වෙන්න පුළුවන් කොහොමද?

17 වැඩිමහල්ලෙනි, පුළුවන් හැම වෙලාවකම සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ගේ පවුලේ අයව ශක්තිමත් කරන්න. විශේෂයෙන්ම වැඩිමහල්ලන් විදිහට ඔයාලට ඒ දේ කරන්න වගකීමක් තියෙනවා. (1 තෙස. 5:14) ඔයාලට කරන්න පුළුවන් මොනවාද? රැස්වීමට කලින් සහ රැස්වීමෙන් පස්සේ එයාලත් එක්ක ටිකක් කතා කරලා දිරිගන්වන්න. එයාලව බලන්න යන්න. එයාලත් එක්ක යාච්ඤා කරන්න. එයාලත් එක්ක සේවේ හවුල් වෙන්න. ඔයාලගේ පවුලේ නමස්කාරයට ඒ පවුලේ අයවත් එකතු කරගන්න. වැඩිමහල්ලෙනි, එඬේරුන් විදිහට ඔයාලා වේදනාවෙන් ඉන්න යෙහෝවාගේ බැටළුවන්ට ආදරය, සැලකිල්ල පෙන්නයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—1 තෙස. 2:7, 8.

බලාපොරොත්තු අත්හරින්නවත් විශ්වාසය නැති කරගන්නවත් එපා

18. 2 පේතෘස් 3:9 අනුව දෙවියන්ගේ කැමැත්ත මොකක්ද?

18 යෙහෝවා දෙවියන් ‘කිසි කෙනෙකු විනාශ වෙනවට කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දෙන්නයි.’ (2 පේතෘස් 3:9 කියවන්න.) කෙනෙක් බරපතළ වරදක් කළත් එයාගේ ජීවිතය දෙවියන්ට තාමත් වටිනවා. මොකද ඔහු තමන්ගේ ආදරණීය පුතාගේ ජීවිතේ දුන්නේ අපි හැමෝම වෙනුවෙන්. යේසුස් කියපු අකීකරු පුත්‍රයාගේ උපමාවේ තියෙනවා වගේ වරදක් කරපු කෙනෙක් ආපහු යෙහෝවාට ළං වෙන කල් ඔහු ආසාවෙන් බලාගෙන ඉන්නවා. (ලූක් 15:11-32) ඒ වගේම ඔහු ඒ දේ කරන්න එයාට අනිවාර්යයෙන්ම උදව් කරනවා. දෙවියන්ගෙන් ඈත් වුණ හුඟදෙනෙක් පස්සේ කාලෙක ආයෙත් ඔහුට ළං වෙලා තියෙනවා. එතකොට එයාලගේ සභාවල අයත් එයාලව ආදරෙන් පිළිගත්තා. කලින් සඳහන් කරපු එලිසෙබෙත්ගේ පුතාව ආයෙත් සභාවට පිළිගද්දී එයා ගොඩක් සතුටු වුණා. “‘පුතා ආයෙත් එයි. ඔයාගේ බලාපොරොත්තු අත්හරින්න එපා.’ කියලා අපිව දිරිගන්වපු අයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා” කියලා එයා කියනවා.

19. දිගටම යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපිට පුළුවන් ඇයි?

19 අපිට හැම වෙලාවෙම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න පුළුවන්. ඔහු කවදාවත් අපිට නරකක් වෙන දෙයක් කරන්න කියන්නේ නැහැ. යෙහෝවා දෙවියන් හරිම ත්‍යාගශීලී, දයානුකම්පාවෙන් පිරුණු, තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරය කරන තාත්තා කෙනෙක්. ඔයා දුකෙන් ඉන්න වෙලාවට ඔහු කීයටවත් ඔයාගෙන් ඈත් වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. (හෙබ්‍රෙ. 13:5, 6) කලින් සඳහන් කරපු මාක් මෙහෙම කියනවා. “අපේ අමාරු කාලවලදී යෙහෝවා කවදාවත් අපිව අත්හැරියේ නෑ. අපේ ළඟින්ම ඉඳලා ඔහු අපිට උදව් කළා.” ඕනෙම අමාරු තත්වයක් දරාගන්න උදව් වෙන “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔයාට ලබා දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා. (2 කොරි. 4:7) සමහර වෙලාවට ඔයා ආදරේ කරන කෙනෙක් යෙහෝවාව අත්හරින්න ඉඩ තියෙනවා. හැබැයි ඒ කෙනා ආයෙත් එයි කියන බලාපොරොත්තුවෙන් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්.

මේ බයිබල් පදවලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • ගීතාවලිය 78:40, 41

  • ගීතාවලිය 32:6-8

  • හෙබ්‍රෙව් 12:11

ගීතිකාව 44 අසරණයෙකුගේ අයැදීම

a අපි ආදරය කරන කෙනෙක් යෙහෝවාව අත්හැරියොත් ඒක අපිට මොන තරම් දුකක්ද? කෙනෙක් ඒ වගේ දෙයක් කළාම යෙහෝවා දෙවියන්ට දැනෙන්නේ කොහොමද? දුක දරාගෙන යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න පවුලේ අනිත් අයට කරන්න පුළුවන් මොනවාද? ඒ පවුලේ අයව සනසන්න, උදව් කරන්න සභාවේ අයට කරන්න පුළුවන් මොනවාද? ඒ දේවල් ගැන අපි මේ ලිපියෙන් බලනවා.

b සමහර නම් වෙනස් කර ඇත.

d පින්තූරයේ අදහස: සහෝදරයෙක් යෙහෝවා දෙවියන්වයි එයාගේ පවුලේ අයවයි අත්හැරලා යද්දී එයාගේ බිරිඳයි දරුවනුයි ගොඩක් දුක් වෙනවා.

e පින්තූරයේ අදහස: වැඩිමහල්ලන් දෙන්නෙක් එක පවුලක් දිරිගන්වනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න