පාඩම් ලිපිය 7
බයිබලේ කියවලා උපරිම ප්‍රයෝජන ගන්න
“ඔබ එය කියවද්දී තේරුම්ගත්තේ මොනවාද?”—ලූක් 10:26.
ගීතිකාව 97 අපගේ ජීවිතය රඳා පවතින්නේ දෙව් වදන් මතයි
මේ ලිපියෙන්a
1. යේසුස් දේවවචනයට ජීවිතේ වැදගත් තැනක් දුන්නා කියලා අපි දන්නේ කොහොමද?
හිතන්න ඔයා දැන් ඉන්නේ යේසුස් ඉස්සරහා කියලා. ඔහු උගන්වන හැම දෙයක්ම වගේ උපුටලා ගන්නේ ශුද්ධ ලියවිල්ලෙන්. ඒකත් ශුද්ධ ලියවිලි බලබල නෙවෙයි, මතකයෙන්! ඒ ගැන හිතද්දීත් ඔයාට පුදුම හිතෙනවා. යේසුස්ගේ බව්තීස්මෙන් පස්සේ ඔහු මුලින්ම කියපු වචනවලින් සහ ඔහු මැරෙන්න කලින් අන්තිමට කියපු සමහර දේවල්වලින් පේනවා ඔහු ඒවා උපුටලා ගත්තෙත් ශුද්ධ ලියවිල්ලෙන් කියලා.b (ද්වි. 8:3; ගීතා. 31:5; ලූක් 4:4; 23:46) ඒ විතරක් නෙවෙයි ඔහු සේවේ කරපු අවුරුදු තුනහමාර පුරාමත් ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවපු, ඒකෙන් උපුටලා දක්වපු, ඒක පහදලා දීපු අවස්ථා ඕන තරම් බයිබලේ වාර්තා වෙනවා.—මතෙ. 5:17, 18, 21, 22, 27, 28; ලූක් 4:16-20.
දෙවියන්ගේ වචනය ගැන කොච්චර ලොකු අගයක් යේසුස්ගේ හිතේ තිබුණාද කියලා ඔහු උගන්නපු දේවලින්, අනිත් අයට සලකපු විදිහෙන් පැහැදිලිව පෙනුණා (2 ඡේදය බලන්න)
2. යේසුස් ටිකෙන් ටික ලොකු වෙද්දී ශුද්ධ ලියවිලි ගැන අවබෝධය වැඩි කරගන්න ඔහුට උදව් වුණේ මොනවාද? (කවරයේ පින්තූරය බලන්න.)
2 සේවේ පටන්ගන්න අවුරුදු ගාණකට කලින් ඉඳන්ම ශුද්ධ ලියවිලි කියවන්න, ඒවාට ඇහුම්කන් දෙන්න යේසුස්ට හුඟක් අවස්ථා ලැබුණා. කිසිම සැකයක් නැහැ ගෙදරදී යෝසෙප් සහ මරියා ශුද්ධ ලියවිල්ලේ තිබුණ දේවල් ගැන නිතරම කතා කරන්න ඇති.c (ද්වි. 6:6, 7) යේසුස් පුරුද්දක් විදිහට පවුලේ අයත් එක්ක හැම සබත් දවසකදීම සිනගෝගයට ගියා කියලත් අපිට විශ්වාසයි. (ලූක් 4:16) එහේ ශුද්ධ ලියවිලි කියවද්දී ඔහු ඒවාට හොඳට ඇහුම්කන් දෙන්න ඇති. කාලයත් එක්කම තනියම ශුද්ධ ලියවිලි කියවන්නත් යේසුස් පුරුදු වුණා. ඒ නිසා ශුද්ධ ලියවිලි ගැන තිබුණ අවබෝධය වැඩි වුණා විතරක් නෙවෙයි ඔහුගේ හිතේ ඒ ගැන ලොකු අගයකුත් ඇති වුණා. ඉගෙනගත්ත දේවල් ඔහු ජීවිතේට අදාළත් කරගත්තා. උදාහරණෙකට යේසුස්ට අවුරුදු 12දී දේවමාලිගාවේ වෙච්ච දේ මතකද? එහෙදී යේසුස් කතා කරකර හිටියේ මෝසෙස්ගේ නීතිය ගැන ලොකු දැනුමක් තිබුණ අයත් එක්ක. හැබැයි බයිබලේ කියනවා ‘යේසුස්ට තිබුණ අවබෝධය ගැන හා ඔහු පිළිතුරු දුන් ආකාරය ගැන ඒ හැමෝම ගොඩක් පුදුම වුණා’ කියලා.—ලූක් 2:46, 47, 52.
