පාඩම් ලිපිය 41
සැබෑ සතුට සිහිනයක් නෙවෙයි!
“යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ සන්තෝෂවත්ය.”—ගීතා. 128:1.
ගීතිකාව 110 “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය”
මේ ලිපියෙන්a
1. සතුටින් ඉන්න නම් දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න ඕනෙ ඇයි?
සැබෑ සතුට කියන්නේ මීදුමක් වගේ මේ තිබිලා මේ නැති වෙන දෙයක් නෙවෙයි. ඒක ජීවිත කාලේ පුරාවටම වුණත් තියෙන දෙයක්. ඒ සතුට ලබාගන්න අපි කරන්න ඕන දේ ගැන කන්ද උඩ දේශනයේදී යේසුස් මෙහෙම කිව්වා. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.” (මතෙ. 5:3) යේසුස් දැනන් හිටියා මිනිස්සුන්ව නිර්මාණය කරලා තියෙන්නේ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් ගැන දැනගන්න, ඔහුට ළං වෙන්න සහ ඔහුට නමස්කාර කරන්න ‘ලොකු ආශාවක්’ ඇතුව කියලා. ඒක අපේ ජීවිතේට නැතුවම බැරි දෙයක්. යෙහෝවා කියන්නේ “ප්‍රීතිමත් දෙවි” නිසා ඔහුට නමස්කාර කරන එකෙන් ජීවිතේ නියම සතුට අද්දකින්න පුළුවන්. (1 තිමෝ. 1:11) එහෙම බලද්දී සැබෑ සතුට කියන්නේ සිහිනයක් නෙවෙයි.
2-3. (අ) යේසුස් කියපු විදිහට සතුටින් ඉන්න පුළුවන් තව කාටද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? ඒක වැදගත් ඇයි?
2 ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව හැම දේම හොඳට වෙනවා නම් විතරද සතුටින් ඉන්න පුළුවන්? හිතන්න, කෙනෙක්ගේ අතින් වුණ වරදක් නිසා එයාගේ හිත හොඳටම වද දෙනවා. එහෙම නැත්නම් එයා ජීවිතේ ගොඩක් අමිහිරි දේවල්වලට මුහුණ දෙනවා. ඒ වගේ කෙනෙක්ට සතුටින් ඉන්න බැරිද? ඒ ගැන හරි පුදුම හිතෙන දෙයක් යේසුස් කන්ද උඩ දේශනයේදී කිව්වා. ඔහු කිව්වා “වැලපෙමින් සිටින අය සන්තෝෂවත්” කියලා. ඒ වගේම ‘දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා පීඩා විඳින, නින්දා විඳින අය සන්තෝෂවත්’ කියලත් ඔහු කිව්වා. (මතෙ. 5:4, 10, 11) ඒත් ඒ වගේ දේවල් වෙද්දී සතුටින් ඉන්නේ කොහොමද?
3 යේසුස් කතා කරපු සතුට ලැබෙන්නේ ජීවිතේ හැම දෙයක්ම හොඳටම වෙද්දී විතරක් නෙවෙයි. ඒ වෙනුවට ඒක ලැබෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න එකෙන් සහ දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එකෙන්. (යාකො. 4:8) ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට උදව් වෙන දේවල් තුනක් අපි මේ ලිපියෙන් බලමු.
දිගටම දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න
4. සැබෑ සතුට ලබාගන්න උදව් වෙන පළවෙනි දේ මොකක්ද? (ගීතාවලිය 1:1-3)
4 1වෙනි පියවර: සැබෑ සතුට ලබාගන්න නම් දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙමයි. ජීවත් වෙන්න නම් මිනිස්සු වගේම සත්තුත් කෑම බීම අරන් පෝෂණය වෙන්න ඕනේ. හැබැයි දෙවියන්ගේ මඟ පෙන්වීම්වලින් පෝෂණය වෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒක අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසයි යේසුස් කිව්වේ “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත” කියලා. (මතෙ. 4:4) ඒ නිසා බයිබලෙන් පුංචි කොටසක් හරි කියවලා ඒකෙන් පෝෂණය වෙන එක අපි දවසකටවත් අතපසු කරන්න හොඳ නැහැ. ඒ වගේ කෙනෙක් ගැන ගීතිකාකරු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය.”—ගීතාවලිය 1:1-3 කියවන්න.
