ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 අප්‍රියෙල් 28 පි.-29 පි. 5 ¶
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ කාලයට වැදගත් වන ඉපැරණි දිවුරුමක්
    2004 පිබිදෙව්!
  • කීකරු වී දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 අප්‍රියෙල් 28 පි.-29 පි. 5 ¶

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දිවුරුම් දෙන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද?

දිවුරුමක් කියන්නේ නිකම්ම පොරොන්දුවකට වඩා වැඩි දෙයක්. ඒක සැහැල්ලුවට ගන්න බැහැ. ගොඩක් වෙලාවට දිවුරුමක් දෙන්නේ දෙවියන්ගේ නාමයෙන්. ඒක වාචිකව හරි ලිඛිතව හරි දෙන්න පුළුවන්.

යේසුස් මෙහෙම කිව්වා. ‘කිසිසේත් නොදිවුරන්න. එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්. මන්ද කෙනෙක් ඊට වැඩි දෙයක් පැවසීමට පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.’ (මතෙ. 5:33-37) ඒ නිසා හුඟක් අය හිතනවා දිවුරුම් දෙන එක වැරදියි කියලා. ඒත් ඒක ඇත්තද? යේසුස් දැනන් හිටියා ඊශ්‍රායෙල්වරුන්ට වගේම අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන්ටත් සමහර අවස්ථාවලදී දිවුරුම් දෙන්න වුණා කියලා. (උත්. 14:22, 23; නික්. 22:10, 11) ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන් පවා සමහර දේවල් දිවුරලා පොරොන්දු වෙලා තියෙනවා. (හෙබ්‍රෙ. 6:13-17) ඉතින් “කිසිසේත් නොදිවුරන්න” කියන එකෙන් යේසුස් අදහස් කළේ කිසිම අවස්ථාවකදී දිවුරන්න එපා කියලා නෙවෙයි. ඒ වෙනුවට කිසි වැදගත්කමක් නැති හැම දේකටම නිකන් බොරුවට දිවුරන්න එපා කියලයි. මොකද දිවුරුමක් කියන්නේ බරපතළ දෙයක්. අපි මොනවා හරි දෙයක් පොරොන්දු වුණොත් ඒක අනිවාර්යයෙන්ම කරයි කියලා යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා.

එහෙමනම් දිවුරුමක් දෙන්න කලින් හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද? (1) ඔයා දිවුරුමක් වුණොත් ඒක ඉටු කරන්න පුළුවන්ද කියලා හොඳට හිතන්න. ඒ ගැන ඔයාට පුංචිම හරි සැකයක් තියෙනවා නම් හොඳම දේ ඒ දිවුරුම නොදී ඉන්න එකයි. මොකද බයිබලේ කියනවා “ඔබ පොරොන්දුවක් දී එය ඉටු නොකරනවාට වඩා පොරොන්දු නොවී සිටීම හොඳය” කියලා. (දේශ. 5:5) (2) බයිබල් ප්‍රතිපත්ති හොඳට අධ්‍යයනය කරලා ඒ දිවුරුම දෙන්න ඔයාගේ හෘදය සාක්ෂිය ඉඩ දෙනවාද කියලා හිතලා බලන්න. දැන් අපි ඒ වගේ ප්‍රතිපත්ති කීපයක් බලමු.

කෙනෙක් උසාවියේ දිවුරුමක් දෙනවා. එයා දකුණු අත උස්සලා වම් අත බයිබලේ උඩ තියාගෙන ඉන්නවා.

සමහර දිවුරුම් දෙවියන්ගේ කැමැත්තට එකඟයි. උදාහරණෙකට විවාහ පොරොන්දුව ගැන හිතන්න. ඒකත් එක්තරා විදිහක දිවුරුමක්. දෙවියන් සහ රැස් වෙලා ඉන්න හැමෝම ඉස්සරහා මනාල යුවළ එකිනෙකාට පොරොන්දු වෙනවා “ජීවත්ව සිටින කාලය පුරා” එකිනෙකාව ආදරෙන් රැකබලා ගන්නවා සහ එකිනෙකාට ගැඹුරු ගෞරවයක් දක්වනවා කියලා. (විවාහ පොරොන්දු දෙද්දී ඒ වචනම නොකිව්වත් විවාහ වෙන දෙන්නෙක් පොරොන්දු දෙන්නේ දෙවියන් ඉස්සරහයි.) ඒ පොරොන්දුව දුන්නාට පස්සේ තමයි ඒ දෙන්නාව විවාහක යුවළක් විදිහට සලකන්නේ. ජීවිතේ තියෙන තාක් කල් ඒ විවාහ පොරොන්දුව රකින්න එයාලා බැඳිලා ඉන්නවා. (උත්. 2:24; 1 කොරි. 7:39) ඒ විදිහට දෙන දිවුරුමක් යෙහෝවා දෙවියන්ගේ කැමැත්තට එකඟයි.

සමහර දිවුරුම් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධයි. රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්න, තවදුරටත් දෙවියන්ට නමස්කාර කරන්නේ නැහැ කියලා දිවුරුමක් දෙන්න වුණොත් මොකද කරන්නේ? අපි කොහොමටවත් ඒ වගේ දේකට එකඟ වෙන්නේ නැහැ. මොකද ඒ වගේ දේකට දිවුරුවොත් අපි කරන්නේ හිතාමතාම දෙවියන්ගේ නීතියක් කඩන එක. සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි “මේ ලෝකයේ මිනිසුන්ට සමාන” වෙන්නේ නැති නිසා යුද්ධවලටවත් මේ ලෝකේ ප්‍රශ්නවලටවත් අපි කිසිම විදිහකින් සම්බන්ධ වෙන්නේ නැහැ.—යොහ. 15:19; යෙසා. 2:4; යාකො. 1:27.