3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?
3 අපිත් පුරුද්දක් විදිහට බයිබලේ කියවනවා නම් ඒකේ තියෙන දේවල් ගැන හොඳ අවබෝධයක් ලබාගන්නත් ඒ ගැන අගයක් ඇති කරගන්නත් අපිට පුළුවන්. ඒත් අපේ බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද? ඒ ගැන තේරුම්ගන්න නීතිය ගැන හොඳට දැනගෙන හිටපු නීතිය පිටපත් කරන්නන්ට, පරිසිවරුන්ට සහ සද්දුසිවරුන්ට යේසුස් කියපු දේවල් අපිට උදව් වෙනවා. එයාලා හැම වෙලේම ශුද්ධ ලියවිලි කියෙව්වා. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. අපිත් ඒ වළටම වැටෙන්නේ නැතුව ඉන්න නම් (1) කියවන දේ හොඳට තේරුම්ගන්න ඕනේ. (2) බයිබලේ ගැඹුරට හාරලා වටිනා මැණික් හොයන්න ඕනේ. (3) අපිව සකස් කරන්න දේවවචනයට ඉඩ දෙන්න ඕනේ. යේසුස් ඒ ආගමික නායකයන්ට කියපු දේවල්වලින් ඒ කාරණා තුන ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි බලමු.
කියවන දේ හොඳට තේරුම්ගන්න
4. බයිබලේ කියවන එක ගැන ලූක් 10:25-29න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
4 අපි බයිබලේ කියවලා ඒ කියවන දේ හොඳට තේරුම්ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් අපිට ඒකෙන් ඒ තරම් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඔයාට මතකද යේසුස් “නීතිය ගැන මනා දැනුමක් තිබුණ” කෙනෙක් එක්ක කතා කරපු අවස්ථාව? (ලූක් 10:25-29 කියවන්න.) එයා යේසුස්ගෙන් ඇහුවා “සදාකාල ජීවනය ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනෙ” කියලා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. “නීතියේ ලියා තිබෙන්නේ මොනවාද? ඔබ එය කියවද්දී තේරුම්ගත්තේ මොනවාද?” එතකොට එයා කිව්වා දෙවියන්ටයි, අසල්වැසියාටයි ආදරේ කරන්න ඕනෙ කියලා. ඒ උත්තරේ හරියටම හරි. එයා ඒක උපුටලා ගත්තේ ශුද්ධ ලියවිල්ලෙන්. (ලෙවී. 19:18; ද්වි. 6:5) හැබැයි ඊටපස්සේ එයා යේසුස්ගෙන් ඇහුවා “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා. ඒ කියන්නේ එයා ඒ පදේ කියෙව්වාට අසල්වැසියා කවුද කියලා තේරුම් අරන් හිටියේ නැහැ. ඒ නිසා කියවපු දේ ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියලා අඳුරගන්න එයාට බැරි වුණා.
කියවන දේ තවත් හොඳට තේරුම්ගන්න උත්සාහ කරන්න අපි හැමෝටම පුළුවන්
5. කියවන දේ තේරුම්ගන්න යාච්ඤාවයි, හෙමින් කියවන එකයි උදව් වෙන්නේ කොහොමද?