5-6. (අ) බයිබලෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) බයිබලේ කියවන එක අපිට උදව් වෙන්නේ මොන විදිවලින්ද?
5 සතුටින් ඉන්න නම් අපිට ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන් දන්න නිසා ඒ ගැන අපිට හරිම ආදරෙන් කියලා දීලා තියෙනවා. ජීවිතේ අරමුණ ගැන, දෙවියන්ට ළං වෙන විදිහ ගැන, වැරදිවලට සමාව ලබාගන්න විදිහ ගැන වගේම ඉස්සරහට අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන ලස්සන ජීවිතේ ගැන අපිට බයිබලෙන් දැනගන්න පුළුවන්. (යෙරෙ. 29:11) ඒ වගේ වටිනා සත්‍යයන් දැනගන්න දැනගන්න අපේ හිත් සතුටින් පිරිලා ඉතිරිලා යනවා.
6 අපේ එදිනෙදා ජීවිතේට ඕන කරන මඟ පෙන්වීමුත් බයිබලේ තියෙනවා. අපි ඒවාට කීකරු වෙද්දී සතුටින් ඉන්න අපිට පුළුවන්. ප්‍රශ්න නිසා ඔයා ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා නම් බයිබලේ කියවලා කියවපු දේ ගැන කල්පනා කරන්න. යේසුත් කිව්වා “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අය” කියලා.—ලූක් 11:28.
7. බයිබලේ කියවන්න ඔයා පාවිච්චි කරන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
7 බයිබලේ කියවද්දී කියවපු දේවල් හිතට දාගන්න හොඳට කාලය ගන්න. හිතන්න, කෙනෙක් ඔයා ආසම කෑමක් ඔයාට හදලා දෙනවා. හැබැයි ඔයාට තියෙන හදිස්සිය නිසා නැත්නම් ඔයා ඉන්නේ වෙන කල්පනාවක නිසා ඔයා කටට දෙකට ඒක කාගෙන කාගෙන යනවා. හැබැයි පස්සේ ඔයාට හිතෙයි ‘අපරාදේ, ටිකක් වෙලාව අරන් නිවාඩු පාඩුවේ ඒක රස බලන්න තිබ්බානේ’ කියලා. කවදාහරි බයිබලේ කියෙව්වාට පස්සෙත් ඔයාට එහෙම හිතිලා තියෙනවාද? ඔයා නිකම් ඔහේ කියවගෙන කියවගෙන ගියා නම් ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද කියලා තේරුම්ගන්න ඔයාට බැරි වෙන්න ඇති. ඒ නිසා කාලේ අරන් කියවන දේ ගැන හොඳට හිතන්න. කියවන සිද්ධීන් හිතින් මවාගන්න. ඒ කටහඬවල්වලට ඇහුම්කන් දෙන්න. එහෙම කරද්දී කියවපු දේවල් රස විඳලා නියම සතුට ලබන්න ඔයාට පුළුවන්.
8. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තමන්ට භාර දීලා තියෙන වැඩේ ඉටු කරන්නේ කොහොමද? (පාදසටහනත් බලන්න.)
8 අපිව පෝෂණය කරන්න යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙක්ව” පත් කළා. (මතෙ. 24:45) ඒ දාසයා අද අපිව නියම වෙලාවට, ඉස්තරම්ම විදිහට පෝෂණය කරනවා.b දාසයා ඒ කෑම පිළියෙල කරද්දී පාවිච්චි කරන ප්‍රධානම අමුද්‍රව්‍යය තමයි බයිබලය. (1 තෙස. 2:13) දෙවියන් හිතන විදිහට හිතන්න ඒ පෝෂණය අපිට උදව් වෙනවා. ඒ නිසයි අපි ‘මුරටැඹ,’ ‘පිබිදෙව්’ සඟරා වගේම jw.org වෙබ් අඩවියේ තියෙන ලිපි කියවන්නේ. සති මැද රැස්වීමට සහ සති අන්තයේ රැස්වීමට හොඳට සූදානම් වෙන්නේ. ඒ වගේම හැම මාසෙකම බ්‍රෝඩ්කාස්ටිං බලන්නේ. දාසයා දෙන ඒ පෝෂණය අපි හොඳට උරාගද්දී සැබෑ සතුට ලබාගන්න උදව් වෙන දෙවෙනි පියවරට අපි ළං වෙනවා.
යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න
9. සැබෑ සතුට ලබාගන්න උදව් වෙන දෙවෙනි පියවර මොකක්ද?
9 2වෙනි පියවර: සැබෑ සතුට ලබාගන්න නම් දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නම ඕනේ. ගීතිකාකරු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ සන්තෝෂවත්ය.” (ගීතා. 128:1) අපිට යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා නම් ඔහුගේ හිතට දුකක් දෙන කිසිම දෙයක් කරන්න අපි හිතන්නෙවත් නැහැ. (හිතෝ. 16:6) ඒ නිසයි අපි හැම වෙලාවකම හරි වැරැද්ද ගැන ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට අනුව වැඩ කරන්න උත්සාහ කරන්නේ. (2 කොරි. 7:1) ඒ විදිහට දෙවියන් ඇලුම් කරන දේවල්වලට ඇලුම් කරලා ඔහු පිළිකුල් කරන දේවල් පිළිකුල් කරනවා නම් අපිට ජීවිතේ නියම සතුට විඳින්න පුළුවන්.—ගීතා. 37:27; 97:10; රෝම 12:9.
10. රෝම 12:2 කියන විදිහට අපි කරන්න ඕනෙ මොකක්ද?
10 රෝම 12:2 කියවන්න. හරි වැරැද්ද ගැන ප්‍රමිති නියම කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට කියලා අපි දන්නවා. හැබැයි ඒක දැනන් හිටියාට විතරක් මදි, ඒ ප්‍රමිති පිළිපදින්නත් ඕනේ. උදාහරණෙකට මෙහෙම හිතන්න. කෙනෙක් දන්නවා වාහනයක් එළවන වේග සීමාව තීරණය කරන්න අයිතිය තියෙන්නේ ආණ්ඩුවට කියලා. හැබැයි ඒක දැනන් හිටියාට එයා ඒ නීතිය පිළිපදින්න කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා එයා හයියෙන් වාහනය එළවගෙන යනවා. මොකක්ද අපි ඒකෙන් ඉගෙනගන්නේ? හොඳම ප්‍රමිති දෙන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට කියලා අපි දන්නවා. හැබැයි ඒ විතරක් මදි. අපි ඒක ඇත්තටම විශ්වාස කරනවා නම් ජීවත් වෙන විදිහෙන් ඒක පේන්න ඕනේ. (හිතෝ. 12:28) ඒක තේරුම් අරන් හිටපු නිසයි දාවිත් දෙවියන්ට මෙහෙම කිව්වේ. “ජීවනයට යන මාර්ගය මට පෙන්වන්න. මා ඔබ ඉදිරියේ සිටින විට සැබෑ ප්‍රීතිය ඇත්තේය. ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙන්නේය.”—ගීතා. 16:11.
11-12. (අ) අපි ප්‍රශ්නෙක ඉද්දී නැත්නම් අධෛර්යය වෙලා ඉද්දී පරෙස්සම් වෙන්න ඕනෙ මොකක් ගැනද? (ආ) විනෝදෙට කරන දේවල් තෝරගන්න ෆිලිප්පි 4:8 අපිට උදව් වෙන්නේ කොහොමද?
11 අපි ප්‍රශ්නෙක ඉද්දී නැත්නම් අධෛර්යය වෙලා ඉද්දී හිතේ බර සැහැල්ලු කරගන්න මොනවා හරි දෙයක් කළා නම් හොඳයි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ වගේ වෙලාවට යෙහෝවා දෙවියන් අකමැති දෙයක් අපේ අතින් නොවෙන්න අපි වගබලා ගන්න ඕනේ.—එෆී. 5:10-12, 15-17.