සමහර දිවුරුම් හෘදය සාක්ෂියට අනුව තීරණය කරන්න පුළුවන්. දිවුරුමක් දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න යේසුස් කියපු මේ දේ අපිට උදව් වෙයි. “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.”—ලූක් 20:25.

උදාහරණෙකට අපි යම් රටක පුරවැසිභාවය ලබාගන්න හරි ගමන් බලපත්‍රයක් ලබාගන්න හරි ඉල්ලුම් කරනවා කියලා හිතන්න. ඒ වගේ අවස්ථාවලදී සමහරවිට ඒ රටට පක්ෂව ඉන්නවා කියලා දිවුරුමක් දෙන්න වෙනවා. ඒකට බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ දේවල් ඇතුළත් වෙනවා නම් අපි කොහෙත්ම ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ ගැන බලධාරීන්ට කිව්වාට පස්සේ සමහරවිට අපේ හෘදය සාක්ෂියට එකඟ වෙන විදිහට දිවුරුම් ප්‍රකාශයේ වෙනසක් කරන්න එයාලා අවසර දෙන්න ඉඩ තියෙනවා.

ඒ විදිහට දිවුරුම් ප්‍රකාශය වෙනස් කළාට පස්සේ ඒ වගේ දිවුරුමක් දෙන එකේ වරදක් නැහැ කියලා ක්‍රිස්තියානියෙක් තීරණය කරන්න පුළුවන්. මොකද රෝම 13:1 කියන්නේ “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි” කියලයි. ඒක දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් නිසා ඒ වගේ දිවුරුමක් දෙන එකේ කිසි වරදක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

විශේෂ ඉරියව්වකින් ඉඳලා හරි දෙයක් උඩ අත තියලා හරි දෙන දිවුරුම් ගැන කියන්න පුළුවන් මොනවාද? ඒකත් හෘදය සාක්ෂියට අනුව ගන්න ඕනෙ තීරණයක්. අතීතයේදී රෝම සහ ස්කිතිය ජාතිකයන් දිවුරුමක් දුන්නේ එයාලගේ කඩුව උඩ අත තියලා. ඒකෙන් එයාලා පෙන්නුවේ යුද්ධයට අධිපති දෙවියන් ඉදිරියේ එයාලා ඇත්ත කතා කරනවා කියලා. ග්‍රීක ජාතිකයනුත් දිවුරුම් දුන්නේ අහසට අත දික් කරලයි. එයාලා කරන කියන හැම දෙයක්ම බලාගෙන ඉන්න දෙවියන්ට එයාලා ගණන් දෙන්න ඕනෙ කියලත් එයාලා විශ්වාස කළා.

ඇත්ත, සාක්ෂිකරුවන් විදිහට අපි ජාතික ලාංඡනයක්, කොඩියක් වගේ දෙයක් මතවත් බොරු නමස්කාරයට අයිති දෙයක් මතවත් අත තියලා දිවුරන්නේ නැහැ. ඒත් උසාවියකදී බයිබලේ මත අත තියලා ඇත්ත කියන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? සමහරවිට ඒ විදිහට දිවුරුමක් දෙන්න ඔයා තීරණය කරන්න පුළුවන්. මොකද අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයනුත් සමහර දේවල් මත අත තියලා දිවුරලා තියෙනවා. (උත්. 24:2, 3, 9; 47:29-31) හැබැයි ඒ මොන දේ වුණත් අපි මතක තියාගන්න ඕනෙ අපි දිවුරන්නේ යෙහෝවා දෙවියන් ඉස්සරහා කියලා. ඒ නිසා ඒ වගේ වෙලාවලදී ඇත්ත කතා කරන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් දිවුරුමක් දෙන්න කලින් අපෙන් අහන හැම ප්‍රශ්නෙකටම අවංකව උත්තර දෙන්න ලෑස්ති වෙන එක කොච්චර වැදගත්ද!

හිතලා බලන්න බයිබල් ප්‍රතිපත්ති කීපයක්

  • මතෙව් 5:37: “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.”

  • යොහන් 15:19: “ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ.”

  • ද්විතීය කතාව 5:9: “යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.”

  • රෝම 13:1: “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.”

  • ලූක් 20:25: “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.”

  • 1 පේතෘස් 2:12: ‘මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දකියි.’

අපිට තියෙන වටිනාම දේ තමයි යෙහෝවාත් එක්ක තියෙන බැඳීම. ඒ නිසා දිවුරුමක් දෙන්න කලින් හොඳට යාච්ඤා කරලා මෙහෙම හිතන්න. මේ දිවුරුම මගේ හෘදය සාක්ෂියට කොහොම බලපායිද? ඒක නිසා බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙයිද? ඒ හැම පැත්තක් ගැනම හිතලා බැලුවාට පස්සේ ඔයා දිවුරුමක් දෙන්න තීරණය කළොත් ඔයා ඒක ඉටු කරන්න අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා.—1 පේතෘ. 2:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න