5 බයිබලේ කියවද්දී කියවන දේ තේරුම්ගන්න නම් හොඳ කියවීමේ පුරුදු වර්ධනය කරගන්නත් ඕනේ. ඒකට කියවන්න කලින් යාච්ඤාවක් කරන්න. මොකද ඔයාගේ මනස එහේ මෙහේ දුවන්න දෙන්නේ නැතුව කියවන දේ හොඳට තේරුම්ගන්න ඔයාට යෙහෝවා දෙවියන්ගේ උදව් ඕනෙමයි. ඒ නිසා ඔහුගේ බලය ඉල්ලන්න. ඊටපස්සේ කලබලයක් නැතුව හෙමින් සීරුවේ බයිබලේ කියවන්න. කියවන දේ හොඳට තේරුම්ගන්න ඒකත් ඔයාට උදව් වෙයි. සමහරවිට ඔයාට තේරෙයි ශබ්ද නඟලා කියවන එකෙන්, එහෙම නැත්නම් බයිබලේ ඕඩියෝ රෙකෝඩිං එකට ඇහුම්කන් දෙන ගමන් කියවන එකෙන් ඊටත් වඩා ප්‍රයෝජන තියෙනවා කියලා. මොකද එතකොට කියවන දේ දකිනවා විතරක් නෙවෙයි ඒක ඔයාට ඇහෙනවා. එහෙම කරද්දී ඔයා කියවන දේවල් ඔයාගේ හදවතේ, මනසේ කෙටෙනවා. (යොෂු. 1:8) කියවලා ඉවර වුණාට පස්සේ ආයෙත් යාච්ඤා කරලා මේ තෑග්ග දුන්නාට යෙහෝවාට ස්තුති කරන්න. ඒ වගේම කියවපු දේවල් ඔයාගේ ජීවිතේට අදාළ කරගන්නත් උදව් ඉල්ලන්න.
කියවන දේ තේරුම්ගන්නයි, මතකයේ තියාගන්නයි සටහන් ගන්න එක උදව් වෙන්නේ කොහොමද? (6 ඡේදය බලන්න)
6. කියවද්දී ඔයාගෙන්ම ප්‍රශ්න අහගන්න එකයි, කෙටි සටහන් ගන්න එකයි ප්‍රයෝජනවත් ඇයි? (පින්තූරයත් බලන්න.)
6 ඔයාට පුළුවන් බයිබලෙන් කොටසක් කියවද්දී ඔයාගෙන්ම මේ වගේ ප්‍රශ්න අහගන්න. “මේකේ ඉන්න ප්‍රධාන චරිත කවුද? මේ දේ කියන්නේ කවුද? එයා කතා කරන්නේ කාටද? ඇයි එයා එහෙම කියන්නේ? මේ සිද්ධිය වුණේ කවදාද? කොහෙද?” ඒ වගේ ප්‍රශ්න අහගන්නවා නම් කියවන කොටසේ තියෙන මූලික කරුණු ඔයාගේ මනසේ රඳවාගන්න ඔයාට පුළුවන්. ඒ වගේම කියවද්දී කෙටි සටහන් ගන්න. දෙයක් ලියන්න නම් හිතේ තියෙන අදහස් වචනවලට පෙරළන්නම වෙනවා. ඒකට ඔයා කියවපු දේ ගැන හොඳට හිතන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඒක පැහැදිලිව ලියන්න පුළුවන් වෙන්නේ. ලියද්දී දේවල් හොඳට මතක හිටිනවා. බයිබලේ කියවද්දී ඒකේ තියෙන මූලික කරුණු, ඔයා හොයාගත්ත අමතර තොරතුරු, ඔයාගේ හිතට ආපු ප්‍රශ්න, හැඟීම් වගේම ඔයා ඉගෙනගත්ත දේවල් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැනත් කෙටියෙන් ලියාගන්න. ඒ විදිහට සටහන් ගද්දී ‘යෙහෝවා බයිබලේ හරහා මේ කතා කරන්නේ මටමයි’ කියලා ඔයාටත් දැනෙයි.
7. බයිබලේ කියවද්දී අපිට තියෙන්න ඕනෙ මොන දේද? ඒ ඇයි? (මතෙව් 24:15)
7 යේසුස් කියපු විදිහට බයිබලෙන් කියවපු දේ හොඳට තේරුම්ගන්න නම් අපිට තියෙන්නම ඕනෙ දෙයක් තමයි අවබෝධය. (මතෙව් 24:15 කියවන්න.) ඒත් අවබෝධය තියෙන කෙනෙක් කොයි වගේද? ඒ වගේ කෙනෙක්ට අදහස් දෙකක් අතර සම්බන්ධය පැහැදිලිව අඳුරගන්න පුළුවන්. ඒ වගේම එක අදහසක් තව අදහසකට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලත් එයාට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි වචන අතරට කිමිදිලා ඒකේ සැඟවිලා තියෙන අදහස් හොයාගන්නත් එයාට පුළුවන්. යේසුස් කිව්වා අනාවැකියක් ඉටු වෙන විදිහ තේරුම්ගන්නත් අපිට අවබෝධය තියෙන්න ඕනෙ කියලා. කොටින්ම කිව්වොත් බයිබලෙන් කියවන ඕනෙම දේකින් උපරිම ප්‍රයෝජන ගන්න අවබෝධය නැතුවම බැහැ.