12 පාවුල් ෆිලිප්පිවරුන්ට කිව්වා ‘ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, නිර්මල’ දේවල්වලට මනස යොමු කරන්න කියලා. (ෆිලිප්පි 4:8 කියවන්න.) පාවුල් කතා කළේ විනෝදෙට කරන දේවල් ගැන නෙවෙයි. හැබැයි එයා කියපු දේ ඒකටත් අදාළයි. ඒ නිසා අපිට පුළුවන් මෙහෙම හිතන්න. ‘මං අහන සින්දුවලින්, බලන ෆිල්ම්ස්වලින්, කියවන පොත්වලින්, ගහන වීඩියෝ ගේම්ස්වලින් මගේ මනස ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වෙන, නිර්මල දේවල්වලට යොමු වෙයිද?’ විනෝදෙට කරන්න හොඳ මොනවාද හොඳ නැත්තේ මොනවාද කියලා තීරණය කරන්න ඒක ඔයාට උදව් වෙයි. අපිට ඕනෙ අපි කරන කියන හැම දෙයක්ම යෙහෝවා දෙවියන් දීලා තියෙන උසස් ප්‍රමිතිවලට අනුව කරන්න. (ගීතා. 119:1-3) එහෙම කරද්දී අපිට දෙවියන් ඉස්සරහා නිදොස් හෘදය සාක්ෂියක් ඇති කරගෙන සැබෑ සතුට ලබාගන්න උදව් වෙන තුන්වෙනි පියවරට යන්න පුළුවන්.—ක්‍රියා 23:1.
නමස්කාරයට මුල් තැන දෙන්න
13. සැබෑ සතුට ලබාගන්න උදව් වෙන තුන්වෙනි දේ මොකක්ද? (යොහන් 4:23, 24)
13 3වෙනි පියවර: සැබෑ සතුට ලබාගන්න නම් නමස්කාරයට ජීවිතේ මුල්ම තැන දෙන්න ඕනේ. නිර්මාතෘ විදිහට අපේ නමස්කාරය ලබන්න වටින එකම තැනැත්තා යෙහෝවා දෙවියන්. (එළි. 4:11; 14:6, 7) ඒ නිසා ඔහු පිළිගන්න විදිහට ඒ කියන්නේ “ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” ඔහුට නමස්කාර කරන එක අපේ ජීවිතේ වැදගත්ම දේ වෙන්න ඕනේ. (යොහන් 4:23, 24 කියවන්න.) නමස්කාර කරද්දී අපි නිතරම දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරනවා. මොකද අපිට ඕනෙ බයිබලේ කියලා තියෙන විදිහටම ඔහුට නමස්කාර කරන්න. අපි ජීවත් වෙන්නේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සීමා කරලා තියෙන නැත්නම් තහනම් කරලා තියෙන රටක වුණත් අපි නමස්කාරයේ දේවල්වලට මුල් තැන දෙන්න ඕනේ. මේ වෙද්දී අපේ සහෝදර සහෝදරියන් 100කටත් වැඩිය විශ්වාසය නිසා හිර දඬුවම් විඳිනවා.c හැබැයි හිර ගෙවල්වල යකඩ කූරු අතරට මැදි වෙලා හිටියත් යාච්ඤා කරන්න, අධ්‍යයනය කරන්න, ශුභාරංචිය කියන්න එයාලා එයාලගේ උපරිමය කරනවා. එයාලා වගේ අපිටත් පීඩාවලට මුහුණ දෙන්න වුණොත් සතුටින් ඉන්න අපිට පුළුවන්ද? අනිවාර්යයෙන්ම! මොකද අපි දන්නවා යෙහෝවා අපිත් එක්ක ඉන්නවා, ඔහු අපිට ආශීර්වාද කරනවා කියලා.—යාකො. 1:12; 1 පේතෘ. 4:14.
ජීවිත අද්දැකීමක්
14. තජිකිස්තානයේ ඉන්න යෞවන සහෝදරයෙක්ට මුහුණ දෙන්න වුණේ මොන දේටද? ඒ ඇයි?