8. අවබෝධයෙන් බයිබලේ කියවන්න අපිට පුළුවන් කොහොමද?
8 දෙවියන් ඔහුගේ සේවකයන්ට අවබෝධය ඒ කියන්නේ වටහාගැනීමේ හැකියාව දෙනවා. ඒ නිසා ඒක දියුණු කරගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. (හිතෝ. 2:6) ඒත් ඒක විතරක් ඇතිද? නැහැ. ඔයා ඒ යාච්ඤාවට එකඟව වැඩ කරන්නත් ඕනේ. ඒකට බයිබලෙන් කොටසක් කියවද්දී ඒ ගැන හොඳට හිතන්න. ඔයා දැනටමත් දන්න දේවල්වලට ඒ තොරතුරු සම්බන්ධ වෙන විදිහත් හිතන්න. ඔයාගේ උදව්වට සංවිධානෙන් ගොඩක් ප්‍රකාශනත් දීලා තියෙනවා. උදාහරණෙකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. බයිබලෙන් කියවන කොටස හොඳට තේරුම්ගන්න, කියවන දේ ජීවිතේට අදාළ වෙන පැති අඳුරගන්න ඒ වගේ ප්‍රකාශන ඔයාට උදව් වෙයි. (හෙබ්‍රෙ. 5:14) ඒ විදිහට ඔයා නිකම්ම කියවගෙන යන්නේ නැතුව අවබෝධයෙන් කියවනවා නම් බයිබලේ හොඳට තේරුම්ගන්න ඔයාට පුළුවන්.
වටිනා මැණික් හොයන්න
9. සද්දුසිවරුන් පිළිගත්තේ නැත්තේ මොන වටිනා සත්‍යයද?
9 හෙබ්‍රෙව් ලියවිල්ලේ පළවෙනි පොත් පහ ගැන සද්දුසිවරුන්ට හොඳ දැනුමක් තිබුණා. හැබැයි ඒවායේ තිබුණ වටිනා සත්‍යයන් එයාලා පිළිගත්තේ නැහැ. උදාහරණෙකට එයාලා නැවත නැඟිටීම ගැන යේසුස්ගෙන් ප්‍රශ්න කළා. බලන්න ඒ වෙලාවේ යේසුස් කියපු දේ. ‘මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධිය ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ “මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය” කියා දෙවි මෝසෙස්ට කිව්වා.’ (මාක් 12:18, 26) කිසිම සැකයක් නැහැ සද්දුසිවරු ඒ කොටස සෑහෙන වතාවක් කියවලා තියෙන්න ඇති. හැබැයි යේසුස් අහපු ප්‍රශ්නෙන් පැහැදිලියි එයාලා නැවත නැඟිටීම කියන වැදගත් සත්‍යය පිළිගත්තේ නැහැ කියලා.—මාක් 12:27; ලූක් 20:38.d
10. බයිබලේ කියවද්දී අපි උත්සාහ කරන්න ඕනෙ මොනවා කරන්නද?
10 ඒ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? බයිබල් වාර්තාවක් කියවද්දී ඒකෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා ඔයා තේරුම්ගන්න ඕනේ. ඒකට මතුපිටින් පේන අදහස විතරක් නෙවෙයි වචන අතර හැංගිලා තියෙන වටිනා සත්‍යයන්, ප්‍රතිපත්ති තේරුම්ගන්නත් මහන්සි වෙන්න ඕනේ.
11. බයිබලෙන් වටිනා මැණික් හොයාගන්න 2 තිමෝති 3:16, 17 අපිට උදව් වෙන්නේ කොහොමද?
11 බයිබලෙන් මැණික් හොයාගන්න පුළුවන් කොහොමද? බලන්න ඒ ගැන 2 තිමෝති 3:16, 17 කියන දේ. (කියවන්න.) එතන කියනවා (1) උගන්වන්න, (2) අවවාද කරන්න, (3) කාරණා නිවැරදි කරන්න, (4) හික්මවන්න ‘මුළු ශුද්ධ ලියවිල්ලම ප්‍රයෝජනවත්’ කියලා. ඔයාට එච්චර හුරු පුරුදු නැති බයිබල් පොතකින් වුණත් ඒ පැති හතර ගැන ඉගෙනගන්න පුළුවන්. ඒකට බයිබල් වාර්තාවක් කියවද්දී ‘මේ කොටසෙන් යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ අරමුණ ගැන, බයිබල් ප්‍රතිපත්ති ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවාද’ කියලා හොඳට හිතන්න. ඔයාටම අවවාද කරගන්න ඒක උදව් වෙන විදිහත් අඳුරගන්න. ඒකට ‘මගේ හිතේ තියෙන වැරදි ආශාවන් අඳුරගන්න, ඒවාට අහු වෙන්නේ නැතුව ඉන්න, දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න මේ තොරතුරු උදව් වෙන්නේ කොහොමද’ කියලා හිතන්න. ඒ වගේම බයිබලෙන් කියවපු කොටස කාරණා නිවැරදි කරන්න උදව් වෙන්නේ කොහොමද කියලත් බලන්න. ඔයාට තියෙන වැරදි අදහසක් නැත්නම් සේවේදී හම්බ වෙන කෙනෙක්ට තියෙන වැරදි මතයක් නිවැරදි කරන්න ඒ තොරතුරු උදව් වෙයි. ඒ විතරක් නෙවෙයි ඔයා කියවපු කොටසෙන් දෙවියන් හිතන විදිහට හිතලා ඔයාවම හික්මවගන්න පුළුවන් කොහොමද කියලත් හිතන්න. ඒ විදිහට මේ කාරණා හතර ඔයා නිතරම මනසේ තියාගන්නවා නම්, බයිබලේ මොන පොත කියෙව්වත් ඒකේ තියෙන වටිනා මැණික් හාරලා එළියට ගන්න ඔයාට පුළුවන්.
ඔයාව සකස් කරන්න බයිබලේට ඉඩ දෙන්න
12. “ඔබ කියවා නැද්ද” කියලා යේසුස් පරිසිවරුන්ගෙන් ඇහුවේ ඇයි?
12 පරිසිවරු එක්ක කතා කරද්දී යේසුස් ඇහුවා “ඔබ කියවා නැද්ද” කියලා. ඔහු එහෙම ඇහුවේ එයාලා ශුද්ධ ලියවිල්ල තේරුම් අරන් ඉන්න විදිහ වැරදියි කියලා පෙන්නලා දෙන්න. (මතෙ. 12:1-7)e ඒ වෙලාවේ පරිසිවරු චෝදනා කළා යේසුස්ගේ ගෝලයෝ සබත් නීතිය කඩ කළා කියලා. හැබැයි ඇත්තටම සබත් නීතිය දුන්නේ ඇයි කියලා හරියටම තේරුම් අරන් හිටියේ නැත්තේ එයාලයි. ඒ නිසා යේසුස් ශුද්ධ ලියවිල්ලේ තියෙන උදාහරණ දෙකකුයි, හොෂෙයා පොතේ පදයකුයි උපුටලා අරන් එයාලට පෙන්නුවා එයාලා ඒක තේරුම් අරන් හිටපු විදිහ වැරදියි කියලා. ඒ වගේම දෙවියන්ට වටින්නේ පූජාවට වඩා දයාව පෙන්වන එකයි කියලත් ඔහු කිව්වා. දේවවචනය කොච්චර කියෙව්වත් ඒ කියවපු දේවල්වලට අනුව ගුණාංග හදාගන්න පරිසිවරුන්ට ඇයි බැරි වුණේ? ඒ උඩඟුකම නිසා. මොකද එයාලා හැම තිස්සේම ශුද්ධ ලියවිල්ල කියෙව්වේ දෙයක් ඉගෙනගන්න නෙවෙයි අනිත් අයගේ වැරදි පෙන්වන්න. ඒකයි කියවපු කිසිම දෙයක් එයාලාගේ හිතට ගියේ නැත්තේ.—මතෙ. 23:23; යොහ. 5:39, 40.
13. බයිබලේ කියවලා තේරුම්ගන්න නම් අපි මොන වගේ අය වෙන්න ඕනෙද? ඒ ඇයි?