14 මොන දේට මුහුණ දෙන්න වුණත් දිගටම සතුටින් ඉන්න අපි බලපු පියවර තුන උදව් වෙනවා. ඒක ජීවිත අද්දැකීම්වලිනුත් පැහැදිලියි. තජිකිස්තානයේ ජීවත් වෙන ජොවිදොන් බොබොජොනොව්ගේ අද්දැකීම බලන්න. එයා අවුරුදු 19ක යෞවනයෙක්. හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා 2019 ඔක්තෝබර් 4වෙනිදා බලධාරීන් එයාව පැහැරගෙන ගිහිල්ලා මාස ගාණක් රඳවලා තියාගත්තා. ඒ කාලේ පුරාම බලධාරීන් එයාට සැලකුවේ දරුණු අපරාධකාරයෙක්ට වගේ. මේ අසාධාරණය මුළු ලෝකෙම අවධානයට ලක් වුණා. එක සැරයක් බලධාරීන් එයාට හොඳටම ගහලා කිව්වා හමුදා නිල ඇඳුමක් ඇඳගෙන දිවුරුම් දෙන්න කියලා. පීඩා එතනින් නතර වුණේ නැහැ. ඊටපස්සේ තිබුණ නඩු විභාගයෙන් ජොවිදොන්ව වරදකරු විදිහට තීන්දු කරලා හිරේ දැම්මා. ජනාධිපතිගෙන් සමාව ලැබිලා නිදහස් වෙන කල්ම එයා හිටියේ හිරේ. ඒ මොන දේ වුණත් එයාගේ විශ්වාසේ පොඩ්ඩක්වත් හෙල්ලුණේ නැහැ. සතුට නැති වුණෙත් නැහැ. ඒ කොහොමද? ඒ එයා දෙවියන් එක්ක තිබුණ බැඳීම රැකගන්න මහන්සි වුණ නිසයි.
ජොවිදොන් දෙවියන්ගේ මඟ පෙන්වීම් පැතුවා. ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වුණා. ඒ වගේම නමස්කාරයට මුල් තැන දුන්නා (15-17 ඡේද බලන්න)
15. හිරේ ඉද්දී ජොවිදොන් දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගත්තේ කොහොමද?
15 හිරේ ඉද්දී ජොවිදොන් ළඟ බයිබලයක්වත් ප්‍රකාශනයක්වත් තිබුණේ නැහැ. හැබැයි එයා දිගටම දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගත්තා. ඒ කොහොමද? අවට සභාවල හිටපු සහෝදරයෝ එයාට කෑම ගෙනත් දෙද්දී ඒ බෑග් එකේ දිනපදේ ලියලා ගෙනාවා. ඒ නිසා හැමදාම බයිබලෙන් කොටසක් කියවලා ඒ ගැන කල්පනා කරන්න ජොවිදොන්ට පුළුවන් වුණා. තාමත් පීඩාවලට මුහුණ දීලා නැති සහෝදර සහෝදරියන්ට ජොවිදොන් කියපු දේ බලන්න. “මේක තමයි කාලය බයිබලෙයි, ප්‍රකාශනයි කියවලා පුළුවන් තරම් යෙහෝවාව අඳුරගන්න, ඔහුට කිට්ටු වෙන්න. ඔයාට තියෙන මේ නිදහසෙන් එක බිංදුවක්වත් අපතේ යවන්න එපා.”
16. හිරේ ඉද්දී ජොවිදොන් කල්පනා කළේ මොනවා ගැනද?