13 බයිබලෙන් කියවන දේවල් අපේ හිතට ගන්න නම් අපි නිහතමානී වෙලා ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න ඕනේ. තව විදිහකින් කියනවා නම් අපි “දෙවිගේ වදන් මෘදුකමින් පිළිගෙන ඒවා අපේ හදවත්වල රෝපණය වෙන්න ඉඩහරින්න” ඕනේ. (යාකො. 1:21) අපි මෘදු, නිහතමානී අය වෙනවා නම් විතරයි දෙවියන්ගේ වචන අපේ හදවත කියන පසේ ගැඹුරටම මුල් ඇදලා අපිව වෙනස් පුද්ගලයන් කරන්නේ. අනිත් අතට අපි හැම වෙලාවෙම අනිත් අයගේ වැරදි හොයන, උඩඟු අය නම් ආදරය, කරුණාව, දයාව ගැන බයිබලේ උගන්වන කිසිම දෙයක් අපේ හිතට යන්නේ නැහැ.
අපි දෙවියන්ගේ වචනයට අපිව අඹන්න ඉඩ දීලා තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද? (14 ඡේදය බලන්න)f
14. අපි අපිව අඹන්න බයිබලේට ඉඩ දීලා තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)
14 අපිව අඹන්න බයිබලේට ඉඩ දීලා තියෙනවාද නැද්ද කියන එක අපි අනිත් අයට සලකන විදිහෙන් පේනවා. දෙවියන්ගේ වචනයේ තිබුණ කිසිම දෙයක් හිතට ගත්තේ නැති පරිසිවරු නිර්දෝෂ අයව වැරදිකරුවන් කළා. (මතෙ. 12:7) අපිත් අනිත් අය දිහා බලන විදිහෙන්, එයාලට සලකන විදිහෙන් දෙවියන්ගේ වචනය කොච්චර දුරට අපේ හදවතට උරාගෙන තියෙනවාද, අපි කොච්චර දුරට දෙවියන් කැමති විදිහට ජීවිතේ වෙනස් කරගෙන තියෙනවාද කියලා ඔප්පු වෙනවා. උදාහරණෙකට මෙහෙම හිතන්න. ‘මං කෙනෙක් ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම කියන්නේ එයාගේ හොඳ පැතිද නැත්නම් එයාගේ අඩුපාඩුද? කෙනෙක් මගේ හිත රිද්දුවාම මං ඉක්මනින් එයාට සමාව දීලා ඒක අමතක කරලා දානවාද? එහෙම නැත්නම් හිතේ දිගටම තරහක් තියාගෙන ඉන්නවාද?’ ඒ විදිහට අපිවම සෝදිසි කරලා බලද්දී අපේ සිතුවිලි, හැඟීම්, ක්‍රියාවන් දෙවියන් කැමති විදිහට අඹන්න බයිබලේට ඉඩ දීලා තියෙනවාද කියලා දැනගන්න පුළුවන්.—1 තිමෝ. 4:12, 15; හෙබ්‍රෙ. 4:12.
සතුට ළඟා කරයි
15. දේවවචනය ගැන යේසුස්ට දැනුණේ කොහොමද?
15 යේසුස්ගේ හිතේ දේවවචනය ගැන තිබ්බේ ලොකු ආදරයක්. යේසුස්ට හැඟුණ විදිහ ගැන අනාවැකියක් ගීතාවලිය 40:8 මෙහෙම සඳහන් වුණා. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.” යේසුස්ට ඔහුගේ සේවේ සාර්ථකව, සතුටින් කරන්න පුළුවන් වුණේ ඔහුගේ හිතේ ශුද්ධ ලියවිලි ගැන තිබ්බ ආදරේ නිසයි. අපිත් බයිබලේ ගැන ඒ වගේම ආදරයක් අපේ හිතේ ඇති කරගන්නවා නම් සතුටින් ඉන්නත් අපි කරන කියන හැම දේම සාර්ථක කරගන්නත් අපිට පුළුවන්.—ගීතා. 1:1-3.
16. බයිබලේ කියවන එකෙන් තවත් ප්‍රයෝජන ගන්න ඔයා කරන්න හිතාගෙන ඉන්නේ මොනවාද? (“යේසුස්ගෙන් ඉගෙනගන්න” කියන කොටුව බලන්න.)