16 අපේ සහෝදරයා හැම වෙලාවෙම වැඩ කළේ යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට අනුව. හිරේ ඉද්දී ඕනෙ නම් වැරදි දේවල් ගැන හිතන්න, වැරදි දේවල් කරන්න එයාට ඕන තරම් නිදහස තිබුණා. හැබැයි එයා හැම වෙලාවෙම කල්පනා කළේ යෙහෝවා දෙවියන් ගැන. ඔහු කැමති දේවල් ගැන. එයා දෙවියන්ගේ නිර්මාණ ගැනත් කල්පනා කළා. හැම දවසකම එයා උදේ නැඟිට්ටේ කුරුල්ලන්ගේ ගී නාදයත් එක්ක. ඒ වගේම රෑ අහසේ බැබළෙන හඳ දිහා, තරු දිහා එයා ආසාවෙන් බලාගෙන හිටියා. ජොවිදොන් කියනවා “යෙහෝවා දීපු ඒ තෑගි නිසා මගේ හිතට ලොකු සතුටක් දැනුණා, මට අලුත් පණක් ලැබුණා” කියලා. දෙවියන් බයිබලෙන් අපිට දෙන පෝෂණය, අවශ්‍ය දේවල් දීලා අපිව බලාගන්න විදිහ අපි අගය කරනවා නම් අපේ හිත සතුටින් පිරිලා යනවා. ඒ සතුට තමයි ඕනම දෙයක් දරාගන්න අපිට ශක්තියක් වෙන්නේ.
17. පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී 1 පේතෘස් 1:6, 7 තියෙන දේ කෙනෙක්ට ශක්තියක් වෙන්නේ කොහොමද?
17 ජොවිදොන් කරපු තව දෙයක් තමයි යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට එයාගේ ජීවිතේ මුල් තැන දීපු එක. යේසුස් එක අවස්ථාවක මෙහෙම කිව්වා. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.” (ලූක් 4:8) හමුදාවේ උසස් නිලධාරීන්, සොල්දාදුවන් ජොවිදොන්ට හුඟක් බලපෑම් කළා ආගම අත්හරින්න කියලා. හැබැයි දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක කොයි තරම් වැදගත්ද කියලා ජොවිදොන් තේරුම් අරන් හිටියා. ඒ නිසා එයා උදේ හවස දෙවියන්ට කන්නලව් කළා එයාගේ විශ්වාසය රැකගන්න උදව් කරන්න කියලා. බලධාරීන් කොච්චර අසාධාරණ විදිහට සැලකුවත් එයාගේ විශ්වාසය බිඳින්න එයාලට බැරි වුණා. දැන් ජොවිදොන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද කලින් තිබුණේ නැති දෙයක් දැන් එයා ළඟ තියෙනවා. ඒ තමයි, මොන පීඩාවකටවත් පාගලා දාන්න බැරි වුණ ශක්තිමත් විශ්වාසය.—1 පේතෘස් 1:6, 7 කියවන්න.
18. සතුට දිගටම තියාගන්න අපිට පුළුවන් කොහොමද?
18 සැබෑ සතුට අපේ ජීවිතේට ළඟා කරගන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන් හොඳටම දන්නවා. මේ ලිපියෙන් අපි බලපු දේවල් තුන ඔයාත් කරනවා නම් මොන අභියෝගවලට මුහුණ දෙන්න වුණත් දිගටම සතුටින් ඉන්න ඔයාට පුළුවන්. එතකොට ඔයාත් මෙහෙම කියයි. “ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.”—ගීතා. 144:15.
ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද
a අද ඉන්න හුඟක් අය සතුට හොයාගෙන විනෝදය, ධන සම්පත්, ප්‍රසිද්ධිය සහ තනතුරු පස්සේ යනවා. හැබැයි එයාලා හොයන සතුට ඒවායින් ලැබිලා නැහැ. මොකද සැබෑ සතුට තියෙන්නේ ඒ දේවල්වල නෙවෙයි. ඒ සතුට හොයාගන්න පුළුවන් විදිහ ගැන යේසුස් කිව්වා. අපි මේ ලිපියෙන් සැබෑ සතුට හොයාගන්න උදව් වෙන දේවල් තුනක් ගැන බලනවා.
b 2014 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “ඔබටත් ‘නියම වෙලාවට’ ආහාර ලැබෙනවාද” කියන ලිපිය බලන්න.
c වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ ‘සොයන්න’ කියන තැන “විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි” කියලා ටයිප් කරන්න.
d පින්තූරේ අදහස: අත්අඩංගුවට ගත්ත සහෝදරයෙක්ව උසාවියට ගෙනියද්දී සහෝදර සහෝදරියන් එයාව දිරිගන්වන්න ඇවිත් ඉන්න විදිහ පෙන්නන රඟ දැක්වීමක්.