16 යේසුස් කියපු කරපු දේවල්වලින් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යාච්ඤා කරන එක, කලබලයක් නැතුව බයිබලේ හෙමින් කියවන එක, අපෙන්ම ප්‍රශ්න අහගන්න එක වගේම සටහන් ගන්න එක කියවන දේ තවත් හොඳට තේරුම්ගන්න උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි කියවන තොරතුරු ගැන කාලේ අරන් හොඳට කල්පනා කරනවා නම්, සංවිධානෙන් දීලා තියෙන ප්‍රකාශන පාවිච්චි කරලා අධ්‍යයනය කරනවා නම් අපේ වටහාගැනීමේ හැකියාව තව දියුණු කරගන්නත් පුළුවන්. අපිට එච්චර හුරු පුරුදු නැති බයිබල් පොතක් වුණත් කියවද්දී මතුපිටින් බලන්නේ නැතුව ඒකේ සැඟවිලා තියෙන මැණික් එළියට ගන්නවා නම් අපේ බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්. අපි මෘදු, නිහතමානී අය වෙන්නත් ඕනේ. මොකද එතකොට තමයි අපි දෙවියන්ගේ වචනයට අපිව අඹන්න ඉඩ දෙන්නේ. ඒ නිසා මේ ලිපියෙන් බලපු යෝජනා අදාළ කරගන්න දිගටම උත්සාහ කරමු. එතකොට අපේ බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන අරන් යෙහෝවාට තවත් ළං වෙන්න අපිට පුළුවන්.—ගීතා. 119:17, 18; යාකො. 4:8.
ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
a යෙහෝවා දෙවියන්ගේ සෙනඟ විදිහට අපි හැමදාම බයිබලේ කියවන්න ලොකු මහන්සියක් ගන්නවා. අපි විතරක් නෙවෙයි මේ ලෝකේ අයත් බයිබලේ කියවනවා. හැබැයි කොච්චර කියෙව්වත් කියවන දේ ගැන එයාලට හරි අවබෝධයක් නැහැ. යේසුස්ගේ කාලෙත් ඒ වගේ අය හිටියා. යේසුස් එයාලට කියපු දේවල් අපේ බයිබල් කියවීම තව දියුණු කරගන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.
b බව්තීස්ම වෙද්දී යේසුස් දෙවිගේ බලයෙන් අභිෂේක ලැබුවා. ඒ වෙලාවේ ස්වර්ගයේ ඉද්දී තිබුණ හැම මතකයක්ම යේසුස්ට ආයෙත් ලැබුණා.—මතෙ. 3:16.
c මරියාට ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම ශුද්ධ ලියවිල්ලේ තිබුණ හුඟක් දේවල් එයා කිව්වේ මතකයෙන්. (ලූක් 1:46-55) ගොඩක් වෙලාවට යෝසෙප්ටයි, මරියාටයි එයාලටම කියලා ශුද්ධ ලියවිල්ලේ පිටපතක් ගන්න තරම් වත්කමක් තියෙන්න නැතුව ඇති. හැබැයි සිනගෝගයේදී ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවද්දී එයාලා ඒකට හොඳ අවධානයක් දුන්නා. ඒ නිසයි ඒ දේවල් එයාලාගේ මතකයේ රැඳුණේ.
d 2013 පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න - ‘දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි’” කියන ලිපිය බලන්න.
e මතෙව් 19:4-6 බලද්දී පේනවා යේසුස් තව අවස්ථාවකත් ‘ඔබ කියවා නැද්ද’ කියන ප්‍රශ්නේ පරිසිවරුන්ගෙන් අහලා තියෙනවා කියලා. දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කරපු විදිහ ගැන තියෙන උත්පත්ති වාර්තාව එයාලා කොච්චර කියවලා තිබුණත් ඒකෙන් විවාහය ගැන දෙවියන් ඇති කරලා තිබුණ සැලැස්ම හරියට තේරුම්ගන්න එයාලට බැරි වුණා.
f පින්තූරයේ අදහස: ඕඩියෝ වීඩියෝ අංශයේ සහෝදරයාගේ අතින් රැස්වීම අතරතුර අත්වැරදීම් කීපයක්ම වෙනවා. රැස්වීමෙන් පස්සේ සහෝදරයෝ එයාගේ අතින් වුණ වැරදි ගැන කතා කරන්නේ නැතුව එයාව අගය කරනවා.